සාමා – අමර… සල්මල් පයට පෑගෙමින් තිබේ

ආවේrsgaher
කුණු කන්දකට යට කරන මුතුරාජවෙල අභය භූමිය
December 5, 2017
බෝම්බ හා ඝාතන
බෝම්බ හා ඝාතන උමතුව
December 5, 2017
Show all

සාමා – අමර… සල්මල් පයට පෑගෙමින් තිබේ

ලුsdgrwt

මිනිස් සබඳතා පිළිබඳ කතා බහ කිරීමේදී ඒවාට ගරු කළ සමාජයක්, ඉතිහාසයක් පැවති බව අප අසා ඇත. නමුත් වර්තමානය වන විට ඒ පිළිබඳ කතා බහ කිරීමට සිදුව ඇත්තේ ඊට එරෙහිව යන පරස්පර සිදුවීම් පිළිබඳවය. මන්ද එසේ සම්ප්‍රදායිකව පැමිණි මානව ගුණයන් අද වන විට අමු අමුවේ ඝාතනය වීම නිසාවෙනි. එසේ පිරිහුණු මානව ගුණය පිළිබඳව කදිමට ගැලපෙන නිදසුන් පසුගිය දිනවල මඩාටුගම රේවත විද්‍යාලයෙන් වාර්තා විය. ඒ එම පාසලේ 10 වසරේ ඉගෙනුම ලැබූ දැරියගේ කතා පුවතකි.
මේ දැරියගේ කතා පුවත සැකෙවින් මෙසේය. ඕ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන දැරියකි. ඇය අනෙක් ගැහැනු දරුවන්ට වඩා පාසලේ දඟකාර දැරියක් වූවාය. ප්‍රේම සබඳතාවක් මෙන්ම ජනප්‍රිය වර්ගයේ ජංගම දුරකථනයක්ද ඇය සතු වී තිබිණි. දිනක් ඇය සිය ප්‍රේමවන්තයා සමග චිත්‍රපටයක් බැලීමට ගොස් ඇත. ඇය ඒ ගැන යහළුවන් අතරේ කතා බස් කර ද තිබේ.
පසුගිය ඔක්තෝබර් 01 වන දිනයට යෙදී තිබූ ලෝක ළමා දිනයේදී ඇයට වමනය යාම හේතුවෙන් පාසලේ ගුරුවරයෙකු ප්‍රශ්න කර ඇති අතර, ඇයගේ වමනයට හේතුව වශයෙන් ඇය එහිදී ඉදිරිපත් කර තිබුණේ උදේ ආහාරය ලබා ගැනීමට නොහැකි වූ නිසා එසේ වමනය යාමට හේතු වී ඇති බවය. ගුරුවරයාද එය තේරුම්ගෙන ආපන ශාලාවෙන් යම් දෙයක් ආහාරයට ගන්නා ලෙස සුළු මුදලක් ඇය අත තබන්නේ මේ දැරිය ඉතා දිළිඳු පවුලක දැරියක් නිසාය. නමුත් ඉන් දින තුනකට පමණ පසුවද ඇයට වමනය ගොස් තිබේ. එනිසා මේ දැරිය පිළිබඳව ගුරුවරුන් සැක කරන්නට පටන් ගෙන තිබේ. විදුහල්පතිවරිය ඇතුළු විනය මණ්ඩලය සැක පළ කරනු ලැබ ඇත්තේ දැරිය ගැබ් ගෙන ඇති බවත් ඒ නිසා මෙසේ වමනය කරන බවත්ය. ඒ සැක කිරීම මත මේ දැරියව පාසලෙන් ඉවත් කර තිබේ.
සාමාන්‍යයෙන් විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධව පාසල් බලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබේ. එහෙත් මෙහිදී ඒ කිසිවක් සිදු වී ඇති බවක් නොපෙනේ. පාසල් වයසේ දරු දැරියන් එසේ පාසලෙන් සෘජුවම ඉවත් කිරීමට පාසල් විදුහල්පතිවරුන්ටත්, පාසල් විනය මණ්ඩලයටවත් නොහැකිය. එය සිදු විය යුත්තේ ඉහළ සිට පහළට පිළිවෙළින් මේ පිළිබඳව විදුහල්පතිවරුන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මැදිහත් වී කරන පරීක්ෂණයකින් අදාළ සිසුවා වැරදිකරුවෙකු වුවහොත් පමණි. දැරිය පාසලෙන් ඉවත් කරන විට එසේ කිසිදු නිසි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර නොතිබිණි. මේ සිදු වීම නිසා දැරිය මෙන්ම දැරියගේ දෙමාපියෝද මහත් අපහසුතාවයකට පත් වූහ. මේ දෙමාපියන් තම දැරිය සත්‍ය වශයෙන් ගැබ් ගෙන තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා රෝහලට රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනු ලැබිණි. නමුත් එම වෛද්‍ය පරීක්ෂණය තුළින් මේ දැරිය ගැබ්ගෙන නැති බව බව ඔප්පු විය.
කුඩා කාලයේදී සිසුන් හට ජීවිත අත්දැකීම් ඉතා අල්ප බැවින් යම් යම් දේ නොදැනුම්වත්වම සිදු කරයි. එනිසා පාසල් වයසේ පසුවන සිසු දරු දැරියන් විසින් සිදු කරනු ලබන විවිධ දෑ පිළිබඳව මනා අවබෝධයක් ගුරුවරයා හට තිබිය යුතුය. එහිදී සිසුන් උචිත අයුරින් පාලනය කර එහි ඇති අනිටු ප්‍රතිඵලයන් වටහා දීමත් ගුරු අත්දැකීම් මත පදනම් වෙමින් දරුවන්ට අනාගතය සාර්ථක කර ගැනීම සඳහා නිසි මඟ පෙන්වීමත් ගුරු භූමිකාව තුළ සුවිශේෂී අංගයකි. නමුත් අද සමාජය තුළ එසේ පැවතිය යුතු ගුරු භූමිකාව, හුදෙක් ගුරු – සිසු ගනුදෙනුවකට පමණක් සීමා වී තිබේ. ඒ නිසා මෙවැනි කනගාටුදායක සිදු වීම් වර්තමානයේදී අසන්නට දකින්නට ලැඛෙනුයේ නිරායාසයෙනි. එක් අතකින් එය එසේ වෙද්දී මෙවැනි ප්‍රේම සබඳතා පිළිබඳව කතා කිරීමේදී සමාජය විසින් දක්වන ප්‍රතිචාරද ඉතාම පටු කුහක තැනකට පත්ව තිබේ.
ලිංගික අධ්‍යාපනයද පාසල් විෂය නිර්දේශයට යම් තරමකින් ඇතුළත් වී ඇතත් එය අල්ප වශයෙන් දරුවන් වෙත සම්ප්‍රේෂණය වීම නිසා මෙවන් තත්ත්වයන් ඇති වේ. යම් දෙයක් පිළිබඳව නිසි අධ්‍යාපනයක් නිසි ආකාරයට නොලැබීම නිසාද ඉහත තත්ත්වයන් ඇති වීමට හේතු වන බව කාටත් අත්දැකීමෙන් වුව තහවුරු වී ඇත. එනිසා මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට පාසල් විෂය නිර්දේශය තුළට ලිංගික අධ්‍යාපනය යන්න ඇතුළත් විය යුතු අනිවාර්ය අංගයකි. එසේම සමාජය තුළින්ද මෙවන් ප්‍රේම සබඳතාවක් පිළිබඳව සැල වූ විගස ඇති වන සංවාදයන්ද අන්ත පසුගාමී මට්ටමක පවතී. එයට ප්‍රධානම හේතුව වන්නේ ලිංගිකත්වය පිළිබඳව සමාජය තුළ විවෘත සංවාදයක් නොපැවතීමයි.
ලිංගිකත්වය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වන අතර එය මානව අයිතියකි. නමුත් ඒ අයිතින් පිළිබඳව පවා නිවැරදි සංවාදයක් සමාජය තුළ නැත. සංවාද ඇති කිරීම සඳහා අවශ්‍ය පසුබිමක් සැකසීද නොමැත. එවන් වටපිටාවක් තුළදී මෙසේ ඇති වන පසුගාමී මත දුරු කර උසස් මානව සබඳතා වර්ධනය කරමින් යහපත් සමාජයක් ගොඩනගා ගැනීමට නොහැකි වෙයි. සමාජය තුළ බිහි වී ඇති පසුගාමී ආකල්ප දුරුකොට එවන් සමාජය ක් බිහි කිරීමට තවමත් ප්‍රමාද නැත්තේය.
වර්තමානය පවතිනුයේ විවෘත ආර්ථීකයකි. එමගින් විවෘත ආර්ථීකයට කොටු වූ මුදල් පසුපස හැල්මේ දුවන සමාජයක් වර්තමානයේ අපට අත්ව තිබේ. මේ සමාජ ක්‍රමය තුළදී ‘බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න’ මිනිස්සු පුරුදු වී සිටිති. ඒ නිසා සමාජය තුළ ළමා අපචාර, මත්ද්‍රව්‍ය භාවිතය යනාදී මිනිස් ජීවිත විනාශ කරන මහත් ඛේදවාචකවලට අහිංසක මිනිසුන් ගොදුරු වීම පමණක් නොව ලිංගිකත්වය විකුණාගෙන කෑමද සිදු වෙයි. ඒ හේතුව නිසා පාසල් වයසේ පසුවන බොහෝමයක් දරු දැරියන් අපචාර සඳහා පහසුවෙන් ඉලක්ක වෙයි.
රට තුළ පවතින නීතියද එසේමය. රටේ නීතිය පාලකයාට කැමති ආකාරයට සාදාගෙන ඇති අතර, එමගින් මානව සබඳතා ආරක්ෂා වන පරිදි හෝ සමාජය ගොඩනැගීම සඳහා හෝ ඒවා සම්පාදනය වී නොමැත. ඒ තුළින්ද මිනිසුන්ගේ මානව සම්බන්ධකම් කුණු කොල්ලයට දමා තිබේ. එවන් සමාජයක මිනිසුන්ගේ සිතුවිලි පවා කුරිරු ම්ලේච්ඡත්වයට පත්ව තිඛෙන අතර, ඒ ම්ලේච්ඡත්වයෙන් බලන සෑම කෙනෙකුටම කුමක් හෝ සිදුවීමක් මුල් කරගෙන කටකතා සෑදීම පුරුද්දකට ගොස් තිබේ. මඩාටුගම විද්‍යාලයේ දැරියට එල්ල වන චෝදනා එම ම්ලේච්ඡත්වයේ හැඟීමෙන් එල්ල කරන ලද ප්‍රහාරයන්ය.
එබැවින් මෙම කුරිරු සමාජ ක්‍රමය තුළ නැති වී ගිය මානව සබඳතාවයන් වහ වහා ගොඩනැගීම උදෙසා සියලු දෙනා කටයුතු කළ යුතුය. මන්ද රටක් වශයෙන් ගොඩ ඒමට නම් අන්‍යෝන්‍ය සබඳතාවය වර්ධනය විය යුතු නිසාවෙනි. නමුත් මේ පවතින ධනවාදී විවෘත ආර්ථීකය තුළින් එවන් උසස් මානව ගුණයන්ගෙන් හෙබි ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කරනවා තබා සිතන්නටවත් නොහැකිය. එනිසා වහාම මේ ගඳ ගහන සමාජ දේහය බිඳ වට්ටවා යහපත් මිනිසුන්ගෙන් පිරි, යහපත් ආකල්පයන්ගෙන් හෙබි, මිනිසුන්ට ජීවත් වීමට සුදුසු සමාජයක් ගොඩනැගීම හැර අන් විකල්පයක් ඇත්තේම නැත.


ධනංජය සූරියබණ්ඩාර