ආර්ථීක විනාශයේ උමතුවට ජනතාව ඉඩ දෙන්නේද?

මෙම ආර්ථීකයේ හතළිස් වැනි අය වැය ඉදිරිපත් කෙරිණි. ධනවාදී ආර්ථීකයේ මූලධාර්මික පදනම වන සියල්ල විකිණීම සඳහා යන්න 1978 සිට වඩා උද්වේගයෙන් ක්‍රියාත්මක කෙරිණි. බෞද්ධාගම ප්‍රමුඛ ප්‍රධාන ආගම් හතරකින් ශික්ෂණය කරන ලද බව උදම් අනන මෙරට සමාජය දරුවන් විකිණීම දක්වා මෙහෙයවීමට මේ ආර්ථීකය සමත් වූයේය. ඉතිං අනික් දෑ ගැන කතාකිරීමට දෙයක් නැත.
එසේ වුවත් පුංචි කරුණු කීපයක් මතක් කර දිය යුතුමය. මුත්‍රා කිරීමේ ගාස්තුව රුපියල් 20.00 ට වැඩිවීම, වතුර ලීටරයක මිල කිරි ලීටරයක මිලට වඩා වැඩිවේ යැයි සිතීම, සැතපුම් දහස් ගණනක් දුර ගෙවා නැව් නැග පැමිණෙන ඩීසල් ලීටරයකට වඩා මෙරට වතුර ලීටරයක මිල වැඩි වීම ආදී දේ සිහිනයකින් හෝ නොසිතූ එදා සිටි වැඩිහිටි උදවියට එවැනි යථාර්ථයක් හමු වී තිබේ. පොල් ගෙඩිය රුපියල් සීයට වැඩියෙන් වීම, රට වටේම තිබෙන මුහුදෙන් නෙළාගන්නා ලුණු කිලෝවක මිල රු. 80.00ක් වේ යැයි හෝ රට වටා මුහුද තිබියදී විදේශයන්ගෙන් ලුණු ආනයනය කරාවි කියා හෝ සිහිනයකින්වත් නොසිතන්නට ඇත. දැන් එවැනි යථාර්ථයන් බොහෝමයක්ද පවතී.
ඒ මතකයත් අවධිකරගෙන පසුගිය සතියේ මුල් පිටුවෙන් හෙළිකළ දත්ත කීපයක් සම්බන්ධ විග්‍රහ කර අවශ්‍යම තැනකදී ගෙවීගිය වසර 70 තුළ ඒ ඒ රාජ්‍ය නායකයන්ගේ ආර්ථීක කෙරුවාව පිළිබඳ ඉතාම සංක්ෂිප්ත සටහනක් මෙවර පළකෙරේ. 1978 සිට ක්‍රියාත්මක කරන මේ ලිබරල් ආර්ථීකයේ මූලිකම ඉලක්කය වී තිබෙන්නේ පුද්ගලයන්ව සම්බන්ධ කර ඉලක්කම් දැක්වීමය.
එය එසේ වුවත් විශේෂයෙන් ගෙවුණු වසර 40ක කාලය පුරාම හඹා ගියේ දරුවන් විකිණීමේ තවාන් දමා හෝ ඒක පුද්ගල ජාතික ආදායම ඉහළ සංඛ්‍යාවක පෙන්වීමය. නමුත් පසුගිය සතියේ මුල් පිටුවේ ඡායාරූපයට අදාළ සටහනින් එහි තිඛෙන පසුබෑමේ තරමද අප හෙළිකර තිබේ. 1977 වර්ෂය අවසන් වන විට නැතිනම් 1978 වර්ෂය ආරම්භ වන විට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 294 ක් වී තිබී ඇත. වසර තිස් නවයකට පසු එය ඩොලර් 3835 දක්වා ඉහළ ගොස් තිබේ. මෙහිදී විශේෂ කරුණු කීපයක් සඳහන් කළ යුතුය. දැන් හෙළිවන්නේ මේ දර්ශකයෙන්ද ලංකාව වැටීමට පටන්ගෙන තිබෙන බව 2015 සහ 2016 වර්ෂ සංසන්දනයේ දී ඒ බව පැහැදිලි වී තිබේ. 2015 වර්ෂයේ දී ඒක පුද්ගල ජාතික ආදායම ඩොලර් 3843ක් වී තිබී එය ඩොලර් 3835ක් දක්වා ඩොලර් අටකින් 2016 වන විට පහත වැටී තිබේ. මේ දක්වා හෙළි නොවූ ආර්ථීක අර්බුදයේ ප්‍රබලම ප්‍රකාශනයක් වන්නේ මෙයයි.
තවත් පැත්තකින් 1950 වන විට ආසියාවේ දෙවෙනි බලවත්ම ආර්ථීකය ලංකාව වී තිබිණි. ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90 ක් වන විට ලංකාව දෙවැනි වී ඩොලර් 89 ක් වී තිබිණි. එදා සිට ගෙවීගිය වසර හැත්තෑවක කාලය තුළ ගමන්කර තිඛෙන්නේ කොතනටද?
මේ අතර ලංකාව පමණක් ගෙන සලකා බැලීමේදී ඒක පුද්ගල ආදායම ඩොලර් 294 ක් වී තිබී 1978 සිට මේ දක්වා ඩොලර් 3835 දක්වා වර්ධනය වී තිබෙන්නේ දහතුන් ගුණයකින්ය. හොඳින් මතක තබාගන්න.
නමුත් ඒක පුද්ගල ණය බර සහ වර්ෂයක ඒක පුද්ගල බදු බර කොපමණ වීද? 1977 අවසන් වන විට ඒක පුද්ගල ණය බර රුපියල් 1792/- සිට වසර තිස් නවයකට පසුව එය රුපියල් හාරලක්ෂ හතළිස් දෙදහස් හත්සිය තිස් හතරක් (රු. 442,734/-)
දක්වා දෙසිය අසූහත් ගුණයකින් වැඩි වී ඇත. ඒක පුද්ගල වාර්ෂික බදු බර 1977 අවසන රුපියල් 395/- සිට රුපියල් 69032/- දක්වා එකසිය හැත්තෑපස් ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඒක පුද්ගල ආදායම දහතුන් ගුණයකින් වැඩිවීම කොතරම් මායාවක්දැයි මෙයින් පැහැදිලි වේ.
(පසුගිය සතියේ ඒක පුද්ගල ණය සහ බදු බර දක්වා ඇත්තේ අයවැය මගින් 2017 වර්ෂයට කර තිඛෙන ගැලපීම් සහිතවය.)
මේ සා විශාල ණය කන්දක් ජනතාව මත ගොඩගසා, මේ සා විශාල බදු බරක් ජනතාව පිට පටවා රට සංවර්ධනය කර තිඛෙන්නේද? අඩුම තරමින් ධනවාදී ආර්ථීකයේ දියුණුව ගෙන හැර දක්වන පරමාදර්ශ මිනුම් දණ්ඩ වශයෙන් අපට ඉදිරිපත් කරන ඒක පුද්ගල දළ ජාතික ආදායම පවා හිඟා නොකා හිඟා කන තත්ත්වයක් පෙන්නුම් කරන බව අනිකුත් රටවල් සමඟ සැසඳීමේදී පැහැදිලි වේ. ණය බර පොලාපනිමින් යන්නේ කෙසේදැයි අළුත්ම දත්ත සමඟ සාකච්ඡා කිරීම වැදගත්ය. 2016 වර්ෂයේ මුල් මාස අට තුළ ණය පොලී ගෙවීමට රුපියල් කෝටි 41458 ක් වැයවී තිබී එය 2017 මුල් මාස අට සඳහා රු. කෝටි 51863ක් දක්වා වැඩිවී තිබේ. ණය වාරික ගෙවීම
පසුගිය වසරේ මුල් මස අට තුළ රුපියල් කෝටි 55,500 සිට මෙම වසරේ එම කාලයේදී රු. කෝටි 78,400 ක් දක්වා ඉහළ ගොස් ඇත. ණය වාරික සහ පොලී ගෙවීමට පසුගිය වසරේ මුල් මාස අට තුළ රුපියල් කෝටි 96958 ක් වැයවී මෙම වසරේ එම කාලය තුළ එය රුපියල් කෝටි එක්ලක්ෂ තිස් දහස් දෙසිය හැටතුන (රු. කෝටි 130263) දක්වා ඉහළ ගොස් ඇත. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2018 මගින් මෙම තොරතුරු හෙළි වේ.
මේ අප කතාකරන්නේ පැවති ආණ්ඩු විසින් ගන්නා ලද ණය ප්‍රමාණය කඳු වශයෙන් ගොඩගැසී තිබෙන ආකාරයයි. නමුත් අපට ප්‍රවෘත්තිවලින් අසන්නට දකින්නට ලැබෙන්නේ ණය ගෙවාගත නොහැකිව පවුල් පිටින් සියදිවි නසාගන්නා බවය. මේ සියදිවි නසාගැනීමට හේතුවන්නේ ආණ්ඩු විසින් මිනිසුන් මත පටවා තිඛෙන ණය ගෙවා ගැනීමට නොහැකිවීම නොවේ. විවිධ කටයුතු වෙනුවෙන් ජනතාව එකිනෙකා ලබාගෙන තිඛෙන ණය ගෙවාගැනීමට නොහැකිවීමය. රාජ්‍ය අංශයේ බැංකු සහ මූල්‍ය සමාගම් පෞද්ගලික බැංකු සහ මූල්‍ය සමාගම් මෙන්ම උකස් ණය මාධ්‍යස්ථාන වලින් සල්ලි පොලියට දෙන පුද්ගලයන්ගෙන් (අවිධිමත් ක්‍රමය) ආදී වශයෙන් වූ මූලාශ්‍රවලින් පුද්ගලයන් ණය ලබාගනී.
මේ අතරින් රාජ්‍ය අංශයේ බැංකුවලට අනුබද්ධ මූල්‍ය සමාගම් හැර බැංකුවලින් පමණක් ජනතාව ලබාගන්නා ලද ණය ප්‍රමාණය 2016 වර්ෂය තුළ රුපියල් කෝටි දෙලක්ෂ හතළිස් අට දහස් තුන්සිය හැට හයක් (රු. කෝටි 248366) වී ඇත. (මේ සම්බන්ධ 1978 දත්ත සොයාගත නොහැකි විය.) බැංකු අටක් යටතේ කෘෂිකාර්මික හා ධීවර, නිෂ්පාදන, සංචාරක, ප්‍රවාහන, නිවාස ඉදිකිරීම්. වෙළඳ ව්‍යාපාර, මූල්‍ය හා ව්‍යාපාර සේවා, යටිතල පහසුකම්, ඉදිකිරීම්, ක්‍රෙඩිට් කාඩ්, උකස් ණය සහ විවිධ යන අංශ දොළහකට මෙම ණය ප්‍රමාණය නිකුත් කර තිබේ. මේ අනුව ජනගහණය සමඟ ගණනයේ දී එක් පුද්ගලයෙකු දළ වශයෙන් රුපියල් එක්ලක්ෂ දහ හත්දහස් එකසිය පනස් හතරක (රු. 117154/-) සාමාන්‍ය ණයකරුවෙක් බවට පත්වී සිටී. අප නිතර කතා කරන්නේ රට සංවර්ධනයට බව කියමින් පාලකයන් ලබාගෙන ගොඩගසා තිඛෙන ණය කන්ද ගැනය. නමුත් රට වැසියාගේ කුමන හෝ කටයුතු වෙනුවෙන් අතිවිශාල ණය මුදලක් ගැනීමට සිදුකර තිබීම ගැන කිසිම අවධානයක් යොමු නොකරන තරම්ය.
රුපියල් 117154/- ක ණය ප්‍රමාණය ගෙන තිබෙන්නේ රාජ්‍ය අංශයේ බැංකු අටකින් පමණක් බව නැවත අවධාරණය කළ යුතුය. බැංකුවලට අනුබද්ධ මූල්‍ය සමාගම් සහ පෞද්ගලික බැංකු, මූල්‍ය සමාගම් හා උකස් මධ්‍යස්ථාන ජාලය තුළින් මහජනතාව ලබාගෙන තිඛෙන ණය ප්‍රමාණය ඉහත දැක් වූ ඒක පුද්ගල ණය ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් විය හැකිය. රටේ ණය සහ පුරවැසියා තමන්ගේ කටයුතු වලට ලබාගන්නා ලද ණය යන වර්ග දෙකක ණය බරකින් රටේ ජනතාව හිර කර සිටින බව මෙයින් පැහැදිලි වේ.
ජනතාව මෙතනට ගෙනෙන ලද 1948 සිට 1978 දක්වා සහ 1978 සිට මේ දක්වා ගමන් මග තුළ රට පාලනය කළ ආණ්ඩු දක්වන ලද දායකත්වය මූලික ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ සලකා බැලීමට ඉදිරි කෙටි ඉඩකඩ යෙදවේ. ඒ ඒ පාලකයන් යටතේ අයවැය හිඟය, විදේශ වෙළදාමේ පාඩුව, රටේ ණය බර වැඩිවීම, බදුබර වැඩිවීම සහ එයට අනුව රටේ ඒක පුද්ගල ණය බර සහ බදුබර වැඩිවී ඇති ආකාරය සලකා බැලීමෙන් ජනතාවට අත්වී තිඛෙන ඛේදවාචකයේ තරම පිළිබඳව වටහාගත හැකිය. මේ සඳහා වගුව සමඟ අවධානයෙන් බැඳීම අවශ්‍යය.
මහ බැංකු වාර්ෂික වාර්තාව පාදක කරගෙන ගොඩනැගූ වගුව තුළ සඳහන් දත්ත විවිධ ආකාරයට අර්ථකථනය කළ හැකිය. නිදසුනක් හැටියට ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ගතහොත් එය මුලින්ම හමුවන්නේ 1959 වර්ෂයේදීය. ඩොලර් 140ක්ය. වගුවට අනුව 1960 වනවිට එය ඩොලර් 142 දක්වා වැඩිවී තිබේ. වගුවේ සඳහන් වන්නේ එක් එක් රාජ්‍ය නායකයා ධුරය දරා අවසන්වන වර්ෂයේදී තිබූ සංඛ්‍යාත්මක අගය වේ. 1960 ජූනි මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩු බලය පිහිටුවයි. එය 1965 දී අවසන්වන විට ඒක පුද්ගල ජාතික ආදායම ඩොලර් 152 ක් වී තිබී 1977 අවසන්වන විට ඩොලර් 294 ක් වශයෙන් සඳහන් වේ. 1977 සිට වසර හතළිහක් ගෙවා අවසන් කරන විට ඉහත දැක්වූ ආකාරයට එය දහතුන් ගුණයකින් වැඩි වී ඇත. නමුත් බදුබර සහ රටේ ණය බර වැඩිවී ඇත්තේ 247 සහ 175 ගුණයකින්ය.
මේ ලෙස අය-වැය හිඟය වැඩිවීම කිනම් වාර ගණනකින් (කී ගුණයකින්ද) විදේශ වෙළඳාමේ පාඩුව වැඩිවීම කිනම් වාර ගණනකින්ද එක් එක් රාජ්‍ය නායකයා බලයට පත්වන විට තිබූ තත්ත්වය සහ බලය අවසන් වන විට තිබූ තත්ත්වය ආදී වශයෙන් තම තමන්ට ගණනය කරගත හැකිය. විදේශ වෙළඳාමේ පාඩුව සහ අය-වැය හිඟය ජනතාවගෙන් එක් එක් පුද්ගලයා මත බලපෑම් කර තිඛෙන ආකාරයද ගණනය කළ හැකිය. විශේෂයෙන්ම විදේශ වෙළඳාමෙන් 1977 දක්වා විශාල පාඩුවක් සිදු නොවූ බව දැකගත හැකිය. නමුත් ආර්ථීකය ලිහිල්කරණය තුළ සිදුවූ දේ තේරුම්ගැනීමට වගුවට පිටින් සංඛ්‍යා දැක්වීමට සිදුවේ. 77 දී විදේශ වෙළඳාමෙන් ඩොලර් මිලියන 40.9 ක ලාභයක් තිබූ අතර 1978 දී එය ඩොලර් මිලියන 180.3 අති විශාල පාඩුවක් බවට පත්ව ඇත. පිමි පනිමින් පටන්ගෙන විදේශ වෙළඳාමේ පාඩුව අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන වියදම් සඳහා දැරීමට වීම දක්වා පැමිණ තිබේ.
මෙලෙස අතිවිශාල වෙළඳ පාඩුවක් විදේශ වෙළඳාමෙන් සිදුවීමට බලපෑ එක් හේතුවක් වූයේ 1977 නොවැම්බර් විවෘත ආර්ථීකය හඳුන්වාදෙමින් රුපියලේ අගය අව ප්‍රමාණය කිරීමය. 1952 අවසන් වන විට ඩොලරයට රුපියල් 4.76 ක් වී තිබී 1977 නොවැම්බර් අයවැය කතාව කරනතුරු දශක තුනකට ආසන්න කාලයක් අව ප්‍රමාණය වී රුපියල් 8.83 ක් දක්වාය. එක්
රැයකින් එය ඩොලරයට රුපියල් 15.58 දක්වා සියයට සීයක ආසන්න අගයකින් අව ප්‍රමාණය කෙරිණි. එය දශක හතරක් අවසානයේ රුපියල් 155/- ඉක්මවා අවප්‍රමාණය වී තිබේ. මංගල සමරවීර මුදල් ඇමතිවරයා ආර්ථීකයේ ලිහිල්කරණය වේගවත් කිරීමට කථාකරමින් විවෘත ආර්ථීකයේ 40 වෙනි අයවැය ඉදිරිපත් කරනවිට රටේ ආර්ථීක ප්‍රශ්නය ජනතාවගේ ගෙල සිර කරන තොණ්ඩුවක් වී අවසන්ය. විවෘත ආර්ථීකයට මානුෂික මුහුණුවරක් දෙන කතා සේම සරදියෙල්ගේ අයවැය ආදී කතා ජනතාවට කොකා පෙන්වා අවසන්ය.
රටේ ආර්ථීකය අගාධයකට යන පොදු මාවතක ගමන් කරවා ඇති බවත් රට පාලනය කළ කිසිවකුටත් එම වගකීමෙන් මිඳීමට නොහැකි බවත් මෙයින් පැහැදිලි වේ. දැන් පාලකයන් කරන්නේ කුඩුකාරයෙකු පරිද්දෙන් හැමදේම විකිණීමට උමතුවෙන් ක්‍රියා කිරීමයි. හම්බන්තොට රට හාරා වරායක් ඉදිකර අක්කර 1500ක් චීනයට විකුණා දැමීමට මහින්ද ක්‍රියාකර තිබිණි. මේ හවුල් ආණ්ඩුව එය අක්කර 15,000 දක්වා වැඩිකිරීමට කටයුතු කර තිබේ. කොළඹ දී මුහුද ගොඩකර පෝට් සිටි හදා විකුණා දැමීමට මහින්ද ක්‍රියාකර තිබිණි. ඒ වෙනුවෙන් කිතුල්ගල, අඹේපුස්ස දක්වා ඈත ප්‍රදේශවල කඳු කඩා විනාශ කර පස් ගනිමින් සිටී. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල කඳු සියල්ල ගල් කඩා අවසන්ය. රටම විනාශ කර පෝට් සිටිය විකුණා දැමේ. ආර්ථීකය ලිහිල්කරණයේ තත්ත්වය මෙය නම් එය වේගවත් කිරීමෙන් උමතුවට ඉඩ දෙනවා දැයි තීරණය කිරීම ජනතාවට බාරය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර