ජනතාවට හිතකර ව්‍යවස්ථාවක් සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි (ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්)

බෝම්බ හා ඝාතන
බෝම්බ හා ඝාතන උමතුව
December 5, 2017
බෙawfqawe
අප පළමුව අර්බුදයෙන් ගොඩ ආ යුතුයි (කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ෙජ්. සෙනෙවිරත්න)
December 5, 2017
Show all

ජනතාවට හිතකර ව්‍යවස්ථාවක් සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි (ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්)

ක්‍රිasegwe

මෙරට දේශපාලනයේ සිදු වෙමින් තිබෙන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ තත්ත්වයකට ජනතාව මුහුණ දී සිටින බව පෙනේ. විවිධ අසත්‍ය ප්‍රචාරයන් නිසා එම තත්ත්වය ඇතිව පවතී. දැන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ කුමක් දැයි සොයාබැලීමට මෙම විශේෂ සම්මුඛ සාකච්ඡාව කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ ජනවරමක් ආණ්ඩුවට තිබෙනවාද?

පොදු අපේක්ෂකයකු විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ප්‍රධානතම පොරොන්දුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යමයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරලා ජනමත විචාරණයකට ලක් කළ යුතුයි. එනිසා ජනවරම තියෙන්නේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නයි.

නමුත් දැන් ගෙනවිත් තිබෙන කෙටුම් පත එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශ රටවල අවශ්‍යතාව අනුව බව කියන්නේ ඇත්තද?

අපේ රටේ නීතිය අපට ගැලපෙන විදියට අපිම සකස් කර ගන්න ඕනෑ. රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම අපේම වගකීමක්. දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යල්පැන ගිය පරණ එකක්. අලුත් ව්‍යවස්ථාවක් අපට ඕනෑ. සියලු ජාතිකත්වයන්ගේ අයිතීන් ආරක්ෂා කෙරෙන නව මැතිවරණ ක්‍රමයක් සහිත මනාප ක්‍රමය අහෝසි කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකෙන එකක් අවශ්‍යයි. මෙවැනි ව්‍යවස්ථාවක් අපි සම්මත නොකරන තාක් කල් විදේශ බලපෑම් එල්ල කෙරෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විදියට එන්නේ අධිරාජ්‍යවාදී මැදිහත් වීමක්. අධිරාජ්‍යවාදී මැදිහත් වීම් පරද්දන්න හැකි වන්නේ ඔවුන්ට ඇඟිලි ගහන්න තියෙන හේතු බීජයන් ඉවත් කිරීමෙන්. අපේ නීතිය අපි හදා ගත්තොත්, රටේ මානව හිමිකම් අපි රැක්කොත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළොත් අධිරාජ්‍යවාදීන්ට ඇඟිලි ගහන්න ඉඩක් නෑ. අධිරාජ්‍යවාදී මැදිහත් වීම් සැබෑ ලෙසම පරද්දන්න පුළුවන් වෙන්නේ අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමෙන්. ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන විවිධාකාරයෙන් රටවල්වලට මැදිහත් වෙනවා. ඒ සියල්ල පරද්දන්න හැකි වෙන්නේ අපේ දේවල් නිවැරදි කර ගැනීමෙන්. ඒ අරමුණින් ජනතාවට හිතකර ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපේ රට තුළ පුළුල් සංවාදයක් අවශ්‍යයි. ත්‍රස්තවාදය අහෝසි කිරීමේ පනත අහෝසි කරන්න ඔවුන් කියනකම් ඉන්න ඕනෑ නෑ. ඒක රටේ අවශ්‍යතාවය. අපි ඒවා කළා නම්, ඔවුන්ගේ යෝජනා ඉදිරියට දාන්න සිද්ධ වෙන්නේ නෑ. අවස්ථාවාදී මැදිහත් වීම් සැබෑ ලෙස පරද්දන්න නම්, මානව හිමිකම් රකින ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනය කරන්න ඕනෑ.

ඉදිරිපත් කර තිඛෙන කෙටුම් පතේ ජනතාවගේ මානව හිමිකම් රකින කරුණු අඩංගුද?

සාධනීය යෝජනා බොහොමයක් අඩංගු වෙලා තියෙනවා. මානව හිමිකම් පිළිබඳ අනුකමිටුවක් තිබුණා. අනුකමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ දැනට ලෝකයේ පිළිගත් අලුත්ම මානව හිමිකම් පිළිබඳ නීතිත් අඩංගු වෙනවා. විශේෂයෙනම සමාජ අයිතිවාසිකම්¦ අධ්‍යාපනය ලැබීම, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීම, නිවසක් ලබා ගැනීම වැනි දේ මූලික අයිතිවාසිකම් විදියට ඇතුළත් කළ යුතුයි කියලා ඒ අනුකමිටු යෝජනාවන්ගෙන් කියවෙනවා.

එවැනි යෝජනාවලින් විතරක් අපේ රටේ ජනතාවගේ අයිතීන් ලබා දෙයි කියලා සහතික වෙන්න පුළුවන්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනතාවගේ විරැකියාව, බඩගින්න, මන්දපෝෂණය, සමාජ දුරාචාරයන්වලට උත්තර ලැඛෙන්නේ නැහැ. ඒ සඳහා ආර්ථීක පදනමෙන් සැබෑ පරිවර්තනයක් කරන්න ඕනෑ. නමුත්, තිබෙන තත්ත්වයේ යම් ප්‍රතිසංස්කරණ කීපයක් ව්‍යවස්ථාව මගින් ලබා ගන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපි සටන් කරනවා. මෙතන තියෙන්නේ එහෙම එකක්. මෙයින් ජනතාවගේ සියලු ප්‍රශ්නවලට උත්තර ලැඛෙයි කියලා කොහෙත්ම අපි කියන්නේ නෑ. හැබැයි, පවතින දේට සාපේක්ෂව යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ලබා ගන්න අපි සටන් කළ යුතුයි.

ජවිපෙ වමේ පක්ෂයක් විදියට මේ ඉදිරිපත් කරන ධනපති ප්‍රතිසංස්කරණ පිළිගන්නේ කොහොමද?

එවැනි පක්ෂයක් විදියට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් කිරීමක් අවශ්‍යයි. ලෝක ඉතිහාසයේ වමේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් නොකර සිටියේ නෑ. මේ තියෙන්නේ එහෙම එකක්. ධනේශ්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සමස්ත ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියන මිථ්‍යාවක අපි නෑ. නමුත්, මේ සමාජ ක්‍රමය තුළ ලබා ගත යුතු ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගන්න මැදිහත් වෙන්න ඕනෑ.

ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව ආරම්භයේ සිටම ජවිපෙ කිව්වා. ඒ වෙනුවෙන් ප්‍රතිපාදන මේ කෙටුම් පතේ තිඛෙනවාද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න මූලිකම පදනම වැටෙන්නේම එතනින් බව ඉතා පැහැදිලිව කියන්න ඕනෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමයි, අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ. නැත්නම්, මේ තියෙන එකේම සංශෝධන තුළින් අනෙක් කරුණු වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් තොර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්න විදියක් නෑ. අනිවාර්යයෙන්ම එය අහෝසි කරන එකක් විය යුතුයි.

ඒ වෙනුවට විධායක අගමැති ධුරයක් ස්ථාපිත කෙරෙනවාද?

විධායක ජනාධිපති එපා. විධායක අගමැතිත් එපා. විධායක බලතල තමයි, අහෝසි කරන්න ඕනෑ. තනි පුද්ගලයකුට විධායක බලය දුන්නොත්, ඔහුට අත්තනෝමතික බලයක් ලැඛෙනවා. ඒක වැරදියි. විවිධ අය එහෙම යෝජනා කර තිබෙනවා. නමුත්, පක්ෂයක් විදියට අපි ඊට එකඟ නෑ. අගමැති විධායක බලතල නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත් කරන අයෙක් විය යුතු බවයි, අපේ ස්ථාවරය. විධායක අගමැතිවරයෙකු ආදේශ කරන්න අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ.

ඉදිරිපත් කර තිඛෙන කෙටුම් පතේ අලුත් ඡන්ද ක්‍රමය ගැන තියෙන්නේ කොහොමද?

සමාජය තුළ අදහසක් තියෙනවා, ‘මනාප ක්‍රමය එපා. කොට්ඨාසයට වග කියන මන්ත්‍රී කෙනෙක් දෙන්න’ කියලා. නව මැතිවරණ ක්‍රමයෙන් යෝජනා වෙන්නේ සමානුපාතික බව රැකෙන කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයකු ලැබෙන ඒ වාගේම කාන්තා නියෝජනය වැඩි කරන මැතිවරණ ක්‍රමයක්. ජනතාවගේ ඉල්ලීම එක්ක ගත්තාම එවැන්නක් සාධනීයයි. එහෙම මැතිවරණ ක්‍රමයක් පිළිබඳව පක්ෂ සියල්ලම දැන් එකඟ වෙලා තියෙනවා. ඒක හොඳ පියවරක්.

ඔබ හොඳ පියවරක් කියන්නේ, මැතිවරණ ක්‍රමයට අදාළව. ඒ තුළම රට බෙදන වගන්තිත් තිඛෙන බවට චෝදනා එල්ල කෙරෙනවා.

වගන්ති තියෙනවා කියන්න නම්, කෙටුම්පතක් වෙන්න ඕනෑ. පළමුවැනි කාරණය මේ ඉදිරිපත් කර තියෙන්නේ කෙටුම්පතක් නොවෙයි, අදහස්, යෝජනා මාලාවක්. එක එක අය එක එක යෝජනා ඉදිරිපත් කර තිඛෙනවා. ඒ හැම එකක්ම වාගේ මේ තුළ අඩංගු කර නෑ. මේ තියෙන්නේ අවසන් කෙටුම් පත නොවෙයි. ජවිපෙ විදියට අපි දකින්නේ දැන් යුද්ධය ඉවරයි. බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක් අද නෑ. ඒ ව්‍යාපාරය පරාජය කර අවුරුදු අටක් ගෙවිලා. දැන් රටේ තත්ත්වය වෙනස්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ජාතික සමඟිය ගොඩනැගිය හැකි ආකාරයට ඉස්සරහට යන්න ඕනෑ. මැරුණු කොටියාගේ කොටි හමට තළ තළා, මැරුණු කොටියාගේ නියපොතු ගැන කිය කියා ඉඳලා වැඩක් නෑ. රට ඉස්සරහට යන්නේ නෑ. සියලු ජාතිකත්වයන්ගේ අයිතීන් ආරක්ෂා කෙරෙන, අදට ගැලපෙන ආකාරයට සුදුසු ව්‍යවස්ථාවක් අපි හදා ගන්න ඕනෑ. එදා ඛෙදුම්වාදී ඉල්ලීම් කළ කණ්ඩායම් අද ෆෙඩරල්වත් ඉල්ලන්නේ නෑ. ඔවුන් එතනට පල්ලම් බැහැලා. ජාතික ප්‍රශ්නයට පළාත් සභා ක්‍රමය විසඳුමක් කියලා අපි කොහෙත්ම පිළිගන්නේ නැහැ. අපේ ස්ථාවරය නිවැරදි බව ඔප්පු වෙලත් තියෙනවා. නමුත්, අද පළාත් සභා යථාර්ථයේ තියෙනවා. ඉවත් කරන්න ලේසි නෑ. එනිසා තියෙන තත්ත්වය ඇතුළේ සීමා වෙනස් කිරීම් පිළිබඳ අපි එකඟයි. මේකෙන් කොහෙත්ම රට කැඩෙන්නේ නෑ.

දෙමළ භාෂාවෙන් ‘ඔරුමිත්ත නාඩු’ කියන්නේ රට ඛෙදීමක් බව කියනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

ඒක දෙමළ භාෂාවේ තවත් වචනයක්. ඊ.පී.ඩී.පී. එක දාපු වචනයක්. යෝජනාවලියේ අන්තිම වචනය මේක වෙන්නේ නැහැ. ඒ වැනි අදහස් ගොඩක් මේකෙ තියෙනවා. ඒකීය යන වචනය එහෙමම තබා ගත යුතුයි. කියලත් අදහස් තියෙනවා. අදහස් තිබුණාට අවසන් ලියවිල්ලක් වෙන්නේ නෑ. වචනයක් තිබුණා කියලා අපි කලබල වෙන්න ඕනෑ නෑ.

රාජ්‍ය ආගම වශයෙන් බුද්ධාගමට තිබුණු තැන ඉවත් කරන බවට ප්‍රචාරයක් තියෙනවා.

බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවය ඉවත් කරන්න කියලා අදහස් ඉදිරිපත් කර නෑ. මේක සම්පූර්ණ වැරදි ප්‍රචාරයක්. බිල්ලො මවලා, ජනතාව නොමග යවන්න, භය කරන්න හදනවා. බංකොලොත් වෙච්ච කණ්ඩායම් ජනතාව බියවද්දන්න පතුරුවන අවස්ථාවාදී කටකතා ඔය. කිසි කෙනෙක් එහෙම යෝජනා කරලා නැහැ. කාගෙත් අදහස බුද්ධාගමට හිමි තැන එලෙසම පැවැතිය යුතු බවයි. අනික් ආගම්වල අයිතිවාසිකම් ද ආරක්ෂා විය යුතු බව හැමෝම පිළිගන්නවා. ඔය ප්‍රචාරය සම්පූර්ණ බොරුවක්.

දැනට පළාත් සභා තුළ අකටයුතුකම් කෙරෙනවා. පොලිස් බලතල දුන්නොත්, කොහොම වෙයිද?

ඒවා එහෙම දෙනවා කියලා කොහෙවත් තීන්දු වෙලා නෑ. සාකච්ඡාවක් විතරයි තියෙන්නේ. ඒ නිසා පොලිස් බලතල, ඉඩම් බලතල, ආණ්ඩුකාරවරයාගේ බලතල දියයුතු සීමා ගැන එකඟතා කොහෙවත් නෑ. අදහස් විතරයි. විධායක ජනාධිපතිගේ බලතල අහෝසි කරන තත්ත්වයක් ඇතුළේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු නොකළ යුතු බවයි, අපේ ස්ථාවරය. විවිධ අය විවිධ දේවල් කියලා තියෙන අතර, අපිත් අපේ ස්ථාවරය ඉතා පැහැදිලිව කියලා තියෙන්නේ. අපි එකක් සහතික කරනවා. කිසි කෙනෙකුට රට ඛෙදන්න, කඩන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ තියන්නේ නෑ. එවැනි කරුණු ඇතුළත් කරන්න කිසි කෙනෙකුට කිසිම ඉඩක් දෙන්නේ නැහැයි කියන සහතිකය අපි ජනතාවට දෙනවා.

පළාත් සභා එක් කිරීම සඳහා අලුතින් කතා වෙනවා. ඒ තත්ත්වය රටට අනතුරක්?

ටී. එන්. ඒ. එක උතුර – නැගෙනහිර ඒකාබද්ධ කරන්න යෝජනා කර තිබෙනවා. කිසිවෙක් ඒකට එකඟ නෑ. කිසිදු පළාත් දෙකක් ඒකාබද්ධ නොකළ යුතු බව ජවිපෙ ඉතා පැහැදිලිව කියලා තියෙන්නේ. උතුරෙන් නැගෙනහිර වෙන් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික නඩු තීන්දුවක් ලබා ගත්තේ අපි. ඒ නිසා යළි එකතු කරන්න අපි ඉඩ තියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 18 වැනිදා බලයට පත් වී පළමුවැනියට නිකුත් කළ ගැසට් නිවේදනයෙන් උතුරු – නැගෙනහිර ඒකාබද්ධ කිරීම දීර්ඝ කළා. ඔහුට එදා ඒ ගැසට් එක නිකුත් නොකර ඉන්න තිබුණා. නමුත්, එහෙම නොකර දීර්ඝ කිරීමේ වැරැද්ද කළා. එහෙම කළ අය තමයි, අද බොරුවට බෙරිහන් දෙන්නේ. එනිසා ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ආකාරයකින් එවැනි දේකට ඉඩ තියන්නේ නෑ. අනෙකුත් පක්ෂත් ඒ යෝජනාවට විරුද්ධයි. උතුරට, නැගෙනහිර පළාත එක් කරන්න මුස්ලිම් කොන්ග්‍රසයත් විරුද්ධයි. අනෙක් හැම දෙනාමත් විරුද්ධයි. එනිසා ඔය යෝජනාව කවදාවත් යථාර්ථයක් වෙන්නේ නෑ.

ඉදිරිපත් කරන යෝජනාවලියක් තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මොකක්ද?

දැන් ඉදිරිපත් කර තිබෙන යෝජනා, අදහස් ගැන දවස් තුනක විවාදයක් පාර්ලිමේන්තුවේ කරනවා. වාද, විවාද අවසානයේ තමයි, කෙටුම් පතක් හදන්නේ. අඩුම ගාණේ කෙටුම් පත් සැකිල්ලක්වත් තවම නෑ. නව ව්‍යවස්ථාවක් හදයි ද කියන එකත් විශ්වාස නෑ. මොකද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි කියන තීරණයක.

හැදුණොත් ක්‍රියාවලිය මොකක්ද?

මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් වුණා. වීරවංසගේ පක්ෂයේ පස් දෙනා මෑත දී එයින් ඉවත් වුණා. අනෙක් සියලුම මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා මණ්ඩලයේ ඉන්නවා. ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන සාකච්ඡා කරන්නේ මෙහෙයුම් මණ්ඩලය. ඒකෙන් හදන කෙටුම් පත ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මෙතන දී පාර්ලිමේන්තුව හඳුන්වන්නේ ව්‍යවස්ථා සභාවක් නැත්නම්, ව්‍යවස්ථා මණ්ඩලයක් කියලා මේ මණ්ඩලයේ සරල බහුතරය අනුමත කරන කෙටුම් පත කැබිනට් මණ්ඩලයට යනවා. කැබිනට් මණ්ඩලය අනුමත කරලා නැවත එන්නේ පාර්ලිමේන්තුවට. (කෙටුම් පත අනුමත කර ඉදිරිපත් කළා ම ව්‍යවස්ථා මණ්ඩලයේ කාර්යභාරය අවසන්.) එතන දී පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකින් අනුමත වෙන්න ඕනෑ. ඊට පස්සේ කෙටුම් පත ජනමත විචාරණයකට ලක් කරනවා. කවුරු අනුමත කළත්, අවසාන අනුමැතිය ජනමත විචාරණයේදී මහජනතාව දෙන්න ඕනෑ. එහෙම අනුමත වුණාට පස්සේ මූලික නීතිය බවට පත් වෙනවා. මේ කි්‍රයාවලියේ කොතනකවත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නෑ.

දැන් ඉදිරිපත් කර තිඛෙන යෝජනාවලිය සකස් කරන්න සහභාගී වූයේ කවුරුන්ද?

සියලුම පක්ෂ. පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයක්ම මෙහෙයුම් කමිටුවේ ඉන්නවා. හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග පළාත් සභාවල බලය වැඩි කරන්න කතා කළ අය. ආණ්ඩුකාරවරයාගේ බලය අඩු කරන්න ඕනෑ කියලා මෙහෙයුම් කමිටුවේ දී කීව අය. එළියේ මොනවා කීවත්, ඒ වාර්තා බැලුවොත්, ඇත්ත මොකක් ද කියලා කාටත් දැනගන්න පුළුවන්. හැමෝම එකතු වෙලයි ඔය යෝජනා මාලාව හැදුවේ. විවිධ පක්ෂවලට ඔය යෝජනා ගැන වෙනත් අදහස් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනස් අදහස් වෙනම ඉදිරිපත් කරලයි තියෙන්නේ.

ආණ්ඩුවේ බලය යොදවලා ජනතා විරෝධී පනත් සම්මත කර ගන්න විදියට මේකත් කර ගන්න බැරිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එහෙම කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මූලික නීතියට. ඒක සම්මත විය යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒක කාටවත් බලහත්කාරය යොදවලා සම්මත කර ගන්න බැහැ. කවුරු හරි එහෙම හිතනවා නම්, ජනතා විමුක්ති පෙරමුණ ඒ කුමන්ත්‍රණ අනිවාර්යයෙන්ම පරාජය කරනවා. ඇත්තටම එහෙම එකක් මෙතන නෑ.

ජවිපෙ 2020දී ආණ්ඩු බලය ගන්න ජනවරමක් ඉල්ලනවා. ජනතාව අවස්ථාව දුන්නොත්, ක්‍රියාත්මක කරන්නෙත් මේ ව්‍යවස්ථාවමද?

එදාට ගැලපෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ. අලුත් ආර්ථීක, සමාජ, දේශපාලන පරිවර්තනයන්ට ගැලපෙන ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම අපි එදාට හදනවා. දැන් හදන්නේ මේ ඉන්න පාලකයන්ගේ වුවමනා එපාකම්වලට ගැලපෙන එකක්. ඒ නිසා අපි මීට මුළුමනින්ම එකඟ නෑ. නමුත්, පවතින එකට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදයේ මොනවා හරි දිනා ගන්න මැදිහත් වෙනවා මිස ධනපති ව්‍යවස්ථාව කරපින්නාගෙන යන්නේ නෑ. අපේ පාලනයට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ ඡන්දයෙන් අපි අනුමත කර ගන්නවා.

ජාතික සමගිය, සංහිඳියාව ගැන ජවිපෙ විශාල හඩක් නගනවා. ඊට අදාළ යෝජනා මේ තුළ තිඛෙනවාද?

මොන ව්‍යවස්ථාව ගෙනාවත් මේ ආණ්ඩුවලට ජාතික සමගිය ඇති කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. ව්‍යවස්ථාව සම්මත කර ගත්තත්, යම් යම් පැලැස්තර ඇලවීමක් විතරයි, ඇත්තටම වෙන්නේ. මේ පාලකයන්ට මොනවා කරලාවත් ජාතික සමගිය ගොඩනගන්න බෑ. අනෙක ව්‍යවස්ථාවකට වගන්ති දාලා ජාතික සමගිය ඇති කරන්නත් බෑ. අලුත් ව්‍යවස්ථාවකින් පුංචි පියවර කිහිපයක් විතරයි ගැනෙන්නේ. ඒවා අපි සාධනීය පැත්තෙන් දකිනවා. ජාතික ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ ආර්ථීකය මත. ආර්ථීක අසමානතාවය මත. ඒක දුරු කරන්න මේ පාලකයන්ට බෑ. ආර්ථීක අසමානතාවය දුරු නොකර ජාතික ප්‍රශ්නය විසඳන්නත් බෑ.

ආර්ථීක අර්බුදයට උත්තර නැති නිසා ජනතාවගේ ප්‍රශ්න වහන්න ආණ්ඩුව ව්‍යවස්ථා සංවාදයක් ඇති කර තිඛෙන බවට මතයක් තියෙනවා. ඒ ගැන ඔබ දකින්නේ කොහොමද?

රටේ ජනතාව බරපතළ ප්‍රශ්න ගොන්නකට මුහුණ දීලා ඉන්නේ. බඩු මිල ඉහළ යාම, විරැකියාව, ජාතික සම්පත් විකිණීම, උමාඔය ආශ්‍රිත ජනතාව විපතට ඇදලා දාලා, වෛද්‍ය ශිෂ්‍යයෝ මහපාරේ, ජීවත් වෙන්න රස්සාවක් නෑ, ආදායම් නෑ, අනාගතය අඳුරු වෙලා. අද ඒ ඇත්ත ප්‍රශ්න යට වෙලා තියෙන්නේ. ඉදිරියට ගේන අය-වැයෙනුත් උත්තර නෑ. වියදම තවත් ඉහළ ගිහිල්ලා. ආදායම් වැඩි වී නෑ. තවත් ණය කන්දක් එකතු වෙනවා. බදු වැඩි කරනවා. සහන කපනවා. ව්‍යවස්ථා සංවාදය උඩට ගැනීමෙන් ජනතාවගේ සැබෑ ආර්ථීක ප්‍රශ්න යට ගැහීමක් සිද්ධ කරලා තියෙනවා.

විවෘත ආර්ථීකයත්, ව්‍යවස්ථාවත් හඳුන්වා දීලා අවුරුදු හතළිහක් වෙනවා. මේ දෙකෙන් කිසිම හොඳක් රටට වෙලා නැද්ද?

ගෙනාපු කොල්ලකාරී ආර්ථීකයෙන් සමාජයේ දූෂණය, වංචාව, නාස්තිය, හොරකම, කුඩු ජාවාරම, සමාජ අපචාරයන් ඉහවහා ගිහිල්ලා. මේක කුණු වෙලා තියෙන්නේ. ඒ ආර්ථීකයට ගැලපෙන ව්‍යවස්ථාවක් තමයි, ෙජ්.ආර්. එදා හැදුවේ. ජාතිවාදී, ආගම්වාදී කෝලාහලවලින් මුලපුරා යුද්ධය ඇති වුණේ මේ ව්‍යවස්ථාව තුළ. මේ වැරදි ආර්ථීකය මත හදපු ව්‍යවස්ථාවෙන් හැමදේම උඩුයටිකුරු කරලා මහා ව්‍යසනයක් ගෙනත් තිඛෙන්නේ. අපි දකින්නේ මේ දෙකම වෙනස් කරන්න ඕනෑ. ආර්ථීකය මුළුමනින්ම වෙනස් කර සැබෑ ජනතාවාදී ආර්ථීකයක් සහ ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම අපේ පක‍ෂයේ වගකීම විදියට දකිනවා.

හොඳයි, අද තියෙන්නේ මැතිවරණයක පසුබිමක්. ජවිපෙ පළාත් පාලන මැතිවරණයට තිඛෙන සූදානම කොහොමද?

අලුත් මැතිවරණය සමානුපාතික සහ කොට්ඨාස මිශ්‍ර ක්‍රමයක්. මනාප ක්‍රමය ඉවත් කළ කොට්ඨාසයට මන්ත්‍රීවරයකු තෝරා ගන්න එකක්. අපි මේ මැතිවරණයට සම්පූර්ණයෙන්ම ලෑස්තියි. හැම කොට්ඨාසයකටම ගම් මට්ටමින් නායකයන් බිහි කිරීම සඳහා වූ මැතිවරණ ව්‍යාපාරය අපි ආරම්භ කරලා. මේ මැතිවරණය තව දුරටත් කල් දාන්න කිසිම හේතුවක් නෑ. ගම් මට්ටමින් ජවිපෙ නායකයන් බිහි කරන්න දැනටමත් පටන්ගෙන තියෙන්නේ.

දැන් ජවිපෙ වචන හරඹයක් විතරක් කරමින්, බිමේ සටන් අත්හැර ඇති බවට විවේචනයක් තිඛෙනවා නේද?

එය සම්පූර්ණයෙන්ම වැරදියි. වෘත්තීය සමිති අරගලවල ඉදිරියෙන්ම ඉන්නේ අපි. සයිටම් විරෝධී ජන පවුර පිහිටුවා ඉදිරියෙන්ම සටන් කරන්නේ අපි. ගොවි සටන්වල ඉන්නේ අපි. ධීවර ජනතාවගේ සටන්වල වාගේම
කුඩා තේ වතු හිමියන්ගේ වැනි සටන්වල ඉන්නේ අපි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් ගම්මිරිස්, වී, බුලත්, අර්තාපල් සහ එළවළු ගොවීන්ගේ ප්‍රශ්න සියල්ලේදීම සටන් බිමේ ඉන්නවා. වෙන කවුද ඉන්නේ ? පොහොර, බීජ, වතුර, නිෂ්පාදන අස්වැන්න විකුණා ගැනීම කියන සියලු ප්‍රශ්නවලදී සටන් බිමේ ඉන්නේ අපි. මේ සටන්වලින් තමයි, බොහෝ දේවල් දිනා ගත්තේ. අපේ වෘත්තීය සමිති සටන්වලින් තමයි, දහදාහේ වැටුප් වැඩි වීම දිනා ගත්තේ. පෞද්ගලික ආයතනවල ඉල්ලීම් දිනා ගත්තේ අන්තර් සමාගම් සේවක සංගමයේ සටන්වලින්. ඉන්දියා ධීවරයන් උතුරේ අපේ මාළු සම්පත කොල්ලකන කොට ඒකට විරුද්ධව නීති හදන්න බල කළේ අපේ ධීවර සමිති. උමාඔය විනාශකාරී ව්‍යාපෘතියට විරුද්ධ සටන, බහුජාතික සමාගම්වලට ඌවේ ඉඩම් දීමට විරුද්ධ සටනේ ඉන්නේ අපි. එහෙම ගත්තා ම මුළු රට පුරාම මහ පාරේ සටන්වල ජවිපෙ හැර අනික් කිසිම කෙනෙක් නෑ. රටේ ජනතාව ඒ බව හොඳින්ම දන්නවා. පාර්ලිමේන්තුවේ සටනත්, මහ පාරේ සටනත් එකට ඒකාබද්ධව අපි කරගෙන යනවා.

රට තුළ ජාතිවාදී සහ ආගම්වාදී ගැටීම් අවුළුවන්න ක්‍රියා කරන බව පේනවා. මේ හමුවේ ජවිපෙට තිඛෙන වගකීම මොන වාගේද?

හැමදාම දේශපාලන බල වුවමනාව සඳහා ජාතිවාදය, ආගම්වාදය කාලයෙන් කාලයට පාවිච්චි කර තිබෙනවා. ඉතිහාසයේ බොහෝ විට වාගේම අදත් සිද්ධ කරන්නේ ඒක. බල උමතුවෙන් පෙළෙන පරාජිත දේශපාලන කණ්ඩායම් මේ දෙක තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් පාවිච්චි කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්ගේ මේ උගුල්වලට හසු නොවී ඉන්න කියලයි. ඉතිහාසයේ සිදු කළ අභාවාචක දේවලට මැදිහත් නොවී ඉන්න කියලා ඉල්ලනවා. එවැනි පුංචි හෝ ගැටීමකට ඉඩක් තියෙනවා නම්, ජනතා විමුක්ති පෙරමුණ ඒවා පරදවන්න පළමු තත්පරයේදීම ක්‍රියාත්මක වෙනවා. මතවාදී තලයේත්, ප්‍රායෝගික තලයේත් පරාද කරන්න අපි උපරිමයෙන් මැදිහත් වෙනවා.


සටහන
ලංකා මාරසිංහ