අරාබි ලෝකයේ සතුරු රටවල් දෙකක අලුත්වන කතාව

fhjdj
නුඹ නාඩං… නුඹ නාඩං… නුඹට මේවා හොද පාඩම්
December 12, 2017
23897855_10155823281072356_1591272799_n-600x360-1200x762_c
සෑම තෙදිනකටම වරක් කාන්තාවක් මරා දමන රටක්
December 12, 2017
Show all

අරාබි ලෝකයේ සතුරු රටවල් දෙකක අලුත්වන කතාව

ලුerhyre5

මැදපෙරදිග කලාපය වූ කලී යුද ගැටුම් ගණනාවකටම හේතුපාදක වූ භූමි ප්‍රදේශයකි. ගල්ෆ් යුද්ධය, සිරියානු යුද ගැටුම්, ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ඇති වී තිබෙන ගැටුම් ඇතුළුව කලාපය පුරාම උණුසුම් වන ගැටුම්කාරී තත්ත්වයක් අඛණ්ඩවම දකින්නට ලැබේ. ඒවාට වෙනත් රාජ්‍යයන්ගේද මැදිහත්වීම් ඇතැම් අවස්ථා වල පෙනෙන්නට තිබෙන අතර සිරියානු යුද තත්ත්වයට වන විදෙස් මැදිහත්වීම ඒ සඳහා හොඳම උදාහරණයකි.
මෙවැනි දීර්ඝ කාලීන ප්‍රතිවාදීන් වන සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින උණුසුම මෑත දී යළි ඉහළ ගොස් ඇත. අසල්වැසියන් වන සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින ආරවුල දශක ගණනාවක් ඔබ්බට දිව යන අතර දෙරට අතර පවතින ආගමික වෙනස්කම් ඊට රුකුලක් වී තිබේ. සෞදි අරාබිය සහ ඉරානය ඉස්ලාම් ධර්මයේ පවතින මූලික නිකායන්හි අනුගාමිකයෝ වෙති. ඉරානයේ බහුතරය ෂියා මුස්ලිම් භක්තිකයන් වන අතර සෞදි අරාබිය විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ ප්‍රමුඛ පෙළ සුන්නි මුස්ලිම් රාජ්‍යයක් ලෙසය.
රාජාණ්ඩුවක් පවතින සෞදි අරාබිය විසින් තමන් හඳුන්වාගනු ලැබුවේ මුස්ලිම් ලෝකයේ නායකයා ලෙසය. කෙසේ නමුත් ආගමික රාජ්‍යයක් බවට පත්වෙමින් 1979 වසරේ සිදු වූ ‘ඉරාන විප්ලවය’ සෞදි අරාබියේ එම මතයට අභියෝගයක් විය. ආගම සහ රාජ්‍යය එකක් වීමේ දර්ශනය සිය දේශසීමාවෙන් ඔබ්බට අපනයනය කිරීම ඉරානයේ අරමුණක් විය. විශේෂයෙන් පසුගිය වසර 15 තුළ සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින වෙනස්කම් තියුණු වීම කෙරෙහි සිදුවීම් ගණනාවක් බලපා තිබේ.
2011 වසරේ සිට අරාබි ලෝකය පුරා ක්‍රියාත්මක වූ ජනතා උද්ඝෝෂණ සහ කලාපය තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇති වීම විසින් ඇති කළ තත්ත්වයට ඊට ආසන්න රටවල් මැදිහත්වීම් සිදු කරනු ලැබූ අතර ඉරානය සහ සෞදි අරාබිය යන දෙරට සිරියාව, යේමනය සහ බහරේනය තුළ සිය බලපෑම ව්‍යාප්ත කිරීම සඳහා එම තත්ත්වය උපයෝගී කර ගත්හ. එකිනෙකා අතර පැවති සැකය තවදුරටත් ඉහළ යාම ද ඉන් සිදු විය.
මතුපිටින් පෙනෙන කාරණාව එය වුවත් එය අභ්‍යන්තරයේ ඇත්තේ ලෝක බල අරගලයේම ප්‍රකාශනයකි. ඉරානය සහ ඉරාකය අතර වසර ගණනාවක් දිග් ගැස්සුණු යුද්ධයේදී එවකට පැවති සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සීතල යුද තත්ත්වය ඊට අනුබල දෙනු ලැබීය. ඒ නිසා සෝවියට් දේශය ඉරානයටත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාකයටත් සහාය දැක්වූ බව කවුරුත් දන්නා කරුණකි. ඉන් පසුව ඇති වූ දෙවන ගල්ෆ් යුද්ධයේදී සහ සදාම් හුසේන් පන්නා දැමීමේ ව්‍යාපෘතියේදී සෞදි අරාබිය තම සහචරයා කර ගනිමින් සිය මැදිහත්වීම සිදු කරනු ලැබූ අතර ඒ මගින් අවසානයේ මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපද සමීපතමයා බවට සෞදි අරාබිය පත් කර ගනු ලැබීය. ඉන් පසු ඇති වූ සිරියානු යුද තත්ත්වයේදී සහ යේමනයේ ගැටුම් වලදී කලාපයට මැදිහත්වීම සඳහා ද එක්සත් ජනපදය විසින් යොදාගනු ලැබූයේ සෞදි අරාබියයි.
මේ සියලු තත්ත්වයන් හමුවේ එක්සත් ජනපද විරෝධී ස්ථාවරයක හිඳිමින් කටයුතු කරන අතර රුසියානු හිතවාදී ස්ථාවරයක සිටින බවද පෙනෙන්නට තිබේ. ඒ නිසාම කලාපය තුළ සිය බලය හෝ තමන්ට සහාය දක්වන පාර්ශ්වයන්හි බලය තහවුරු කරගැනීමේ චේතනාවෙන් ඉරානය කටයුතු කරන බවට එක්සත් ජනපද හිතාවාදී පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම ඉරානයේ සිට මධ්‍යධරණි කලාපය දක්වා වූ ගොඩබිම් පිවිසුම් තීරයේ පාලනය සියතට ගැනීමට ඉරානය උත්සාහ කරන බවද ඔවුන් විසින් පවසයි.
කෙසේ වෙතත් මේ අනුව සෞදි අරාබිය සහ ඉරානය අතර බල අරගලයක් නිර්මාණය වී ඇති බව ඉතාම පැහැදිලිය. කලාපීය අරගලය තුළ ඉරානය සිය ඉලක්ක වෙත ළඟා වීමත් සමග ඉරානය සහ සෞදි අරාබිය අතර වන මූලෝපායික තරගය වඩාත් උණුසුම් විය. ඉරානයේ සහ රුසියාවේ සහාය හිමි වන සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද් විසින් සෞදි අරාබියේ සහාය ලබන ත්‍රස්ත කණ්ඩායම් විශාල වශයෙන් පරාජයට පත් කරනු ලැබ ඇත. එය ගැටුම තවත් උත්සන්න කිරීමට හේතු වී තිබේ.
ඉහළ යමින් පවතින ඉරාන බලපෑම මැඩපැවැත්වීම සඳහා සෞදි අරාබිය දැඩි උත්සාහයක නිරතව සිටී. සෞදි අරාබියේ නිල නොවන නායක ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ආවේගශීලී ක්‍රියාකලාපය ද කලාපීය උණුසුම ඉහළ යාමට බලපා ඇත.
එසේම සිය රටට දකුණු දෙසින් පිහිටි අසල්වැසි යේමනය තුළ ඉරාන බලපෑම වැලැක්වීමේ කොටසක් වශයෙන් සෞදි අරාබිය යේමනයේ ත්‍රස්ත කණ්ඩායම් වලට එරෙහි යුද්ධයක් දියත් කර තිබේ. නමුත් වසර තුනක් අවසානයේ එය මිල අධික සූදුවක් බව ඔප්පු වෙමින් පවතී.
මේ අතර ලෙබනනයේ අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා සෞදි අරාබිය බලකර ඇති බව නිරීක්ෂකයන් බොහෝ දෙනෙක් විශ්වාස කරති. ලෙබනනයේ ක්‍රියාත්මක දේශපාලන සහ සන්නද්ධ වශයෙන් ප්‍රබල ඉරානය හා මිතුරු ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා ව්‍යාපාරය අස්ථාවර කිරීම එහි අරමුණ බවද එම නිරීක්ෂකයෝ පවසති.
ට්‍රම්ප් පාලනය විසින් දක්වනු ලබන සහාය හමුවේ සෞදි අරාබිය ධෛර්යට පත්ව තිබේ. එමෙන්ම තමන් හමුවේ පවතින මාරක තර්ජනයක් ලෙස සලකන ඉරානයේ බලපෑම මැඩපැවැත්වීම සඳහා සෞදි අරබිය දරන උත්සාහයට ඊශ්‍රායලය ද සහාය දක්වයි. 2015 වසරේ දී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට දැඩි ලෙස විරෝධය පළ කළ රටවල් දෙක ඊශ්‍රායලය සහ සෞදි අරාබියයි.
මේ වන විට සෞදි අරාබිය සහ ඉරානය සෘජුව සටන් නොකළ ද කලාපය පුරා පවතින විවිධ ආකාරයේ යුද ගැටුම්වලට දෙරට සහාය දක්වති. සෞදි හිතවාදී කඳවුර තුළ සුන්නි මුස්ලිම්වරු බහුතරය වෙසෙන ගල්ෆ් කලාපයට අයත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ බහරේනය යන රටවල් වෙති. එමෙන්ම ඊජිප්තුව සහ ජෝර්දානය ද ඒ අතර සිටිති. ඉරාන කඳවුරට සහාය දක්වන පාර්ශ්වයන්ට සිරියාවේ ආණ්ඩුව, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් කණ්ඩායම්, හිස්බුල්ලා ව්‍යාපාරය ඇතුළත්ය.
කෙසේ වෙතත් ලෝක බල අරගලයට ආගමික ප්‍රතිවිරෝධයන් සහ කලාපීය ප්‍රතිවිරෝධයන් ද හේතු වී ඇති බවත් ඒවා පියවරෙන් පියවර ඉදිරියට යමින් තිඛෙන බවත් තේරුම් ගත හැකි අලුත්ම උදාහරණය බවට සෞදි-ඉරාන බල අරගලය හඳුනා ගත හැකිය. නුදුරේදීම එය ලෝක බල අරගලයේ උවමනාවන්ට අනුව කළමනාකරණය වන අයුරුත් තවත් ජීවිත දහස් ගණනින් වන්දි ගෙවන දස දහස් ගණනක් සරණාගතයන් බවට පත් වන යුද ගැටුමක් බවට පත්වන අයුරුත් ලෝකවාසී ජනතාවට දැක ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.


ධනංජය සූරියබණ්ඩාර