වෛර බීජ සහ රුධිර අස්වනු

එකම නාට්‍යය සුළු සුළු වෙනස්කම් සහිතව විවිධ නම්වලින් රඟදැක්වෙමින් පවතී. ගාල්ලේ, ගිංතොට ගිනි ගත් මහජන දේපළවලින් අවපැහැ ගැන් වූ දුම් රොටු තවමත් නැගෙමින් පවතී. යළි යම් මොහොතක ඒවා ඇවිළ යා නොහැකි යැයි කිසිවෙකුටත් කිව නොහැකිය. ඉතාම සුළු රිය අනතුරක් මහා විනාශයක් දක්වා ගෙන යාමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබේ. තොරතුරු වාර්තා වන පරිදි රිය අනතුරේ සිදුවීම පදනම් කරගෙන ගින්න ඇවිළීමට එජාප මුස්ලිම් දේශපාලනඥයකු ද, පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනෙකු මුල් වී තිබේ. එක් පසෙකින් මුස්ලිම් ජාතිවාදී දේශපාලනය ද, එසේම සිංහල ජාතිවාදී දේශපාලනය ද මේ විනාශයට වගකිව යුත්තන්ය. විශේෂයෙන් පසුගිය කාලය පුරාම බෞද්ධ භික්ෂූන් ද සම්බන්ධ කර ගනිමින්, මුස්ලිම් ප්‍රජාවට එරෙහි විවිධ දූෂමාන මත සහ ප්‍රචාරයන් ගෙන යනු ලැබිණි. ඒවා ඉතාම ප්‍රාථමික ගණයේ හා ගෝත්‍රවාදී ප්‍රකාශනයන්ය. මෙයට ‘රාවණා බලය’, ‘මහසොහොන් බළකාය’, ‘බොදු බල සේනාව’ ආදී විවිධ නම් යොදා ගත් ගෝත්‍රික සංවිධාන මුල් විය. එසේම තවත් එයට මුල් වූ ප්‍රධාන පෙළේ කණ්ඩායම වූයේ රාජපක්ෂ කණ්ඩායමයි. ව්‍යාජ දේශප්‍රේමයක් පෙන්වමින්, සිංහල බෞද්ධ ජාතිවාදය ඇවිස්සීම මොවුන්ගේ ප්‍රධානතම දේශපාලන කටයුත්ත වී තිබෙනු දැකිය හැකි විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධ සාකච්ඡාවේ දී ද මේ පිරිස් හැසිරුණේ ගෝත්‍රවාදී ස්වරූපයකින් බව මොනවට ප්‍රදර්ශනය විය.
ඒ නිසා ගිංතොට විනාශය හුදු අහම්බයක් හෝ හිතුවක්කාර කිහිප දෙනෙකුගේ නොමනා ක්‍රියාවක් ලෙස විග්‍රහ කිරීම නිවැරදි වන්නේ නැත. එය ඉහත වපුරන ලද ජාතිවාදී පොළොවේ හට ගත් අස්වැන්නය. ඒ නිසා ඉහත කී සියලු අය ඒ විනාශයන්ට වගකිව යුතුව තිබේ.
මෙහිම සාකච්ඡා කළ යුතු තවත් සිදුවීමක් තිබේ. එනම්, උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමති, කන්දයියා සර්වේෂ්වරන් මහතා වවුනියාවේ පාසලක උත්සවයකට සම්බන්ධ වූ අවස්ථාවේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමයි.
ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරන අධ්‍යාපන ඇමතිවරයකු පාසල් සිසු සිසුවියන්ට, රටට ලබා දෙන පණිවුඩය කුමක්ද? එක් අතකින් ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර තිබේ. මෙවැනි ක්‍රියා තුළින් මෙවැනි පුද්ගලයන් බලාපොරොත්තු වන්නේ අනෙක් නියෝජිතයන්ට වඩා තමන් දෙමළ ජාතිවාදී බවය. එයින් වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමය.
යුද්ධයෙන් පසු උතුරේ ජනතාව යාන්තමින් හුස්ම ගනිමින් සිටිති. ඔවුන් නියෝජනය කරන දෙමළ නම් යොදා ගත් සංවිධානවලින් ද, ආණ්ඩුවලින් ද ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දී ඇත්තේ නැත. මේ තත්ත්වය ජනතාව අසහනයට පත් කර තිබේ. ජනතා අයිතීන් ලබා දෙමින්, සැබෑ ලෙසම ජනතා ගැටලු විසඳීමට විධිමත් දැක්මක් හෝ වැඩපිළිවෙළක් නොමැති සාම්ප්‍රදායික ජාතිවාදී දේශපාලන පක්ෂවලට හා සංවිධානවලට ජනතාව අතරට යා හැකි බාලම ගණයේ උපක්‍රමය වන්නේ ජාතිවාදයයි. දකුණේ මෙන්ම උතුරේ ද බංකොලොත් දේශපාලකයන් නතර වන්නේ මෙම ජාතිවාදී ගොහොරුවේය. ඉහත ජාතික කොඩියේ ප්‍රශ්නය ද ඒ නිසා අහම්බයක් නොව එහි පවතින පරිසරයේම ප්‍රකාශනයකි.
මෙහි සඳහන් කළ යුතු තෙවන සිදුවීමක් ද වෙයි. එනම්, අසාත් සාලි විසින් තමිල්නාඩු වෙබ් මාධ්‍යයක් වෙත කර ඇති ප්‍රකාශයයි. එහිදී ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ඉතිරිව ඇත්තේ, අවි අතට ගැනීම පමණක් බවයි. එසේම ඒ සඳහා තමන් ද සහාය දෙන බවට ඔහු වහසිබස් කියා තිබේ. මෙය ද ඕපපාතික ප්‍රකාශයක් ලෙස බැහැර කළ යුතු නොවේ. ඉහත දී ද සඳහන් කළ පරිදි මුස්ලිම් ප්‍රජාව ජාතිකත්වය නිසා වන පීඩාවක සිටින බව සැබෑය. එය දෙයාකාරය. එනම්, ඉස්ලාම් ආගමික පරිසරය හා අනන්‍ය සංස්කෘතිය විසින් ඔවුන්ගේ ජීවිත සාපේක්ෂව යම් සිරගත කිරීමකට ලක් කොට තිබීමයි. අනෙක නම්, සිංහල ජාතිවාදී කොටස් වෙතින් එල්ල වී තිඛෙන තර්ජනාත්මක බලපෑමයි. මෙම වටාපිටාව තුළ මුස්ලිම් ප්‍රජාවගේ සැබෑ ජීවන ගැටලු විසඳන ඉදිරි දැක්මක් හා වැඩපිළිවෙළක් මුස්ලිම් නම සහිත සහ මුස්ලිම් ජාතිවාදය පදනම් කර ගත් දේශපාලන ව්‍යාපාර සතු වන්නේ නැත. අපේ රටේ මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් මෙකී සියුම් සමාජ, සංස්කෘතික කාරණා සංවේදීව විමසා බලන විසඳුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අසමත් විය. මෙම තත්ත්වය මුස්ලිම් ජාතිවාදී දේශපාලනයට බඩපිනුම් ගැසීමට අවස්ථාව සලසා දෙයි. අසාත් සාලිගේ ප්‍රකාශය ද එවැන්නකි.
ඉහත සඳහන් කළ සිදුවීම් තුනම ප්‍රකාශ කරන්නේ සමාජයක් ලෙස අප වැටී තිඛෙන කනගාටුදායක තත්ත්වයයි. මෙවැනි සිදුවීම් ජනතාව තමන්ගේ ජීවිත පිළිබඳව තීන්දු ගැනීමට වගකීම් භාර දුන් බංකොලොත් දේශපාලනය විසින් වපුරන ලද බීජවල අස්වැන්නය.
එකම මානව වර්ගයක් ලෙස බිහිව ලොව පුරා විකාශනය වූ මානව සංහතිය තුළ සංස්කෘතික වෙනස්කම් ඇති වූයේ භූගෝලීය සහ දේශපාලන කාරණා මෙන්ම එක් එක් ප්‍රජාවන්ගේ නිෂ්පාදන ස්වරූපයන්ට හා එහි මට්ටම්වලට අනුවය.
ලොව බොහෝ රටවල ධනවාදය විසින් මධ්‍යගත ආර්ථීකයන් බිහි කිරීම නිසා විවිධ ජාතිකත්වයන්, ආගමික ස්වරූප, කුල ආදිය ස්වීකරණය වීමෙන් එකම ජාතියක් ජීවත් වන ජාතික රාජ්‍ය ගොඩනැගිණි.
එහෙත්, අප රට තුළ ධනවාදය බිහි වූයේ බ්‍රිතාන්‍ය පාලකයන්ගේ සූරාකෑමේ සැලසුම්වලට යටත්වය. ඒ තුළ බොහෝ ආසියාතික ක්‍රමයේ ලක්ෂණ ඉතිරි විය. ජාතික ප්‍රශ්නය නොවිසඳුණේ ද ඒ නිසාය. එහෙත්, අද භෞතිකව ධනවාදයේ අංගලක්ෂණ සමාජය තුළ තහවුරු වී අවසන්ය. සංස්කෘතික ක්ෂේත්‍රයේ පමණක් තව දුරටත් වෙනස්කම් ඉතිරිව තිබේ.
ඒ නිසා සියලු ජනතාවන් අතර සහෝදරත්වය හා මානව බැඳීම් ශක්තිමත් කරන විද්‍යාත්මක දැක්මක් සහ වැඩපිළිවෙළක් මේ සඳහා අවශ්‍යය. නිෂ්පාදන ආර්ථීකයත් එහි ප්‍රධාන සාධකයකි. එහෙත්, බලය හා ධනය වෙනුවෙන් ඕනෑම ජරා ගොඩක ලැගීමට සූදානම් බංකොලොත්, බඩගෝස්තරවාදී දේශපාලකයන්ගෙන් ඒවා බලාපොරොත්තු වීම තේරුමක් ඇති කටයුත්තක් නොවේ. ජනතාව සැබෑ විකල්පයක් තෝරා ගන්නා තුරු මෙවැනි එකම විදියේ නාටක වරින්වර රඟදැක්වෙනු ඇත.