ව්‍යවස්ථාව ගැන උඩු බිරීම ඇත්ත හඩ කාගේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංවාදයක් රටේ යම් පිරිසක් අතර ඇතිව තිබේ. එය නරක දෙයක් යැයි කීමට නොහැකිය. මේ සඳහා පාදක කරගෙන තිබෙන්නේ කන්දක් විලි ලා මී පැටවකු වැදුවා වැනි දෙයක්ය. දැනට වසර දෙකහමාරක පමණ පෙර සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කරන ලද මහජන අදහස් භාර ගැනීම්, වෙනත් යෝජනා භාර ගැනීම් ආදී කටයුතුවල ප්‍රතිඵලයක් සේ එළියට දා තිබෙන එක එක වර්ගයේ කරුණු ය මේ. මෙය පාදක කොටගෙන හරවත් සංවාදයක් රට තුළ ඇති වන්නේ නම්, ඉතාම අනර්ඝය. නමුත්, සිදුව තිබෙන්නේ එවැන්නක් නොවේය. උඩුබුරලීම් ප්‍රමාණයක්ය. ලබන අවුරුද්දේ ජනවාරි මස පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කොටගෙන පරාජයෙන් වියරු වැටුණු කල්ලියකගේ උඩුබුරලීම් ප්‍රමාණයක්ය.
උඩුබුරලීම් හමුවේ වුවද, යම් සාධනීය සංවාදයකට පාර කපා ගැනීමට කිසියම් ඉඩක් හෝ ඇත්නම්, එය සලසා ගැනීම අවශ්‍යය. ජවිපෙ නායකයා පසුගිය සති අන්තයේ ඒ වෙනුවෙන් තම සූදානම ප්‍රකාශ කර තිබිණි. වීරවංසගේ නායකයා වූ මහින්ද රාජපක්ෂ සමඟ ව්‍යවස්ථාව පිළිබඳව සංවාදයකට තමන් සූදානම් බවද, වීරවංස සමඟ සංවාදයකට තම පක්ෂයේ සුදුසු පුද්ගලයකු ඉදිරිපත් කිරීමට ද සූදානම් බවද ප්‍රකාශ කර තිබිණි. රට තුළ පවතින උඩුබුරලීම් මහජනතාවට ප්‍රයෝජනවත් සංවාදයක් බවට පත් කර ගැනීමේ දශමයක හෝ අවශ්‍යතාවයක් ඇත්නම්, මේ ඒ සඳහා කරන ලද සුබදායී පෙළඹවීමක් නොවන බව කිසිවෙකුටත් කිව හැකිද?
දැන් ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම් පතේ කරුණු කාගේද? එය කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකගේ හිතලූවක්ද? එසේ නොවේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් සිටින පක‍ෂ හෝ විවිධ කණ්ඩායම්වල නියෝජිතයන්ගේ යෝජනාවලින් සකස් කරන ලද එකක්ය. එනිසා ඉදිරිපත් කර තිබෙන කරුණු තුළ එකිනෙකට පරස්පර විරෝධී තත්ත්වයන් පවා ඇතුළත්ව තිඛෙන බව පැහැදිලිය. එසේ වුවත්, එහි ඇති කරුණු කිිසිවෙකුට හොර රහසේ සම්පාදනය කළ ඒවා නොවේය. දිනේෂ් ගුණවර්ධනගේ පූර්ණ අවබෝධය (මතක තබා ගන්න පූර්ණ අවබෝධය මිස එකඟතාවය නොවේය.) සහිතව ඉදිරිපත් කරන ලද ඒවාය. එළියේදී ගැලරිය පිනැවීමට රෙද්ද උස්සන්නේ තමන්ගේ අවබෝධය සහිතව ඇතුළත් කළ වගන්තිවලටය. අවස්ථාවාදී ජඩ දේශපාලනයේ ස්වභාවය එය වේ.
දිනේෂ්ලා ගෙන යන මේ අවස්ථාවාදී ජඩ දේශපාලනයට ඇතැම් භික්ෂූන් වහන්සේ ද හසු වී සිටින බව කනගාටුවෙන් වුව ද සඳහන් කළ යුතුය. මේ භික්ෂූන් සත්‍ය වශයෙන්ම පෙනී සිටින්නේ ජනතාව හෝ රට හෝ වෙනුවෙන් නොවේය. බලලෝභී ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලනයේ වුවමනාවන් වෙනුවෙන්ය. ඒ තුළ සිටින බොහෝ භික්ෂූන් වහන්සේ හැඟීම්වලින් මිස කිසිම දේශපාලන අවබෝධයකින් නොසිටින බව පැහැදිලිය. තවත් භික්ෂූන් පිරිසක් දැන දැනම බලලෝභී අවස්ථාවාදී දේශපාලනයේ වුවමනා වෙනුවෙන් පෙනී සිටින බවද එතරම්ම පැහැදිලි වී තිබේ. වේදිකා මත දී කරන කතා සහ එම කතා කරන ආකාරය අනුව ඒ බව පැහැදිලි වේ.
පසුගිය සතියේ රූපවාහිනී ප්‍රවෘත්තිවලින් දකින්නට ලැබුණු එක් භික්ෂුවක් ප්‍රකාශ කළේ පවතින ව්‍යවස්ථාව කිසිදු ලෙසකින්වත් වෙනස් නොකළ යුතු බවය. පවතින එක හොඳ බවය. මේ වැනි කතාවලින් පැහැදිලි වන්නේ අවස්ථාවාදී දේශපාලක උන්මත්තකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම මිස අනෙකක් නොවේය. මේ අවස්ථාවාදී දේශපාලනයේ මහින්ද රාජපක්ෂ පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන ද සිටින බව හොඳින් බැලීමේදී දැකිය හැකිය. 19 වැනි සංශෝධනයෙන් පවතින ව්‍යවස්ථාවේ පිහාටු දෙක තුනක් යාන්තම් උගුල්ලා දැමුව ද, වඩාත් ශක්තිමත් බලයක් තිබෙන්නේ විධායක ජනාධිපතිටය. තිඛෙන ව්‍යවස්ථාව එලෙස තිබීමේ අතිශය වැඩි වාසි කොටස ඇත්තේ අන් කවරකුටවත් වඩා වැඩියෙන් ජනාධිපතිවරයාටය. ‘අලුත් ව්‍යවස්ථාවක් ඕනත් නෑ. මේ තියෙන එකේ මොකවත් සංශෝධන ඕනත් නෑ’ යන ප්‍රකාශයේ ගෙඩි පිටින් වාසි තිඛෙන්නේ ජනාධිපති මෛත්‍රීටය. ඒ හැර රනිල්ට හෝ මහින්දට එක එල්ලේ ඵල දරනා කිසිවක් මේ තුළ නොමැත. අවස්ථාවාදී දේශපාලනයේ දෙපත් නයා මෙසේය.
මේ බව හොඳින් සිහි තබාගෙන තවත් මානයකට යොමු විය යුතුව තිබේ. එය නම්, පවතින ව්‍යවස්ථාව සම්පාදනය කළ අරමුණු පදනමින් තේරුම් ගැනීමය. 1977 පැවති මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායක ෙජ්.ආර්. ජයවර්ධන ඉදිරිපත් කළ ‘ඡන්ද පාඨය’ වූයේ ‘නිදහස්, නිවහල්, ධර්මිෂ්ට සමාජයක් බිහි කරමු’ යන්නය. මෙවැනි ඡන්ද පාඨයක් ඉදිරිපත් කිරීමෙන් පමණක් ජයග්‍රහණය අත් කර ගත නොහැකිය.’නිදහස්, නිවහල්, ධර්මිෂ්ට සමාජයක්’ යන්න මාර්කට් කළේ ‘ඇට රාත්තල් අටක් නොමිලේ දෙනවා’ යන්න හරහාය. ෙජ්.ආර්. ජයවර්ධන එදා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ආණ්ඩුවක් යටතේ සෑම පවුලකටම සතියකට ධාන්‍ය රාත්තල් අටක් නොමිලේ ලබා දෙන බවය. මේ දෙකම එක් කර ප්‍රකාශ කරන ලද්දේ ‘සුඛිත මුදිත නිදහස්, නිවහල්, ධර්මිෂ්ට සමාජයක්’ බිහි කරන බවය. හයෙන් පහක ඡන්ද බලය ගත්තේ මේ ‘ඡන්ද පාඨ’ විකිණීමෙන්ය.
ලද හයෙන් පහේ බලය උපයෝගී කරගෙන එක් පැත්තකින් ‘විවෘත ආර්ථීකය’ හඳුන්වා දුන් අතර, අනෙක් පැත්තෙන් අලුත් ආර්ථීක ක්‍රමය බාධා රහිතව ක්‍රියාවට නැගිය හැකි පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරයකු ස්ථාපිත කිරීමේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනු ලැබීය. ඇට රාත්තල් අටක් නොමිලේ ලබා දෙන බව ප්‍රකාශ කළ ජේ.ආර්. ජයවර්ධන දුප්පත් ජනතාවගේ හාල් පොතට කෙළියේ මේ ව්‍යවස්ථාවෙන් ලබා ගන්නා ලද මහානුභාවසම්පන්න ජනාධිපති ධුරය යොදා ගනිමින්ය. ජේ.ආර්. හඳුන්වා දුන් විවෘත ආර්ථීකය කොතරම් ජන හතුරකු දැයි අත්තටු විදහා කියාපාන්නට පටන් ගත්තේ මෙයින්ය. හාල් පොත් කප්පාදුවට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව දැවැන්ත විරෝධතා පැවැත්වීය. ඒ සියල්ල මර්දනය කරන ලද්දේ මේ ව්‍යවස්ථාව උපයෝගී කරගෙනය. ජනතාව ‘සුඛිත මුදිත’ කිරීම පණ පිහිටුවා කි්‍රයාත්මක කිරීම ඇරඹියේ ජනතාවගේ දූ පුතුන් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැවැන්ත මර්දනයකට ලක් කරමිනි.
විවෘත ආර්ථීකයේ විනාශකාරී අඩුපඩු රැසක් අතුරින් පොඩි මිනිහාගේ බඩ පිටපොත්තට ඇලවීම අනිවාර්යය කර තිබුණේය. බඩු මිල වේගයෙන් ඉහළ ගොස් ජනතාවට ජීවත් වීමේ අයිතිය වෙනුවට පරඩැල් බවට පත් කෙරෙමින් තිබිණි. ඇට රාත්තල් අට නොමිලේ ලබා දීම පෙන්වා ඒ දක්වා තිබුණු ජීවන තත්ත්වය ද කොල්ල කා ඉතා අතළොස්සක් වෙත ධනය ගොඩගැසීමේ ක්‍රියාවලියට මුලපුරා තිබීම විශේෂයෙන් රජයේ සේවකයන්ට දරාගෙන සිටිය නොහැකි තත්ත්වයකට පත්ව තිබිණි. 1980 ජූලි මහා වැඩ වර්ජනය දියත් කෙරෙන්නේ ජේ.ආර්.ගේ ආර්ථීකයේ රෞද්‍ර බවේ ප්‍රතිඵලයක් ලෙසය. ජේ.ආර්.ගේ විධායක ජනාධිපති බලය සහ ඔහු වටා තිබූ හයෙන් පහේ බලයට දශමයක හෝ අභියෝගයක් වෘත්තීය සමිතිවලට කළ නොහැකි සේ මර්දනය දියත් කරන ලදී. ජේ. ආර්. විසින් අනාගත නායකත්ව බලාපොරොත්තුදී තිබූ ඔහුගේ සමීපතමයන් කීප දෙනා අතර කෙනෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මෙයට ප්‍රතිචාර දැක් වූයේ වර්ජකයන් කනත්තට දක්කන බව කියමින්ය. කතාවට පමණක් සීමා නොකර එය ක්‍රියාවට නැගුවේ මර්දනය දියත් කර 80,000ක් දෙනා රැකියාවලින් නෙරපා හැර ගෙදර යැවීමෙන්ය. ‘මොකවත් සංශෝධන ඕනෑ නෑ. තියෙන එක හොඳයි’ යැයි කියන්නේ මෙවැනි ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්ය.
හිටපු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලිවලට කැඩීමේ කල්ලි බිහි කිරීමට ජේ.ආර්. යොදා ගන්නා ලද්දේ මේ ව්‍යවස්ථාවේ හයියමය. එයින් නොනැවතී විරුද්ධ දේශපාලන පක්ෂ මර්දනය කර තම බලය වර්ධනය කර ගැනීමට ව්‍යවස්ථාව යොදා ගනු ලැබීය. 1983 කළු ජූලියට මුවා වී පක්ෂ ගණනාවක් තහනම් කර මර්දනය දියත් කළ ආකාරය ඉතිහාසයෙන් ඉගෙන ගත යුතුය. කළු ජූලිය ඇති කළේ ද, එය උපයෝගී කරගෙන තමන්ගේ අනාගත අභියෝග මුලිනුපුටා දැමීමට ක්‍රියා කළේ ද මේ ව්‍යවස්ථාවේ ආනුභාවයෙන්ය. එවැනි සංදර්ශන ඕනෑ තරම් තිඛෙන අතර, ජේ. ආර්.ට පසු ප්‍රේමදාස, චන්ද්‍රිකා සහ මහින්ද දක්වාම මේ වැනි මර්දනවලට යොදා ගත්තේ ඇතැම් භික්ෂූන් කිසිවක් වෙනස් නොකළ යුතු බව කියන මේ ව්‍යවස්ථාවමය.
එදා 1978දී ජේ.ආර්. ගෙන ආ ව්‍යවස්ථාව සංශෝධනය නොකර යොදා ගන්නා ලද්දේ මේ ලෙස ය. එහෙත්, ජේ.ආර්.ට තමන්ගේ බලය වර්ධනය කර ගැනීමටත්, මර්දනය දියත් කිරීමටත් එක රැයෙන් හඳුන්වා දුන් ව්‍යවස්ථාව ඒ ලෙසම ප්‍රමාණවත් නොවීය. එනිසා එයට සංශෝධන එක් කිරීම ඇරඹීය. මුලින්ම සංශෝධනය සිදු කරන ලද්දේ එදා විපක්ෂයේ නායකත්වය දරන ලද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීම සඳහාය. එදා ජේ.ආර්. එය හැඳින්වූයේ ‘තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය’ ලෙසය. නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලැබීය. 1982 අගෝස්තුවේ ලංකාවේ පළමු ජනාධිපතිවරණය පවත්වන්නේ එම සංශෝධනය අනුව ජේ.ආර්.ගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේය.
ඉන් පසු හයෙන් පහේ පාර්ලිමේන්තු බලය රැක ගැනීමට ‘ලාම්පු – කළගෙඩි සෙල්ලම’ පැවැත්වීය. එයින් පරාජය වූ මැතිවරණ කොට්ඨාසවලට අතුරු මැතිවරණ පැවැත්වීම අමතක කළ නොහැකි සන්ධිස්ථානය. ලාම්පු – කළගෙඩි සෙල්ලම ඉතිහාසයේ අන්ත දූෂිතම ඡන්ද විමසීම බවට පත් විය. අතුරු මැතිවරණ ජය ඊට නොදෙවැනි මර්දනයකින් කොල්ල කා ගන්නා ලද ඒවාය. මේ ආදී වශයෙන් තමන්ගේ බල උමතුව වර්ධනය කර ගැනීමට සහ අනෙකුත් පාර්ශ්වයන් මර්දනය කිරීමට දහහත් වරක් සංශෝධනය කරන ලද ව්‍යවස්ථාවකි පවතින ව්‍යවස්ථාව. මොනම වෙනසක් හෝ නොකර තිබෙන එක හොඳ බව කියන්නේ මේ ෆැසිස්ට් ව්‍යවස්ථාවටය.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දී වසර හතළිහක් පිරෙන විට 19 වතාවක් සංශෝධනය කර තිබේ. එයින් 17 වැනි සහ 19 වැනි සංශෝධන හැර අනෙකුත් සියලු සංශෝධන කරන ලද්දේ ඒකාධිපති නායකයකු බිහි කිරීම උදෙසාය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එවැනි නායකයකුගේ පිහාටු කිහිපයක් ගලවනු ලැබුව ද, මහින්ද රාජපක්ෂ විසින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත්, ජේ. ආර්.ට නොහැකි වූ දිවි ඇති තෙක් ඒකාධිපති රජ වීමේ හීනයට පසුබිම සකස් කර ගන්නා ලදී. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එකී බලය යාන්තම් ඉවත් කරනු ලැබීය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය තිබිය යුතු බවය. මේ තුළ ‘මොකවත් සංශෝධන ඕනෑ නෑ. තියෙන එක හොඳයි’ යනුවෙන් මොර දෙන්නේ මහින්දගේ බල උමතු වේදිකාවලදී බව සැබෑය.
නමුත්, මේ හඩේ ඇත්ත අයිතිකරුවා මෛත්‍රී බව ඉතා පැහැදිලිය. විවෘත ආර්ථීකය හඳුන්වා දී වසර හතළිහක් වන තැන, මේ ව්‍යස්ථාවට වසර හතළිහක් වන තැන, රට හෙළා තිබෙන මහා අගාධයෙන් ගොඩ ගැනීමට ව්‍යවස්ථා සංශෝධනවලට නොහැකිය. එයින් රට ගොඩ ගැනීමට පුළුල් ආර්ථීක, දේශපාලන පරිවර්තනයක් අවශ්‍යය. එම පුළුල් ආර්ථීක, දේශපාලනික පරිවර්තනයට පදනම දමා ගැනීමේ වඩා වැඩි ඉඩක් සඳහා වූ උපකරණයක් වශයෙන් පමණක් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ අරගලයක් රට තුළ ඇති විය යුතුය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර