තෙල්, සයිටම් සහ ඉල් මාසය

සතියක් තිස්සේම තෙල් පෝලිම්වල රස්තියාදු වීමට ජනතාවට සිදු වූ තෙල් අර්බුදය රටම සෙලවීමට සමත් වූයේ යැයි කිවහොත්, නිවැරදිය. සටහන ලියන අවස්ථාව වන විට තෙල් රැගෙන එන බව කියන නැව ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වූ බවට පුවත් වාර්තා විය. නැව කොළඹ වරායට පැමිණ, තෙල් සාම්පල් පරීක්ෂා කර, තෙල් ගොඩබෑම සිදු කර, ඛෙදාහැරීම තවත් හෝරා ගණනාවක කටයුත්තකි. එම තෙල් ප්‍රමිතියෙන් බාල නොවන්නේ නම්, එසේ බෙදාහැරීම ඇරඹුණු විට තෙල් අර්බුදය අවසන් වනු ඇත. එහෙත්, ඒ ස්ථීරවම නොව නිසැකවම තාවකාලිකවය. යළි කිනම් මොහොතක වුවද, මේ ප්‍රශ්නය ඇති වීමේ අනතුර පවතී. තෙල් නැවක් හරවා යැවීමට සිදු වීම කනගාටුදායක කරුණක් වුවද, ඒ විසින් අහඹු ලෙස හෝ රටට ඉතාම බලපෑම්සහගත අර්බුදයක් පිළිබඳ සැබෑ තතු ජනතාවට හෙළිදරවු කෙරිණි. තෙල් වෘත්තීය සමිති බොහෝ අරගල කර අවසානයේ වැඩ වර්ජන පවා සිදු කර පෙන්වා දුන් ජාතික ආර්ථීකයටත්, ආරක්ෂාවටත් බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් නිරාවරණය විය. මෙරට පාලකයන්ගේ බඩගෝස්තර, එමෙන්ම දීන ප්‍රතිපත්තියක් හෙළි විය. ඒ නිසා තෙල් නැව පැමිණීම තාවකාලික පැලැස්තරයක් වන අතර, සැබෑ රෝගය හා රෝග නිධානය එලෙසමය.
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ද ජනාධිපති පත් කළ කමිටුවෙන් නොවැම්බර් 08 දිනැති ලිඛිත පොරොන්දුවක් ලබා දීමත් සමඟ මාරාන්තික උපවාසයක යෙදී සිටි දෙමව්පියන් විසින් එය නතර කොට තිබේ. ඒ අනුව සයිටම් ආයතනය අහෝසි කිරීමත්, දැනට බඳවාගෙන ඇති සිසු සිසුවියන් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ කමිටුවෙන් සැලසුම් සැකසීමටත්, එකී සියලු ක්‍රියාමාර්ග 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ ප්‍රතිපාදන අනුව සිදු කිරීමටත් එයින් පොරොන්දු වී තිබේ.
මෙය සයිටම් හොර උපාධි කඩයට එරෙහිව සටන් කළ සියලු බලවේගයන්ගේ තීරණාත්මක ජයග්‍රහණයක් බවට කිසිදු විවාදයක් නැත. ආණ්ඩුව වැටුණත්, සයිටම් ආරක්ෂා කරන බවට වහසි බස් කියමින් සිටි ආණ්ඩුවේ තීරණාත්මක පරාජයකි. කෙසේ නමුත්, මෙය ආණ්ඩුව තම ක්‍රියාමාර්ගයක් පසුපසට ගැනීමක් මිස ප්‍රතිපත්තිය වෙනස් කිරීමක් දක්වා ගොස් ඇති බවක් කිසිසේත්ම හැඟවෙන්නේ නැති බව තේරුම් ගත යුතුව තිබේ.
එබැවින්, ආණ්්ඩුවේ පෞද්ගලිකකරණ ප්‍රතිපත්තිය වෙනස් වී ඇත්තේ නැත. එය වෙනස් වේ යැයි සිතීමට ද නොහැකිය. ඒ නිසා අනෙකුත් ක්ෂේත්‍ර මෙන් ම අධ්‍යාපනය ද පෞද්ගලිකකරණය සඳහා තව තවත් සැලසුම් ක්‍රියාත්මක වීම බලාපොරොත්තු විය යුතුය. සයිටම් ක්‍රියාවලියම පවා නම් ගම් වෙනස් කර වෙනත් ක්‍රමයකට ඉදිරියට ගෙන ඒමට ඉඩ තිබේ. ඒ පිළිබඳව අවදියෙන් සිටීමත්, සටන් කිරීමත් අවශ්‍ය වනු ඇත. ඒ නිසා මෙම තාවකාලික ජයග්‍රහණය සැබෑ ලෙසම පැලැස්තරයක් බව තේරුම් ගත යුතුව තිබේ. රෝග නිධානයත්, රෝගයත් තවමත් එලෙසමය. එය තේරුම් ගැනීමට පන්ති දේශපාලනය පිළිබඳ තරමක හෝ අවබෝධයක් අවශ්‍යය.
තෙල් අර්බුදය හා එයට පැලැස්තර විසඳුම් ලැබීමත්, සයිටම් අර්බුදය හා එයට පැලැස්තර විසඳුම් ලැබීමත් සිදු වන මේ නොවැම්බර් දෙවැනි සතිය ඒ ගැන පුළුල්ව කතා කිරීමට ඉතා වැදගත් නිමිත්තක් සපයා තිබේ. ඒ නොවැම්බර් 13ය. ලාංකීය ඉතිහාසයේ නොවැම්බර් 13 තීරණාත්මක දිනයක් වූයේ මීට වසර 28කට පෙර එක් සුවිශේෂී පුද්ගලයෙක් රාජ්‍ය මැර හමුදා විසින් කෘෘර ලෙස මරා දැමූ දිනයක් වූ නිසාය. ඒ සුවිශේෂී පුද්ගලයා රෝහණ විජේවීරයන්ය.
රෝහණ විජේවීරයන් ලාංකීය භූමිය තුළ රෝපණය කළේ මෙම තාවකාලික පැලැස්තර දැමීම් වෙනුවට සැබෑ ලෙසම රෝග නිධානයට ප්‍රතිකාර කර රෝගය නිට්ටාවටම සුව කරන මාර්ගයයි.
සෑම ක්ෂේත්‍රයක්ම වෙන වෙනම ගත් විට ඒ හැම තැනකම බරපතළ ගැටලු මතු වී තිබේ. අධ්‍යාපන, සෞඛ්‍යය, ප්‍රවාහනය, කර්මාන්ත, කෘෂිකර්ම, ධීවර ආදී සෑම ක්ෂේත්‍රයකම මේ තත්ත්වය පෙන්නුම් කරයි. එම පීඩාවන්ට එරෙහිව සිසුන්, කම්කරුවන්, මගීන්, රෝගීන්, ගොවීන්, ධීවරයන් ආදී ප්‍රජාවෝ හඩ අවදි කරති. එහෙත්, ඔවුහු සෑම විටම ප්‍රශ්නයේ තමන්ට දැනෙන සීමාවට පමණක් කොටු වෙති. එවිට පාලකයෝ පැලැස්තර දමා ඇඟ බේරා ගැනීමට උත්සාහ කරති. පවතින ක්‍රමය එලෙසම තබා ගනිමින්, යම් යම් වෙනස්කම් සිදු කිරීම ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වයි.
විෙජ්වීරයන් සිදු කළේ මේ සියලු රෝගවල රෝග නිධානය එකක්ම බව පෙන්වා දීම පමණක් නොවේ. එය සුව කිරීමට අවශ්‍ය ප්‍රතිකාරයත්, එය ලබා දෙන ක්‍රමවේදයත් මේ මහ පොළොව මත නිර්මාණය කිරීමය. එනම්, ප්‍රතිසංස්කරණ සඳහා සටන් කරන සියලු බලවේග සංවිධානාත්මකව සමගි කර ඉන් ඔබ්බට මෙහෙයවෙන වැඩපිළිවෙළක් සකස් කිරීමය. එපමණකින් ද නොනවතින විජේවීරයන් ලංකාවේ අතිශය සංකීර්ණ කර තිබූ ජාතික ගැටලුව වැනි ප්‍රශ්න පවා ඉතා ගැඹුරින් විමර්ශනය කර විශ්ලේෂණය කර එයට ඇති සැබෑ විසඳුම් ද ඉදිරිපත් කළේය. ඔහු හා ඔහු හෙළි කළ මග ඓතිහාසික වන්නේ ඒ නිසාය. ඒ අතර සටන් කරන බලවේගවලට ප්‍රතිසංස්කරණ ජයග්‍රහණයන් ද අවශ්‍යය. සටන් සඳහා ජවය, ශක්තිය හා විශ්වාසය ලැඛෙන්නේ ඒ තුළිනි. සයිටම් සටන ඊට කදිම උදාහරණයකි.
රෝහණ විජේවීරයන්ගේ අමිල දිවිය ජනතා සතුරන් උදුරා ගත් බව සැබෑය. එහෙත්, ගත වන සෑම මොහොතක් පාසාම ඔහු හෙළි කළ යථාර්ථය යළි යළිත් ජීවමාන වන්නේය.