මේක නීල හොරුන්ගේ අය-වැයක් ! (ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න)

z_p01-Dinesh
දිනේෂ් කෑල්ලට හඩා වැටෙයි
December 12, 2017
slid1
වෛර බීජ සහ රුධිර අස්වනු
December 12, 2017
Show all

මේක නීල හොරුන්ගේ අය-වැයක් ! (ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න)

ac9232d099cb3d54f7d73ef2deca81a2_XL

වත්මන් ආණ්ඩුව විසින් 2018 වර්ෂය සඳහා නීල හරිත අයවැයක් ඉදිරිපත් කර තියෙනවා. පරිසරය සම්බන්ධයෙන් අයවැය දක්වා ඇති සැලකිලිමත් වීම කෙබඳුද?

මේ තාක් මෙරට පැවති ආණ්ඩු අයවැය ලේඛන හරහා රටට ඉදිරිපත් කළ දේවල් වාගේම මේ මහ පොළොවේ කරපු දේවල් එකිනෙකට පරස්පරයි. ඒ අනුව තිබෙන පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවට ඔවුන් සිදු කළේ අර්බුද රාශියක් නිර්මාණය කිරීම විතරයි. එදා අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීමේ සිට වත්මන් පාලකයන් දක්වාම මේ තත්ත්වය පොදුයි. ඔවුන් එදා කළේ අපේ මධ්‍ය කඳුකරය විනාශ කිරීම හා අපේ සාම්ප්‍රදායික ගමන් මග විනාශ කිරීම කියන දේ මයි.
වර්තමානය වෙන කොට පාරිසරික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. ආර්ථීක, සමාජීය සහ සංස්කෘතික ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. කාලයක දී ගංවතුරෙන් වන හානිය ආර්ථීකයට බලපෑම් කරනවා. තවත් කාලයක දී නියඟයෙන් වන හානිය ආර්ථීකයට බලපෑම් කරනවා. ඒ එක්කම සෞඛ්‍යයට බලපෑම් කරනවා. ඒ වාගේම සංස්කෘතියට අදාළවත් ප්‍රශ්න ඇති කරනවා.

පරිසරයට ඇති කරන බලපෑම සංස්කෘතියට බලපාන්නේ කොහොමද?

බ්ලුමැන්ඩල් කුණු කන්ද හා මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව තියෙන්නේ ඒ හා බැඳුණු සංස්කෘතියක්. වැවක් ආශ්‍රිත ගම්මානයක තියෙන්නේ ඒ වැව හා බැඳුණු සංස්කෘතියක්. එම වැව විනාශ කිරීමට කටයුතු කිරීම මගින් ඒ හා බැඳුණු සංස්කෘතියත් විනාශ කරනවා.
බ්ලුමැන්ඩල් කුණු කන්ද හා බැඳුණු සංස්කෘතිය සමාජ ප්‍රගමනයට බාධාවක් නම්, එම කුණු කන්ද විනාශ කරන එක සිද්ධ වෙන්න ඕනෑ. එතකොට ඒ සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ කියන්නේ පරිසරය වෙනස් කළාම සංස්කෘතිය වෙනස් වෙනවා. නමුත්, කොටසකට ව්‍යසනයක් බවට පත් වුණු දෙයක් තවත් කොටසකට ජීවන මාර්ගයක්, ආදායම් උපයන මාර්ගයක් බවට පත් වුණාම, ඒ දේ කරන්න අමාරු වෙනවා.
අද වන විට ලංකාවේ පරිසර ප්‍රශ්න වඩාත් තීව්‍ර වෙමින් තියෙනවා. අවසානයේදී සිද්ධ වෙන දේ තමයි, මේ පරිසර ප්‍රශ්න දේශපාලන අර්බුදයක් බවට මුහුකුරා වැඩෙන එක. අපේ රටේ මේ වෙන කොට ඒ දේ සිදු වෙමින් තිබෙනවා. ඒක අවබෝධ කර ගත්ත පාලකයන් බොහෝම අලංකාර වචන දාලා ‘නීල හරිත අයවැය’ කියලා ඉදිරිපත් කරන ගමන් ම පරිසර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 2017ට වඩා මිලියන දොළොස් දහස් හාරසිය අටකින් 2018 දී කපාහරිනවා. එතකොට ඒක නීල හරිත අයවැයක් වෙන්නේ කොහොමද?

මෙවර අයවැයේ ඉඩම් සම්බන්ධ නීතිරීති වඩාත් ළිහිල් කිරීමක් කර තිඛෙනවා. ඒ පිළිබඳව ඔබේ පැහැදිලි කිරීම මොකක්ද?

මේක නීල හරිත අයවැයක් කීවාට ඇත්තටම මේක නීල හොරුන්ගේ අය-වැයක්. පාරිසරික සංකල්ප හොරකම් කරලා පාලකයන්ගේ පැවැත්මට යොදා ගැනීමට උත්සාහ කිරීමක් මේ තුළ තියෙනවා. ඉඩම් නීතිරීති ළිහිල් කිරීම තුළ ඉතිරි වෙලා තියෙන පරිසර පද්ධතීන් විනාශ කිරීමට තවත් ඉඩකඩ හදලා දෙනවා. ඒ අනුව මේකේ අරමුණ වෙන්නේ වනාන්තර, ජල පෝෂක ප්‍රදේශ පාලකයන්ගේ වුවමනාව සඳහා යොදා ගැනීම විතරයි.
ඌව වෙල්ලස්සේ ඉඩම් සුද්දන්ට දෙන්න හදන, උමාඔය විනාශය නතර කරන්නට කටයුතු නොකරපු මෛත්‍රීට හෝ රනිල්ට නීල හරිත අය-වැයක් ගැන කතා කරන්නට බැහැ. මේ ධනේශ්වර නායකයෝ ජීවිතයක අගය දන්නෙ නැහැ. ඒ නිසා ම නෝට්ටු හා කාසිවලට අපේ ජීවිත අලෙවි කරමින් ඉන්නවා. අපේ රටේ මහා කඳු, ගංගා, වනාන්තර විනාශ කරන මේ පාලකයෝ අපේ පරිසරය ආරක්ෂා කරයි කියලා හිතන්න තරම් අපි අඳබාල විය යුතු නැහැ.

අනාගත පරපුරේ උරුමයන් විනාශ කිරීම වත්මන් පාලකයන් විසින් වේගවත් කරමින් තිඛෙන බවක් අද වන විට දකින්න තිබෙනවා නේද?

පරිසරය කියන එක ගත්තාම මම මුලින් කිව්වා වාගේ ආර්ථීක, සාමාජීය, අධ්‍යාපන ආදී සෑම ක්ෂේත්‍රයකටම පොදුයි. තිරසාර සංවර්ධනය කියලා කිව්වාට පාලකයෝ කටයුතු කරන්නේ ඊළඟ පරම්පරාවන් ගැන හිතලා නොවෙයි. අද රට ගිලගෙන තියෙනණය තව වසර කීයකින් ගෙවලා ඉවර කරන්නද? අනාගත පරපුර පවා ණයගැතියන් බවට පත් කරලා, ඔවුන්ගේ උරුමයන් පවා වත්මන් ධනපති පාලකයන් විසින් විනාශ කරමින් ඉන්නවා.
නමුත්, මේ අර්බුද නිර්මාණය කරන ක්‍රමය වෙනස් කිරීමේ සමාජ මතය හදන එක තවමත් යහපත් තැනක ඇත්තේ නැහැ. මේ රටේ බුද්ධිමතුන්, විද්වවතුන්, සිවිල් සංවිධාන ආදියට මේ සඳහා විශාල වගකීමක් තියෙනවා. එයිනුත් මත නිර්මාණය කිරීමෙන් ඔබ්බට ගිහිල්ලා, ඒ වෙනුවෙන් සක්‍රියව ක්‍රියාත්මක වෙන පෙරමුණු බලඇණියක් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ සඳහා තවමත් අපේ රට තුළ පසුගාමීත්වයක් තියෙනවා.
පවතින ඕනෑම අර්බුදයකට වඩා බරපතළම විනාශය වෙන්නේ පාරිසරික විනාශයක්. අනෙක් ඕනෑම අපරාධයක හානිය අවම කර ගන්න හෝ පුළුවන්. නමුත්, පරිසර විනාශය අවම කිරීම හෝ හානි පූර්ණය කිරීම කරන්න බැහැ. දිය ඇල්ලක් සිඳී යාම, දිය බුබුළක් නැති වන එක, ඇළක්, දොළක් සිඳී යාම, කපා දැමූ කන්දක් නැවත හදන්න බැහැ. හොඳම උදාහරණය තමයි. උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය.
අපි මේවා අවබෝධ කර ගන්න ඕනෑ. මෙවැනි දේවල් ඉදිරි මානව පැවැත්ම අභියෝගයට ලක් කරනවා. අඩුම වශයෙන් පරිසරයට සිදු කරන හානියක් පිළිබඳව පැමිණිල්ලක් කරන්න තැනක් හෝ අපේ රටේ ඇත්තේ නැහැ.

වර්තමානය වන විට භූගත ජල සම්පත අධීක්ෂණය හා සංවර්ධනය කියලා මාතෘකාවක් සාකච්ඡා වෙමින් තියෙනවා. මේ පිළිබඳව ඔබේ පැහැදිලි කිරීම මොකක්ද?

මේක අද ඊයේ දෙයක් නෙමෙයි. චන්ද්‍රිකාගේ කාලයේත් ජල කළමනාකරණ පනත ගෙනැල්ලා මේක කරන්න හැදුවා. ඊට පස්සේ රනිල් 2000දී ‘රිගේනින් ශ්‍රී ලංකා’ හරහා මේ දේ කරන්න හැදුවා. ලෝක ජල දිනය වන මාර්තු 22 වැනිදා අපි දිවයින පුරා මෙයට විරුද්ධව උද්ඝෝෂණය කළා. ඒ කරලා මේ ක්‍රියාව නතර කළා. දැන් විජේමුණි සොයිසා භූගත ජලයට අත තියන්න පටන් අරගෙන තියෙනවා. ජල කළමනාකරණය මුවාවෙන් ජලයට මිල නියම කරන්න කටයුතු කිරීමක් තමයි, මෙතන තියෙන්නේ.
මූලික මිනිස් අවශ්‍යතාවයන්ගෙන් ප්‍රධාන වෙන්නේ ආහාර සහ ජලය. ඒ කියන්නේ කෑම බීම. මේ ධනේශ්වර පාලකයන් විසින් ස්වභාව ධර්මයේ සංකල්පය කියන එක මේ වෙන කොට වෙනස් කරලා තියෙනවා. බීජ අයිතිය මුළුමනින්ම තියෙන්නේ බහුජාතික සමාගම් අතේ. බීජ කියන්නේ කෘෂිකර්මාන්තයේ යතුර. මුලින් ඒක තිබුණේ අපේ ගොවියෝ අතේ. ඒ යතුර සමාගම්වලට දුන්නේ අපේ පාලකයෝ. එතකොට එම සමාගම් ස්වභාව ධර්මයේ සංකල්පය වෙනස් කරලා කටයුතු කරනවා. ස්වභාව ධර්මයේ සංකල්පය අනුව බීජ වගාව සඳහාය. වගාව ආහාර නිෂ්පාදනය සඳහාය. ආහාර කුසගින්න සඳහාය. යන්න සැලකෙනවා. නමුත්, මේ වන විට බීජ වෙළෙදාම උදෙසාය. වගාව ආහාර සඳහාය. ආහාර අලෙවිය සඳහාය යනුයි, වෙනස් කරලා තියෙනවා. ලෝක ජනගහනය බිලියන හතයි දශම හතරයි. එයින් ළමයින් විසිපන් දහසක් ආහාර නොමැතිව දිනකට මිය යනවා. ලෝකයේ හරිත විප්ලවය ඇති කළේ ආහාර අර්බුදය සමනය කරන්න. නමුත්, ඒක කරන්න මේ ධනේශ්වර පාලකයෝ ලෝක මට්ටමින්ම අසමත් වෙලා තියෙනවා.


සංවාද සටහන
කිත්සිරි කොඩිතුවක්කු