මැණිකෙ අගය කණා දන්නේ නෑ

දේවානම්පිය තිස්ස රජතුමාගේ කාලයේ දී ලංකාවට බුද්ධාගම ලැබීමෙන් පසු ඉන්දියාවෙන් තවත් විශ්වාස වන ජ්‍යෝතිෂය ද, යන්ත්‍ර මන්ත්‍ර ද, යාග හෝම ද, දේව සහ භූත විශ්වාස ද ලැබී ඇත. ප්‍රශ්න කිරීමකින් තොරව මේවා පරම්පරා ගණනක් තිස්සේ සත්‍යය ලෙස විශ්වාස කරන අය මේ විශ්වාසවල යථාර්ථය විද්‍යාත්මකව පැහැදිලි කළ විට ද, ඒවායින් බැහැර නොවෙති. මේ සමහර විශ්වාස නිසා විවිධ නොපෙනෙන බලවේගවල පසුපස ගොස් විශාල මුදලක් ද විනාශ කර ගන්නා විශාල පිරිසක් අප රටේ සිටින බව විවිධ බලවේග මගින් ලෙඩ සුව කිරීම, හැර ගිය අය කැඳවීම, කැමති අය වශී කරවීම, මුදල් ලබා දීම, මතක ශක්තිය වැඩි කිරීම, නීරෝගීකම ඇති කිරීම, විවාහය වාසනාවන්ත කිරීම, අපල දුරු කිරීම, පිටරට රැකියා හිමි කිරීම ආදී විවිධ අවශ්‍යතා ඉටු කර දෙන බවට පුවත්පත්වල පළ වන දැන්වීම් සංඛ්‍යාවෙන් පෙනේ.
පිටු භාගයක් පමණ වන එක් දැන්වීමකින් මැණික් මුදුවලින් සහ බෙලිකටුවලින් ප්‍රබල වාසනාවන්ත ජීවිත ගත කළ හැකි බැව් ප්‍රකාශ වේ. ඛෙලි කටු යනු බෙල්ලා මිය ගොස් ශරීරය ද කුණු වී ගිය පසු ඉතිරි වන කටුවය. මෙම කටුව සෑදී ඇත්තේ, හුණුගල්, කොරල් වැනි දේ සෑදී ඇති රසායනික සංයෝගය වන කැල්සියම් කාබනේට්වලිනි. එම නිසා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැමූ විට බෙලි කටු කාබන්ඩයොක්සයිඩ් වායුව පිට කරමින්, දිය වේ. එහි කවර බලයක් ඇත්ද?
එහෙත්, මැණික් වටිනාකමකින් යුත් අලංකාර ඛනිජ වර්ගයකි. බොහෝ මැණික් වර්ග රසායනික වශයෙන් විවිධ ලෝහවල සිලිකේට වන නිසා පොදු අම්ලවල දිය නොවේ. ඒවායේ වටිනාකමට හේතුව ඒවායේ පවතින තද බව, වර්ණය සහ ඒවායේ දුර්ලභකමය. විශේෂ බලයක් ඒවායේ ද නැත. එහෙත්, ඉතා ඈත කාලයේ විවිධ ජාතීන් මැණික් වර්ගවල විශේෂ ගුණ ඇතැයි සලකා ඇත.
පැරණි රෝමවාසීන් මැණික් වර්ගවලින් ආරක්ෂාව, හොඳ ශරීර සෞඛ්‍යය, වාසනාව යනාදිය ලැබේ යැයි විශ්වාස කර ඇත. යුද්ධවලදී ඒවා පැළඳ සිටීමෙන් ජයග්‍රහණය අත් වේ යැයි ද විශ්වාස කර ඇත. චීනයේ වෛද්‍ය ක්‍රමයේ දී මැණික් වර්ග යොදාගෙන ඇත. විශේෂයෙන් චීන කටු චිකිත්සාව සඳහා කෙළවරට මැණික් යෙදූ ඉඳිකටු භාවිත කර ඇත. පැරණි ඊජීප්තුවරු විසින් මැණික්වල ගුප්ත බල ඇතැයි විශ්වාස කර ඒවා ඔවුන්ගේ සමහර චාරිත්‍රවල දී යොදාගෙන ඇත. මළවුන් භූමදාන කරන විට මැණික්වලින් ලැඛෙන බලයෙන් ඒ අයට ඊළඟ ජීවිතය තිඛෙන ස්ථානයට පහසුවෙන් යා හැකි වනු ඇතැයි සලකා ඇත. විවිධ ගුණ ලැබේ යැයි සලකා ක්ලියෝපැට්රා වැනි බිසෝවරුන් විසින් ද මැණික් පැළඳ ඇත.
පැරණි ග්‍රීක්වරු විසින් යුද්ධයට යාමට පෙර හිමටයිට් නම් ස්ඵටික වර්ගය කුඩු කර ඇෙඟ් ආලේප කර ගැනීමෙන් යුද්ධයේදී ජයග්‍රහණය ලැඛෙන බවට විශ්වාස කර ඇත. පැරණි ජපන් ජාතිය මැණික්වල විවිධ බල ඇතැයි විශ්වාස කර ඇත. නොපෙනෙන බලවේග සමඟ සම්බන්ධ වීමට මැණික් යොදාගෙන ඇත. අනාගතය බැලීමට ගෝලාකාර තිරිවාන ස්ඵටික යොදාගෙන ඇත. පැරණි ඉන්දියාවේ ශාන්ති ක්‍රම සඳහා ද, ඖෂධ සඳහා ද මැණික් භාවිත කර ඇත. මැණික්වලින් ගත හැකි ප්‍රයෝජන වේද නමැති ග්‍රන්ථවල සඳහන් කර ඇත. විවිධ මැණික් භාවිතයෙන් සුව කර ගත හැකි රෝග ගැන ද ඒවායේ සඳහන් කර ඇත. ග්‍රහයන් නිසා ඇති වන අපල උපද්‍රව ද, පෙර කර්මය නිසා ඇති වන රෝග පීඩා ද වැළැක්වීමට භාවිත කළ යුතු මැණික් වර්ග සඳහන් කර ඇත. නවරත්න ලෙස නම් කරන ලද මැණික් වර්ග දහයකින් ලබා ගත හැකි ප්‍රයෝජන දක්වා ඇත. ලංකාවට ලැබී ඇත්තේ ද මේ හින්දු විශ්වාසයන්ය.
මැණික් වර්ග සිය ගණනක් ඇතත්, ලංකාවාසීන් ද වටිනා මැණික් ලෙස සලකන්නේ හින්දු විශ්වාසයෙන් ලැබුණු මැණික් නවය පමණකි. ග්‍රහයන් නව දෙනෙකු ඇතැයි සලකා එම ග්‍රහයන් එකිනෙකා එක් එක් මැණිකට සම්බන්ධ කර ඇත. යම් ග්‍රහයකුගෙන් සිදු වන අපලය දුරු කර ගැනීමට අදාළ මැණික ඔබ්බවන ලද මුද්දක් පැළඳිය යුතු යැයි විශ්වාස කර ඇත. එමෙන්ම ජ්‍යෝතිෂයේ දැක්වෙන ලග්න දොළහ සඳහා ද අධිපති ග්‍රහයන් දක්වා ඇත.
හින්දු ජ්‍යෝතිෂය අනුව සූර්යයා ග්‍රහයෙකි. සිංහ ලග්නයට අධිපතිය. සූර්යයාගේ මැණික ලෙස සලකන රූබි (Ruby) හෙවත් රතු කැට වේ. සූර්යයාට සම්බන්ධ ලෝහය රත්තරන් යැයි සැලකේ. මේ නිසා සිිංහ ලග්නය හිමි අය රතු පාට මැණිකක් අල්ලා ඇති රත්තරන් මුද්දක් පැළඳිය යුතු යැයි විශ්වාස කෙරේ. මේ අන්දමට චන්ද්‍රයා සිතට බලපාන්නේ යැයි ද, කටක ලග්නයට අධිපති යැයි ද සලකා කටක ලග්නය හිමි අය මුතු ඇල්ලු රිදී මුද්දක් ද, අඟහරු අධිපති වන මේෂ සහ වෘශ්චික ලග්න හිමි අය රතු කොරල් ඇල්ලු රන් හෝ රිදී මුද්දක් ද, බුධ අධිපති මිථුන සහ කන්‍යා ලග්න හිමි අය එමරල්ඩ් (Emarald) ඇල්ලු රන් හෝ රිදී මුද්දක් ද, බ්‍රහස්පති අධිපති ධනු සහ මීන ලග්න හිමියන් පුෂ්පරාග (Yellow Sapphire) ඇල්ලු රන් මුද්දක් ද, සිකුරු අධිපති වෘෂභ සහ තුලා ලග්න හිමි අය දියමන්ති (Diamond) ඇල්ලු රත්තරන් මුදුවක් ද, සෙනසුරු අධිපති වන මකර සහ කුම්භ ලග්න හිමි අය නිල් මැණික් ඇල්ලු රිදී මුද්දක් ද පැළඳිය යුතු යැයි විශ්වාස කෙරේ. රාහු සහ කේතු වශයෙන් ග්‍රහ වස්තු නැති නමුත්, ජ්‍යෝතිෂය අනුව ඒවා ග්‍රහයන් ලෙස සලකා රාහුට අදාළ මැණික ගෝමේද (Hessonite) ලෙස ද, කේතුට අදාළ මැණික වෛරෝඩි (Cat’s eye) ලෙස ද සැලකේ.
නවරත්න ලෙස සලකනු ලබන මැණික් වර්ග නවයම මුද්දක හෝ ‘පෙන්ඩන්ට්’ එකක හෝ අල්ලා පළඳින අය ද සිටිති. එම මැණික් නවය සකස් කරන්නේ සම්මත පිළිවෙළක් අනුවය. සූර්යයාගේ සම්බන්ධකමක් ඇති මැණික ලෙස සලකන රූබියක් මැදට සිටින සේ අනෙක් මැණික් එය වටා සකස් කෙරේ. රූබියට ඉහළින් දියමන්තිය ද, එහි සිට ඔරලෝසුවක කටු ගමන් කරන දිශාවට දියමන්තිය, මුතු කැටය, රතු කොරල්, ගෝමේද, නිල් මැණික, වෛරෝඩිය, පුෂ්පරාගය සහ එමරල්ඩ් යන මැණික් පිළිවෙළින් සකස් කෙරේ.
ඇත්ත වශයෙන් මැණික් යනු ස්වාභාවික සිද්ධි නිසා පෘථීවියෙහි ඇති වන ඛනිජ වර්ග වේ. මුතු යනු ඛනිජයක් නොව ඛෙල්ලකුගේ ශරීරයෙන් ශ්‍රාවය වන ද්‍රව්‍යයකින් හට ගත් මැණික් වර්ගයකි. රතු කොරල් ද කොරල් නමැති සතුන්ගේ ශරීරවලින් ශ්‍රාවය වන ද්‍රව්‍යවලින් සෑදුණු එකකි. දියමන්ති යනු කාබන් නමැති තනි මූලද්‍රව්‍යයක් පමණක් ඇති ඛනිජයකි.
බොහෝ මැණික්වල අඩංගු වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් සිලිකේට් වැනි අවර්ණ රසායනික සංයෝග වේ. මේවායේ වර්ණය ඇති වී තිඛෙන්නේ අපද්‍රව්‍ය ලෙස අඩංගු වී ඇති ක්‍රෝමියම්, යකඩ, ටයිටේනියම්, නිකල්, කොපර්, මැන්ගනීස් යන මූලද්‍රව්‍ය නිසාය. මූලද්‍රව්‍ය ස්වභාවයේ 98ක් පවතී. ඒවා හෝ ඒවායේ සංයෝග ඉතා විශාල සංඛ්‍යාවක් පවතී. ඒවා කිසිම ග්‍රහයකුට සම්බන්ධයක් නැත. ග්‍රහයන් සෑදී ඇත්තේ ද මෙම මූලද්‍රව්‍යවලින් හෝ ඒවායේ සංයෝගවලිනි. සූර්යයා හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍යය හීලියම් යන මූලද්‍රව්‍යයට පරිවර්තනය කරමින්, ආලෝකය හා තාප ශක්තිය පිට කරන වස්තුවකි.
අප රටේ වටින්නේ යැයි සලකන මැණික් වර්ගවලට වඩා ඉතා විශාල වටිනාකමක් ඇති මැණික් වර්ග ලොව ඇත. ඒවා පළඳින්නේ අලංකාරයටය. නිදසුන් වශයෙන් රතු දියමන්තියේ මිල කැරට් එකක් ඇමෙරිකානු ඩොලර් මිලියනයකට වඩා වේ. (කැරට් එකක් යනු ග්‍රෑම් එකකින් පහෙන් පංගුවක් හෙවත් මිලිග්‍රෑම් 200කි.) ටාපයිට් (Taaffeite) මැණික් කැරට් එකක් ඩොලර් 35,000ක් පමණ වේ. ඉතා දුර්ලභ නිසා ද මැණික් වර්ගවල මිල අධික වේ.
මැණික්වල කිසිම දෝෂයක් ඉවත් කිරීමේ බලයක් නැත. එහෙත්, සමහර මැණික්වලින් ශරීරයට හානිකර කිරණ පිට වේ. කෘත්‍රීම වශයෙන් මැණික්වලට විකිරණ වර්ග යවා ඒවායේ වර්ණය ද, ප්‍රකාශ ගුණ (Optical Properties) ද වෙනස් කළ හැකිය. එසේ කළ මැණික්වලින් යම් කාලයක් යන තුරු හානිකර කිරණ පිට වේ. බාල මැණික් වර්ග විකිරණ යොදා මිල අධික මැණික්වලට පරිවර්තනය කිරීම විවිධ රටවල වාණිජ වශයෙන් සිදු කෙරේ. එවැනි මැණික්වල විකිරණ පිටවීම පවතී දැයි පරීක්ෂා කළ යුතු වේ. එම රටවල මැණික් අලෙවි කරන්නේ කිරණ පිටවීම නවතින තෙක් මාස ගණනක් ගබඩා කිරීමෙන් පසුය.
ස්වාභාවිකව පවතින සමහර මැණික් වර්ගවල යුරේනියම්, තෝරියම් වැනි විකිරණ පිට වන මූලද්‍රව්‍ය අඩංගු වේ. කොපිනයිට් (coffinite), තෝරයිට් (Thorite), ඕටුනයිට් (Autunite), පොලික්‍රේස් (Polycrase) ප්‍රාන්ස්විලයිට් (Francevillite) ඉතා විකිරණශීලී මැණික් වර්ග වේ. මේවා පැළඳීමෙන් ප්‍රවේශම් විය යුතුය.
මැණික්වලින් තමන්ට වස්තුව හෝ වාසනාව හෝ නොලැබෙන අතර, රෝග පීඩා ද ඒවා භාවිතයෙන් වළක්වා ගත නොහැකිය. පැළඳීමට ආභරණ වර්ගයක් පමණය. මැණික් වෙළෙදාම කරන අයට නම්, ඉතා විශාල ධනයක් උපයා ගත හැකි බව පුවත්පත් දැන්වීම්වල ප්‍රමාණයෙන් සහ මිථ්‍යා අදහස් ප්‍රචාරය කර මහජනයා මුළා කිරීම සඳහා යොදා ගන්නා රූපවාහිනී ප්‍රචාරක වැඩසටහන් සඳහා යොදා ගන්නා කාලය අනුවද පැහැදිලි වේ.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය