ගිංතොට ගින්නට නොදැවුණු සිත් දුටිමි

මැණිකෙ අගය කණා දන්නේ නෑ
December 12, 2017
ඩුaEfea
ඇමතිතුමනි, විනය පරීක්ෂණ තැබිය යුත්තේ කාට ද?
December 12, 2017
Show all

ගිංතොට ගින්නට නොදැවුණු සිත් දුටිමි

zsfdhsdh

කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිසුණු ගාල්ල බලා ගමන් කරන සුඛෝපභෝගී බසය හැල්මේ ඉදිරියට ඇදෙන්නට විය. ඒකාකාරී වේගයෙන් දිවෙන බසයෙහි හඩ ද ඒකතානමය විය. අතරින් පතර මාර්ගයෙහි කඩතොලු සහ උස් පහත් වීම් මතින් ගමන් කරන විට දී ඇති වන දෙදරීමකින් එම ඒකතානමය හඩ බිඳී යන්නේය.
හිමිදිරියෙහි අවට වෙළා ගත් මීදුම පරිසරය අපැහැදිලි චිත්‍රයක් බවට පත් කර තිබිණි. පැතිරෙමින් තිබුණු මන්දාලෝකයත්, අතරින් පතර මීදුම විනිවිද පෙරී එන ආලෝක කදම්බත් හිරු පායන බව ස්ථීර කරමින් තිබිණි.
හිරු පායන තෙක් මීදුම පවතිනු ඇත.
මගීහු බොහෝ දෙනෙක් නිඳිකිරා වැටෙමින් හෝ නිඳි ලොවට පිවිස සිටිති. අවදියෙන් සිටිනවුන් ද මනෝ ලෝකයක අතරමංව වෙනත් කල්පනා අතරෙහිය. පැයකට මඳක් වැඩි කාලයකින් බසය ගාල්ලට ළඟා විය. මම මගේ
මාර්ගෝපදේශක කුලතිලක අයියා හමු වීම සඳහා පේදුරුවල දක්වා ගමන් කර ඔහුත් සමඟ ගමන ඇරඹීමු.අපි දෙදෙන අතුරු මාර්ග හරහා ගිංතොට දක්වා ගමන් කරමින් සිටියෙමු. කතාබහක් ඇත්තේ නැත. සෑම මාර්ගයකම පොලිස් නිලධාරීන් සහ අවි ගත් සෙබළුන්ය. ඇතැම් තැනක යුද බිමක දැකිය හැකි සන්නද්ධ රථ පවා නවත්වා තිබිණි. තවත් තැනක ගිනි නිවන රථයකි.

අප ඉදිරියට හමු වන සෑම මිනිසෙකුගේම මුහුණෙහි ඇත්තේ, අනෙකා පිළිබඳ සැකයෙන් පිරුණු බැල්මක් පමණි. දින කීපයකට පෙර ගිංතොට ගිනිගෙන තිබිණි. රටම දන්නා සිදුවීමක් පිළිබඳව තවත් අටුවා ටීකා අවශ්‍ය නැතැයි සිතමි. ඇතැම් නිවාසවල ගේට්ටු කඩා දමා, ජනේල වීදුරු බිඳ දමා තිබිණි. තවත් නිවසක ඉදිරිපස ගිනි ගත් ත්‍රීරෝද රථයකි. බිත්ති ගිනිදලුවලින් කළුපැහැ ගැන් වී තිබිණි. ඉදිරිපස පහන් තළා කුඩු කර දමා හානි කළ මෝටර් සයිකල් ගණනාවකි. බොහෝ නිවාසවල කැඩී විසුරුණු වීදුරු කැබලි තවමත් ඉවත් කර නැත. වැඩිපුරම හානි සිදුව ඇත්තේ, ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවටය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව වාර්තා වී ඇති සිදුවීම් ගණන 127කි.
සිදුවීම ඇරඹෙනුයේ, මෝටර් සයිකලයක කාන්තාවක් හා දැරියක් ගැටීම හේතුකොටගෙනය. මෝටර් සයිකලය පැද වූ තරුණයා, ප්‍රදේශයේ සිංහල තරුණයකු වන අතර, කාන්තාව හා දැරිය මුස්ලිම්ය. වාර්තා වන අන්දමට සිද්ධිය සමථයකට පත්ව ඇත්තේ, තරුණයා විසින් අදාළ කාන්තාවට යම් මුදලක් වන්දි වශයෙන් ගෙවීමෙන් ද අනතුරුවය. එහෙත්, බොර දියේ මාළු බාන්නන් හට කිරි කළයකට එක් ගොම බිඳුවක් හොඳටම සෑහෙන බව නැවතත් තහවුරු වී තිබේ.
එම ගොම බිඳුව එළගොනාගේ ද, මී ගොනාගේ ද යන්න ගිනි අවුලුවන්නට වැදගත් නැත. වැදගත් වනුයේ, ගොම වීම පමණක්මය. මෙරට දමිළ, සිංහල, මුස්ලිම් සහජීවනයේ කිරි කළයට ගොම මුසු කිරීමේ පළමු පියවර තබනුයේ, දේශපාලකයන්ය. දෙවනුව ඊනියා ජාති හිතෛෂී සංවිධානය. ඔවුන් ද දේශපාලකයන්ගේම බළල් අත් බව බුද්ධිමත් ජනතාව අවබෝධ කොටගෙන සිටිය ද, ගොම බවට පත් වූවන් ඒ බව තකන්නේ නැත. ඒ බව අවබෝධ කර ගැනීමේ හැකියාවක් හෝ වුවමනාවක් ගොම බවට පත් වූවන්ට ඇත්තේ ද නැත. වත්මන් පාලකයන් හා ඊනියා ජාති හිතෛෂී සේනාවන් විසින් සංහිඳියාවේ කිරි කළය වැනසීම වෙනුවෙන් භාවිත කරනුයේ, එම ගොමය.
මෙයට පෙර මහින්ද රාජපක්ෂ පාලන කාලයේ අලුත්ගම, ධර්ගා නගරයේ ද සිදු වූයේ එයමය. පාලකයන් බලය උදෙසා තම තමන්ගේ ජාතිවාදය උපරිමයෙන් භාවිත කරන අතරම සංහිඳියාවේ කිරි කළයට එක් කිරීම සඳහා ‘ගොම’ද ඔවුන් විසින්ම නිර්මාණය කරන්නේය.
පසුගිය දශක තුනක් ඉක්මවා ඇදුණු සිංහල-දමිළ යුද ගැටුම එයට සාක්ෂි සපයන අතර, මෑතකාලීනව ගිංතොට හා ධර්ගා නගරය ආශි්‍රත සිදුවීම් ද සාක්ෂි සපයයි.
ආගම්වාදය හා ජාතිවාදය ද ‘ගොම’ සමඟ කළවම් කරන වත්මන් පාලකයෝ තමන්ට අවැසි විටෙක එය කිරි කළයට මුසු කිරීමට පසුබට වන්නේ නැත. මුස්ලිම් හෝ දමිළ හෝ සිංහල හෝ තම තමන්ගේ ජාතිකත්වයන් නියෝජනය කරන බොහෝ ධනපති දේශපාලකයන් අනුගමනය කරනුයේ, එකම ක්‍රමවේදයමය.
එම සංචාරයේදී හමු වූ අලාභහානිවලට මුහුණ දුන් බහුතර මුස්ලිම් ජනතාවකගේත්, සුළුතර සිංහල ජනතාවගේත් සිත් තුළ තෙරපෙමින් පැවතියේ, එකම අදහස් සමුදායක් බව හඳුනා ගැනීමට ඔවුන් හා කළ කතාබහේ දී හැකි විය.
දෙපාර්ශ්වයටම ඇත්තේ සිදුවීම පිළිබඳ කනගාටුවකි. එහෙත්, දෙපාර්ශ්වය තුළින්ම අමනාපයක් හැඟවෙන ප්‍රකාශ කිරීම් ද නිකුත් නොවුණාම නොවේ. එහෙත්, එම අමනාපය එල්ල විය යුත්තේ කා වෙතට ද යන්න ඔවුන් තුළ නිවැරදි අවබෝධයක් තිබුණා ද යන්න සැකසහිතය.
තම අසල්වැසියාම තමනට පහර දුන්නේය යන කරුණ හමුවේ දෙපාර්ශ්වයම විපිළිසරව හිඳිති. තමා තුළ නොමැති වෛරයක් තම අසල්වැසියා පිළිබඳව තම සිත තුළ ඇති කරනුයේ කවුරුන් ද යන්න ඔවුන් නොදන්නවා නොවන්නට ද හැකිය. දෙපාර්ශ්වයේම දේශපාලකයන්ගේ හා ඔවුන්ගේ අන්තේවාසික බළල් අත් බවට පත්ව ඇති සංවිධාන විසින් නඩත්තු කරන මත විසින් ගොම බවට පත් කළ පිරිස් මෙම සිදුවීම් පිටුපස සිටින බවට අවබෝධයක් ඇති ජනතාවක් ද සිටින බව පමණක් ඉඳුරාම කිව හැකිය. මම කුලතිලක අයියාත් සමඟ ආපසු පැමිණෙමින් සිටින අතරතුර ගිනි තබා අළු බවට පත් කළ සිංහල ජාතිකයෙකුට අයත් සිල්ලර වෙළෙඳ සලක් අසල නැවතුණෙමි. වෙළෙඳ සල් හිමිකරු සහ හිමිකාරිය අප හා තම දුක්ගැනවිල්ල ප්‍රකාශ කළාය.
‘ඔවුනගේ වෙළෙඳ සලට යාබද වෙළෙඳ සල ද සිංහල ජාතිකයකුට අයත් වෙළෙඳ සලකි. ඒ මොහොතේ ද සිය දරුවා ද කැටිව එම වෙළෙඳ සලට පැමිණි මුස්ලිම් කාන්තාවක් එයින් යමක් මිල දී ගැනීම සඳහා කතිකා කරනු මම දිටිමි. වෙළෙඳ සල හිමිකරු සහ කාන්තාව යන දෙදෙනාගේම මුහුණුවල අමනාපයක සේයාවක් හෝ ඇත්තේ නැත.
අනෙකකු විසින් නොවැපිරුවහොත් මිස මිනිස් සිත් තුළ වෛරයේ වල් පැළෑටි රෝපණය වන්නේ නැත. එම වෙළෙඳ සලින් යමක් මිල දී ගත් ඉහතින් සඳහන් කළ මුස්ලිම් කාන්තාව ඒ අසලම ගිනිබත් වූ වෙළෙඳසල ඉදිරිපිටින් ගමන් කළේ ගිනි ගැනීම හේතුවෙන් ඉදිරිපස වැටී තිබූ දැව දඩු, දැවී ගිය අගුරු හෝ නොපෑගෙන පරිදි එයින් මඳක් මෑත් වෙමින්, ප්‍රවේශමෙන් බව මම දිටිමි. ඉස්ලාම් වේවා, බෞද්ධ වේවා, හින්දු වේවා මිනිස් සිත් තුළ අනෙකා පිළිබඳ කරුණාව, දයාව, මෛත්‍රිය රෝපණය කිරීම වෙනුවෙන් ආගමික නායකයන්ගේ මැදිහත් වීම කොතෙක් ප්‍රමාණවත් වී ඇත් ද යන්න මම නොදනිමි.
මම කුලතිලක අයියාගෙන් සමුගෙන ගාල්ලට පැමිණ මහරගම බස් රථයකට නැග ගතිමි. අධිවේගී මාර්ගයට පිවිසුණු බසය එකසීරුවට ඒකතානමය හඩකින් මග දිගේ ඇදෙයි. උදෑසන මිහිදුම පහව ගොස් තිබුණේ හිරු අහස අරක්ගෙන තිබූ බැවිනි.
මිනිස් සිත් වෙළාගෙන ඇති මිහිදුම පලවා හැරීම පිණිස එම සිත් තුළ බුද්ධියේ හිරු පායනුයේ කවදා ද යන්න මම නොදනිමි. එහෙත්, අවබෝධය ලබා ගැනීම සිංහල, දමිළ, මුස්ලිම් සැමට පොදු තම තමන් සතු කාර්යයක් බව පමණක් මම දනිමි. හිරු පායන තෙක් මිහිදුම පවතිනු ඇත.

අපේ මිනිස්සුන්ට ඉවසන්න තිබුණා…
ෆයිසාල් මොහොමඩ්

‘අපේ අයට තව ටිකක් ඉවසීමෙන්, අවබෝධයෙන් කටයුතු කරන්න තිබුණා. මේ වගේ සිදුවීම්වලින් වාසි ගන්න බලන අය දෙපැත්තෙම ඉන්නවා. තරුණයන් අතර සුළු ගැටුම් මීට පෙරත් සිදු වුණා. අපි එකට සමීපව ජීවත් වෙන අය. ඕනෑ තරම් සණ්ඩු සරුවල් වෙලා තියෙනවා. නමුත්, අපිම ඒවා විසදා ගත්තා. මේවා දුරදිග ගෙනියන්න ඕනෑ ප්‍රශ්න නොවෙයි. අපි හැමෝම ඒක තේරුම් ගන්න ඕනෑ.’

සමගිය නැති වීමට වන්දියක් තියෙනවාද?
මුසම්මිල්

‘මම සර්වෝදයේ වැඩ කළා. තරුණ සේවා එකේ වැඩ කළා. යෞවන සමාජයේ වැඩ කළා. අපිට මුස්ලිම්, සිංහල ප්‍රශ්න තිබුණේ නෑ. අපි එකට සෙල්ලම් කරනවා. මරණෙට, මගුලට සහභාගී වෙනවා. දෙතුන් දෙනෙක් අතරේ ඇති වුණු සිදුවීමක් තමයි, මේ තරම් දුරදිග අරගෙන ගියේ. ඇත්තටම වැඩිපුර හානි වුණේ අපේ අයට. පොලිසිය බලාගෙන ඉඳිද්දීම අපේ ගෙදරට ගැහුවා. ඒවාට වන්දි දෙනවා කිව්වා. ඒත් සාමය නැති වුණ එකට වන්දි දෙන්න පුළුවන් ද…?’

අපි අවුරුදුවලට කෑම පිඟන් හුවමාරු කර ගන්නා අය
සඳමාලි

‘අපි අවුරුදුවලට, රාමසාන්වලට කෑම බීම පවා හුවමාරු කරගෙන ජීවත් වුණු පිරිසක්. අපේ ගෙට ගහන වෙලාවේ මට එතනට යන්න නොදී මාව බේරා ගත්තෙත්, මුස්ලිම් මල්ලි කෙනෙක්. අපි එයාලගේ ගෙවල්වලට යනවා. සමාජ කටයුතුවල දී, ග්‍රාමසේවා නිලධාරීවරයාට සහාය දෙන කටයුතුවල දී අපි එක්ව කටයුතු කරනවා. ඇත්තටම මෙහෙම දේවල් වෙන එක හිතට හරිම දුකයි.’

සාමාන්‍ය ජනතාව ජාතිවාදී නැහැ
එච්.එල්.බී. කුලතිලක -ජ.වි.පෙ. බෝපෙ, පෝද්දල ප්‍රාදේශීය සභා අපේක්ෂක

බලය වෙනුවෙන් ජාතීන් අතර ගැටලු ඇතිකරන එක අපේ රටේ ධනපති දේශපාලකයන්ගේ පුරුද්දක් බවට පත්වෙලා. සාමාන්‍ය ජනතාව තුළ ජාතිවාදී හැඟීම් ඇති කරන්නේ මේ දේශපාලකයෝ සහ ඔවුන්ගෙන් නඩත්තු වෙන නොයෙකුත් ජාතිවාදී සංවිධාන වලින්. රටේ ජනතාව මේවා අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕන. ඒක අපි හැමෝගෙම වගකීමක්. එහෙම නොවුනොත් දඩුවම් විඳින්න වෙන්නෙත් අපිටමයි.