මහ බැංකු බැඳුම්කරේ – රනිල් වටා හොඳින් කැරකේ

පලනි දිගම්බරම්
සහන කපන එක අසාධාරණ වුණත්, වෙන කරන්න දෙයක් නෑ (කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්)
December 12, 2017
z_p01-Dinesh
දිනේෂ් කෑල්ලට හඩා වැටෙයි
December 12, 2017
Show all

මහ බැංකු බැඳුම්කරේ – රනිල් වටා හොඳින් කැරකේ

එට්කා වෙනුවෙන් මහ බැංකු

‘මේ කොහෙද දුවන්නේ…? ටිකක් නැවතිලා අහන්න පුළුවන්ද? අපි හැමෝගෙම ජීවිතවලට අදාළ අනාවැකියක් කියන්නම්. නෑ… අත බලන්න, බුලත් කොළ බලන්න ඕනෑ නෑ… කොටින්ම මූණ බලන්නත් ඕනෑ නෑ… මම කියන්න යන්නේ අපි කාගේත් ඛෙල්ලට තොණ්ඩුව දාලා තියෙන දෙයක් ගැන. බැඳුම්කර කොල්ලය ගැන…’
අනාවැකිය කියුවේ ගංගා සුදර්ශනී මෑණියන් නොවේය. කොහොමටත් සුමනදාස නම් නොවේය. ඉන්දියාවෙන් පැමිණි ලෝක පූජිත අනාවැකි කියන්නකු ද නොවේය. බැඳුම්කර කොල්ලයේ සැඟ වී තිබූ දෙයක් ගැන අනාවැකිය කියුවේ, පසුගිය අගෝස්තු 08 වැනිදාය. ජවිපෙ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාය. මාධ්‍ය හමුවක් පවත්වමින්, අනාවැකිය කීය.
ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණ කටයුතු කෝප් කමිටුවේ ‘ෆුට්නෝට් කල්ලියට’ සම්බන්ධ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දුරකථන පරීක්ෂා කර බැලුවොත්, ඒ කාලයේ අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් එක්ක සම්බන්ධකම් පැවැත්වූයේ කවුරුන් ද කියලා හොයා ගන්න පුළුවන්. කෝප් කමිටුවේ විමර්ශන තීරණාත්මකව යන වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් දුරකථන ඇමතුම් ලැබුණු එජාප මන්ත්‍රීවරුන් එතන වාඩි වෙලා හිටියා. ඒ නිසා රවී කරුණානායක විතරක් නොවෙයි, ‘ෆුට්නෝට් කල්ලිය’ ලෙස රටට හෙළිදරව් වුණු අජිත් පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා, හර්ෂ ද සිල්වා ඇතුළු කල්ලියේ දුරකථන ඇමතුම් පරීක්ෂා කළොත්, මීට සම්බන්ධ තවත් බොහෝ අය හොයා ගන්න පුළුවන්.
ජවිපෙ වෛද්‍ය නලින්ද ජයතිස්ස එදා හෙළි කළ නම් අතර තිබෙන හර්ෂ ද සිල්වාගේ නම පමණක් වැරදි ගොස් ඇත. තමන් මේකට කිසිම සම්බන්ධයක් නැති බව විවිධ අවස්ථාවලදී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ බව වාර්තා වී තිබේ. එය සත්‍යයක් බව හෙළි වන අතර, මැක්කන් සමග’ නැගිටීමට සිදු වීමේ තත්ත්වයක් බව පැහැදිලිය. වෛද්‍ය නලින්ද ජයතිස්ස එදා හෙළි කළ නම් අතර නොසිටි හෙක්ටර් අප්පුහාමි සහ මෛත්‍රී පිලේ දයාසිරි ජයසේකරගේ නම් අලුතින් කෝප් කමිටුවේ සාමාජිකයන් වශයෙන් හෙළි වී තිබේ. එමෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් එවකට සිටි මහ බැංකු අධිපති ලොක්කා වෙනුවට බෑනා වන අර්ජුන් ඇලෝසියස් විසින් කෙළින්ම කෝප් කමිටුවේ එම සාමාජිකයන්ට කතා කර ඇත.
බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ අවශ්‍යතාවය අනුව රහස් පොලිසිය විසින් එම කොමිසමට පසුගිය සතියේ 16 වැනි බ්‍රහස්පතින්දා ලබා දී තිබෙන දුරකථන ඇමතුම් වාර්තාව මගින් හෙළි වී තිඛෙන තොරතුරු විමසීම වැදගත්ය. මෛත්‍රී පිලේ දයාසිරි ජයසේකර ඇමතිවරයාට අර්ජුන් ඇලෝසියස් හෙවත් බෑනා එක් ඇමතුමක් ගෙන ඇති අතර, ඇමතිවරයා ද එක් ඇමතුමක් බෑනාට ගෙන ඇත. රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ සුජිව සේනසිංහ ඇමතිට ඇලෝසියස් ඇමතුම් 36ක් ගෙන ඇත. සුජීව සේනසිංහ ද පෙරළා මේ මහා මංකොල්ලකාරයාට ඇමතුම් 26ක් ගෙන තිබේ. දෙදෙනා අතර හුවමාරු වී ඇති ඇමතුම් සංඛ්‍යාව 62ක්ය. කෝප් කමිටු සාමාජිකයන් අතුරින් වැඩිම ඇමතුම් හුවමාරු වී ඇත්තේ මේ දෙදෙනා අතරය. අජිත් පී. පෙරේරාට මංකොල්ලකාරයාගෙන් ඇමතුමක් පැමිණ ඇති අතර, ඇමතිවරයා ද එක් ඇමතුමක් පමණක් ආපසු ගෙන ඇත. හෙක්ටර් අප්පුහාමිට මංකොල්ලකාරයා ඇමතුම් 13ක් ගෙන ඇති අතර, අනෙක් අතට අප්පුහාමි ද මංකොල්ලකාරයාට ඇමතුම් 10ක් ලබා දී ඇත. දෙදෙනා අතර ඇමතුම් 23ක් හුවමාරු වී ඇත. එයට අමතරව එක් කෙටි පණිවුඩයක් මංකොල්ලකරුගෙන් ලැබී ඇත.
අප්පුහාමිලා ද මේ වැඩේ දී අරින්නේ නැත. පැණි වදයක් කඩා ගැනීමට කෝප් කමිටුවේ සාමාජිකකම් හෝ ඈත පුත්තලමේ අප්පුහාමිකම් හෝ අදාළ වන්නේ නැත. තවත් විශේෂත්වයක් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණම මන්ත්‍රී බව කියන්නේ හර්ෂණ රාජකරුණාය. මංකොල්ලකාර බෑනාගෙන් ඔහුට ඇමතුම් 13ක් ලැබී ඇති අතර, හර්ෂණ රාජකරුණා මේ මංකොල්ලකාරයාට ඇමතුම් 10ක් ලබා දී කෙටි පණිවුඩ 11ක්ද දී ඇත. මේ මංකොල්ලය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ පරීක්ෂණ කටයුතු තීරණාත්මක අවධියක තිබූ 2016 මැයි මස 06 වැනි දින සිට 2016 ඔක්තෝබර් 28 වැනි දින දක්වා මෙම ඇමතුම් හුවමාරු කරගෙන තිඛෙන බව රහස් පොලිස් වාර්තාව මගින් හෙළි කර ඇත.
රහස් පොලිසියෙන් මෙම වාර්තාව බැඳුම්කර කොමිසමට ලබා දීමත් සමඟ භූමිතෙල් ගෑවුණු ගැරඩියකු සේ කලබල වී සිටින ප්‍රධාන අයකු වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිය. සභා නායකගේ කාර්යභාරය අකුරටම ඉටු කරන බව ප්‍රකාශ කරමින්, ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ, මේ තොරතුරු හෙළි කිරීම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවය. එයින් නොනැවතී මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. තමන්ගේ අය ගලවා ගැනීමට අවම හෝ ඉඩක් තිබේ දැයි බැලීමට එවැනි ඉල්ලීමක් ඔහු කතානායකවරයාගෙන් කළ යුතුය. සභා නායක වශයෙන් ඔහුට ඒ වෙනුවෙන් බලයක් ද හිමිය. ඔහු පාර්ලිමේන්තුව හමුවේ විගණකාධිපතිවරයාට විරුද්ධව ද මේ බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් මේ ලෙසම අවි අමෝරාගෙන සිටි අයෙකු බව සිහිපත් කළ යුතුය.
ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව හමුවේ මන්ත්‍රී වරප්‍රසාද ගැන කළ ප්‍රකාශයේ ‘කොමිෂන් සභාව වෙත පැවරී ඇති නියෝගය වන්නේ කරුණු විමර්ශනය කොට වාර්තා කිරීම යන්න ද සිහිපත් කළ යුතුය. එය අධිකරණයක් නොවන අතර, කිසිවකු කිසිදු වරදකට වරදකරුවකු බවට හඳුනාගෙන නොමැත. අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් කිසිවෙකුට හෝ එරෙහිව කිසිදු කරුණක් හොයාගෙන නොමැත.’ යනුවෙන් සඳහන් කර තිබේ. එයින් නොනැවතුණු කිරිඇල්ල ‘මෙමගින් අප වෙත පැනනගින ප්‍රශ්නය වන්නේ විශේෂයෙන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන වාර්තා රහසිගතව සටහන් කරන ලද්දේ කවරකුගේ උපදෙස් මත ද සහ කවර අරමුණක් වෙනුවෙන් ද යන්නයි. මෙය වූ කලී, මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමකි’ භූමිතෙල් වැදුණු සේ ක්‍රියා කරන්නේ මෙසේය.
තවත් පැත්තකින් කිරිඇල්ලගේ ප්‍රකාශයේ තිබෙන සැඟවුණු තර්ජනය වටහා ගත යුතුය. මෙම උපුටා ගැනීමේ රහස් පොලිස් නිලධාරීන්ට කිසියම් වක්‍ර තර්ජනයක් කර තිබේ. ‘මන්ත්‍රීවරුන්ගේ දුරකථන වාර්තා රහසිගතව සටහන් කරන ලද්දේ කවරකුගේ උපදෙස් මත ද සහ කවර අරමුණක් වෙනුවෙන්ද?’ යන ප්‍රශ්න කිරීම තුළ පවතින්නේ වක්‍රාකාර තර්ජනයයි. මහින්දගේ ඇම්බැට්ටයකු වන ඩී. වී. උපුල් මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයේ (FCID) සියලුම දෙනාට ගල් ගසා මරා දමන බවට තර්ජනය කිරීම වැනි වියරු නොවන සභා නායකගේ සීමාවේ සිට පැහැදිලි අනතුරු ඇඟවීමක් මේ තුළ පවතී. අර්ජුන් ඇලෝසියස් මූල්‍ය අපරාධකාරයෙක්ය. කවුරුන් හෝ දම්මවාගෙන තමන්ගේ අපරාධ කරගෙන යාමට මාන බැලීම උන්ගේ ක්‍රියාවලියයි.
කිිරිඇල්ල තර්ක කරන්නේ මන්ත්‍රී වරප්‍රසාද ගැනම පමණක් නොවේ. ඡන්දදායකයා මන්ත්‍රීවරුන් හා සම්බන්ධකම් පැවැත්වීමේ තැනට මේ වැනි කොල්ලකරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම ද ‘ඉතාම සාධාරණ’ තැනකට පත් කිරීමටය. ‘දුරකථන යනු ඡන්දදායකයකු හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සන්නිවේදන කටයුතු සිදු කිරීමේ අවස්ථාව එකක් ලෙස හඳුනාගෙන ඇත. ‘කොහොමද කිරිඇල්ලගෙ ටිකිරි මොළේ’ තරම? මහා මූල්‍ය මංකොල්ලකාරයකුගේ මහා පරිමාණ කොල්ලයක් ගැන පරීක්ෂණ කරන පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට ද ඡන්දදායකයකු තමන්ගේ මන්ත්‍රීට කතා කිරීම හා සමාන කර ඇත. හෙළි වී තිබෙන කෝප් කමිටු සාමාජික දුරකථන අංකතොරතුරු අනුව කිරිඇල්ලගේ තර්කය යම් තාක් සාධාරණ බවක් පවතින්නේ දයාසිරි ජයසේකර සහ අජිත් පී. පෙරේරා යන ඇමතිවරුන් සම්බන්ධයෙන් පමණය. ඔවුන්ට ඇමතුමක් ලැබී නැවත ඇමතුමක් දීමෙන් සංවාදය අවසන් වී තිබේ. වෙනත් අංක ඔස්සේ සම්බන්ධතා පැවැත්වූයේ ද යන්න වෙන ම විමර්ශනය කළ යුතුය.
බැඳුම්කරේ ‘ෆුට්නෝට්’ කල්ලිය සමඟ පමණක් නොවන එයට පරිබාහිරව ද ආණ්ඩුවේ ප්‍රබලයන් සමඟ ඇලෝසියස් සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව නලින්ද එදා අනාවැකි කියා තිබිණි.
‘මේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනයේ දී රවී කරුණානායක ඇමතිවරයා පිටින් සියලු වැරදි පටවා ගැලවීමට ආණ්ඩුවට බැහැ. මේ ගනුදෙනුව පිළිබඳ වගඋත්තරකරුවන් සෙවීම මූලික කුමන්ත්‍රණය සිද්ධ වෙච්ච 2015 ජනවාරි 15 වැනිදා මුදල් අමාත්‍යාංශයේ සිද්ධ වෙච්ච සාකච්ඡාවේ සිටම ආරම්භ විය යුතුයි. ඒ සඳහා සහභාගී වෙච්ච රවී කරුණානායක මුදල් ඇමතිවරයා එවකට උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමති, කබීර් හෂීම්, මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන්, අගමැතිවරයාගේ නියෝජිතයා විදියට සම්බන්ධ වූ මලික් සමරවික්‍රම යනාදීන් පිළිබඳව විමර්ශනය විය යුතුයි. බොහෝ එක්සත් ජාතික පක්ෂ නායකයන් මේ ගිලටීනයට අහු වෙනවා. ඒ වාගේම
මහ බැංකු බැඳුම්කර වංචනිකයන්ගෙන් අල්ලස් ගත්තේ රවී කරුණානායක විතරක් නොවෙයි…’ යනුවෙන් ද හෙළි කර තිබිණි.
රහස් පොලිසිය හෙළි කර තිබෙන්නේ 2015 ජනවාරි මස 15 වැනි දින සිට අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනා වන ඇලෝසියස් සමඟ සම්බන්ධකම් පැවැත් වූ අය ගැන නොවේ. 2016 මැයි 06 වැනි දින සිට 2016 ඔක්තෝබර් 28 වැනි දින දක්වා කෝප් කමිටු විමර්ශන කෙරෙද්දී මංකොල්ලකාර බෑනා සමඟ සම්බන්ධතා පැවැත්වීම ගැනය. නමුත්, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් පමණක් නොව අගමැති රනිල් පවා බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් බවට සංදර්ශන පවත්වා අවසන්ය. අගමැති රනිල් කොමිසම හමුවේ සාක්ෂි දීම මහා ආශ්චර්යයක් බව දක්වන මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි. මේ මාධ්‍ය මෙහෙයුම බොහොමයක් විකෘති කරන ලද තොරතුරු ලොකුවට පළ කරමින් තිබේ. ‘දිනමිණ’ පුවත්පතේ මුල් පිටුවේ ඉහළින්ම සඳහන් කර තිබුණේ කොමිසමේ සභාපති විනිසුරු කේ. ටී. චිත්‍රසිරි විසින් අගමැතිට ස්තුතිය පළ කළ බවය. කොමිසම හමුවට පැමිණීම අත්‍යවශ්‍ය නොවී තිබුණ ද, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කොමිසමේ කටයුතුවලට සහයෝගය ලබා දීම ගැන ස්තුති කළ බවය. නමුත්, සිදු වූයේ එය නොවේ. මෙයට මාස තුනකට පමණ පෙර කොමිසම විසින් අගමැති රනිල්ට ප්‍රශ්නාවලියක් ලබා දී දිවුරුම් ප්‍රකාශයක් ද සමඟ ලබා ගන්නා ලද පිළිතුරු පිළිබඳව වැඩි දුර පැහැදිලි කර ගැනීමකට කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කර තිබිය දී නැවත සාක්ෂි විභාගය ආරම්භ කරන ලද්දේ මෙවැනි අත්‍යවශ්‍ය සාක්ෂි විමසිය යුතුව තිබුණු බැවිනි. සාක්ෂි ලබා දීමේ අංක එකේ පුද්ගලයා රනිල්ය. රනිල් කොමිසමට ගියේ ඒ අනුවය.
මෙහි දී සිහිපත් කළ යුතු අතීත අවස්ථා සම්බන්ධයක් ද තිබේ. රවී කොමිසම හමුවට ගිය අවස්ථාවේ දී පැවැත් වූ මාධ්‍ය සංදර්ශනය පිළිබඳව යළි සිහිපත් කළ යුතුය. රවී වීරයෙකු කළේය. මහා ආශ්චර්යයක් වශයෙන් එළිදැක්වීය. රවීගේ බිරිඳට අර්ජුන් ඇලෝසියස් විසින් ගෙයක් ලබා දීම පවා රවී නොදැන සිටි බව ප්‍රකාශ කර තිබිණි. නමුත්, දැන් හෙළි වී තිබෙන්නේ ඇලෝසියස් රවීගේ බිරිඳට දුරකථන ඇමතුම් 320ක් ලබා දී දියණියට ද ඇමතුම් 18ක් ලබා දී තිබෙන බවය. ඒ වීර රවී දැන් සිටින්නේ කොතනද? අගමැති යටතේය. මහ බැංකු කොල්ලයට මූලිකයා වූ අර්ජුන් මහේන්ද්‍රන් සිටින්නේ කොතනද? අගමැති රනිල් ළඟය. මහ බැංකු අධිපතිකම අහිමි වූ මහේන්ද්‍රන්ට රනිල් විශේෂ ව්‍යාපෘතියක් භාර කළේය. රහස් පොලිසියෙන් තොරතුරු හෙළි කළ මේ මැති ඇමතිවරුන් පිරිස ද රනිල්ගේය. මෙතනට අඩුවකට ඇත්තේ, අර්ජුන් ඇලෝසියස් හෙවත් බෑනා පමණය. මේ සියල්ල මගින් රනිල් සිටිය යුත්තේ, කොතනද? දෙකෝටි දොළොස් ලක්ෂයක් රටේ ජනතාව ඒ බව තීරණය කළ යුතුය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර