දිනේෂ් කෑල්ලට හඩා වැටෙයි

මහින්ද ගිය පාරේම මෛත්‍රී වේගයෙන් ගමන් කරමින් සිටින බව විවිධ අවස්ථාවල මෙම තීරයෙන් හෙළි කරන ලද්දේය. මහින්ද ගිය පාරේ එක් අංගයක් වූයේ දෑතින් විලි වසා ගැනීමේ ගමනක්ය. මෛත්‍රී දැන් ලක්ෂ 62ක් ඡන්දදායක බහුතර බලය පැත්තකට දමා හැම අතින් ම කරමින් සිටින්නේ දෑතින් විලි වසා ගැනීමේ දේශපාලනයක් වන්නේය. පවුල් බලය තර කිරීම ද, බැඳුම්කර කොල්ලය හැර අනෙකුත් වංචා, දූෂණ සම්බන්ධයෙන් තත්ත්වය ද, මූල්‍ය අපරාධකරුවන් ඇතුළු අපරාධකරුවන්ට දඩුවම් දීම සම්බන්ධ තත්ත්වය ද ආදී වශයෙන් බොහෝ කරුණු ඇත්තේය. පසුගිය සතියේ මේ අතරට එක් වූයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ මූලික අංගයක් වන මැතිවරණ අයිතිය ලබා නොදී කල් දැමීම සම්බන්ධයෙන් දෑතින් නිරුවත වසාගෙන ක්‍රියා කරන ආකාරය වන්නේය. මෙය තනිකර ම මෛත්‍රී පිලේ ඉතාම ලැජ්ජා නැති වැඩක් බව හැම පැත්තකින්ම තහවුරු වී තිබුණේය.

අයිතිකාරයකු නෑ

මැතිවරණය කල් දැමීමට අධිකරණ ගේමක් ගැසීම සම්බන්ධයෙන් ඉතා පළල් විරෝධයක් රට තුළින් මතු වූයේය. පාර්ලිමේන්තුවේදී ද එයට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කර තිබුණේය. මෛත්‍රී පිල වෙනුවෙන් උත්තර බැඳීමට සිදු වී තිබුණේ මහින්ද අමරවීර ඇමතිවරයාටය. ඔහු නැඟී සිට ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිම ලෙසකින් මැතිවරණය කල් දැමීමට ක්‍රියා නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවය. මැතිවරණ කල් දැමීමට හැම අතකින්ම තම පක්ෂය විරුද්ධ බව ප්‍රකාශ කරන ලද්දේය. ප්‍රාදේශීය සභා හයක් සම්බන්ධයෙන් සීමා නිර්ණය අභියෝගයට ලක් කරමින්, අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ මෛත්‍රී පිලේ ඩිලාන්, දයාසිරි සහ ලක්ෂ්මන් යාපා ඇතුළු ඇමතිවරුන්ගේ සමීපතමයන් හය දෙනෙක් විසින්ය. දියත් කරන ලද අධිකරණ ගේම හමුවේ රට තුළින් මතු වූ විරෝධය ප්‍රබල වූයෙන්, අධිකරණ ගේමට කිසිම අයිතිකාරයකු නොමැති වී තිබුණේය.

තැටි දෙකක් රත් වේ

පසුගිය සතියේ පාර්ලිමේන්තුව දැඩිව උණුසුම් කළ මාතෘකාව වූයේ මැතිවරණය කල් දැමීම සම්බන්ධ වාද විවාදයන්ගෙන් වූයේය. ඒ අතර පාර්ලිමේන්තුවෙන් පිටත මාතෘකාව වී තිබුණේ මැතිවරණය කල් දැමීමටත් වඩා බැඳුම්කර මහා කොල්ලයේ අලුත්ම හෙළි වීම් සම්බන්ධව වන්නේය. මේ අනුව පැහැදිලි වී තිබුණේ පාර්ලිමේන්තුව තුළ එක් තැටියක් රත් වෙමින් තිබූ අතර, එයින් පිටත දී තවත් තැටියක් රත් වෙමින් තිබූ බව වන්නේය. මෙවැනි තත්ත්වයන් මතු වන්නේ කලාතුරෙකින්ය. බොහෝ විට සිදු වී තිඛෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඇති වන තත්ත්වයන් එයින් පිටතට ගමන් කිරීමය. මෙවර මැතිවරණය ගැන පාර්ලිමේන්තුව තුළ උණුසුම් වී තිබූ අතර, එයින් පිටත දී බැඳුම්කර කොමිසමෙන් හෙළි වී තිබූ කෝප් කමිටු සාමාජිකයන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් අතිශය උණුසුම් වී තිබුණේය. කෙතරම් ද යත්, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රාජිත සේනාරත්න වෙනදා රඟපාන මොත්ත දැමීමේ චරිතය වෙනුවට ඇලෝසියස් සමඟ මල් කැඩූ අය ගැන ප්‍රශ්නයේ දී දැඩි ආවේගයකින් ප්‍රහාරාත්මක ස්වරයක් ගෙන තිබුණේය.

දිනේෂ් කෑල්ලට අඩයි

ඇලෝසියස් සමඟ මල් කැඩීම ගැන එළියේ රත් වී තිබුණ ද, පාර්ලිමේන්තුවේ දී දිනේෂ් ආවේගය පිට කරමින්, හඩාවැටුණේ කෑල්ල බැගින් මැතිවරණ පැවැත්වීම කර ගන්නට බැරි වීම සම්බන්ධයෙන් වන්නේය. මෙයට බලපෑ හේතු කිහිපයක්ම දිනේෂ් නියෝජනය කරන මහින්ද කල්ලිය පැත්තෙන් තිබුණේය. ඔවුන් පසුගිය අවුරුදු අට නවයක්ම පුරුදු වී සිටියේම මැතිවරණවලට වීම එකක්ය. තවත් විශේෂ හේතුවක් වී තිබුණේ මහින්දලාගේ වුවමනාව ජනතාවගේ බිම් මට්ටමේ නියෝජිතයන් පත් කර ගැනීමේ අයිතිය දීම වෙනුවට තමන්ගේ බලය වර්ධනය කර ගැනීම පිළිබඳ ව්‍යාපෘතිය බිඳවැටී තිබීමය. මේ සෑම දෙයක්ම අතර බැසිල්ගේ ඕනෑකමට දිනේෂ් සම්පාදනය කළ ද්විපක්ෂ බලයකට ඉඩ සලසන මැතිවරණය ක්‍රමය අහෝසි වී යාම පෞද්ගලිකව දිනේෂ්ගේ හීනමානයට හේතු වී තිබුණේය. ඇලෝසියස් එක්ක මල් කඩන කණ්ඩායම අතර, දිනේෂ් කෑලි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී උද්වේගයෙන් ගැටුණේ මේ නිසා වන්නේය.

වීරවංසගෙන් දික්කසාද වේ

දිනේෂ්ලා දැන් සිටින තැනට වඳ පීදීමේ දේශපාලනය කියා දුන් දේශපාලන ගුරුවරයකු සිටින්නේය. නාමල් රාජපක්ෂ ඒ දේශපාලන ගුරුවරයාට කීවේ ලොකු අයියා කියාය. දැන් ඒ ලොකු අයියා දේශපාලන ගුරුවරයා මහින්දලාටත් ඇණයක් වී වනයක් වී අවසන් බව තහවුරු වී තිබෙන්නේය. ඒ වෙනින් කවුරුත් නොව වීරවංසය. වීරවංස වටේ සිටි කවුරු කවුරුත් දැන් තමන්ගේ වෙලාව ආ හැටියේ දික්කසාද වීමට බලා සිටින්නෝය. පියසිරි එළිපිට ප්‍රහාර එල්ල කරන අතර, එවැනි ප්‍රහාරක හැකියාවක් නැති ‘කොළඹ ලන්සි පැපොල්’ වැනියවුන් හෙමින් සීරුවේ දික්කසාද වී යන්නේය. පාටියේ ලේකම් බව කියන ප්‍රියන්ජිත් අඩා දොඩා දික්කසාද වී ගියේය. තවත් කීප දෙනෙක්ම ‘තව මාස දෙකයි බලන්නේ’ කියමින්, සිටින්නෝය. ඒ අතර දැන් වීරවංස නොබෙල් සම්මානයක් ලැබිය යුතු සොයාගැනීමක් කර තිබෙන්නේය. ‘කොළඹ ලන්සි පැපොල්වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක්කා හොඳයි’ යන්නය.

බය නැති අගමැති

රනිල් මොනම අතකින්වත් අරින්නේ නැත්තේය. දිනේෂ්ගේ දේශපාලන ගුරුවරයා වීරවංස වූවා සේ රනිල්ගේ දේශපාලන ගුරුවරයා පමණක් නොව සැලසුම්කරුවා ද වී සිටි මහින්ද ගිය මඟ මිස වෙන ගමනක් ගැන දැන් හීනයකින්වත් නොසිතන්නේය. බැඳුම්කර කොමිසම හමුවට ‘බය නැති අගමැති’ ලෙසින් ගිය රනිල්ට ආපසු එන අතර, මොකක් දෝ මහා කාන්සාවක් වාගේ දෙයක් දැනෙන්නට පටන්ගෙන ඇති බව පැහැදිලි වන්නේය. ඉන්දියාවේ පැවැත්වෙන අන්තර්ජාතික ‘ඩිජිටල් ග්ලෝබල්’ සමුළුවකට ගිය බව කියන රනිල් ඒ හැම දේකටම කලින් ‘මූකම්බිකා වන්දනාවේ’ ගොස් තිබුණේය. අපේ රටේ සිටි ලොක්කන්ගෙන් තිරුපති වන්දනාව අලුතින් ඇරඹූයේ මහින්දය. තිරුපති වන්දනාව පමණක් නොව දැන් මූකම්බිකා වන්දනාවේ ද ඉදිරි දේශපාලනය සැලසුම් කිරීමට මහායාන, රෝ වැනි වන්දනා ගමන් යන්නේ ද මහින්දය. ඒ මහින්දගේ පාරේම රනිල් ද ගමන් කිරීම අරඹා ඇති බව හෙළි වන්නේය.

මහින්ද එළියේ

මහින්ද දැන් හැංගි හැංගී වෙබස් බැඳීම අත්හැර ඇත්තේය. විශේෂයෙන්ම ඉන්දියාවේ පැවැති මහායාන ජාත්‍යන්තර සමුළුවකට ගොස් ඉන්දීය ආරක්ෂක ඇමතිවරිය හමු වි පැමිණි පසු මූකම්බිකාගේ ‘ගටට’ වැඩියෙන් යමක් ලැබී ඇති බව පෙනෙන්නේය. දැන් නිතර පාර්ලිමේන්තුවේ දකින්නට ලැඛෙන්නේ මේ නිසාවෙන්ය. තතු දන්නා අය සඳහන් කරන්නේ මහින්දගේ ඉන්දියා ගමනට සමාන්තරව ඩලස් ඇමෙරිකා ගමනක ද යෙදුණු බවය. දැන් තිරුපති වෙනුවට ඉන්දියා ආරක්ෂක ඇමතිවරිය, සුමනදාස වෙනුවට ඇමෙරිකාවේ ට්‍රම්ප්ගේ නියෝජිතයන් ද ‘ගටක්’ දී ඇති බව පෙනෙන්නේය. කොහොමටත් තමන්ගේ පුරවැසියකු මේ රටේ ආරක්ෂක ලේකම් කිරීමේ ගෞරවය ඇමෙරිකාව විසින් මහින්දට දිය යුතුව තිබෙන්නේය. තමන්ගේ පුරවැසියකු මේ රටේ ආර්ථීක සංවර්ධන ඇමති කිරීමේ ගෞරවය ද, ඩලස් වැනි ඇමෙරිකානුවන් මහින්දගේ සමීපතමයන් බවට පත් කරගෙන සිටීමේ ගෞරවය ද දිය යුතුව තිබෙන්නේය. මේ සියලු ‘ගටවල්’ සමඟ මහින්ද දැන් නිතර නිතර එළිබැස පාර්ලිමේන්තුවට එමින් සිටින්නේය.

කිරිඇල්ලගෙන් ගල්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවූ දිනවල මහින්දගේ ආවතේවකරුවන් වූ සරත් එන්. ද සිල්වා, ඩී. වී. උපුල් ආදීන් කුපිත වී සිටි තරම කාටත් ප්‍රසිද්ධියේ දැක ගත හැකි වූයේය. කොතරම් වියරු ප්‍රකාශ කළේ ද යත්, ඩී. ඩී. උපුල් නාමල් ඉදිරියේ පොලිස් කොට්ඨාසයේ සේවය කරන ලොක්කාගේ සිට පොලිස් කොස්තාපල් දක්වා ගල් ගසා මරා දමන බවට තර්ජනය කළේය. දැන් ඒ ගල් ගැසීමට මෙන් ඉදිරිපත් වූ තවත් කෙනෙක් ඇත්තේය. ඒ කිරිඇල්ල ඇමති වන්නේය. බැඳුම්කර කොමිසමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලද වාර්තාවෙන් කෝප් කමිටුවේ සාමාජිකයන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාදයේ යෙදීම පිළිබඳ දත්ත පිට වීම ගැන කෝප වී සිටින්නේය. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සභානායක වශයෙන් ප්‍රකාශයක් කරමින්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වී ඇතැයි ප්‍රකාශ කර ඇත්තේය. එයින් නොනැවැතී දැඩිව ප්‍රශ්න කිරීමකට ඉදිරිපත්ව තිබුණේය. මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන වාර්තා රහසිගතව සටහන් කරන ලද්දේ කවරෙකුගේ උපදෙස් මත ද සහ කවර අරමුණක් වෙනුවෙන් ද යනුවෙන් ප්‍රශ්න කර තිබුණේය. ඒ තුළ තිඛෙන්නේ අප්‍රකාශිත ගල් ගැසීමේ තර්ජනය වන්නේය.

අනුරගෙන් පොහොට්ටුවක්

පළාත් පාලන මැතිවරණය කල් යාම පිළිබඳ සංවාදය යලි ඇවිළී තිබෙන්නේය. එය මේ මට්ටමට වර්ධනය වූයේ නිකම් ම නොවේය. විශේෂයෙන්ම හවුල් ආණ්ඩුවේ මෙන්ම මහින්දලාගේ හොර ගේම් නිසා වන්නේය. පසුගිය වසරේ දී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සංවාදයක් ඇති වූ අවස්ථාවක ජවිපෙ නායක අනුර දිසානායක ඉතා පැහැදිලිව සඳහන් කළේ කල් ගොස් තිබෙන මැතිවරණය තවත් කල් නොදමා පැවැත්වීමට අවශ්‍ය නිසා 2012දී සම්මත කළ නව මැතිවරණ ක්‍රමය එක් වරකට පමණක් පැත්තක තබා පැරණි ක්‍රමය යටතේ හෝ ඉක්මනින්ම මැතිවරණය පැවැත්විය යුතු බවය. එදා මහින්ද පිලේ ඩලස් අලහප්පෙරුම නැඟී සිටිමින්, අනුරගේ කතාව සම්පූර්ණයෙන්ම අනුමත කළේය. තම කණ්ඩායමේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත්, ප්‍රමාද නොකර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත් කියා සිටියේය. නමුත්, ඔහුට එම ප්‍රකාශය කර එළියට එන්නට සිදු වූයේ නැත. හතර වටින් වට කරගෙන දිනේෂ්ලා ඩලස්ට පහර දී තිබුණේය. එසේ කළ දිනේෂ් දැන් මේ මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණය හමුවේ නන්දොඩවමින් සිටින්නේය.
ඒ අතර අනුර පියවර ගණනාවක් ඉදිරියට තබා සිටින්නේය. මැතිරවණය කල් දැමීමට විරුද්ධව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට මහින්දගේ පිලට ආරාධනාවක් පාර්ලිමේන්තුවේ දී කර තිබුණේය. අනුරගේ මෙම ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විවිධ සංවිධාන, බහුජන නායකයන්, ආගමික නායකයන්, විද්වතුන් මෙන්ම මහින්ද පිලේ ප්‍රබල කලාකරුවන් කිහිප දෙනෙකුම අනුරට පෞද්ගලිකව කතා කොට ප්‍රසාදය පළ කර තිබූ බව හෙළි වන්නේය.

අපිව බලන්න ආවේ ඔබතුමා

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ ජාතිවාදී කෝලාහල ඇති කිරීමට කර තිබූ උත්සාහය නිසා සිංහල හා මුස්ලිම් ජාතිකත්ව අතරේ කිසියම් බියක් ඇතිව තිබුණේය. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට දැඩි අලාභහානි සිදු වී ඔවුහු භීතියෙන් සිටියහ. ඇතිව තිබූ තත්ත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සාකච්ඡා කර තිබුණේ සියලුම ආකාරයේ ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකෝප කිරීම්වලට විරුද්ධව හැකි උපරිම මැදිහත් වීම කළ යුතු බවය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පූර්ව සූදානම් කිරීම් රැසක් දින වකවානු සහිතව යොදා ගනිමින්, සියලුම නායකයෝ ඒ වෙනුවෙන් වෙහෙස නොබලා ක්‍රියා කරමින් සිටියෝය. මේ අතර පක්ෂයෙන් තීරණය කර තිබුණේ නායක අනුර දිසානායක ගිංතොට ප්‍රදේශයට ගොස් ජනතාව හමු විය යුතු බවය. ඒ අනුව අනුර පසුගිය 21 වැනිදා ගිතොට ප්‍රදේශයට ගොස් තිබුණේය. ජනතාව ජවිපෙ නායකයා සමඟ තම දුක්ගැනවිලි ප්‍රකාශ කර තිබුණේය. ‘අපිව බලන්න මේ වෙනකම් කිසිම ඇමති කෙනෙක්වත් ආවෙ නෑ. ඔබතුමා තමයි, ඉස්සෙල්ලාම ආවේ…’ යනුවෙන් ඔවුහු ප්‍රකාශ කර සිටියහ. මුස්ලිම් ආගමික නායක මව්ලවිතුමන්ලා ද ජවිපෙ නායකයාගේ පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කර තිබුණේය.

හඳුන්ට ණය ගැටලු

මේ අතර ජවිපෙ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙම සතිය ආරම්භයේ දී සිටියේ, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පූර්ව මැතිවරණ කටයුතු සූදානම් කරමින්ය. මේ දිස්ත්‍රික්ක තුනම බරපතළ නියං තත්ත්වයෙන් තවමත් බැටකමින් තිබෙන්නේය. ප්‍රධාන කෘෂිකාර්මික වගාව වන වී වගාව බරපතළ ලෙස විනාශ වී තිබෙන්නේය. මේ තත්ත්වය නිසා ගොවීන්ගේ වගා ණය ගෙවා ගත නොහැකිව ඔවුහු අන්ත අසරණ බවට පත් වී සිටිති. මේ තත්ත්වය නිසා ප්‍රදේශවල ආර්ථීකයේ බරපතළ කඩාවැටීම් තිබෙන්නේය. ආණ්ඩුවේ වගකිව යුතු කිසිම ඇමතිවරයකු මැදිහත්ව ගැටලු සොයා බලා පිළියම් නොයොදන්නේය. මේ සියලු විස්තර ජනතාව ජවිපෙ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමඟ ඉතා සමීපව හා සුහදව ප්‍රකාශ කර තිබුණේය.
මේ සියල්ලම අතුරින් බරපතළම ප්‍රශ්නය වී තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා වී මෝල් හිමියන්ටය. ලබාගෙන තිබෙන ණය ගෙවා ගැනීමට නොහැකිව ඔවුහු බරපතළ තත්ත්වයක සිටිති. මීළඟ කන්නයේ අස්වැන්න කපා ගැනීමෙන් පසුව ණය වාරික ගෙවීමට පහසුකම් සපයා දෙන බව කබීර් හෂීම් විෂය භාර ඇමතිවරයා පොළොන්නරුවේ දී ගොවීන්ට පොරොන්දු වී තිබුණේය. නමුත්, එම පොරොන්දුව ඉටු නොකිරීමෙන් කුඩා මෝල් හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීම දක්වා බරපතළ වී තිබේ. ඔවුන්ගේ ප්‍රශ්නය පිළිබඳව දැඩි අවධානය යොමු කළ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට සහ ආණ්ඩුවේ වගකිව යුත්තන්ට සෘජුව දැනුම් දීමට පියවර ගන්නා බවට පොරොන්දු වී තිබුණේය. ජනාධිපතිවරයාගේ දිස්ති්‍රක්කයේ අසරණ වී සිටින දේශීය සහල් නිෂ්පාදකයන් පිරිසක්ම ආණ්ඩුවේ ඇමතිවරයකු විසින් රවටා තිබුණේ මෙසේය.