නීලහරිත අවමංගල අය – වැය

බෙsdgs
චීනය සුපිරි බලවතා වන විට ලංකාව හොම්බෙන් යාම
December 12, 2017
milco
ජාතියේ කිරි මව මසට විකුණා බාල් නටන පාලකයෝ
December 12, 2017
Show all

නීලහරිත අවමංගල අය – වැය

budge

2018 වසර සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැය ගැන විවිධ පම්පෝරිද, ප්‍රශස්තිද, විවේචනද මතු වී තිබේ. අයවැය ඉදිරිපත් කිරීමට පෙර මංගල සමරවීර ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙරට තරුණයන්ට බිලී පිත්තක් අතට ලැබෙන අයවැයක් ඉදිරිපත් කරන බවය. එම සංකල්පය නම් ඉතා අගනා එකක් බවට විවාදයක් නැත. නීලහරිත අයවැයක් ලෙස නම් කරමින් මංගල ඇමතිවරයාගේ මංගල අයවැය සුන්දර වචනවලින්ද යුක්තය.
එසේම 1978න් පසු ඉදිරිපත් වූ විප්ලවීයම අයවැය මෙය බවද ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශ වෙයි. ඒ අනුව මෙවර අයවැයේ පදනම් සංකල්පය වී ඇත්තේ 1978 අරඹන ලද ආර්ථීක ගමන නව වේගයකින්, නව වටයකින් පණ ගන්වා ගැනීමය. ඒ සඳහා ඇති බාධා ඉවත් කිරීමය. නීතිරීති අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමය. එය තවදුරටත් යායුතු ‘ලිහිල්කරණය’ පිළිබඳව ඉදිරිපත් කර තිබේ.
1978දී ජේ.ආර්.ගේ නායකත්වය යටතේ රොනී ද මෙල් මුදල් ඇමතිවරයා විසින් විවෘත ආර්ථීකය සඳහා පාර කපන ලදී. මෙරට ආයෝජන ඇරඹීම සඳහා විදේශීය සමාගම්වලට පහසුකම් සැලසීමට පියවර ගැනීම එහි මූලික අරමුණු බව ප්‍රකාශ විය. ඒ අනුව කම්කරු නීතිරීති ලිහිල් කිරීමත්, ආයෝජන සඳහා ඇති බාධා ලිහිල් කිරීමත් සිදු විය. ලාබ ශ්‍රමය කොල්ලකෑමට ඉඩ ලැඛෙන නිදහස් වෙළඳ කලාප බිහි විය. ඒ සඳහා වන බලශක්තිය පිළිබඳ ප්‍රශ්න විසඳීමට එවකට තිස් අවුරුදු සැලැස්මක් වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය වසර 6කට කෙටි කර කඩිනමින් මහවැලිය බවට පත් විය. තව බොහෝ දේ සිදු විය.
1977න් ඇරඹි එජාප පාලනය 1994දී අවසන් වුවද 1994 බලයට පත් චන්ද්‍රිකා ජනාධිපතිවරිය ප්‍රකාශ කළේ විවෘත ආර්ථීකයට මානුෂික මුහුණුවරක් දෙන බවය. එසේ කීමට ඇයට සිදු වූයේ විවෘත ආර්ථීකය අමානුෂික බව ජනතාව තුළ තහවුරුව පැවති නිසාය. එහෙත් කිසිදු වෙනසක් නොමැතිව එම ආර්ථීක පිළිවෙතම තවදුරටත් ඉදිරියට ගෙන යනු ලැබිණි. ඉන්පසු මේ දක්වා බලයේ සිටි මහින්ද, රනිල්, මෛත්‍රී යන මේ සියලු පාලන සමයන් තුළ ඉදිරියට ගියේ එම ආර්ථීක පිළිවෙතමය.
මෙම විවෘත ආර්ථීක මොඩලය වෙනුවෙන් මෙරට මහ පොළොවත්, ජනතාවත් සිිදු කළ කැප කිරීම් සුවිශාලය. එනම් විදේශීය ආයෝජන වෙනුවෙන් මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කෙරිණ. මෙරට ස්වාධීනත්වයට, ස්වෛරීත්වයට අදාළ නීතිරීති ලිහිල් විය. සොබාවික සම්පත්, පරිසරය ඒ වෙනුවෙන් බිලි දෙන ලදී.
ඒ සියල්ල අවසන අප උරුමකරගෙන ඇති ප්‍රතිලාබ වී ඇත්තේ මොනවාද? අපට කිසිසේතම ඔරොත්තු නොදෙන, ගෙවා ගත නොහැකි මහා ණය කන්දකි. ශ්‍රම කොල්ලයට ගොදුරු වූ හප බවට පත් වැඩකරන ජනතාවකි. පාරිසරික විපත්, ඛේදවාචක බවට නිතර පත්වන අනතුරුදායක වටපිටාවකි. ජනතාවගෙන් 42%ක් දුප්පතුන් බවට පත් වීමය. විරැකියාව, මන්දපෝෂණය, සියදිවි නසා ගැනීම්ය. මත්ද්‍රව්‍ය භාවිතය, අසහනය, ගැටුම් හා මරා ගැනීම් ඉහවහා ගිය සමාජයකි.
දැන් මංගල ඇමතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කරමින් මෙරට ජනතාව යෝජනා කරන්නේ මේ පැමිණි පාරේම තවත් වේගයෙන් යා යුතු බවය. 1977න් ඇරඹි මේ ගමනට දැන් දශක හතරක් පිරී තිබේ. මේ ගැන සඳහන් කරන විට එසේ නම් 1977ට පෙර පැවති ක්‍රමයට යමු යැයි ඇතැමෙකු යෝජනා කිරීමට ඉඩ තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ 1948 සිට 1977 දක්වාද ජනතාවගේ ප්‍රශ්න විසඳී තිබුණේ නැති බවය. අනෙක් පැත්තෙන් වත්මන් නව ලිබරල්වාදී ආර්ථීකය ඇති වීම හුදෙකලා සිදුවීමක් නොවේ. එය ලෝකය වෙලා ගත් නව ලිබරල්වාදී ආර්ථීක ක්‍රියාවලියේම එක් කොටසක් පමණි. අප දැනටමත් හිරවී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ඇතුළු අධිරාජ්‍යවාදී මූල්‍ය ඒජන්තයන්ගේ උගුල් එහි ක්‍රියාකාරිත්වයයි.
ඒ අතර පීඩිත ජනතාව තව තවත් පීඩාවට ලක් කරන මෙවැනි සමාජ රටාවක, මේ ආර්ථීක මොඩලයෙන් ලද යම් ප්‍රතිලාබයක් වී නම් එය ජනතාවට ලැබුණේ නැත. ඒවා බහුජාතික බූවල්ලන්ගේත් මෙරට පාලක ධනපති පන්තියේත් සාක්කු පුරවාලීය.
ඒ නිසා හරයෙන් ගත් විට මෙවර අයවැය ඊට පෙර ඉදිරිපත් වූ ඒවායින් කිසිදු වෙනසක් පෙන්වන්නේ නැත. එය අතිිවිශාල අයවැය හිඟය පියවීමට ණය ගැනීමට යෝජනා කරයි. ජනතාව මත බදු බර වැඩිකිරීමටත්, නව බදු හඳුන්වාදීමටත් යෝජනා කරයි. ජනතා සහන හා සේවාවන් තව තවත් කප්පාදු කිරීමට යෝජනා කරයි. නීතිරීති තව තවත් ලිහිල් කර ශ්‍රම කොල්ලයත්, රටේ සම්පත් කොල්ලයත් සඳහා ඉඩකඩ විවර කර ගැනීමට යෝජනා කරයි.
එබැවින් මේ අයවැයට කළ හැක්කේ වත්මන් විනාශය හා ඛේදවාචකය තවත් උග්‍ර කිරීම පමණි. ඇතැමුුන් මංගලගේ නීලහරිත අයවැය ජයමංගල අයවැයක් බව කීවද රටටත්, ජනතාවටත් එය අවමංගල අයවැයක් බව පැහැදිලිය.