ගල්, පොල්, අඹ, සපත්තු සහ මිනිස්සු

ලුsdgsae4
නව පළාත් පාලන ඡන්ද ක්‍රමය හොඳද? නරකද?
December 12, 2017
hamper-JVP-Press-Conference-on-22
මේ විවාදය ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපතිවාදය පිළිබඳ විවාදයක් (ජවිපෙ නායක අනුර දිසානායක)
December 12, 2017
Show all

ගල්, පොල්, අඹ, සපත්තු සහ මිනිස්සු

6671f1c3351b87783698fac6bd5eac8e--national-geographic-photos-photo-series

ඔක්තෝබර් අවසන් සතියේ යාපනය අරියාලේ ප්‍රදේශයේ වූ සිදුවීමකින් යාපනය ප්‍රදේශයම කම්පනයට පත් කර තිබුණි. එනම් 28 හැවිරිදි මවක් සිය දරු තිදෙනාටද වස කවා ඇයද වස කා මිය යාමේ පුවතයි. සිදුවීමෙන් ඇය හා දරු තිදෙනාම මිය ගොස් සිටි අතර දරු පැටවුන්ගේ වයස් වූයේ අවුරුදු 04, අවුරුදු 02 හා අවුරුදු 01 වශයෙනි. සිදුවීමට හේතු වී ඇත්තේ ණය මුදලක් සම්බන්ධ ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය නිසාම ඇගේ සැමියා ඊට මාස කිහිපයකට පෙර දිවි නසාගෙන තිබුණි. එය එකී මව මිය යාමට පෙර මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා වෙත ලියූ ලිපියක මෙකී විස්තර ඇතුළත් කර තබා තිබී හමුවූ අතර අවමගුල් කටයුතු ගැන සිය ඥාතීන් වෙත ලියූ තවත් ලිපියක්ද හමු වී තිබුණි.
උතුරේ රතිඤ්ඤයක් පත්තු වුවද ‘ඔන්න කොටි එනවෝ’ යයි කියමින් කෑ ගසන සංවිධාන හෝ මාධ්‍ය කිසිවක් මේ ගැන අවධානය යොමු කළ බවක් දක්නට ලැබුණේ නැත.
එසේම පසුගිය 30 වනදා පේරාදෙණිය ප්‍රදේශයේ නිවසකට ගලක් පෙරළීම නිසා නිවසේ නිදා සිටි දැරියක් මිය ගිය ශෝචනීය පුවතක්ද වාර්තා විය. මිනිස් ජීවිත කෙතරම් අනාරක්ෂිත වී තිබේද යන්නත්, හය හතර නොදන්නා දරු පැටවුන්ට ඒ වෙනුවෙන් සිය ජීවිත වලින් වන්දි ගෙවීමටත් සිදු වී තිබේ.
එම දිනවල ගම්පහ උසාවියෙන් පොල් ගෙඩි 22ක් හොරකම් කිරීමේ වරදට පුද්ගලයෙකුට වසර 02ක සිර දඩුවමක් නියම කළ සිදුවීමක් වාර්තා විය. එසේම අඹ ගසක පාරට නැමී තිබූ අත්තකින් ගෙඩි තුනක් කඩා ගැනීමේ වරදට වයසක මවක් පොලිස් කූඩුවක දැමූ පුවතක්ද සති කිහිපයකට පෙර සාකාච්ඡාවට ලක් විය. ඒ අතර අනුරාධපුරයේ කැකිරාවේ පාසලක සිසුවියක් උදේ නිරාහාරව පාසල් යාම නිසා වමනය යාම, ඇය ගැබිනියක් ලෙස සලකා පාසලෙන් ඉවත් කිරීමේ සිදු වීම හා ඉන් පසු ක්‍රියාවලිය පිළිබඳවද සාකච්ඡා වෙමින් පවතී. ඒ අතර ඈ සහ ඇගේ් දෙමාපියන්ගේ දිළිඳුභාවයේ තරමද සාකච්ඡාවට ලක් වී තිබේ. ඇය පාසල් යාමට පැළඳි සපත්තු කුට්ටමේ එක් සපත්තුවක් ගෙවී ගොස් ඇති වී තිබෙන සිදුර එම දුප්පත්කමේ තරම කියා පායි.
සති කිහිපයක් තුළ සිදු වූ මෙම සිදුවීම් විසින් අපේ රටේ ජන ජීවිතවල සැබෑ පැතිකඩ පෙන්වා දෙනු ලබයි. එයට උතුරද, දකුණද, බටහිරද, නැගෙනහිරද කියා වෙනසක් ඇත්තේ නැත. ඒ අතර ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර වල සිට සියලු දේ වල මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. හාල් පොල් පවා ගිනි ගණන්ය.
මේ දිනවල පාරේ තාප්පවල පෝස්ටරයක් ඇලවී තිබේ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් අලවා තිබූ එහි ලියවී ඇත්තේ ‘ජීවන වියදම ඉහළට රුපියල් 4622.40කින් වැටුප් වැඩි කරනු’ යනුවෙනි. 2015 වසරේ පෙබරවාරියේ ජීවන අංකය 108.9ක් විය. 2017 සැප්තැම්බර් වන විට එය 123.3ක් වී ඇත. වැඩි වී ඇති ප්‍රමාණය 14.4කි. එය ජීවන අංකයක් වැඩිවීම වෙනුවෙන් ලබා දිය යුතු මුදල වන රුපියල් 321න් ගුණ කළ විට වටිනාකම රුපියල් 4622.40කි.
කෙතරම් වේගයකින් ජනතාව මත බර පැටවෙමින් තිඛෙන්නේද යන්න මෙයින් පැහැදිලි වෙයි. හදිසි අනතුරු, ආපදා, සියදිවි නසා ගැනීම්, ගැටුම් මේ ආදී සෑම ඛේදවාචකයක්ම පිටුපස ඇති සැබෑ ගැටලුව වන්නේ මූලික අවශ්‍යතා සපුරාගැනීම පිළිබඳ ප්‍රශ්නයයි. එනම් ආර්ථීක ගැටලුවයි.
2018 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය. ඉතිහාසය පුරාම බලයේ සිටි ආණ්ඩු අයවැය සැලසුම් ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒ සියල්ලේ ප්‍රතිඵල අද අප භුක්ති විඳිමින් සිටිමු. මහා ණය කන්දකට රට යටවී, නිෂ්පාදන ක්ෂේත්‍රයන් විනාශ වී මහා අගාදයකට අප ඇද වැටී ඇත්තේ ඒවායේ ප්‍රතිඵල ලෙසය. ජනතාවට විවිධාකාරයෙන් මරණය වැළඳගැනීමට සිදුව ඇත්තේ ඒ අනුවය. මෙවර අයවැයද හෙට අනිද්දා ඉදිරිපත් වනු ඇත. පළාත් පාලන මැතිවරණයද පැමිණිමට නියමිත නිසා ජනතාව රවටන ටොෆී ලොසින්ජර සමග මෙවර අයවැය ඉදිරිපත් වන බවට සැකයක් නැත.
ඒ නිසා සමස්ථ සමාජයක් ලෙස මෙම තත්ත්වයෙන් ගොඩ එන්නේ කෙසේද යන ප්‍රශ්නය අද ඇති වැදගත්ම ප්‍රශ්නයයි. ඇතැම් අය සිතන්නේ ඕවා ඉතිං ඔහොම තමයි. මේවා වෙනස් කරන්න බැරි දේවල් ලෙසය. ඔවැනි දේ කියන අය සඳහා අප වැනිම මහා ආර්ථීක සම්පත් නැති දුප්පත් රාජ්‍යයක තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීම වටින්නේය. ඒ කියුබාවයි. පසුගිය වසර 10ටම කියුබාවේ සියදිවි නසා ගැනීම් වාර්තා වී නැත. පසුගිය වසර 25ටම අනාරක්ෂිතභාවය නිසා ළමා මරණ සිදු වී නැත. පසුගිය වසර 25ටම ළමා අපයෝජන එකක්වත් වාර්තා වී නැත.
ඒ නිසා යහපත් ජීවිතයක් දිනා ගැනීම හුදු මනඃකල්පිත සිහිනයක් නොවේ. එය මිනිස් අයිතියකි. එය ප්‍රායෝගික යථාර්ථයකි. අවශ්‍ය වන්නේ ඒ සඳහා වන දැක්මක් හා වැඩපිළිවෙළක්ය.