මේ විවාදය ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපතිවාදය පිළිබඳ විවාදයක් (ජවිපෙ නායක අනුර දිසානායක)

6671f1c3351b87783698fac6bd5eac8e--national-geographic-photos-photo-series
ගල්, පොල්, අඹ, සපත්තු සහ මිනිස්සු
December 12, 2017
ceypetco_logo-1
තෙල්, සයිටම් සහ ඉල් මාසය
December 12, 2017
Show all

මේ විවාදය ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපතිවාදය පිළිබඳ විවාදයක් (ජවිපෙ නායක අනුර දිසානායක)

hamper-JVP-Press-Conference-on-22

පසුගියදා පාර්ලිමේන්තුවේ දින හතරක් තිස්සේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදයේ දී ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් සිදුකළ දීර්ඝ දේශනය කාලීන දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරන ලද ඉතා වැදගත් එකක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එම දීර්ඝ දේශනය සංක්ෂිප්ත කරන ලද සටහනක් මේ සමග පළ කෙරේ…

ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මේ ඉදිරිපත් කර තිබෙන අතුරු වාර්තාව පිළිබදව විශාල සාකච්ඡාවක්, කතාබහක්, විවාදයක් මේ දින කීපය පුරාම පැවැත්වෙනව. ඕනෑම රටක ඕනෑම මොහොතකදී ගොඩනැගෙන ව්‍යවස්ථාව ඒ රට අනුගමනය කරමින් තිඛෙන සමාජ ආර්ථීක ප්‍රතිපත්තියේ නීතිමය රැකවරණය. මේක ධනපති සමාජ ක්‍රමයක්. ඒ නිසා මේ ගොඩනැගෙන ව්‍යවස්ථාවත් ධනපති ව්‍යවස්ථාවක්. මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථීක ප්‍රතිපත්තියේ නීතිමය රැකවරණයට ගොඩනැගෙන ධනපති ව්‍යවස්ථාවක්. ඒ වගේම අපේ රට මුහුණ දීලා තිබෙන ගැඹුරුතම ප්‍රශ්නවලට ආර්ථීක වශයෙන් වේවා, සාමාජීය වශයෙන් වේවා, සංස්කෘතිකමය වශයෙන් වේවා, දේශපාලනික වශයෙන් වේවා මේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ට ව්‍යවස්ථාවකින් පමණක් විසදුම් සෙවිය හැකිය කියන මිථ්‍යාවේ අප නැහැ. ඒ සදහා අපේ රටේ ආර්ථීක දේහයේත්, සමාජ දේහයේත් පුලුල් පරිවර්තනයක් ඇතිවිය යුතුයි කියන තැනයි අප සිටින්නේ.
කෙසේ වුවත් ව්‍යවස්ථාවක යම් ප්‍රමාණයක දේශපාලනමය සංශෝධනයන් ප්‍රමාණයක් රටට අත්පත් කරගත හැකියි කියන විශ්වාසයක අපි ඉන්නවා. ඒ නිසා මෙම ක්‍රියාවලියටත්, මෙම සාකච්ඡාවටත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන් මැදිහත් වීමේ මූලික පදනම බවට පත් වී තිබෙන්නේ අපේ රටේ මූලික ලියවිල්ල හරහා රටේ මතු වී තිබෙන දේශපාලනමය යම් යම් ගැටලු ප්‍රමාණයකට යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අත්පත් කරගත හැකියි කියන විශ්වාසය මත පමණයි. මේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට වඩා වැඩි ගෝරනාඩුවක්, වැඩි ඝෝෂාවක් පාර්ලිමේන්තුවෙන් එළියෙ පැවැත්වෙනවා. මේ ගෝරනාඩුව වෛරයේ උන්මාදයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ තුන්වන දවස මෙය විවාදයට භාජනය කරන. නමුත් එළියේ තිබෙන ඝෝෂාවේ තරමේ ඝෝෂාවක් මේ පාර්ලිමේන්තුවේදී දියත් වුණේ නැහැ. එළියේ ඝෝෂාව කොහොමද තිබුණේ. පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම, සහය දෙන්නන් උල තැබීම, වෙඩිතබා ඝාතනය කිරීම එක බෝම්බයක් නොවෙයි බෝම්බ සීයක් අත් ඇරීම වැනි වැකි තමයි එළියේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. හැබැයි මේ සභාවෙ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යම් යම් හීන් කෙදිරිලි. එහෙම සිද්ධවෙන්නෙ ඇයි ? එළියෙ ඝෝෂාව සකස් වී තිබෙන්නේ බොහෝ විට අර්ධ සත්‍ය කරුණු සහ සත්‍ය කරුණුවලට වැරදි විකෘති අර්ථකථන සහ අසත්‍යම කරුණු මත. මේ සභාව ඇතුලේ මේ විවාදය දියත් වෙමින් තිඛෙන්නේ අපි මත ඉදිරිපත්කර තිඛෙන වාර්තා සහ මේකෙ ක්‍රියාවලිය ඒ කියන කරුණු මත. පසුගිය
දවස්වල විශාල සංවාදයක් මේ බෝම්බ ගැසීම සිද්ධියත් එක්ක දියත් වී තිබෙනවා. මම නම් කියන්නේ ඒක කිසිසේත්ම ගණන් ගතයුතු දෙයක් නොවෙයි. අපි දන්නව ඒ ගොල්ලෝ ගැන හොදට. අඩුම තරමෙ කැටපෝලකින් ගලක් අරගෙන කෙළින් විදගන්න බැරිකෙනෙක් මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවයි කීම මොන විහිළු තත්ත්වයක්ද.
එහෙත් ඇයි එළියෙ මෙවැනි ගෝරනාඩුවක් ඝෝෂාවක් නිර්මාණය වෙන්නෙ? ඒ අයගේ වුවමනාව පමණක්ම නොවෙයි. පසුගිය කාලය පුරාවටම ආණ්ඩුව කටයුතු කරපු ආකාරය නිසා ආණ්ඩුව සියලු ක්ෂේත්‍රයන්ගෙන් අසාර්ථක වෙලා තිඛෙන අවස්ථාවක, ආණ්ඩුව සියලු
ක්ෂේත්‍රයන්ගෙන් ජනතාවට දෙන ලද එකගතාවයන් බිද දමා තිබෙන අවස්ථාවක, ආණ්ඩුව කෙරෙහි පුළුල් ජනයාගේ විශ්වාසය බිදවැටී තිඛෙන වෙලාවක මේ වගේ කාර්යක් පිළිිබදව ජනතාව කෙසේ විශ්වාසය තබන්නද? වංචාව නතර කරන්නයි කියලා ආපු ආණ්ඩුවක් වංචාකරනවා නම් වංචනිකයන්ට දඩුවම් ලබාදීම සදහා එන ආණ්ඩුවක් වංචනිකයන් ආරක්ෂා කරනව නම් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් එන ආණ්ඩුවක් තමන්ගේ බලයට කුඩා හෝ බලපෑමක් ඇතිවෙන අවස්ථාවක මර්දනය කැදවනවා නම් අපි දැක්ක තෙල් සංස්ථාවෙ උද්ඝෝෂණයේදී. ඒ වගේම ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම් සිද්ධකරනවා නම් සයිටම් වැනි ප්‍රශ්න පිළිබදව එහි තිබෙන හරය ගැන කිසිසේත්ම නොසලකා එක් මුදලාලි කෙනෙක්ගෙ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒ වගේම පෝට්සිටි වහනව කියලා තිබුණාටත් වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් පෝට්සිටි නගර ඉදිකිරීම සදහා ලබා දෙනවා නම් රටේ සම්පත් විකිණීම පිළිදව කිසිදු හැගීමකින් තොරව කටයුතු කරනවා නම් ඒ ආණ්ඩුවක් පිළිබද කුකුසක් සැකයක් ඇති වෙන එක සාධාරණයි.
මා ළග තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1988 ප්‍රතිපත්ති ප්‍රකාශනය. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එදා ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉදිරිපත් කරනවා අලුත් ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍ය බව. ඊළගට 1994 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව සදහන් කරනව ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ක්‍රියාත්මක කිරීමටත් පොදු ජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ජන වරමක් පතයි’ කියලා.
ඒ විතරක් නොවෙයි 2005 මහින්ද රාජපක්ෂ මහත්තය කියනව ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නා වූ හා රටේ සෙසු ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්නාවු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේම
සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි’ කියලා. ඔහු ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහා වූ ක්‍රියාවලියත් 2015 ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ සදහන් කොට තිබෙනවා. වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි කියා තිබෙනවා නම් ඒ නායකයන්ගෙන් තොර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් කොහේද තිබෙන්නේ.
මේ නව ව්‍යවස්ථාව ගොඩනැගීම පිළිබදව කාර්ය පටිපාටියකුත් 2016 මාර්තු මාසයේ 09 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් කරා. ඒ යෝජනාව ඉදිරිපත් කරපු දවසෙම සම්මත කළේ නැහැ. සියලු පක්ෂවල සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා සහ අදහස් ඇතුළත් කළා. මට මතකයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ කණ්ඩායමේද විශාල යෝජනාවන් ප්‍රමාණයක් ඇතුළත්ව අපි මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබද ක්‍රියාදාමය සංශෝධනය කළා. සංශෝධනය කරපු ක්‍රියාදාමයට අපි හැම දෙනාම එකග වුණා.
ඒ නිසා කිසිසේත්ම මෙම ව්‍යවස්ථාවක් එපා යැයි කියන සාකච්ඡාව මේ රටේ මතුවිය යුතු සාකච්ඡාවක් නොවෙයි. මෙතෙක් ලංකාවේ ගොඩනැගුන සෑම ව්‍යවස්ථාවකටම වඩා මේ ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් ඉතාමත් වැදගත් ක්‍රියාදාමයක්. මේ කරුණු මත පදනම්ව මෙහෙයුම් කමිටුව විසින් මේ සැලකිල්ලට ගැණුණු කරුණුද අතුරු වාර්තාවට ඇතුළත් කොට වාර්තාවක් සකස් කොට ඒ වාර්තාව සමග කෙටුම්පතක් මේ ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතුයි. ඒකත් මේ විදියටම විවාදයට ලක්කරල ඒ විවාදයෙන් අනතුරුව නැවත මෙහෙයුම් කමිටුව විසින් අවසන් වාර්තාවක් සහ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුයි. අවසන් වාර්තාව සහ කෙටුම්පත සාකච්ඡාව කියලා තව සාකච්ඡා වට දෙකක් තියෙනවා මේ සභාව ඇතුළේ. ඒ විතරක් නොවෙයි ඒ අවසන් වාර්තාවට සහ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගිහිල්ල පාර්ලිමේන්තුවේ නැවත සාකච්ඡාවට බදුන්කරල 2/3 ලැබුණොත් ඒක කැබිනට් මණ්ඩලයට යන්න ඕන. කැබිනට් මණ්ඩලයට ගියාට පස්සේ සාමාන්‍ය ව්‍යවස්ථාවක් වෙනස් කිරීම සදහා වූ ක්‍රියාපටිපාටියට එතනින් පස්සෙ තමයි අවතීර්ණ වෙන්නේ. ඒ කියන්නෙ නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල 2/3 සහ ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයකට යොමු කිරීම. මම දැක්ක මේ විවාදය ආරම්භක දවසේම සමහර කාන්තාවන් පෝස්ටරයක් අල්ල ගෙන ඉන්නව ‘මේකට ඡන්දෙ දීල ගෙදර එන්න එපා’ කියලා. මේකට ඡන්දයක් එන්න මාස 06 වත් යනවා. අපිට තේරුම් ගන්න පුළුවන් මේ කණ්ඩායම මේ ජනතාවට මොනතරම් මිථ්‍යා අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවාද. මේ දිනවල ගන්නා විවාදයන් ඡන්ද විමසීමක් ලෙස අර්ථකථනය කරනවා.
ඊළගට අපි කල්පනා බැලිය යුතුයි එක් එක් පාර්ශ්වයන් මේකට මැදිහත් වෙන්නේ කවර ප්‍රවේශයකින්ද කියලා. මේකට මැදිහත් වීම සදහා අපිට අපේම වූ ප්‍රවේශයක් තිබෙනවා. හැබැයි තව තව පාර්ශ්වයන්ට තව තව ප්‍රවේශයන් තිඛෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ. මෛත්‍රී පාර්ශ්වය මේ සාකච්ඡාව සදහා අවතීර්ණ වන්නේ විධායක ජනාධිපති ධුරය ආරක්ෂාකර ගනිමින් ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්න. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්ත බෙදීමක් තියෙනවා. ඒ බෙදීමේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ කදවුර තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතුලේ බලයත් එක්ක. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවේ සහ රාජ්‍ය ඇතුළේ තමන් අත්පත් කරගෙන තිබෙන ජනාධිපති ධුරයේ බලය මෛත්‍රීපාල සිරිසේන මහත්තය ළග තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිව්වොත් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපි එකගයි’ කියල මෛත්‍රීපාල සිිරිසේන මහතාගේ දේශපාලනය 2020 දී අවසන් වෙනවා. දැන් ඉන්න කණ්ඩායමේ දේශපාලන අස්ථාවරත්වය අවිනිශ්චිතභාවය මුදවන්න නම් විධායක ජනාධිපති ධුරය නැවත තිබෙනවයි ඒ සදහා මෛත්‍රීපාල සිරිසේන මහත්තය ඉදිරිපත් වෙනව යැයි කියන සාධකය ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ නිසා කවර දේශපාලන කරුණු අරභයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සදහා සකස් කරල තියෙන ප්‍රවේශය තමයි විධායක බලය ආරක්ෂා කර ගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් සදහා වූ ප්‍රවේශයකට ඔවුන්ගේ පැත්තෙන් අවතීර්ණ වීම.
ඊට පස්සෙ අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සෑම ව්‍යායාමයකදීම වගේම මෙම ව්‍යායාමයේදීත් නිශ්චිත ස්ථීර ප්‍රතිපත්තියක ඉන්නවා වෙනුවට හොරගල් ඇහිලීමේ ප්‍රතිපත්තියක්. අගමැතිතුමාගේ කකාවෙදී මොකක්ද කියන්නෙ? ‘ආ ඔයා කියනව නම් ඒකටත් එකගයි. තව එකක් කියනව නම් ඒකටත් එකගයි.’ එහෙම නොවෙයි පක්ෂයක් හැටියට තමන්ගෙ ස්ථාවරයන් මේකට ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒ නිසා මෙහිදී එක්සත් ජාතික පක්ෂය මේ සදහා ප්‍රවේශය සකස් කොට තිබෙන්නේ විශේෂයෙන්ම තමන්ගේ ඊළග ආර්ථීක ගමනට. 1978 දී ජේ.ආර්. ජයවර්ධන දියත් කරන ලද ආර්ථීක ගමනට. වෙළදපොළ ආර්ථීකය හරහා අපේ රටේ දියත් කරන ලද ගමනට අතිරේක බලයක් සහිත තනතුරක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. අන්න ඒ අවශ්‍යතාවයේ ප්‍රකාශනයක් තමයි එක්සත් ජාතික පක්ෂය හොරගල් අහුලමින් පෙන්නුම් කරමින් තිබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ ප්‍රවේශය.
ඒවගේම තමා දෙමළ ජාතික සන්ධානයේ පුරෝගාමීන් කාලයක් තිස්සේ වෙනම රාජ්‍යයක් පිළිබඳ සංකල්පය විශාල ප්‍රමාණයකින් ගොඩනැගුවා. කාලාන්තරයක් තිස්සේ දෙමළ ජනතාවගේ හඩ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අත්අඩංගුවට අරන් තිබුණා. ඒනිසා එල්ටීටී සංවිධානය විසින් අත්අඩංගුවට ගන්නා ලද දෙමළ ජාතික සංධානයක් මේ පාර්ලිමේන්තුවේ අපි දැක්කා. ඒ වගේම වර්තමානයේ දෙමළ ඩයස් පෝරාව හෝ උතුරේ ශිවාජිලිංගම් ගැන නම් ගණන් නොගත යුතු වුවත් හැබැයි විග්නේශ්වරන් වැනි විවිධ කණ්ඩායම් ගොඩනැගෙමින් තියෙනවා. යළි උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හඩ යටපත් කරමින් දෙමළ ජාතික සංධානය අත්අඩංගුවට ගනිමින් යම් යම් ප්‍රකාශවලට යම් යම් එකඟතාවයන්ට යන්න ඔබතුමන්ලාට බල කෙරෙනවා. ඒ නිසා අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී හඩ නියෝජනය කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ අත්අඩංගුවෙන් ඒ වගේම උතුරේ දෙමළ ප්‍රභූ පැලන්තියේ ජාතිවාදී අත්අඩංගුවෙන් මිදිය යුතුව තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රවේශය ඔවුන් කාලාන්තරයක් තිස්සේ ගොඩනගන ලද ඒ මතයන් නියෝජනය කරනවා.
මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශ්වයේ ප්‍රවේශයේ කවරක් ද තිබෙන්නේ? ඔවුන්ගේ ප්‍රවේශය උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශකර තිබෙනවා. ඔවුන්ගේ මුළු ප්‍රවේශයම මෙය කඩාකප්පල් කිරීම කියලා. මම දන්නේ නෑ ඒක මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශද කියලා. නමුත් ඔවුන්ගේ මුළු ප්‍රවේශයම සකස්වී තිබෙන්නේ මෙය කඩාකප්පල් කිරීමේ ප්‍රවේශයක්. ඇයි ඒ? ඇයි අපේ රටේ දේශපාලනයේදී බලයෙන් මුසපත්වී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකරන ලද මේ රටේ අතිශය ඒකාධිපති වියරුවක් නිර්මාණය කළ බලයක් හෙබෙව්වා. ඒ බලය විවිධ වරප්‍රසාද ගත්තා. ඒ බලය කිසිසේත්ම අත්හැරිය නොහැකි බලයක් ලෙස අර්ථනිරූපණය වෙලා තිබුණා. ඒ නිසා බලය අහිමිවීමේ වේදනාව තිඛෙනවා. බලය අහිමිවීම නිසා ඇතිවෙච්ච අපේක්ෂා බංගත්වය තිබෙනවා. ඒනිසා ඔවුන්ගේ ප්‍රවේශයවී තිබෙන්නේ තමන්ගේ බල ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි.
ඒවගේම ඊට පසුව විවේචනයක් එනවා මේකට අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීමක් ගැන. බටහිර රාජ්‍යයන්ගේ මැදිහත්වීම ව්‍යවස්ථාවට තියෙනවා. අපි ප්‍රතික්ෂේප කරන්න ඕන නෑ. ව්‍යවස්ථාවට විතරක්ද? අපේ රටේ මැතිවරණ නිරීක්ෂණය කියන්නේ මොකක්ද? මැතිවරණ නිරීක්ෂණත් බොහෝ ප්‍රමාණයක් සිද්ධවෙන්නේ බටහිර රාජ්‍යයන් වලින් ලැබෙන අරමුදල් වලින්. කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් පිළිබඳව, පරිසර අයිතිවාසිකම් පිළිබඳව, මේ ගොඩකට බටහිර අධිරාජ්‍යවාදීන්්ගේ මුදල් පොම්ප කරලා තියෙනවා. ඒක ඇත්ත. අධිරාජ්‍යවාදය දේශපාලන තලයේ ක්‍රියාත්මක වෙනවා. ආර්ථීක තලයේ ක්‍රියාත්මක වෙනවා. සංස්කෘතික තලයේ ක්‍රියාත්මක වෙනවා. දේශීය ආදයම් පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කළාට පස්සේ, මහ බැංකු අධිපතිවරයා දාපු නිවේදනයෙන් හෙළිකළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ට තුන්වෙනි ණය වාරිකය දෙන්න එකඟ වුණු බව. ව්‍යවස්ථාවටත් එහෙමයි. අධිරාජ්‍යවාදයෙන් මිදිය හැකිවන්නේ අධිරාජ්‍යවාදීන්ට දොරටු විවර කර ගැනීමට අවශ්‍ය වන හේතුසාධක නිර්මාණය නොකිරීමෙන් පමණයි. එසේ නැතිව ව්‍යවස්ථාව අධිරාජ්‍යවාදීන්ගේ උගුලක්ය කියල ප්‍රතික්ෂේප කරලා නොවේ.
උතුරේ ඛෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිඛෙන වෙලාවක, අන්තර්පාලන යෝජනාවලිය හරහා ඒ සන්නද්ධ බලයට දේශපාලන බලය ඒකාබද්ධ කරන්න උත්සාහ කරපු වේලාවේදී ඒ අන්තර් පාලනය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරියටම ආපු දේශපාලන ව්‍යාපාරයක් අපි. එතකොට කොහෙද ඔය දේශප්‍රේමීන් හිටියේ. සුනාමි සහන මණ්ඩල වෙලාවේදී සුනාමි සහන මණ්ඩලය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සංවාදය යන වෙලාවේදී මමයි වීරවංශයි (වීරවංශ දැන් කියයිද දන්නේ නෑ) ගිහිල්ලා මහින්ද මහත්තයා හම්බවුණා. එතකොට ඔහු අගමැතිවරයා. හම්බවෙලා කිව්වා ‘ඔබතුමා මේ වෙලාවේදී ශක්තිමත් තීරණයක ඉන්න’ කියලා. මොකක්ද අපිට කිව්වේ. අපිට කිව්ව ගිහිල්ල ජෙයරාජ් හම්බවෙන්න කියලා. ඔන්න කියපු කතාව. මොන දේශප්‍රේමියෙක්ද?
මේ විවාදය දේශප්‍රේමීත්වය දේශද්‍රෝහීත්වය පිළිබඳ විවාදයක් නොවෙයි. මේ විවාදය ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපති වාදය පිළිබඳ විවාදයක්. මේ ව්‍යවස්ථාව මොකක්ද අපි මේකට මැදිහත්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කර ගැනීම වෙනුවෙන්. මේකෙ අනික් පාර්ශ්වය මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලීමේ ඒකාධිපතිත්වය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමයි.
මේකට අපේ ප්‍රවේශය. අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන ස්ථාවර ප්‍රවේශයක ඉන්නවා. එදා හයෙන් පහක් තියෙන පාර්ලිමේන්තුව පඹයෙක් ගාණට පත් කළේ මොකක් නිසාද? විධායක බලයට පුළුවන්කම ලැබුණා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි සාක්කුවේ දා ගන්න. ඒ නිසා තමයි 1980 වැඩ වර්ජනය ලක්ෂ ගණනක් ගෙදර යැව්වේ. හරි සාධාරණ වැඩවර්ජනයක්. දවසට රුපියල් 10.00ක වැටුප් වැඩිකරන්න කියලා. මාසෙකට රු. 300.00යි. තමන් දියත් කර තිබෙන ආර්ථීක උපාය මාර්ගය ඉස්සරහට දියත් කරන්න බෑ ඒ විදියට වැඩවර්ජන මර්දනය නොකොට.
ඒ විතරක් නොවෙයි 1981 සංවර්ධන සභා මැතිවරණයේදී මොකක්ද වුණේ. දෙමළ ජනතාවට යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සභාව සඳහා තමන්ගේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ සාධාරණ ඒ අයිතියට ගිනි තිබ්බා. ඒ විතරක් නොවෙයි, 1982 ජනමත විචාරණය. ලංකාවේ පළමුවෙනි වතාවට මේ රටට ඡන්දයක් ඕනද? නැද්ද? කියල ඡන්දයක් තිබ්බා. මොන යුක්තියක්ද ඒක? ඒකෙන් මොකක්ද සිද්ධ වුණේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය තිබූ සියලු බලවේගයන් පැත්තකට විසිකරල දැම්මා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය යුද්ධය නැති කළා නොවේ. විධායක ජනාධිපති ධුරය තමා යුද්ධය නිර්මාණය කළේ. 1983 කළු ජූලිය නිර්මාණය කළේ කොහොමද තමන්ට අහිතකර ආකාරයට වර්ධනය වෙමින් තිබෙන ආණ්ඩු විරෝධය වෙනතකට යොමු කරන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සැලසුම් කරලා පාතාලේ කණ්ඩායම් උපයෝගී කරගෙන හෙට්ටිවීදිය ගිනි තිබ්බා. ඒකට රැකවරණය දුන්නේ විධායක ජනාධිපති බලය.
1983 කළු ජූලිය නිර්මාණය කරලා අපි වැනි දේශපාලන ව්‍යාපාර තහනම් කළා. කළු ජූලියෙ අපි හිටියේ මොන පාර්ශ්වයේද? අපි හිටියෙ දෙමළ ජනතාව ආරක්ෂා කරන පාර්ශ්වයේ. ජේ.ආර්. ල හිටියේ ඝාතනය කරන පාර්ශ්වයේ. හැබැයි ජේ.ආර්. ජයවර්ධන අපේ පක්ෂය තහනම් කළ බව මතක තබාගන්න. ජේ.ආර්. ජයවර්ධන අපේක්ෂා කළා නම් 1983 කළු ජූලිය හරහා අපි තහනම් කරලා අපේ දේශපාලනය නතර කරන්න අපි බියට දේශපාලනය කරන මිනිසුන් නොවේ. අපි සන්නද්ධ වුණා. සිවිල් යුද්ධයක් නිර්මාණය වුණා. මාවෝ සේතුං කියල තියෙන්නේ යුද්ධයක් කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවේ කියලා. යුද්ධයකදී සිදුනොවිය යුතු බොහෝ දේ සිදුවෙලා තියෙනවා. ඒ පිළිබඳව අපට ඇත්ත කම්පනයක් තියෙනවා. නමුත් ඒක අපි වගකිවයුතු කාර්යභාරයක් නොවේ. මේකයි ඉතිහාසය. ඒ ඉතිහාසය නිර්මාණය වුණේ මොකක් නිසාද? මේ විධායක ජනාධිපති ධුරය නිසා.
ඒ විතරක් නොවෙයි 1987 ඉන්දු ලංකා ගිවිසුම. පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙක් අනික් පැත්තට ආවා. ගාමිණී ජයසූරිය වගේ අයින් වුණා. හැබැයි එදා ජේ.ආර්. ජයවර්ධන තනි අධිකාරී බලයක් සතුව තිබුණ නිසා තමයි එදා පුළුවන් වුණේ අපේ රට ඉන්දියාවට යටත් කරන්න. ඒ විතරක් නොවෙයි අන්තිමට 1990 දශකය ආරම්භ වෙනකොට එල්.ටී.ටී. සංවිධානයට සල්ලි දුන්නා. අවි ආයුධ දුන්නා. හිල්ටන් හෝටලයේදී ජේ.ආර්. ප්‍රේමදාසල සාකච්ඡා පවත්වලා. ඒවා සියල්ල සිද්ධ වුණේ කොහොන්ද? ඒ සියල්ල සිද්ධ වුණේ මේ විධායක ජනාධිපති ධුරයේ බල මහිමයෙන්. 2010 සිට 2015 දක්වා අපේ රටේ දේශපාලනයේ ඇති වෙච්ච බිය, ඒකාධිපතිත්වය මේ සියල්ල නිර්මාණය කළේ මේ විධායක බලය. ඒ විධායක බලය නිසා තමයි ඇමති වරු ඉක්මවා යන බලයක් ජනාධිපතිවරයාගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂට ලැඛෙන්නේ. මේ විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදය පොඩිපට්ටම් කරලා දාලා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ල සුනු විසුනු කරන බලයක්. මම දන්නේ නෑ මේක තියාගන්න ඕන කියන්නේ ඇයි කියලා.
මේකෙ දැන් විශේෂයක් තියෙනවා. ගොඩාක් අය කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තය මේකෙන් කොටසක් අයින් කළා කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තය අතේ පාර්ලිමේන්තුවේ බලයත් ජනාධිපති බලයත් දෙකම තිබ්බ නම් මේක වෙන්නේ නෑ. ඒකෙ අනික් පැත්ත. රනිල් වික්‍රමසිංහ මහත්තයා අතේ ජනාධිපති බලයත් පාර්ලිමේන්තු බලයත් දෙකම තිබ්බ නම් 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එන්නේ නෑ. 19 එන්නේ මොකක් නිසාද? බල කේන්ද්‍ර දෙකක් නිසා. කොයි මොහොතකදී හරි පාර්ලිමේන්තුවේ බලයත් ජනාධිපති බලයත් මේ බල කේන්ද්‍ර දෙකම එක තැනකට කේන්ද්‍රගත වෙනවා. විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යාම කිසිසේත්ම යෝග්‍ය නොවේ කියන ඒ මූලික මූලධර්මය අලුත් ව්‍යවස්ථාවෙන් රකින්න ඕන.
ඊළඟට පැන නගින්නේ මේක රට බෙදෙන්න යනවා. මේක රට බෙදන ව්‍යවස්ථාවක් කියලා සාකච්ඡාවක් ගොඩනැගිලා තියෙනවා. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කියල ප්‍රධාන ජාතිකත්වයන් තුනක් ජීවත්වෙනවා. ඔවුන්ට බුද්ධ ධර්මය, ඉස්ලාම් ධර්මය, හින්දු ධර්මය, කතෝලික ධර්මය කියල ප්‍රධාන ආගම් හතරක් අදහන ජනතාවක් ඉන්නවා. ඔවුන්ටම ආවේනික වූ සංස්කෘතියක් තියෙනවා. මේ රට සිංහල දෙමළ මුස්ලිම් කියන ජාතිකත්වයන් තුනක් ජීවත්වන ප්‍රධාන ආගම් හතරක් අදහන ප්‍රධාන භාෂාවන් දෙකක් තියෙන බහුජාතික, ජාතික රාජ්‍යයක්. බහුජාතික ජාතික රාජ්‍යයක සුරක්ෂිත භාවය රඳවා ගැනීමේදී පතුලෙන්ම ආර්ථීකයේ සාධාරණත්වය තියෙන්න ඕන. ආර්ථීකයේ සාධාරණත්වය ඇතිකිරීමකින් තොරව වෙන කිසිදු සාධාරණත්වයක් ඇතිකරන්න බැහැ. ගැටුම් සමනය කරන්න බැහැ. හැබැයි මම තමුන්නාන්සේලාගෙන් කවදාවත් බලාපොරොත්තු වන්නේ නැහැ ආර්ථීකයේ සමානතාවය.
හැබැයි ආර්ථීක සමානතාවය නොවුණත් මේ රටේ ජාතික විරසකභාවය අඩුකළ හැකියි. මුළුමනින් අඩුකරන්න බැහැ. අඩුකළ හැක්කේ මොකක් මතද? සියලු භාෂාවන්ගේ සම අයිතිය පිළිගන්න ඕන. සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියකම සම අයිතිය පිළිගැනීමකින් තොරව මේක ගොඩනගන්න බෑ. ඒ වගේම ආගමේ සම අයිතිය පිළිගන්න ඕනෑ. ආගම කියන්නේ එක් එක් ජන කොට්ඨාසයන්ගේ විශ්වාසය. සමහර අයට ආගම විශ්වාස කරන්න පුළුවන්. සමහර අයට ආගම විශ්වාස නොකරන්න ඉන්න පුළුවන්. දැන් බොහෝ රාජ්‍යයන්ගේ ලොකු ප්‍රවණතාවයක් ඇවිල්ල තියෙනවා ආගම් පිළිබඳ විශ්වාසය බිඳවැටෙමින් තියෙනවා. ඒක එහෙම තමා. හැබැයි අපි කාටහරි කියන්න පුළුවන්ද? මේ ආගමට වඩා මේ ආගම උසස් කියලා. ඒක අපිට කියන්න බෑ. මේ ව්‍යවස්ථාවේ භාෂාවේ සහ සෑම ආගමක සම අයිතිය පිළිගැනීමේ මූලධර්මවලට සකස්විය යුතුය කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ හැමදෙනාගේම සංස්කෘතික අයිතිය පිළිගන්න බැරි නම් ඔවුන් අයිතිවෙන්නේ ගෝත්‍රික යුගයටයි.
ඊළඟට විශේෂයෙන්ම අපි දන්නවා මේ බලය ඛෙදීම පිළිබඳ ප්‍රශ්නය. ඒක ව්‍යවස්ථාවේ එක පාර්ශ්වයක්. ව්‍යවස්ථාව කියන්නේ බලය බෙදීමම නෙවෙයි. මා කලින් කියපු කරුණු ගොඩක් තිබෙනවා. හැබැයි විශාල දේශපාලන ඝෝෂාවන් දෙකක් තිබෙනවා. එකක් තමයි දකුණේ ගොඩනැගිල තිබෙන සිංහල ජාතිවාදය. අනෙක තමයි උතුරේ ක්‍රමානුකූලව වර්ධනය වෙමින් එන ප්‍රභූ පැලැන්තියේ ජාතිවාදය. ඒකට අද විග්නේෂ්වරන් නායකත්වය දෙනවා. මේක ඛෙදන්න දෙන්න පුළුවන් රටක්ද? මේක ඛෙදන්න බෑ. කොහොමද මේ රට බෙදන්නෙ උතුරට වෙනම ආණ්ඩුවක් හදනවා? වෙනම රටක් උතුරට කවදාවත් හදන්න පුළුවන්ද? උතුරේ වෙනම ආණ්ඩුවක් හදන එක තමයි දෙමළ ජනතාවට එරෙහිව තිඛෙන විශාලම දේශද්‍රෝහී ක්‍රියාව. උතුරේ ජනතාවට වෙළඳපොළක් තිබෙනවද? ලුනු ටික විකුණන්න ඕන කොළඹ වෙළඳපොළේ. උතුරු පළාත තමයි අපේ රටේ සම්පත්වලින් හීනම පළාත. උතුරු පළාතේ තමයි වතුර ටික ලබාගන්න අපහසුම පළාත. මේ මධ්‍යම පළාත්වලින් උතුරට වතුර ගෙනිච්චේ නැත්නම් උතුරේ අනාගතයේ ඇතිවන ජල අර්බුදයට උත්තර හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා උතුරු පළාතට වෙනම ආණ්ඩුවක් ලෙස ජීවත් වෙන්න බැහැ. විශේෂයෙන්ම ලාංකීය දෙමළ ජනතාව ඒකට කැමති නැහැ. ලාංකීය දෙමළ ජනතාව 47%යි උතුරේ ජීවත් වෙන්නේ. 53%ක් ජීවත් වෙන්නේ දකුණේ.
අපේ රටේ යුද්දෙ තිබුණේ ශ්‍රී ලංකා හමුදාවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් අතර. දෙමළ ජනතාව අතරත් සිංහල ජනතාව අතරත් යුද්ධයක් තිබුණේ නැහැ. යුද්ධයක් තිබුණා නම් වැල්ලවත්තේ දෙමළ ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ. එහෙම තිබුණා නම් සිංහල දෙමළ ජනයා එකට ජීවත් වෙන්නෙ නැහැ. විශේෂයෙන්ම මා ටී.එන්.ඒ. සංවිධානයෙන් ඉල්ලා හිටිනවා, ඩයස්පෝරා අත්අඩංගුවෙන් මිදෙන්න. එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවෙන් මිදුනා වගේ උතුරේ පැන නගිමින් එන ජාතිවාදීන්ගේ අත්අඩංගුවෙන් මිදෙන්න. ඒ අත්අඩංගුවෙන් මිදෙන්නේ නැතුව මේකට සාධාරණ ප්‍රවේශයකට ප්‍රවිෂ්ට වෙන්න බැහැ. අනිවාර්ය ලෙස ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වන ලෙස, ඔවුන් පාලනයේ කොටස්කරුවන් බවටත් පත්කරගන්නා ක්‍රමවේදයකට අවතීර්ණය වෙන්න ඕන. පාලනයේ කොටස්කරුවන් බවට පත්කරන්න ඕන. ඔවුන්ට මේ රටේ සම අයිතිය තියෙන පුරවැසියන් හැටියට පිළිගැනීම සඳහා අවශ්‍ය වන සාධක සඳහා වූ ප්‍රවේශයක් අපි මේ ව්‍යවස්ථාව තුළින් ලබාගත යුතුව තිබෙනවා. මේ ව්‍යවස්ථාව හැදෙන්නේ මේ රටේ ජනතාවට. ඒ ජනතාවට හැදෙන ව්‍යවස්ථාව ඒ රටේ ජනතාවගේ මූලික අයිතිය ශක්තිමත් කළ යුතුව තිබෙනවා.
අපි මේ සකස් කරන ව්‍යවස්ථාව නව පුළුල් චින්තනයකින් යුතු නව ප්‍රවේශයක් දක්වා වර්ධනය කළ යුතුව තිබෙනවා. ජීවත් වීමේ අයිතිය, නිවාසයක් ලබා ගැනීමේ අයිතිය, තමන්ට රැකියාවක් ලබාගැනීමේ අයිතිය, සෞඛ්‍ය සේවය සඳහා ඇති අයිතිය. මූලික අයිතීන් මේවා. මිනිහෙකුට නිවාසයක් නැත්නම් පිරිසිදු පානීය ජලය නැත්නම් තමන්ගේ පරිසරය සුරක්ෂිත නැත්නම් කොහොමද මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් රැකෙන්නේ?
අපි අපේක්ෂා කරන්නේ කුමක්ද? මේ එළියේ තිබෙන ජාතිවාදී, ගෝත්‍රවාදී ඝෝරනාඩුව අපි යටපත් කරන්න ඕනෑකම තිබෙනවා. අපි ඒකේ ඇත්ත අදහසට සවන් දෙමු. මහානායක හාමුදුරුවන් වහන්සේලා ඉදිරිපත් කරන අදහස්වලට අපි සවන් දෙමු. හැබැයි මේක ජාතිවාදී, ගෝත්‍රවාදී දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් බවට පරිවර්තනය වෙනව නම් ඒකට අපි ඉඩකඩ ලබා නොදිය යුතුව තිබෙනවා. මීට වඩා හොඳ සංවාදයක් අපි කරමු. ඒ තලය හොඳද නරකද, සුදුසුද නැද්ද, අපි ඒ සාකච්ඡාවට ප්‍රවිෂ්ට වෙමු.