යුද සන්ධාන සොයා ආසියාවට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප්

ණිsryhaery
අධිරාජ්‍යවිරෝධී අධිකරණයක් හමුවේ මානව සුරක්ෂිතතාවය විභාග කළ 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල
December 5, 2017
බෙsegaerg
දකුණු රොඩේෂියාවේ අද මොකද වෙන්නෙ?
December 5, 2017
Show all

යුද සන්ධාන සොයා ආසියාවට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප්

ලුasefwe

සිය සමීපතමයන් කල්ලියක් ද ව්‍යාපාර විධායකයන් ද පිරිවරාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දු පැසිෆික් ලෙස දැන් ඇමෙරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් නිල වශයෙන් හඳුන්වන කලාපයට දින 12ක සංචාරයක් සඳහා පිටත් වන්නේ පසුගිය 3වන දිනයේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් ආසියාවට කරන දිගම නිල සංචාරය වන මෙහි අරමුණු පැහැදිලිය. කෙටි කාලයේදී ඇමෙරිකාව, උතුරු කොරියාවට එරෙහි විනාශකාරී මෙන්ම න්‍යෂ්ටික යුද්ධයක් ද ඇති කිරීමේ විභවය සහිත මොහොතක කලාපයේ තම හිතවතුන්ගේ කොන්ද කෙළින් කිරීමට මෙම ගමනේදී උත්සාහයක නිරත වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. කාලයක් පුරා ඇමෙරිකානු අධිරාජ්‍යවාදය, චීනයට එරෙහි වැඩපිළිවෙළක දියත් කළද එය අසාර්ථක වී ඇති තත්ත්වයක් තුළ එරටට ආර්ථික හා මිලිටරි පීඩනය යෙදීම තුළින් තම පිරිහෙන ගෝලීය ආධිපත්‍ය රැක ගැනීමට උත්සාහ කරයි.
ට්‍රම්ප් ඇමරිකාවෙන් පිටත් වන්නේ, තම ආණ්ඩුව මුහුණපා ඇති වියවුල හා සිය දේශපාලන ප්‍රතිවාදීන් විසින් එල්ල කරන ලද දැඩි විරෝධයක් වර්ධනය වී ඇති තත්ත්වයක් තුළය. කෙසේ වුවත් එරට ප්‍රධාන පක්ෂ දෙකටම අයත් ඇමෙරිකානු පාලක කවයන් තුළ, ඇමෙරිකානු ආධිපත්‍යයට බරපතළ අභියෝගයක් වීමෙන් චීනය වැලැක්වීම පිණිස, තමන් සතු සෑම මාධ්‍යයක්ම යොදාගැනීම පිළිබඳව ඇත්තේ එකඟත්වයකි. චීන දේශසීමාවේ ඇති උතුරු කොරියාවේ දේශපාලනය අස්ථාවර කිරීමට උත්සාහ දරන්නේ ඒ හරහා චීනය කේන්ද්‍ර කර ගත් ආසියාව තුළ එක්සත් ජනපදයට අවනත නොවන රටවල් තුළ තම බලය තහවුරු කර ගැනීමේ උපක්‍රමික සැලැස්මක් වශයෙනි.
කලාපයට නිකුත් කරනු ලැබෙන පණිවිඩය, ට්‍රම්ප්ගේ කැබිනට්ටුව තුළ සිටින ප්‍රමුඛ ජෙනරාල්වරයෙකු වන ජාතික ආරක්ෂක උපදේශක එච්. ආර්. මැක්මාස්ටර් විසින් කෙලින්ම කියා ඇත. ඔහු පසුගිය 2වනදා පැවසුවේ ‘අපගේ කාලය අවසන් වෙමින් ඇති බව හඳුනාගෙන සිටින ජනාධිපති, සියලු ජාතීන්ට පවසනු ඇත්තේ තවත් දේ කරන ලෙසයි’ යනුවෙනි.
ජපානය, දකුණු කොරියාව, චීනය, වියට්නාමය හා පිලිපීනයට රාජ්‍ය ගමනක යෙදෙන ට්‍රම්ප්, වියට්නාමයේදී ආසියානු පැසිෆික් ආර්ථීක සහයෝගිතා සමුළුවට සහභාගී විය. තමන්ට එල්ල වන නිමක් නැති විවේචන වලට අනුගත වෙමින් ට්‍රම්ප්, නොවැම්බර් 13-14 දෙදින තුළ පිලිපීනයේ පැවැත්වෙන මේ වසරේ නැගෙනහිර ආසියා සමුළුවේ පළමු දිනයේදීම එහි රැඳී සිටීම වෙනුවෙන් තම වැඩ සටහන පවා වෙනස් කරගනු ලැබීය.
ජනාධිපතිගේ ස්වෝත්තමවාදී හා නොහික්මුණු චරියාව, රාජ්‍යතාන්ත්‍රික ව්‍යසනයක් බවට පත්විය හැකි යයි කනස්සල්ලට පත්ව සිටින ඇමෙරිකානු පාලක කණ්ඩායමේ සෙසු පිරිස් සංචාරයට පෙරාතුව ට්‍රම්ප් හමුවන්නේ කවරෙක්ද, ඔහුට පැවසීමට හෝ ට්වීටර් කළ හැක්කේ කුමක්ද, ඔහුට ඇඳිය හැක්කේ කුමන පාට ඇඳුම්ද, තමන් අත නොදැමිය යුත්තේ කොතනටද යන්නත් පිළිබඳ වැඩමුලුවකට සහභාගී විය යුතු යයි අවධාරණය කළහ. වොෂින්ටනයේ සිටින ආසියානු විශේෂඥයෙක් ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවට පැවසුවේ, දී ඇති සටහන් වලට සීමා වන ලෙස ට්‍රම්ප්ට උපදෙස් දී ඇති බවයි.
ආසියාවේ ආධිපත්‍යය සඳහා ඇමෙරිකාව හා ජපානය අතර 1941 දෙසැම්බර් මාසයේ ඇරඹුණු යුද්ධයේ ඉලක්කයක්ව තිබුණු හවායි දූපත්වල පර්ල් වරායේ නාවික කඳවුරට පැමිණීමත් සමඟ ජනාධිපතිගේ සංචාරය සංකේතාත්මකව ඇරඹීය. මීට පෙර උතුරු කොරියාවට එරෙහි 21වන සියවසේ යුද්ධය සූදානම් කරන්නේ කෙසේදැයි, ඇමෙරිකාවේ පැසිෆික් අණදෙන මණ්ඩලයේ ආඥාපති අද්මිරාල් හැරී හැරිස් සමඟ සාකච්ඡා පැවැත්වුණි. මීට පෙර කිසි දිනක ඒකරාශී කර නැති, ඇමෙරිකාවේ දැවැන්තම නාවික බලඇණිය හැරිස් යටතේ තබා ඇත. දැනටමත් ප්‍රහාරක ගුවන් යානා හා පරිවාරක යාත්‍රා සහිත යුද නැව් තුනක් කොරියානු අර්ධද්වීප කලාපයට පැමිණ ඇති අතර අඩු වශයෙන් කෘෘස් මිසයිල සහිත සබ්මැරීන් දෙකක් න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ හෙළි නොකළ සබ්මැරීන සංඛ්‍යාවක් ඒ සමඟ ඇති අතර ජපාන, දකුණු කොරියානු හා ඕස්ට්‍රේලියානු යුද නැව් ද එහි තිබේ.
නාවික බල ඇණියට, ප්‍රහාරක ගුවන් යානා සිය ගණනක් සහිත යුද නැව්, බී-2, බී-1, බී-52 බෝම්බ හෙළන ගුවන් යානා, එෆ්-22 රහසෙන් ගමන් ගන්නා ප්‍රහාරක ගුවන් යානා, පස්වන පරම්පරාවේ එෆ්-35 ගුවන් යානා, එෆ්-16 ප්‍රහාරක ගුවන් යානා හා එෆ්-18 බෝම්බ හෙළන ගුවන් යානා දකුණු කොරියාවේ ගුවාම්හි, ජපානයේ හා ඇලස්කාවේ ස්ථානගත කර තිබේ.
ට්‍රම්ප් හැරිස්ට සංඥාව දුනහොත්, විනාඩි කිහිපයක් තුළ උතුරු කොරියාවට එරෙහිව කෘෘස් මිසයිල සිය ගණනක් යැවීමටත් එකකට පසුව තවෙකක් වශයෙන් ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කිරීමටත් ඔහු සූදානමින් සිටියි.
ඉකුත් 5වනදා ට්‍රම්ප් ජපානයට පැමිණියේය. ඊට පෙරාතුව, මෑතකදී යළි බලයට පත් අගමැති ෂින්සෝ අබේ සමඟ සාකච්ඡා සඳහා ඔහුගේ දියණිය වන ඉවන්කා එහි ගියාය. බලවතුන් දෙදෙනා අතර මතභේදයට ලක්ව ඇති, විශේෂයෙන්ම වෙළඳාම වැනි දේ ගැන ජපාන නායකයා ඇය සමඟ කතා නොකළේය. එහෙත් ඒවා කෙළින්ම ට්‍රම්ප් සමග කතා කළේය. ඉන් පසුව ඔවුන් 1977 හා 1983 අතර කොරියානු තන්ත්‍රය විසින් පැහැරගෙන යනු ලැබූ ජපාන පුරවැසියන්ගේ පවුල් හමු වීමට කටයුතු යොදා තිබුණි.
ජපාන ජනතාව අතර මිලිටරිවාදයට හා යුද්ධයට බරපතළ විරුද්ධත්වයක් පැවතුණද අබේගේ අන්ත ජාතිකවාදී ආණ්ඩුව, උතුරු කොරියාව මුලුමණින්ම වනසන බවට කෙරෙන ට්‍රම්ප්ගේ තර්ජනයට කොන්දේසි විරහිතව සහාය දක්වයි. එසේම ජපන් අධිරාජ්‍යවාදයට මුලුමණින්ම ගැටගැසී සිටින අබේ, තමන්ගේම අවශ්‍යතා වෙනුවෙන්, 2011 ඔබාමා ආණ්ඩුව ආරම්භකත්වය ගත් ආසියාවට හැරීම යටතේ චීනය සමඟ ගැටුම හා දැන් යුද්ධය සඳහා කෙරෙන ඇමෙරිකාවේ සූදානම සමඟ පෙළගැසී සිටියි.
ට්‍රම්ප් නොවැම්බර් 7දා දකුණු කොරියාවට පැමිණියේය. ඇමෙරිකාව, අර්ධද්වීපය තුළ යුද්ධය ඇවිලවුවහොත්, විශාල විනාශයකටද මිලියන ගණනක් දෙනා මියයාමටද හැකියාව එහි ඇත. ඒ නිසා එහිදී ඔහු රටේ ජාතික සභාව අමතන ලද්දේ ඒ බව සිහියේ තබාගෙනය.
එහිදී ඔහු අවධාරණය කරනු ලැබූයේ න්‍යෂ්ටික අවි ගොඩනැගීම වැලැක්වීමේ කඩතුරාව යටතේ, උතුරු කොරියාවට පහර දීමේ ඇමෙරිකානු සැලසුමට දකුණු කොරියාවේ සහාය ලබාගැනීමේ කාරණයයි.
දකුණු කොරියානු පාලක පන්තියේ දූෂිතකම විසින් තමන්ගේ හමුදාවේ පූර්ණ පාලනය ඇමෙරිකානු මිලිටරියට අත්පත්කර දීම මේ වන විටත් සිදු කර ඇති නිසා එම අරමුණු වලට ළඟා වීමට ට්‍රම්ප්ට විශාල බාධාවක් නොමැත.
ට්‍රම්ප් නොවැම්බර් 8වනදා චීන ජනාධිපති සී ජින්පින් සමඟ සිදු වූ හමුව ඔහුගේ පරිවාරකයන්ට විශාල හිසරදයක්ව ඇති බව වාර්තා වේ. සැබෑ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී කවදාවත් නැති තරම් ආතතිය හා ගැටුමට පසුබිම සකසමින් තිබියදී, සාකච්ඡා වලට පෙරාතුව ආණ්ඩු දෙකම, සිය බැඳීම්වල ශක්තිය පෙන්නුම් කරමින් ප්‍රකාශ නිකුත් කර ඇත.
විවිධ ඇමෙරිකානු මූලෝපායඥයන් විසින් රාජ්‍ය තන්ත්‍රයේදී අසමත් යයි සලකනු ලබන ට්‍රම්ප්ගේ කර්තව්‍යය, විසින් කළමනාකරණය කරනු ලබයිද යන්න තවම පැහැදිලි නැතත් චීනය සමඟ කළ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී තවත් ප්‍රතිවිරෝධතා ඇති කර ගැනීම ට්‍රම්ප් විසින් කරනු ලබනු ඇතැයි මීට පෙර කළ අනාවැකිය සනාථ වන ලකුණු පෙන්නුම් කර තිබේ.
එයට හේතු වී ඇති හේතු අතර පළමුවෙන්ම ඔහු අවධාරණය කර ඇත්තේ, උතුරු කොරියාව සමඟ යුද්ධයක් ඇතිවුවහොත් චීන ආණ්ඩුව පැත්තකට වී සිටිය යුතුය යන්නයි. දෙවනුව ට්‍රම්ප් අපේක්ෂා කරන්නේ, දකුණු චීන මුහුදේ දිවයින් හා ගල්පර සඳහා කෙරෙන චීන හිමිකම් පෑම ප්‍රතික්ෂේප කළ, 2016 සම්මත වූ එක්සත් ජාතීන්ගේ අධිරාජ්‍ය ගැති අධිකරණ නියෝගය චීනය විසින් පිළිගත යුතුය යන්න අවධාරණය කිරීමය. අවසාන වශයෙන් ඇමෙරිකානු හා අනෙකුත් අන්තර්ජාතික සංගත වලට චීනයේ දේශීය වෙළඳපොළට පිවිසීමේ වැඩි ඉඩකඩ සැලසීම පිළිබඳ ඉල්ලීම ඔහු ඉදිරිපත් කර ඇත.
මේ දැනට වාර්තා වී ඇති තොරතුරු පමණි. ඉන්දියාව සමඟ පැමිණි එකඟතා මෙන්ම කලාපයේ අනෙකුත් තමන්ට හිතවාදී රටවල් සමඟ ඇති සම්මුතීන් සියල්ලට ට්‍රම්ප්ගේ මේ ආසියානු සංචාරය බලපෑමක් සිදු කරනු ඇත.


ධනංජය සූරියබණ්ඩාර