දකුණු රොඩේෂියාවේ අද මොකද වෙන්නෙ?

ලුasefwe
යුද සන්ධාන සොයා ආසියාවට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප්
December 5, 2017
ආවේrsgaher
කුණු කන්දකට යට කරන මුතුරාජවෙල අභය භූමිය
December 5, 2017
Show all

දකුණු රොඩේෂියාවේ අද මොකද වෙන්නෙ?

බෙsegaerg

අද නිල වශයෙන් සිම්බාබ්වේ සමූහාණ්ඩුව ලෙස හඳුන්වන දකුණු රොඩේෂියාව නම් වූ රට දකුණු අප්‍රිකාව හා ලිම්පෝපෝ ගඟ අතර පිහිටා තිබේ. එය මායිම් වන්නේ දකුණින් දකුණු අප්‍රිකාවටත්, නිරිතින් බොට්ස්වානාවටත්, වයඹින් සැම්බියාවට සහ නැගෙනහිරින් මොසැම්බික් රාජ්‍යයටත්ය. එහි ප්‍රධාන රාජ්‍ය භාෂා 3 ක් භාවිතා වන අතර ඉංග්‍රීසි, ෂෝනා සහ නඩේබිලි එම භාෂාය. සිම්බාබ්වේ ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක කොටසක් වූ රොඩේෂියාවෙනි. රටේ පැවති නිදහස උදෙසා වු දීර්ඝ යුද්ධයෙන් පසු රොබට් මුගාබේ ජනාධිපතිවරයා බවට පත් වන අතර ඒ 1980 වර්ෂයේදීය. ඔහුගේ පාලනය හේතුවෙන් වැඩි දියුණු වූ ජීවන මට්ටම ආර්ථීකය මත ඔහුව පැසසුමට ලක් විය. ඔහුගේ පාලනයේ ප්‍රධාන ලක්ෂණ අතර දළ ආර්ථීක වැරදි පාලනය, අති උද්ධමනය හා පැතිරුණු මානව හිමිකම් කඩකිරීම් පාලනය කිරීම ප්‍රධාන විය.
දශක තුනකට අධික කාලයක් මෙසේ රට පාලනය කළ ජනාධිපති රොබට් මුගාබේගේ බලය මේ වන විට අභියෝගයට ලක් වී ඇති අතර රටේ පාලනය හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ. මේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ පසුගිය නොවැම්බර් 14 වන දිනයේදීය. මේ පිළිබඳ පළමු නිල වාර්තාව සපයන්නේ එරට පාලක සානු-පී.එෆ්. පක්ෂය නිකුත් කළ නිවේදනයක් මගිනි. ඒ නොවැම්බර් 15 වන දිනයේය. එහි සඳහන් වන්නේ සිම්බාබ්වේ හමුදාව විසින් ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බවයි. එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බවද එම පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
මේ අතර අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලාගත් හමුදාව පැවසූයේ එය කුමන්ත්‍රණයක් නොවන බවය. රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ හමුදා ජනරාල්වරයෙක් ජනාධිපතිවරයා ආරක්ෂා සහිතව සිටින බව කියා සිටි නමුත් ඔහු සිටින්නේ කොතැනක දැයි සඳහන් නොකළේය. සිදුවෙමින් පවතින්නේ කුමන්ත්‍රණයක් නොවන බව අවධාරණය කළ පාලක සානු-පී.එෆ්. පක්ෂය ද පැවසූයේ එය සාමකාමී ලෙස බලය පවරාදීමක් පමණක් බවය.
සිදුවීමේ පළමු ජවනිකාව එසේ අවසන් වෙද්දී රටේ පවතින තත්ත්වය තුළ කුමන්ත්‍රණයක සියලු ලක්ෂණ දක්නට ලැඛෙන බව සිම්බාබ්වේහි සිටින විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් රටවල්ද සිදුවීම සම්බන්ධයෙන් විවිධ නිවේදන නිකුත් කරන්නට විය.
උද්ගතව පවතින දේශපාලන අවුල සුහදව විසඳා ගන්නා ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සිම්බාබ්වේ ආණ්ඩුවෙන් සහ යුද හමුදාවෙන් ඉල්ලීමක්ද කළේය. එම අර්බුදයට සාමකාමී විසඳුමක් සහ සංවාදයක් යෝජනා කරමින් යුරෝපා හවුල නිවේදනයක් නිකුත් කර ඇත. සිම්බාවේ අර්බුදයට සම්බන්ධ පාර්ශ්ව ගැටුම් වලින් වැළකීම ඉතා වැදගත් බව බ්‍රිතාන්‍යය සිය නිවේදනයේ සඳහන් කර තිබුණි. හරාරේ සිදුවීම් දෙස තමන් දැඩි අවධානයෙන් පසු වෙන බව සිම්බාබ්වේ ප්‍රධාන වෙළෙඳ ආයෝජකයා වන චීනය කියා සිටියේය.
එහෙත් සිදුවීම් පෙළ තවමත් දිග් ගැසෙමින් තිඛෙයි. රොබට් මුගාබේට ඉල්ලා අස් වන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බව හමුදාව නිවේදනය කරන්නේ ඉන් අනතුරුවය. ජනාධිපති මුගාබේ සමග පවත්වන සාකච්ඡා දිගටම පෙරට යමින් පවතින අතර නොවැම්බර් 16 වනදා සිම්බාබ්වේ රාජ්‍ය මන්දිරයේදී ජනාධිපති මුගාබේ සමග පැවැත්වුණ සාකච්ඡාවන්ට එරට ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී ජනරාල් ක්‍රිස්තියානෝ ගුවෙයා චිවෙන්ගා සහභාගී විය. එම අවස්ථාවට දකුණු අප්‍රිකාවේ ආරක්ෂක ඇමතිවරයා සහ එරට ජාතික ආරක්ෂක ඇමතිවරයාත් එක්ව ඇත. සිම්බාබ්වේ ආරක්ෂක ඇමතිවරුන් ද සහභාගී වූ එම අවස්ථාවට ජනාධිපති මුගාබේගේ කිට්ටු මිතුරකු වන ෆිඩෙලිස් මුකොනොරි කතෝලික පූජකවරයාත් අතරමැදියකු මට්ටමින් එක්ව ඇත.
මේ අතර නිවේදනයක් නිකුත් කරන සිම්බාබ්වේ යුද හමුදාව ජනාධිපතිවරයා සමග සිටි ‘අපරාධකරුවන්’ අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව අනාවරණය කර ඇත. සිම්බාබ්වේ පාලනයේ ඉහළ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔවුන්ගේ අනන්‍යතා හෙළිදරව් කොට නැත. එහෙත් මුගාබේ අනුගාමිකයන් තවත් කණ්ඩායමක් තවමත් නිදැල්ලේ සිටින බවත් යුද හමුදාව පවසයි.
ජනාධිපති රොබට් මුගාබේ සිය පක්ෂ නායකත්වයෙන් නෙරපීමට සිම්බාබ්වේහි පාලක සානු-පී.එෆ්. පක්ෂය තීරණය කළ බව වාර්තා වන්නේ මේ අතරය. ඒ වෙනුවට හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගග්වා පක්ෂ නායකත්වයට පත් කර තිබේ. මීට සති දෙකකට ඉහතදී ජනාධිපති මුගාබේ විසින් උප ජනාධිපතිවරයා පදවියෙන් පහ කරනු ලැබීම රටේ අසාමාන්‍ය දේශපාලන සිදුවීම් මාලාවකට තුඩු දුන්නේය.
සිදුවීම් වල මෙතෙක් කරළියට නොපැමිණි සිදුවීමක් අනාවරණය වන්නේ ඒ සමගය. එම තොරතුරු වලට අනුව ජනාධිපතිවරයාගේ බිරිඳ උපජනාධිපති ධුරයටත් ඉන් අනතුරුව ජනාධිපති ධුරයටත් පත් කිරීමේ සැලැස්මක් මුගාබේ සතුව තිබී ඇත. ජනාධිපතිවරයාගේ බිරිඳ ග්‍රේස් මුගාබේ, උප ජනාධිපති පදවියට පත්කිරීමේ උත්සාහය වැළැක්වීම පිණිස හමුදාව මැදිහත් වූ බව කියවෙන්නේ මේ නිසාය. කෙසේ වෙතත් ජනපති බිරිඳ පක්ෂයෙන් නෙරපා හැරීමට ද සානු පී.එෆ්. පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමගම ජනතාව ප්‍රීතියෙන් නටමින්, ගී ගයන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පක්ෂ සමුළුව වාර්තා කරමින් සිටින ජාත්‍යන්තර මාධ්‍ය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ජනාධිපති පදවියෙන් ඉල්ලා අස් වන මෙන් හෝ නොඑසේනම් දෝෂාභියෝගයකට මුහුණ දීමට සූදානම් වන මෙන් පක්ෂ ආධාරකරුවන් මුගාබේට අවසාන කාල නියමයක් ලබා දුන් බවත් එම මාධ්‍ය වාර්තා පවසයි. රොබට් මුගාබේ පදවියෙන් ඉවත්ව යා යුතු බවට බල කරමින් දස දහස් ගණනක් උද්ඝෝෂකයෝ 18 වන සෙනසුරාදා හරාරේ අගනුවර පෙළපාළි ද පැවැත්වූහ. ජනාධිපතිවරයා රැඳී සිටින ඔහුගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට රැස් වූ එම උද්ඝෝෂකයන් ජනාධිපති නිවසේ ගේට්ටුව අසල සිට සටන් පාඨ කියමින්, ගී ගයමින් ‘මේ ඔබ ඉවත්ව යා යුතු මොහොත’ යයි බල කරමින් සිටියහ.
‘මුගාබේ යා යුතුයි’ සහ ‘මෙය අපේ විප්ලවයයි’ යනුවෙන් ලියවුන බැනර් ද ඒ අතර තිබිණ. මේ අතර දැනට සිටින ස්ථානයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැති ග්‍රේස් මුගාබේ සහ ඇය පිටුපස සිටින බලවේග විසින් එල්ල කෙරෙන තර්ජන මැඩලීමට යුද හමුදාව උත්සාහ දරමින් ඇති බවක් ද පැවසෙයි. ග්‍රේස් මුගාබේට සහාය දෙනු ලබන්නේ යයි සැක කෙරෙන ‘හතළිහේ පරපුර’ නමින් පෙනී සිටින කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත. පාලක ෂානු පී.එෆ්. පක්ෂයේ දේශපාලන අංශයේ නායකයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ මුදල් ඇමතිවරයාත් ඔවුන් අතර සිටින බව පැවසෙයි. සිම්බාබ්වේ විපක්ෂ නායක ටෙන්ඩායි බිටි ප්‍රකාශයක් කරමින් තම අභිලාෂය අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරනු ලැබීම යයි සඳහන් කළේය.
‘යළි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කරා අවතීර්ණ වීම අත්‍යවශ්‍ය උවමනාවක්. නීතිගරුක පාලනයක් කරා යළි ප්‍රවේශ විය යුතුයි. ඒ සඳහා සංක්‍රාන්තික කාලයක් අවශ්‍යයි. මම බලාපොරොත්තු තබනවා, සිම්බාබ්වේ ජනතාව සහ යුද හමුදාව අතර සංවාදයක් ආරම්භ කරන්න හැකි වේවි කියා’ යයි විපක්ෂ නායක ටෙන්ඩායි බිටි පවසයි.
ප්‍රජාතාන්ත්‍රික වෙනසක් සඳහා වන ව්‍යාපාරයේ නායක මෝර්ගන් ස්වාන්ගිරායි විසින් නායකත්වය දෙනු ලබන ජාතික ආණ්ඩුවක හවුල්කරුවකු වීමට තමා කැමති බව විපක්ෂ නායකයා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය. මෙම අර්බුදකාරී මොහොතේ අප්‍රිකානු හවුලටත් තීරණාත්මක මැදිහත් වීමක් සිදු කළ හැකි බව විපක්ෂ නායකයාගේ අදහසයි.
කෙසේ වෙතත් අවසානයේ රොබට් මුගාබේ ඉල්ලා අස් වීමට තීරණය කරනු ලබයි. සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග සබාගැබ තුළ සිටි මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඩ නගන්නට පටන් ගත්හ.
ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්ව යායුතු යයි බල කරන ජනතාව දෝෂාභියෝගය සභාගත කරනු ලැබීමට පෙර පටන්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණය කරමින් සිටියහ.
මුගාබේ දිගටම බලයේ එල්ලී සිටීමේ ව්‍යාපෘතියක සිටි නමුත් ඔහු නායකත්වය දුන් සානු-පීඑෆ් පක්ෂය ඔහු දෝෂාභියෝගයක් මගින් හෝ නෙරපා හැරීමේ උත්සාහය දිගටම පෙරට ගෙන ගිය අතර මේවනවිට ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට අසමත් වීම සහ සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේට අධික බලතල පැවරීම පිළිබඳව එම දෝෂාභියෝගය මගින් ජනාධිපතිවරයාට චෝදනා කෙරුණි. අදාළ දෝෂාභියෝගය සම්මත කර ගැනීමට දින දෙකක් ගතවනු ඇතැයි සිම්බාබ්වේ පාලක සානු පීඑෆ් පක්ෂයේ නිලධාරීහු ප්‍රකාශ කළත් ඉන් පෙරම මුගාබේගේ ඉවත්ව යාම නිවේදනය කෙරුණි.
එහෙත් අර්බුදය තවමත් අවසන් නැත. එසේම මේ සම්බන්ධයෙන් පුරෝකථනය කිරීමටද නොහැකිය. රොබට් මුගාබේ ඉතිහාසයේ රට වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් සිදු කර ඇත. ඔහුට මෙතරම් කාලයක් බලයේ රැඳී සිටීමට හැකි වූයේ ද ඒ නිසාය. එහෙත් දැන් ලැඛෙන තොරතුරු වලට අනුව උද්ගතව තිබෙන්නේ බල අරගලයකි. රොබට් මුගාබේ ඒකාධිපතිත්වයට ආසන්න ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගත් බවක් අවසාන කාලය තුළ ඇති වූයේ යයි කියන සිදුවීම් වලින් පෙන්නුම් කරයි. හමුදා පාලනයද ස්ථාවර කර ගන්නා බවක් පෙනෙන්නට නැත. සිම්බාබ්වේ හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගග්වා එරට නව ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇති බවට මතයක් දැන් කරළියට පැමිණ ඇත. දැනටමත් අර්බුද ගණනාවකට මුහුණපා සිටින සිම්බාබ්වේහි ඉදිරි ගමන මේ ව්‍යාකූල දේශපාලන තත්ත්වය විසින් කුමන දිශාවකට රැගෙන යනු ඇත්දැයි පුරෝකථනය කිරීමට තවම කල් වේලා වැඩිය.


ධනංජය සූරියබණ්ඩාර