නුඹ නාඩං… නුඹ නාඩං… නුඹට මේවා හොද පාඩම්

ඩුaEfea
ඇමතිතුමනි, විනය පරීක්ෂණ තැබිය යුත්තේ කාට ද?
December 12, 2017
ලුerhyre5
අරාබි ලෝකයේ සතුරු රටවල් දෙකක අලුත්වන කතාව
December 12, 2017
Show all

නුඹ නාඩං… නුඹ නාඩං… නුඹට මේවා හොද පාඩම්

fhjdj

ගැල් පැදවීමෙන් ජීවිකාව ගෙන ගිය පිය පුතු දෙදෙනෙක් රාත්‍රියේ ගිමන් හැරීමට දැදුරු ඔය අසබඩට පැමිණ, ගග ඉහළට වැසි වැටුණොත් ගෙග් සැඩ ජල පහරට අසු වී ගසාගෙන යා හැකි යයි පුතා කියද්දී, පියා එය ගණන් නොගෙන ගග ඉවුරේම නිදා ගත්තා. රාත්‍රියේ ගෙග් ඉහත්තාවට වැසි වැටී මහා ජල කදක් විත් පියා ගසාගෙන යන විට කෑ ගසන හඩ පුතාට ඇසුණා. දියේ ගසාගෙන යන පියා දුටු පුතා ‘පුතේ මම උඹට මේක වෙයි කියලා කලින්ම කීවා… දැන් මට කරන්න දෙයක් නෑ’ යි කීවාලු. පුතා අප්පාට ‘පුතේ’ කියූ කතාව වගේම දැන් අපට ජනපති මෛත්‍රීට කීමට සිදුව තිඛෙන්නේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව කී දේ නාහා, ශ්‍රීලනිපය බදා ගැනීමට ගොස්, ජනාධිපති ධුරයද හෑල්ලු කර, දේශපාලන අගාධයට වැටීම පිළිබදව කරන්නට දෙයක් නැති බවයි.
පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණු මෛත්‍රී ජනපතිවරයාට ඡන්දය දුන්නු බහුතරය එජාප පාක්ෂිකයන් බව රහසක් නොවෙයි. ඒ වගේම ඒ වෙලාවෙදී එජාපය ඔහුට සම්පූර්ණ සහාය දුන්නා. ඉතින් ඒ කළගුණ සැලකීම වෙනුවෙන් එජාපය බලයට පත් කර, රනිල් අගමැති කිරීමට ඔහුට සිදු වුණා. මේ බලය නිසාම රනිල්ගේ හා එජාපයේ යම් යම් හිතුවක්කාර ක්‍රියා මාර්ග පාලනය කරන්නට ඔහුට හැකි වුණා. තමා බලාපොරොත්තු වුණු විදිහේ බලතල අතහැර සියලු බලය අගමැතිට පවරා රූකඩයක් වෙන ජනපතිවරයකු වෙනුවට රනිල්ට මුහුණ දෙන්නට සිදුවුණේ පාර්ලිමේන්තුවේ බලයක් සහිත, යම් යම් අවස්ථාවල තමාට විරුද්ධව යන ජනපතිවරයකුටයි. මේ දේ සිදුවෙන්නට ප්‍රධානම හේතුව ජනපතිවරයා ජනවාරි 8 ජනතා කැමැත්තට දිගින් දිගටම පිටුපාමින්, ජනතා ද්‍රෝහී ගමනේදී අවස්ථාවාදීන් පිරිසක් සමග අතරමං වීමේ අනතුරට දැන් ඔහු මුහුණ දී සිටිනවා.
ආණ්ඩුව දැන් පෙන්වා දෙන්නේ අගමැති රනිල් බැදුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට යාමයි. දින 100 ආණ්ඩුව පත් වී දින කිහිපයක් තුළ සිදු කළ මේ මහා මංකොල්ලය ගැන සාක්ෂි දීමට නෛතිකව අගමැතිවරයා බැදී ඉන්නවා. ඇත්ත වශයෙන්ම ඔහු මේ සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරුවෙක් වෙනවා. මහ බැංකු අධිපති ධුරය තම හෙංචයියකු වන අර්ජුන් මහේන්ද්‍රන්ට ලබා දුන්නේ රනිල් නොවේද? විදේශ පුරවැසියෙකු වන තම රාජකීය මිත්‍රයා මේ තනතුරට පත් කළා පමණක් නොව, ඔහුව දිගින් දිගටම ආරක්ෂා කළේද රනිල්මයි. නැවත වරක් ඔහුව මේ තනතුරට පත් කිරීමට රනිල් සෑහෙන්න උත්සාහ කළා. ජනපතිවරයා අර්ජුන්ව ඉවත් කළ පසුව නිල නොවන තනතුරක ඔහුව රදවා ගනිමින් ආරක්ෂා කළේ අගමැති රනිල් විසින්. ඉතින් කොමිසම ඉදිරියේ හෙළිදරව් වන කරුණු අතර අගමැතිවරයාගේ නම ඈදෙන්නේ නිකන්ම නොවෙයි. ඉතින් මේ කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට යාම මහා ලොකු විප්ලවයක් වෙන්නේ කොහොමද? අනික් අතට මේ කොමිසමට එරෙහිව කරන්න පුළුවන් හැම දෙයක්ම එජාපය පැත්තෙන් කරපු බවත් රහසක් නොවෙයි. බැරිම තැන කොමිසම හමුවට එන එක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියන එක විහිළුවක් විතරයි.
ඊළගට මෙයට පෙර බටලන්ද කොමිසම හමුවේ සාක්ෂි දීමට රනිල් නොගියේ මන්ද? ඔහු සාක්ෂි දීමට පැමිණීමට පෙර ප්‍රබල සාක්ෂිකරුවකු වූ වින්සන්ට් ප්‍රනාන්දු අබිරහස් ලෙස මිය යන්නේ කෙසේද? ත්‍රිකුණාමලයේ, නිලාවැලියේ සංචාරක බංගලා භාරකරුවා වූ රෙජිනෝල්ඩ් සිල්වෙස්ටර් වින්සන්ට් ප්‍රනාන්දු පසුව රනිල් වික්‍රමසිංහගේ ආරාධනාවක් අනුව 1982 අප්‍රේල් 01 දින සිට බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ තිබුණු සංචාරක බංගලාවේ භාරකරු ලෙස 1994 ජනවාරි 31 දක්වා සේවය කළේය. කුප්‍රකට භීෂණ යුගයේ බටලන්ද වධකාගාරයේ සිදු වූ සිදුවීම් හා රනිල්ගේ ක්‍රියාකලාපය පිළිබද අභියෝගයට ලක් වූ සාක්ෂියක් දුන් වින්සන්ට් ප්‍රනාන්දු හිටි හැටියේ මිය යයි. කොමිසම රනිල්ට සිතාසි නිකුත් කිරීමට යන විටම ඔහු මිය යාම පිළිබද අපූරු විස්තරයක් බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 81 වන පිටුවේ සදහන් වේ.
මේ වෙද්දී ආණ්ඩුව යම් යම් දැන්වීම් මගින් පවා පවසන පරිදි මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ඛේදවාචකය, බැදුම්කර කොමිසම, වගේ දේවල් ආණ්ඩුවේ යහපත් බව පෙන්වන ලක්ෂණ ලු.
ඒ අතර පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සදහා උපක්‍රමශීලීව සීමා නිර්ණය පිළිබදව කිහිප දෙනෙකු අධිකරණය ඉදිරියට ගිය බව ප්‍රසිද්ධ රහසක්. මෙහිදී ඇගිල්ල දික් වන්නේ ජනපති මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපය වෙතයි. මහින්දගේ පොහොට්ටු සෙල්ලම නිසා දෙකඩ වන ශ්‍රීලනිපය අන්ත පරාජයකට මුහුණ දෙන බව ඕනෑම කෙනෙකුට පෙනෙන්නට තිබෙනවා. රාජපක්ෂගේ නඩයේ බොහෝ දෙනෙකු නඩු නැතිව නිදහසේ ඉන්නේත්, දැමූ නඩු එක තැන පල් වෙමින් තිඛෙන්නේත් රනිල්, මහින්ද ඩීල්වල ප්‍රතිඵලයක් නිසා බව රටේ ජනතාව දනියි. සත්‍යය කුමක් වුවත් ඡන්දයකට මුහුණ දීමට බයේ ඉන්නේ ශ්‍රීලනිපයයි. මැතිවරණ කොමිසමේ සභාපති නම් කියන්නේ මේ 27 වන දින මැතිවරණ නාම යෝජනා දිනය ප්‍රකාශ කරන බවයි. සියල්ල සිදු වන්නේ අධිකරණයේ තීන්දුව අනුවය. මැතිවරණය තැබුවත් – නොතැබුවත් ජනපති මෛත්‍රීගේ පාර්ශ්වය පරාදය.
කිසි දිනක මේ රටේ ජනපති වන්නට තමාට නොහැකි බව වටහාගෙන සිටින රනිල් දෙවරක්ම ජනපති තරගය මගහැරියා. සම්මුතිවාදී ආණ්ඩුව කියමින් රටේ සියලුම රාජ්‍ය හා සංස්ථාවල තමන්ගේ හෙංචයියන් දමා ගත්තා. තානාපතිවරු දමා ගත්තා. දූෂිතයන් ලෙස හංවඩු ගැහුණු අර්ජුන් මහේන්ද්‍රන්ලා, පාස්කරලිංගම්ලා, චරිත රත්වත්තේලා, වගේ පිරිසකට හා සුදත් චන්ද්‍රසේකර, සමන් අතාවුද වගේ ගජ මිතුරන් කිහිප දෙනෙක්ට තනතුරු දුන්නා. රනිල්ගේ රාජකීය මිතුරන් වළල්ල ලෙස සැලකෙන මලික්, අකිල, සාගල, රවී, වගේ පිරිසක් එක්ක අද රට පාලනය කරනවා. දැන් මහින්දගේ ගැලවුම්කාරයා වෙලා ඉන්නේ රනිල් බව රහසක් නොවෙයි. කොටින්ම රටම බලාපොරොත්තු වෙන ව්‍යවස්ථා වෙනසින් පවා රනිල් බලාපොරොත්තු වෙන්නේ ජනපතිගේ බලතල අගමැතිට ලබා ගන්න එකයි.
නොවිය යුතු බොහෝ දේවල් මේ රටේ සිදුවෙමින් තිඛෙනවා. තමන්ම තටු කපාගත් ජනපති මෛත්‍රීට අද ආණ්ඩුව විසුරුවා හැරීමේ හෝ ඇමතිවරයකු අස් කිරීමේ බලයක් නැහැ. එජාපයෙන් විසිවුණු හා හිතා මතා ජෝඩු කළ අය වටේ තබාගෙන ජනපති මෛත්‍රී දිගින් දිගටම ජනතා බලාපොරොත්තු කඩ කරමින් අප්‍රසාදයේ පතුළටම යමින් සිටිනවා. යම් හෙයකින් දෝෂාභියෝගයක් ගෙනාවොත් ඔහුට කළ හැකි කිසිවක් නැහැ. ආණ්ඩුව විසුරුවන්නවත්, බහුතර කැමැත්ත ලබා ගන්නවත් බැහැ. එජාපය හා මහින්ද පාර්ශ්වය එක් වූ විට, සහ දැන් බලය නිසා මෛත්‍රී ළග ඉන්නා කල්ලිය මහින්දගේ පැත්තට ගිය විට බහුතරය ප්‍රමාණවත්. එදා සහාය දුන් සිවිල් සංවිධාන සහ ජනතාව පවා මේ වෙලාවෙදී මෛත්‍රීට සහාය දෙන තැනක නැහැ. දිගින් දිගටම පක්ෂය සෝදාපාළු කරන්නට මහින්දලාගේ කල්ලියට ඉඩ දීමේ ප්‍රතිඵලය විදිහට අද බිම් මට්ටමේ ඡන්ද පදනමේ බරපතළ අඩුවක් තිඛෙන බව පැහැදිලියි. මේ බව දන්නා ශ්‍රීලනිපය පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමට හැකි සෑම දෙයක්ම කරමින් ඉන්නවා.
මේ දේශපාලන ගිනි දළු අතර පසුගියදා ගිංතොට පැත්තෙන් ජාතිවාදයේ ගිනි දළු යළිත් ඇවිළුණා. පහුගිය කාලේ පුරාම අළු යට සැගවී දුම් දමමින් තිබුණු ගින්දර දැන් එළිපිටම ඇවිලෙන්න පටන් අරන්. මහින්දලාගේ පාලන කාලයේ රාජ්‍ය අනුග්‍රහයෙන් ජාතිවාදය අවුළුවමින් ගිය චීවරධාරි මැරයන් හා කල්ලි ජනවාරි 8 න් පසු කෙටි කලක් නිහඩව සිටියා. නව ආණ්ඩුවෙන් ඔවුන්ට එරෙහිව කිසිවක් නොවීම නිසාත්, හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ ආරක්ෂාව ලැබිම නිසාත්, ජනපති මෛත්‍රී ජාතිවාදී, ආගම්වාදී ඡන්ද බලාපොරොත්තුවෙන් මේ මැරයන් සමග සාකච්ඡා කිරීම නිසාත් යළිත් ප්‍රබෝධවත් වුණු මේ කණ්ඩායම් පහුගිය කාලේ පුරාම යම් යම් ක්‍රියාවල නියැළුණා. ඒ අවස්ථාවලදී ආණ්ඩුවේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය නිසාම බිය සැක නැති වුණු මොවුන් විසින් අවසානයේ රටම අප්‍රසාදයට පත් වෙන පරිදි සරණාගතයන්ට පහර දීම පවා කළා. ජාතිවාදය හා ආගම්වාදය දැඩි ක්‍රියාමාර්ග මගින් මුළිනුපුටා දැමීමෙන් තොරව තාවකාලිකව යටපත් කිරීම නිසා සුළු සිද්ධියකින් පවා ක්ෂණයකින් මහා කෝලාහලයක් ඇති වන්නට ඉඩ තිඛෙනවා. ගිංතොට සිදුවීමත් එවැන්නක්. පහුගිය කාලේ පල්ලි කිහිපයකට එල්ල වුණු ප්‍රහාර වල වගකිව යුත්තන් අත්අඩංගුවට ගත්තේ නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අඩඛෙර ගහලා අල්ලපු දෙන්නත් සාක්ෂි නැති නිසා නිහඩවම නිදහස් වුණා. අධිකරණය මගහරිමින් බරපතළ වැරදි සිදු කළ ඥානසාර පහසුවෙන් ඇප ලබා ගන්නවා. මේ වැරදි පූර්වාදර්ශ මගින් මුස්ලිම් ජනතාවට බියත්, සැකයත්, කාන්දු වුණා වගේම ජාතිවාදී සිංහල කල්ලිවලට ශක්තියක්ද ලැබුණා. මෙම ගිංතොට සිද්ධියට ගලගොඩඅත්තේ ඥානසාර වැන්නෙකුට මැදිහත් වීමට ඉඩ දීමත් ආණ්ඩුවේ බරපතළ වරදක්. බියෙන් සහ සැකයෙන් සිටින මුස්ලිම් ජනතාව අතර ජාතිවාදී අදහස් ඉක්මනින් පැතිර යාමට මෙය හේතුවක් විය හැකියි.
මේ ගැටුම වෙලාවෙදි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයත් අවුල් සහගතයි. මාධ්‍ය වාරණයක් පනවමින්, එය යටපත් කරන්නට උත්සාහ දැරීමේ ප්‍රතිඵලය වන්නේ බොරු තොරතුරු ඉක්මනින් පැතිර යාමයි. නිවැරදි හා සත්‍ය තොරතුරු වාර්තා නොකර බොරු ප්‍රචාර වැළැක්වීමට තැත් කිරීම නිෂ්ඵල කාර්යයක්. තාක්ෂණය දියුණු වර්තමානයේදී වාරණ මගින් තොරතුරු සැගවීම කළ නොහැක්කක්. ඒ වගේම දිගින් දිගටම ජාතිවාදය, ආගම්වාදය පතුරවමින්, බොරු ප්‍රචාර කරමින් සිටින මහින්ද කල්ලියේ වැඩ පිළිවෙළට එරෙහිව නීති ක්‍රියාත්මක නැහැ. ව්‍යවස්ථා වෙනසට පක්ෂ අය ඝාතනය කළ යුතු යැයි ප්‍රසිද්ධියේ පවසන කමල් ගුණරත්නලා රණවිරු ලේබල් ගහලා හුරතල් කරද්දී, බොදු බලේ වගේ සංවිධානවල භික්ෂූන්ව සිවුර නිසා ආරක්ෂා කරද්දී මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. මේ විදිහට ගියොත් රට කොයි මොහොතේ හෝ ගිනි ජාලාවක් වීම වළක්වන්න පුළුවන්ද? ජනාධිපති මේවා ගැන වගේ වගක් නැතිව රට කියන්නේ පොළොන්නරුව කියල හිතාගෙන, මයිලෝ වලට විරුද්ධව රට පුරා දේශන පවත්වමින් අරගලයක් කරනවා.
ඇත්තටම මෛත්‍රී ජනපතිවරයාට හිතවත්ව සිටි පිරිස දැන් ඔහුගෙන් ඈත් වෙලා. අර මුවාගේ මස් කන්නට උපක්‍රමශීලීව උගුල් අටවා තිබුණු කුඹුරට ඌ කැදවාගෙන ගිය නරියාගේ චරිතය රගපාන අය නම් ඔහු වටේම පිරිලා. ලේකම්ලා, උපදේශකලා, අලුත් සංවිධායකවරු හැමෝම එහෙමයි. තීරණාත්මක මොහොතක මේ උගුලට ජනපති අසුවන බව පෙනුනොත් ඔවුන් තමුන්ගේ සැබෑ ස්වරූපය එළියට දමාවි. එදා පොදු අපේක්ෂකයා ලෙස ජනපති තනතුරට පත් වුණු පසු නිර්පාක්ෂික ජනපති ලෙස කටයුතු කරමින්, ජනතාව සමග හිදිමින්, ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළා නම්, දුන් පොරොන්දු කඩ නොකළා නම්, දූෂිතයන්ට නිසි දඩුවම් දී, නැවත දූෂණ සිදුවීම වැළැක්වූවා නම්, මේ අවස්ථාවේ දී ජනතාව මෛත්‍රී වටා හිදිමින් ඔහුව රකින බව විශ්වාසයි. ඒත් අවාසනාවට ඒ ස්වර්ණමය අවස්ථාව අපතේ හැරපු ජනපති මෛත්‍රී පටු අරමුණු පසුපස යාම නිසා දැන් ඔහුට එජාපයත්, ශ්‍රීලනිපයත්, ඔහු වටා සිටි ජනතාවත්, උගතුන් බුද්ධිමතුන් ඇතුළු සංවිධානත් සියල්ල අහිමි වෙලා.


ඩී. බී. ඇල්කඩුව