බෝම්බ හා ඝාතන උමතුව

රට බෙදන නව ව්‍යවස්ථාව හෝ ඒ සඳහා ගෙන එන සංශෝධන සියල්ල අවශ්‍ය නොවන බවත්, ඒ සියල්ල ප්‍රතික්ෂේප වේවායි පවසමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් මහනුවර දළඳා මාලිගාව අභියස අධිෂ්ඨාන පූජාවක් සිදු කර තිබේ. එහිදී පවතින ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව ද අධිෂ්ඨාන කර තිබේ. ඒ අතර මේ දින කිහිපයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් ද එක් විය. එකක් නම්, නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නම් එයට බෝම්බ ගැසිය යුතු බවට වීරවංශ මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශයයි. තවද නව ව්‍යවස්ථාවට පක්ෂ වන අය මරා දැමිය යුතු බවට හිටපු හමුදා මේජර් ජනරාල්වරයෙකු වන කමල් ගුණරත්න ප්‍රකාශ කොට තිබේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ද නව ව්‍යවස්ථාවකට මුළුමනින්ම විරුද්ධ බවත්, එයින් ජාතික සමගියටත් සංහිඳියාවටත් ඇති ඉඩ කඩ ඇහිරෙන බවත් පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් කියා තිබේ. තවත් ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක්ම මීට ආසන්න මත ඉදිරිපත් කර තිබෙනු දැකිය හැකිය. මීට වෙනස් අදහස්ද බොහොමයක් ඉදිරිපත්ව තිඛෙන බවද දක්නට ලැබේ. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුව සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරනු ලැබීය. ඒ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඇතිවය. එමගින් පත් කරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට සියලු පක්ෂවල නියෝජනයක් ද, ඒ හරහා විද්වත් පිරිසකගේ දායකත්වය ද ලබා ගනු ලැබිණ. එම මණ්ඩලය මගින් සකස් කරන ලද මූලික වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එය විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ අදහස්, යෝජනා ඇතුළත් කර සකස් කර ඇති ලියවිල්ලකි. එහි එකම කාරණා පිළිබඳව විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ යෝජනා වෙන වෙනම ඇතුළත් කර තිබේ. එසේ කර ඇත්තේ, ඒවා තව දුරටත් සාකච්ඡා කිරීම සඳහාය. අවශ්‍ය කාලය ලබාගෙන පාර්ලිමේන්තු විවාද සිදු කර ඉන් පසු එය කෙටුම්පතක් ලෙස සකස් කළ යුතුය. එය නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුත්තකි. එම කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ද ඉන්පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක අනුමැතියකින් ද පසු ජනමත විචාරණයකට ද ලක් විය යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වීමට අදාළව පවතින ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන එසේය.
ඒ අනුව බලන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්්ව තිඛෙන්නේ කෙටුම්පත සකස් කිරීමට අවශ්‍ය මූලික වාර්තාව පමණි. එය කිසිසේත්ම අවසන් වගන්ති ඇතුළත් එකක් වන්නේ නැත. එහෙත්, දැන් මත පළ කරන බොහෝ දෙනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරති. එහෙත්, එවැන්නක් තවමත් ඉදිරිපත්ව නැත. ඉදිරිපත්්ව නැති ව්‍යවස්ථාවක් ගැන මහා කලබලයක් ඇති කරමින් බෝම්බ ගැසිය යුතු බවටත්, වෙඩි තබා මරා දැමිය යුතු බවටත් වැනි සැහැසි ප්‍රකාශ ප්‍රසිද්ධියේ කරමින් හැසිරීම සැබැවින්ම ජුගුප්සා ජනක තත්ත්වයකි. තවත් පැත්තකින් එය විකාරයකි. පවතින සැබෑ තත්ත්වය වටහාගෙන එසේ කරන අය ගැන කනගාටු විය යුතුය. දැනුම්වත්ව එසේ කරන අයට ඇත්තේ තම තමන්ගේ පටු බාල එමෙන්ම බලලෝභී වුවමනාවන් බව පිළිගැනීමට සිදු වේ.
මීළඟට වැදගත් කරුණ වනුයේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැද්ද යන්නයි. පවතින 1978 සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1977දී හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් මගින් බලයට පත් ෙජ්. ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද්දකි. එහිදී ඔහුගේ් ප්‍රධාන පරමාර්ථය වී තිබුණේ තම පුද්ගල බලය උපරිම ලෙස රැකෙන, කිසිදු නීතියක් නොතකන සුපිරි ඒකාධිපති බලයක් තමන්ට හිමි කර ගැනීමටය. ඒ අනුව කැබිනට් මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් වග නොකියන ෙජ්.ආර්.ම කී පරිදි ගැහැනියක් පිරිමියෙක් කිරීම හා පිරිමියෙක් ගැහැනියක් කිරීම පමණක් කළ නොහැකි අනෙක් සියල්ල කළ හැකි ඒකාධිපති බලයක් බිහි වූයේ ඒ අනුවය. එහි ඛේදනීය ආනිශංස කොපමණ දැයි දශක 4කට ආසන්න ඉතිහාසය පුරා ගොඩ ගැසුණු මිනී කඳු, ණය කඳු, ගැටුම්, සාගින්න, විරැකියාව ආදී දහසකුත් ඛේදවාචක සාක්ෂි දරයි.
එසේම පවතින ව්‍යවස්ථාව 19 වතාවක් මේ වන විට සංශෝධනය කර තිඛෙන අතර, ඉන් සංශෝධන 17ක්ම විධායක බලයේ අත්තනෝමතිකත්වය වෙනුවෙන් ජනතා විරෝධීව ඇති කරන ලද ඒවාය. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිළිගත නොහැකි කිසිවෙකු හෝ සිටින්නේ නම් ඔහු රට හෝ ජනතාව ගැන අබමල් රේණුවක ගෞරවයක් ඇති අයෙකු විය නොහැකිය. එසේ නැතිනම් උන්මත්තකයෙකු විය යුතුය.
නව ව්‍යවස්ථාවක් එපා යැයි කියන පාර්ශ්වයේ ප්‍රධානියෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මහින්ද චින්තන ‘ලොව දිනන මඟ’ නමින් රට පුරා ඛෙදූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අංක දෙක යටතේ ඇත්තේ පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ගැටලු සහගත බවත්, වසරක් තුළ විධායක බලය ඉවත් කර නව ව්‍යවස්ථාවක් ඇති කරන බවත්ය. වත්මන් ජනපති මෛත්‍රී ද, ආණ්ඩුව ද බලයට පත් වූයේ දින සියයක් ඇතුළත විධායක බලය ඉවත් කරන බව කියමිනි. මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු ආණ්ඩුව බලයට ගෙන ආ බලවේගවල ප්‍රධාන ඉල්ලීම වූයේ ද නව ව්‍යවස්ථාවක් බව කිසිවෙකුට අමතක විය නොහැකිය.
තව වැදගත් කාරණයක් වන්නේ පවතින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල පවරා තිබීමය. ඊට අමතරව පළාත් සභා දෙකකට අභිමත පරිදි එක්වීමට ද ප්‍රතිපාදන පවතී. මහින්ද රාජපක්ෂ සිය දස වසරක විධායක ජනාධිපති ධුරය හෙබවූ කාලය තුළ එහි අබමල් රොනකවත් සංශෝධනයක් සිදු කළේ නැත. ඒවා ඉවත් කළේ ද නැත. සැබැවින්ම ඔහු කතා කළේ 13+ හෙවත් තවත් එහා ගිය බලය ඛෙදීමක් ගැනය.
ඒ නිසා ජනතාවට හිතකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පැහැදිලිය. එහෙත් මුලින් අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ පුළුල් හා විදග්ධ සාකච්ඡාවකි. සියලු වගකිව යුත්තන්ගේ හා විද්වත් පාර්ශ්වවල අදහස්ය. එවන් සාකච්ඡාවක් පවා ප්‍රතික්ෂේප කිරීම වෙඩි තබන, බෝම්බ ගසන සාහසික ප්‍රකාශ කිරීම එක් එක් අයගේ අඳබාල පසුගාමී හා ජනතා ද්‍රෝහීත්වයේ මට්ටම් ප්‍රදර්ශනය කිරීමක් හැර අන්් යමක් නොවේ.