ජාතියේ කිරි මව මසට විකුණා බාල් නටන පාලකයෝ

budge
නීලහරිත අවමංගල අය – වැය
December 12, 2017
dghfgfg
මග නැගුමට වින කටින ඇමති බෑනා සහ ගැත්තෝ
December 12, 2017
Show all

ජාතියේ කිරි මව මසට විකුණා බාල් නටන පාලකයෝ

milco

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ 1956 වර්ෂයේ පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර පිහිට වූ ජාතික කිරි මණ්ඩලය ජාතියේ දරුවන්ගේ මන්දපෝෂණය දුරු කර කිරි ගොවියා නගා සිටුවීම උදෙසාම පිහිටවූ අතර වර්තමානයේ මිල්කෝ සමාගම නමින් ග්‍රාමීය ආර්ථීකය පිළිබඳ අමාත්‍යාංශය මගින් පාලනය සිදු කරයි. එදා මහින්ද රාජපක්ෂ යුගයේ සොරකම, වංචා, දූෂණ, භීෂණ වලට තෝතැන්නක්ව තිබූ මෙය දුමින්ද සිල්වාගේ මැර කටයුතු සඳහා සේවකයන් රාජකාරී වේලාව තුළ රැගෙන ගිය ආයතනයක් බව කවුරුත් දන්නා රහසකි.
එහෙත් ඒ සියල්ල අවසන් කර සත්‍ය රජකරවන්නේ යයි කියමින් ‘යහපාලන රජයක්’ බිහි කර ගත්ත ද ඒ යහපාලනය අනෙකුත් ආයතන වලට මෙන්ම මිල්කෝ සමාගමේද අසලකටවත් පැමිණියේ නැත. ඒ විෂය භාර අමාත්‍යවරයා විසින් පත්කරන ලද කළමනාකාරිත්වය මෙතෙක් කරන ලද අත්තනෝමතික ක්‍රියාවන් නිසාය.
මෙහි පළමු පියවර තබන්නේ ක්ෂේත්‍ර අමාත්‍යවරයාගේ හිතවතකු සමාගමේ සභාපති වී පරිපාලනය, මිල දී ගැනීම්, අලෙවිය ඇතුලු සියලුම අංශ වල වගකීම් දැරූ නිලධාරීන් ඉවත්කර බුද්ධිය ඇතත් වැඩ බැරි සභාපතිට බියගුලු පිරිසකට එම වගකීම් පවරා දැමීමත් සමගය. නෙස්ලේ සමාගමේ සිටි විශ්‍රාමිකයෙකු උප සභාපති කර ඔහුට හිතවත් විශ්‍රාමිකයන් සමාගම තුළ තනතුරු ලබා දී කිරි සංවර්ධන අංශය පමණක් නොව කිරිවල ප්‍රමිතිය ද විනාශ කර ඇත්තේ එහිම දිගුවක් වශයෙනි.
සෞබ්‍ය සේවයෙහි වෘත්තීය සමිති කි්‍රයාකාරිකයකු වන සෝමසිරි අමරසිංහ නැමැත්තා ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත. සමාගමේ විනාශයේ භාරකරු මොහු වන අතර මැතිවරණයට පෙර තිස්ස අත්තනායක මහතා සමග දේශපාලන කටයුතුවල නියලුන මොහු මෙම තනතුරට පත් වූ ආකාරය අදට ද පුදුමයකි. එදා කොතරම් වැරදි දේ සිදු වුවත් කිරි සංවර්ධනය මිලදී ගැනීම් සේවක වැටුප් ගෙවීම් කිරි ගොවියාට මුදල් ගෙවීම්, සේවක සුභ සාධනය වැටුප් වැඩි කිරීම් අදට වඩා හොඳින් සිදු වූ අතර සමාගමේ මූල්‍යමය තත්ත්වය සතුටුදායක මට්ටමකට පැවතුණි.
වර්තමානයේ සමාගම සතු ස්ථීර තැන්පතු මිලියන 1200ක් ද කිරි ගොවියා සතු සමාජ ආරක්ෂණ අරමුදලේ තිබූ මිලියන සියයක ඉක්ම වූ මුදලද වර්තමාන සභාපතිවරයා අත්තනෝමතික ලෙස වියදම් කර සමාගම විශාල මූල්‍ය අර්බුදයකට ලක්කර ඇති අතර කිරි ගොවීන්ගේ කිරි මුදල් ගෙවීම, සේවක වැටුප් ගෙවීම, මිල දී ගැනීම් සඳහා මුදල් ගෙවීම සිදු කර ගැනීමට නොහැකි වී ඇති අතර ඉහත සිදුවීම් හේතුවෙන් සේවකයන් නිලධාරින් විශාල කලකිරීමකට පත්ව අපගේ රැකියාවන් ද අවිනිශ්චිත බවට පත් කර තිබේ.
දිනකට එකතු කරන කිරි ප්‍රමාණය වැඩි වී ඇතද නිෂ්පාදන කටයුතු වල ඇති ගැටලු මෙන්ම කිරිවල ප්‍රමිතියේ වරදින් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් නැවත කර්මාන්තශාලා තුළම විනාශ කරයි. අඹේවෙල අති නවීන කිරි පිටි කර්මාන්තශාලාවක් ආරම්භ කළ ද එම කිරි පිටි යන්ත්‍රය සඳහා මිලදීගන්නා ලද අමුද්‍රව්‍ය නොගැලපීම හේතුවෙන් අඹේවෙල ගබඩා තුළ පිටි ටොන් 800 ඉක්මවා අපතේ යමින් ඇත. මෙවැන්නක් සිදු වී ඇත්තේ විධිමත් අධ්‍යයනයකින් තොරව එම නවීකරණ කටයුතු සිදු කිරීම නිසාය. මේ වන විටද අඹේවෙල කර්මාන්තශාලාවේ බටර් නිෂ්පාදන යන්ත්‍රය සඳහා මිලදී ගත් අමුද්‍රව්‍ය නොගැලපීම හේතුවෙන් බටර් ටොන් 500 ඉක්මවා ශීතාගාර තුළ අපතේ යමින් ඇත.
එසේම ප්‍රමිතියෙන් තොර කිරි මිලදී ගැනීම හේතුවෙන් දිගන සහ පොළොන්නරුව කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන කිරි පැකට් නිෂ්පාදන කාලය තුළම නරක් වීම නිසා කර්මාන්තශාලා තුළම විනාශයට පත් කරමින් ඇත.
ෆින්ලන්තයෙන් ලැබුණ ආධාර මත මිල දී ගනු ලැබු බවුසර් චැසි සඳහා එම රටින් ලැබුණ ටැංකි රැඳවීමට නොහැකිව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචනික ලෙස ලියාපදිංචි කර ඇතත් නිසි ප්‍රයෝජන ගැනීම අපහසුව ඇත.
ඒ තාක්ෂණික ගැටලු පමණකි. එසේම සමාගමේ විනය සම්බන්ධයෙන් සහ පමණක් නොව ආයතන නීති සංග්‍රහය ක්‍රියාත්මක වන්නේද ආකාර දෙකකටය. අමාත්‍යවරයා රැකියා ලබා දුන් පිරිසකට සහ කළමනාකාරිත්වයේ උසස් නිලධාරින් දස දෙනෙකුට පමණක් දස දහසක වැටුපක් වැඩි කර ඇති අතර උසස්වීම්, ස්ථානමාරුවීම්, ඉන්ධන, නිල නිවස, නිල රථ, අතිකාල දීමනා, බටා ඇතුළු සියලුම වරප්‍රසාද හිතුමතේට සිදු වෙයි.
විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා සියල්ලන් නොමග යවමින් ආයතන සංග්‍රහයද නොතකමින් නොමිලේ ආයතනය සතු අයිස්ක්‍රීම් යන්ත්‍රයක් ඔහුගේ අනියම් හිතවතියකට ලබා දී එම පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු වී ඇත. දිගන කර්මාන්තශාලාවේ තිබූ අබලි යකඩ, තඹ, වායුසමීකරණ යන්ත්‍ර සහ සුදු යකඩ ලොරි හතරකින් පෝය දිනක රැගෙන ගොස් ඇතත් ඒ සඳහා පැවැත් වූ පරීක්ෂණ සාධාරණ වී නැත. මුදල් අල්ලස් ලබාගෙන අලෙවි නියෝජිතයන් පත් කර ඇති බවද මේ සිදු කර ඇති දූෂණ ගොන්නට එකතු වී තිබේ. ලිංගිකත්වයට මුල් තැනක් ලබා දෙන මෙම ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා ඔහු හා යහන්ගත වීමට කාන්තාවන්ට බලපෑම් සිදු කර ඒ අයට නව රැකියා උසස්වීම් ස්ථාන මාරුවීම් විශාල වශයෙන් ලබා දී ඇතත් මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරියද මුනිවත රැකීම පුදුමයකි.
මිල්කෝ ආයතනයේ සිදු වී ඇති වංචා සම්බන්ධව යන මැයෙන් ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමකට අදාළව කරුණු පරීක්ෂා කර වාර්තා කරන ලෙස සභාපතිවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරිය විසින් දෙන ලද උපදෙස් අනුවම සිදු කරන ලද පරීක්ෂණයක දී පහත සඳහන් කරුණු හෙළිදරව් වී තිබේ.
• මිල්කෝ ආයතනයේ බම්බලපිටිය අලෙවිසලෙහි ඉදිරි ප්‍රයෝජන ගැනීම සඳහා ස්ථාන ගත කර තිබු අයිස් ක්‍රීම් පිරවීමේ යන්ත්‍රයක් එයින් ඉවත් කර පුද්ගලික වරළත් අලෙවිසලකට නොමිලේ ලබාදීම.
• මිල්කෝ ආයතනයේ පිළිගත් ප්‍රතිපත්තිවලට පටහැනිව අධිශීතකරණයක් සහ බෝතල් ශීතකරණයක් ඒවායේ වටිනාකම් කොටස් වශයෙන් අයකරගැනීමෙන් තොරව අදාළ පුද්ගලික ආයතනයටම නිකුත් කිරීම.
• මෙම කරුණු දෙකම සිදු වී තිබුණේ මිල්කෝ ආයතනයේ අලෙවි අංශය මගින් වුවද ඒ සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ටියුඩර් සෝමසිරි අමරසිංහ නමැති අය තමන් වෙත උපදෙස් ලබා දුන් බව අලෙවි කළමනාකරු සහ අලෙවි නියෝජිත විසින් හෙළි කර තිබීම.
ඒ හැර මේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයාට ඔහුගේ රාජකාරි කටයුතු සඳහා එක් වාහනයක් පමණක් වෙන්කොට දී ඇතත් ඔහු වාහන දෙකක්ම පාවිච්චි කොට ඇති අතර එම වාහන දෙකටම ඉන්ධන ලබාගෙන ඇති බවත්, එකම දින වලදී රියදුරන් දෙදෙනකු රාජකාරි සඳහා යොදවා ඇති බවත්, ඔවුන්ට අතිකාල දීමනා සහ බටා ගෙවීම අනුමතකළ ඇති බවත් අදාළ නිලධාරින් විසින් දැනුම් දී ඇත.
හයිලන්ඩ් කිරිපිටි ලබාදෙන බවට පොරොන්දුවී ලබාගත් මුදල් වෙනුවෙන් හයිලන්ඩ් කිරිපිටි ලබා නොදීම සී/ස ඌව පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ සමූපකාර සමිතිය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එම ආයතනය දැනුම්වත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද මේ වන තෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගයක් නොමැත.
එහි සඳහන් වන ආකාරයට ඌව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමූපකාර සමිතියක් වන සී/ස ඌව පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ සමූපකාර සමිතිය විසින් හයිලන්ඩ් කිරිපිටි ලබා ගැනීම සඳහා ඔබ ආයතනයේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරිපිටි ඛෙදාහැරීමේ නියෝජිතයකු වන ගම්පොළ, හතුගොඩ, කෙසෙල්වත්ත පාරේ, අංක 106 දරන ලිපිනය යටතේ ලියාපදිංචිව තරුෂ ඩිස්ට්‍රිබියුටර්ස්හි හිිමිකරුවන පී.පී. අතපත්තු මහතා වෙත අවස්ථා කිහිපයක දී රුපියල් 3,180,120.00 ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල් වෙනුවෙන් හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට් 6768 ක ප්‍රමාණයක් ලබාදී ඇති අතර තවත් රුපියල් 1,453,200.00 මුදලක කිරිපිටි ලබාදිය යුතු බවත් එම කිරිපිටි ලබාදීම දිගින් දිගටම මග හරිමින් සිටින බව එම සමිතිය විසින් දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් පී.පී. අතපත්තු නම් අයෙකු සමඟ සාකච්ඡාකර විසදීම සඳහා ඔහු සමඟ දුරකථනයෙන් කතා කළ අතර එහිදී අතපත්තු යන අය විසින් දන්වා සිටියේ සමිතිය විසින් දන්වන පරිදි කිරිපිටි ලබාදීමට ඇති බවත් 2016-10-04 දින සමිතිය වෙත කිරිපිටි ලබාදීම සිදු කරන බවත්ය. එහෙත් අවසානයේ සිදු වන්නේ එම අවස්ථාව එම නිලධාරියා විසින් මගහැරීමයි. තරුෂි ඩිස්ට්‍රිබියුටස් හිමිකරු වන ගම්පොළ පී.පී. අතපත්තු, සී.බී. රත්නායක මහතාගේ සමීප හිතවන්තයෙකු වූ වන අතර හයිලන්ඩ් නිෂ්පාදන නුවරඑළිය බල සීමාව තුළ ඛෙදා හරිමින් සිටින අතරතුර සිදු කළ වංචාවන් නිසා ඒජන්සිය අත්හිටුවනු ලැබූවෙකි. මොවුන්ට මිල්කෝ සමාගමේ කටයුතු අර්බුදයට යන අයුරින් කටයුතු කිරීමට හැකියාව ලැබී ඇත්තේ දේශපාලන ආශිර්වාදය නිසා බව ඉතාම පැහැදිලිය.
මේ මිල්කෝ ආයතනය තුළ සිදු වන වංචා හා දූෂණ වලින් කොටසක් පමණකි. මේ සම්බන්ධයෙන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සහ විගණකාධිපතිවරයා ඇතුළු වගකිවයුතු ආයතන දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇතත් දේශපාලන මැදිහත්වීම් විසින් ඒ සියල්ල යට ගසමින් තිබේ. එසේම දූෂිතයන්ට ඒ ආකාරයෙන් කටයුතු කරන්නට ඉඩ දීම ඇමතිවරයාගේ ක්‍රමය බව අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ ද නැත. ඇමතිවරයාට තෙල් හොරකම් කරන්නට සහ හරක් හොරකම් කරන්නට තිඛෙන නිසා මේවා ගැන හොයා බලන්නටද බැරිය. මේ සියල්ල දෙස තව දුරටත් නිහඩව බලා සිටියහොත් අවසානයේ සිදු වන්නේ දේශීය කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති ප්‍රධානම ආයතනය විනාශ වෙමින් කිරි ගොවියා අසරණ තත්ත්වයට පත් වීම කිරි ටිකත් රටින් ගෙන එන තෙක් මෙරට ජනතාවට බලා සිටීමට සිදු වීමය.


චතුර දිසානායක