රෝහින්ග්‍යා අර්බුදයට චීනයෙන් විසඳුමක්!

gj,k
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී අසාධාරණයක්
December 5, 2017
උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල
උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනක්
December 5, 2017
Show all

රෝහින්ග්‍යා අර්බුදයට චීනයෙන් විසඳුමක්!

රෝහින්ග්‍යා අර්බුදයට චීනයෙන් විසඳුමක්!

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව නැවත සිය රට වෙත ගෙන්වා ගැනීමට බංග්ලාදේශය සමඟ කඩිනමින් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන්සාන් සූකී විසින් ප්‍රකාශ කර තිබේ. පසුගිය අගෝස්තු මාසයේ දී මියන්මාර හමුදාව විසින් දියත් කරනු ලැබූ මර්දනයත් සමඟ 6,00,000කට අධික වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ.
ඇය මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ ආසියානු සහ යුරෝපා රටවල විදේශ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මියන්මාරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. එසේම රඛයින් ප්‍රාන්තයේ ස්ථාවර භාවය වෙනුවෙන් කළ හැකි සියල්ල සිදු කරන බවට ද වැඩිදුරටත් අදහස් දක්වමින් සූකී ප්‍රකාශ කළාය. ඇති වූ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සූකීට දැඩි විවේචනයක් මේ වන විට එල්ල වී ඇත.
මේ අතර රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘ඇම්නෙස්ටි ජාත්‍යන්තරය’ ප්‍රකාශ කරනුයේ, මියන්මාරයේ වෙසෙන රෝහින්ග්‍යා ජනයා රාජ්‍ය අනුග්‍රහය ඇතිව නොසලකා හැරීමකට ලක් කර ඇති බවය. එම සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව රෝහින්ග්‍යා ගම්මාන හඳුන්වා ඇත්තේ, එළිමහන් සිරකඳවුරු ලෙසය. කෙසේ නමුත්, රෝහින්ග්‍යා කැරලිකරුවන් පමණක් සිය මෙහෙයුම්වල ඉලක්කය වී ඇති බව පවසන හමුදාව සාමාන්‍ය වැසියන් හට වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.
මෙසේ පලා ගිය රෝහින්ග්‍යා ජනතාව මියන්මාරයට රැගෙන ඒම සඳහා අදියර තුනකින් යුත් වැඩපිළිවෙළක් චීනය විසින් පසුගිය නොවැම්බර් 20 වැනිදා යෝජනා කරනු ලැබීය. මෙහිදී අදහස් දැක් වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී කියා සිිටියේ, පළමුව රඛයින් ප්‍රාන්තය තුළ සටන් විරාමයක් ඇති කළ යුතු බවය. අනතුරුව එම වැසියන් නැවත මියන්මාරයට රැගෙන ඒම සඳහා ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුමක් සෙවිය යුතු බවත්, අවසානයේ දුගී භාවය අඩු කිරීම මත පදනම් වූ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවටත් වැඩි දුරටත් අදහස් දක්වමින්, හෙතෙම ප්‍රකාශ කර සිටියේය.


ධනංජය සූරියබණ්ඩාර