සමස්තය පෞද්ගලික අංශයට දීලා කිසිම රටක් දියුණු වුණේ නැහැ (ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ)

slid1
වෛර බීජ සහ රුධිර අස්වනු
December 12, 2017
මැණිකෙ අගය කණා දන්නේ නෑ
December 12, 2017
Show all

සමස්තය පෞද්ගලික අංශයට දීලා කිසිම රටක් දියුණු වුණේ නැහැ (ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ)

බෙsegwer

නීල හරිත අයවැයක් ලෙස මේ අයවැය හදුන්වා දී තිබෙනවා. මේක හුදු නාමකරණයක්ද? එසේත් නැති නම් සැබෑ වැඩපිළිවෙළක්ද?

එක්දාස් නවසිය හතළිස් අටේ නිදහස ලබා ගනිද්දි අපි බොහොම ධනවත්ම රාජ්‍යයක් ආසියාවේ. මේකට කිව්වා ආසියාවේ ස්විට්සර්ලන්තය කියලා. ඉතින් හතළිස් අටේ ඉදලා මේ දක්වාම ඉදිරිපත් කරපු අයවැය වාර්තා විතරක්ම කියෙව්වොත්, කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රට දැන් කේතුමතී රාජධානිය බවට පත් වෙලා කියලා. ඒ කියන්නෙ එච්චර ලස්සන සිහින මේ අයවැය තුළ තිබුණා. හරී ලස්සන වචන තිබුණා. ඉතින්, මේ නීල හරිත අයවැයත් හරි ලස්සන වචනයක් විතරයි. සැබෑ වැඩපිළිවෙළක් නෑ ඒ තුළ.

ඉදිරිපත් කර තිබෙන දෙදාස් දහ අට වසරේ අය වැය ගැන ඔබේ විග්‍රහය මොකක්ද?

මම දකින්නෙ හැත්තෑ හතේ යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් වල් බූරු විදියට ඕපන් කරපු අපේ ආර්ථීකය තව දුරටත් ඒ විදියටම ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරපු අයවැයක් මේක. රාජ්‍ය අංශය තව දුරටත් හකුළා ගනිමින් පෞද්ගලික අංශයේ ආයෝජන සහ විදේශ ආයෝජන වැඩි කරන එක තමයි ඔය මොන වචනවලින් ආවත් එක්දහස් නවසිය හැත්තෑ අටේ ඉදලා මේ දක්වා ආපු හැම අයවැයේම තිබුණේ. එදා ආසියාවේ සමෘද්ධිමත්ම රාජ්‍යය මේ වෙද්දි ආසියාවේ තුවාලය බවට පත්වෙලා තියෙනවා. ඔය දේ තව දුරටත් කරගෙන යන්න ගත්තු උත්සාහයක් තමයි මේ අයවැය.

විවෘත ආර්ථීකය මේ දක්වා නිවැරදිව පවත්වාගෙන යන්න බැරි වුණා. ඒක නිවැරදි මාවතකට අරගෙන පවත්වාගෙන යන්න ලූ මේ නීල හරිත අයවැය ගෙනාවෙ කියලා ආණ්ඩුව කියනවා. මේ සම්බන්ධයෙන් ඔබ සිටින ස්ථාවරය මොකක්ද?

විවෘත ආර්ථීකය නිවැරදි ලෙස ක්‍රියාත්මක කර ගන්න බැරි වුණා නෙමෙයි. මම කැමතියි ඔවුන්ගෙන් අහන්න, විවෘත ආර්ථීකය අපේ රටට ගැලපුණේ නැහැ නේ ද කියලා. ලෝකයේ කිසිම රටක් විවෘත කරගෙන දියුණු වුණේ නැහැ. විවෘත ආර්ථීකය මේගොල්ලෝ විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. හැබැයි ඒක ෆේල් වුණා. ඒ අසමත් භාවය පිළිගන්න තවමත් මේගොල්ලෝ කැමති නැහැ. මේගොල්ලන්ට පිළිගන්න ඉඩ දෙන්නෙත් නැහැ. කවුද? ලෝක බැංකුව, අයි.එම්.එෆ්. එක වගේ ආයතන. මේගොල්ලෝ මෙහෙයවන පිරිසක් ඉන්නව නෙ. මේ රටේ දේශපාලනඥයෝ ඇත්තටම අපේ දේශපාලනඥයෝ නෙමෙයිනෙ. අපේ දේශපාලනඥයෝ කියලා ඒ අයව හැදින්වූවාට ඒ අය වෙනත් රටවල්වල නියෝජිත පිරිසක්. ඒ නිසා මේ ක්‍රමයට පැලැස්තර දමමින්, ක්‍රමයට විවිධ වචන යොදමින් අරගෙන යන්න හදනවා. ඒක නිසා මේ අසමත් වීම පිළිගන්නෙ නැතුව, ඒ අසමත් වීම දකින්නෙ නැතුව, ඒ අසමත් වීම වෙනස් කර ගන්න අවශ්‍ය වෙනත් ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව මේක ආපස්සට හරවන්න බැහැ.

ලංකාව ව්‍යවසායකත්ව පාරාදීසයක් කරන බවට වූ යෝජනාවක් මේ අයවැයේ තිබෙනවා. මොකක්ද මේ ව්‍යවසායකත්ව පාරාදීසයක් කියන යෝජනාවෙන් කරන්න හදන්නෙ?

ව්‍යවසායකත්ව පාරාදීසයක් කියන වචනය හරිම ෂෝක්. ආචාර්ය ඩබ්ලිව්.ඒ. විෙජ්වර්ධන කියනවා, මීට වඩා හොද ව්‍යාපාරික යුගයක් පැරකුම්බා යුගයේ තිබුණා කියලා. මම මේ ප්‍රකාශය සමග සියයට සියයක් එකගයි. මොකද? මීට වඩා ඛෙහෙවින් හොද ව්‍යාපාර කරන්න පුළුවන් තත්ත්වයක් පැරකුම්බා යුගයේ තිබුණා. ඒ නිසා බයිලා කතා කරන්න එපා. දැන් මේකෙ එහෙම තත්ත්වයක් නෑ. ලෝක බැංකුවේ වාර්තා අනුව ව්‍යාපාර කරන්න පහසු දර්ශකයේ අපි දෙදාස් හයේ අවුරුද්දේ හිටියේ හැත්තෑ පස්වෙනි ස්ථානයේ. මේ වෙද්දි එකසිය එකොළොස් වෙනි ස්ථානයට ඇදවැටිලා. මේ අයවැයෙන් පෞද්ගලික අංශයට නෙ බාර දෙන්න හදන්නෙ ව්‍යාපාර කරන්න. දැන් තේරෙනවනෙ අපේ රට ව්‍යාපාර කරන්න ලෝකයේ රටවල්වලින් ඉන්නෙ කොයි තැන ද කියලා. මේ තත්ත්වය තේරුම් ගන්න ඕනෙ. ඒවාට හොද යෝජනා මේකෙත් තියෙනවා. ඒවා හරි ලස්සනයි තමයි. උදාහරණයක් විදියට අපි කෘෂිකාර්මික රටක් නිසා. අපිට ලෝකයට මල් අපනයනය කරන්න පුළුවන්. මේක අයවැයෙනුත් හරි ලස්සනට හදුනාගෙන තියෙනවා. මල් අපනයනය කරන්න වෙන් කරලා තියෙන්නෙ කීයද? මිලියන දහයයි. මුළු වර්ෂයටම! හැබැයි අර කෘෂිකර්ම ගොඩනැගිල්ලට ගෙවන මාසයක කුලිය කීයද? මාසයකට මිලියන දෙසිය දහයයි! හැබැයි මල් අපනයනය කරන්න අවුරුද්දටම මිලියන දහයයි. ඉතින් මේ කාව ද රවට්ටන්න හදන්නෙ?

එක්දහස් නවසිය හතළිස් අටේ සිට අපේ රටේ තිබුණේ ඇත්ත ආර්ථීක සංවර්ධනයක් වෙනුවට සංඛ්‍යා දත්ත මවා පාන ආර්ථීකයක් බව ඇතැම් පාර්ශ්වවලින් විවේචන එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මේ රටේ රෑ අපි නිදා ගත්තේ පහළ ආදායම් ලබන රටක් හැටියට. නමුත් උදේ නැගිටින කොට අපි මධ්‍යම පාන්තික රටක් වුණා නෙ. දෙදාස් පහේ ද කොහේද මට මතක හැටියට. අපි මධ්‍යම පාන්තික රටක් ද කියලා කොළඹින් පොඩ්ඩක් පිටට ගියොත් බලන්න පුළුවන්. දරුවට අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න බැරුව අම්මලා වහ බොනවනෙ. කුඹුරෙ ණය ගෙවා ගන්න බැරුව ගොවියො වහ බොනවනෙ. නමුත් මධ්‍යම පාන්තික රටවල්වල මේවා සිද්ධ වෙන්නෙ නැහැ. අපි වැඩිම සිය දිවි නසා ගන්නා රට බවට පත්වෙලා. වැඩිපුරම රෝඩ් ඇක්සිඩන්ට් වෙන රට බවට අපි පත්වෙලා. මේවා රටකට හොද සලකුණු නෙමෙයි. සංඛ්‍යාලේඛනවලින් අපි මධ්‍යම පාන්තික රටක් තමයි. නමුත් අද අපේ රටේ පුද්ගලයෙක් ලක්ෂ පහක් ණයයි. උපදින්න ඉන්න දරුවත් ණයයි. සමහර විට හෙට අපි නැගිටිද්දි මේක සංවර්ධිත රටක් වෙලා තියෙන්නත් පුළුවන්. නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය අමිර්තා සෙන් කියනවා ‘සංවර්ධනය කියන දේ පුරවැසියන්ගේ මුහුණින් පිළිබිඹු විය යුතුයි’ කියලා. ඒක පේනවාද? මොකද ජනතාවට ඔවුන්ගේ හදවතට බොරු කරන්න බැහැ.

අපේ රටේ ඒකපුද්ගල ආදායමට වඩා ඒකපුද්ගල බදු ප්‍රමාණය ඉහළ ගිහින් තිබෙනවා. එය සිදු වුණේ කොහොමද?

ඒකපුද්ගල ආදායම කියල කියන්නෙ සමස්ත දළ ජාතික නිෂ්පාදනය ඉන්න පුද්ගලයන්ගෙන් බෙදුවාම එන අගයට. ඒකපුද්ගල බදු ප්‍රමාණය එන්නෙ සමස්ත බදු මුදල සමස්ත ජනගහනයෙන් ඛෙදුවාම. දළ ජාතික නිෂ්පාදනය ඛෙදුවට හැමෝටම එක හා සමාන ආදායමක් ලැඛෙන්නෙ නැහැනෙ. ඕක වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ රටේ බදු ආදායමෙන් සියයට අසූතුනකට වඩා ලැබෙන්නෙ වක්‍ර බදු. සියයට දාහතයි සෘජු බදු තිබෙන්නෙ. නමුත් මේ සියය බෙදන්නෙ සමස්ත ජනගහනයෙන්නෙ. ආදායමත් බෙදන්නෙ සමස්ත ජනගහනයෙන්. එතකොට ඒකපුද්ගල ආදායමට වඩා එදිනෙදා වැඩක් කර ගන්නා පුද්ගලයෙකුගේ ආදායම ඉතාමත් අඩු ආදායමක් වෙන්න පුළුවන්. නමුත්, එයාගේ බදු අර විදියට බෙදලා ගත්තාම ඒක වැඩි වෙන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ රටේ වැඩිපුර තිඛෙන්නෙ වක්‍ර බදු. පොඩි මිනිහා වැඩියෙන් බදු ගෙවන ක්‍රමයක් තමයි වක්‍ර බදු කියල කියන්නෙ. ඒ කියන්නෙ ඔහු ලබන ආදායම අනුව නෙමෙයි ඔහු ලබන පාරිභෝජනය අනුව තමයි බදු ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නෙ. මේක විශාල ප්‍රශ්නයක්. මේකෙන් වෙන්නෙ පොඩි මනුස්සයාගේ මිල දී ගැනීමේ හැකියාව පුළුවන් තරම් අවම කරලා ඔහුව ආර්ථීක කටයුතුවලින් ඈත් කරලා දාන එක. මේ සියයට දාහතේ සෘජු බදු ගත්තත් මේ සෘජු බදු ප්‍රමාණය එකතු වෙන්නෙ ෆයිල් හයසීයකින්. ඒක පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කරලා තිබෙනවා. ඒ කියන්නෙ පුද්ගලයන් හයසීයක් වගේ ප්‍රමාණයකගෙන් තමයි මේ සියයට දාහත එකතු වෙන්නෙ. එතකොට ලංකාවෙ බදු ගෙවන්න ඉන්නෙ මේ වගේ ප්‍රමාණයක්ද? මේක විශාල ප්‍රශ්නයක්. ඇත්තටම වෙන්න ඕනෙ රටක් දියුණු වෙද්දි වක්‍ර බදු අඩු කරලා සෘජු බදු වැඩි කර ගන්න ඕනෙ. හැබැයි සෘජු බදු වැඩි කර ගන්න කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ.

ධනපතියන්ට අමාරු කරපු, හැබැයි පොඩි මනුස්සයාට ලේසි කරපු අයවැයක් වගේ පෙන්වන්න හදනවා නීල හරිත අයවැය තුළින්. එය සැබෑවක්ද?

හැම අයවැයක දීම ඒක පෙන්නුවා. ගිය සැරේ ආවේ සූරසරදියෙල් අයවැයක් නෙ. දැන් එතකොට අපි ඉන්නෙ සූර සරදියෙල් අයවැයේද? එහෙනම් අපි ඔක්කොම මාර විදියට දියුණු වෙලා ඉන්න එපැයි. දැන් නීල හරිත අයවැයනේ මේක. මේක අර වහලා ගහන ක්‍රමයක්නෙ තියෙන්නෙ. අය වැයේ තිබෙනවා යෝජනාවක් ස්කන්ධ ප්‍රාග්ධනය වෙනස් කිරීම සදහා බැංකු කිහිපයක් නම් කරලා අවස්ථාවක් දෙනවා තැන්පතුකරුවන්ටත් කොටස් ලබා ගන්න. එතකොට දැන් කවුද තැන්පතුකරුවො? ඕනෑම කෙනෙකුට පුළුවන් රුපියල් පනහක් දාලා තැන්පතුකරුවෙක් වෙන්න. ඉතින් මොකක් ද මේ කියන්නෙ? ඇයි කියන්න බැරි අපි මේ බැංකු කොටස් වෙළෙදපළේ අලෙවි කරනවා කියලා. ඇත්තටම අයවැයකින් විය යුත්තේ අවංක උත්සාහයක්නෙ. හැබැයි මට කියන්න මේ අයවැයේ එක අවංක උත්සාහයක් තිබෙන තැනක්. හැම අයවැයකම තිබුණනේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟාසිටුවනවා කියලා. නමුත්, ඒවා වුණෙ නැහැ නෙ. අයි.එම්.එෆ්. එකේ උපදෙස් අනුව සුභසාධක වියදම් කප්පාදු කරමින්, රජය ආර්ථීක කටයුතුවලින් ඈත් වෙමින් පෞද්ගලික අංශයට පවරලා අත පිහදා ගන්න එක නෙ හැමදාම කළේය. දෙදහස් දහ නවයේදී අපේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. ඒක එතකොට රුපියල් ලක්ෂ හයක් වෙනවා. ඒ තත්ත්වයට මේ රටේ මිනිස්සුන්ව පත් කළේ කවුද? මේ රට කිසිම දර්ශනයක් නැතුව මෙහෙයවපු පාලක පන්තිය විසින් තමයි මේ දේ කළේ.

තරගකාරී වෙළෙදපළ ආර්ථීකය තුළ සෑම දෙනෙකුටම සාර්ථක වෙන්න බැහැ කියලා ඉතාම පැහැදිලිව මෙවර අයවැය කතාවෙදි කියනවා. මේ අනුපාතය අපි කොහොමද හදුනා ගන්නෙ? සාර්ථක වන සහ අසාර්ථක වන අනුපාතය?

ඒගොල්ලො පැහැදිලිවම කියනවා මේ හැමෝටම දියුණු වෙන්න බැහැ කියලා. හැමෝටම සල්ලි හම්බවෙන්නෙ නැහැ. අපි පිළිගන්නවා මේ ක්‍රමය වැරදියි. මේ ක්‍රමය හරියන්නෙ නැහැ. මේ ක්‍රමයෙන් අසාර්ථක වෙන පිරිස වැඩියි. කිහිප දෙනෙක් තමයි සාර්ථක වෙන්නෙ කියල ඒගොල්ලොම කියනවා. ඒක ලොකු දෙයක්. මොකද? ඒක තමයි අපිත් කියන්නෙ. ඒක නිසා තමයි අපි කියන්නෙ, ක්‍රමය වෙනස් කරමු. වැඩි දෙනෙක් සාර්ථක වෙන කිහිප දෙනෙක් අසාර්ථක වෙන. එතකොට වැඩි දෙනාට පුළුවන් අර කිහිප දෙනාව බලා ගන්න.

මාළු කූරියෙක් දීලා මිනිස්සුන්ව නංවන්නෙ නැතිව බිලී පිත්තක් දීලා පොඩි මිනිස්සුන්ට නංවාලන බවට වූ යෝජනාවක් මේ අයවැය තුළ තිබෙනවා. මෙතන දී සාමාන්‍ය ජනතාවට බිලිපිත්තක් දුන්නට ධනපති පන්තියට තිබෙන්නෙ විසි දැල් වුණොත් ආපහු අසාධාරණයි නේද?

අපිට බිලී පිති ඛෙදන ගමන් අරගොල්ලන්ට බෙදනවා ට්‍රෝලර් බෝට්ටු. වෙනස ඒකයි. අපි එදා වේල යාන්තං ගැටගහ ගන්නවා බිලී පිත්තෙන්. ට්‍රෝලර් බෝට්ටුව තියෙන එකා ඉහගෙන කනවා. ඇමරිකාව වුණත් දැන් පිළිගන්නවා
සමස්තය පෞද්ගලික අංශයට බාර දීලා රටක් දියුණු කරන්න බැහැ කියලා. කිසිම රටක් සමස්තය පෞද්ගලික අංශයට බාර දීලා දියුණු කළේ නැහැ. මම මේ කියන්නේ සමස්තය රජයට පවරා ගන්න එක නෙමෙයි. මෙතන බිලි පිත්ත කියන්නෙ ණය නෙ. ණයක් දුන්න පමණින් ව්‍යාපාරයක් පටන් ගන්න බැහැනෙ. කෝ ඔහුට අවශ්‍ය තාක්ෂණික දැනුම? කෝ ඔහුට අවශ්‍ය වෙළදපොළ? කෝ ඔහුට පිරිවැය අඩු කර ගන්න අවශ්‍ය කළමනාකරණ දැනුම ලබා දීම? කෝ ඔහුව නගාසිටුවීම?

අපේ රටේ ඇත්ත ආර්ථීක අර්බුදයක් තිබෙනවා. මේ තත්ත්වයෙන් කොහොමද ගොඩ එන්නෙ?

මෙතෙක් අපි ගත්තේ විදේශීය උපදෙස් නෙ. ඒ වාගේම විදේශීය ආර්ථීක න්‍යායන් තමයි විශ්වාස කළේ. උදාහරණයක් විදියට අපි ඔය සාපේක්ෂ වාසි න්‍යාය වගේ න්‍යායන් නේ ගත්තෙ. නමුත් මම කියන්නෙ අපි කෘෂිකාර්මික රටක්නෙ. අපි කෘෂිකාර්මික රටක් විදියට සමෘද්ධිමත් රාජ්‍යයක් වෙලා තිබුණ නේ. එතකොට අපි හදට රොකට් අරින්න නෙමෙයි නේ. අපිට වී ඇටේ බේස් කරගෙන කොච්චර දුර යන්න පුළුවන්ද? අපිට වී ඇටේට අවශ්‍ය සම්පත් ටික දීලා තියෙනවා. මේ සම්පත් මොනවාද කියලා හදුනා ගන්න අපේ මිනිස්සුන්ට තාම බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි හැරෙමු අපේ සත්‍ය දක්ෂතාවයට. කෘෂිකර්මාන්තය කියන්නෙ මේ අමුඩය ගහගෙන කරන දෙයක් නෙමෙයි. එතනින් එහා අද ලෝකය කොච්චර දුර ගිහින් තියෙනවද? කෘෂිකර්මය පදනම් කරගෙන යන්න පුළුවන් කර්මාන්ත විශාල ප්‍රමාණයක් තිබෙනවා අපිට. ඒවා අපි ඉස්සරහට ගමු. මේ තුළ විශාල කර්මාන්ත රාශියක් තිබෙනවා අපිට නොපෙනෙන. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන තුරු තව අවුරුදු කීයක් ගියත් මේ රට මෙහෙමමයි. අපි අපි තුළ විශ්වාසයක් හදාගෙන ආර්ථීකය හැඩ ගස්සවා ගැනීම නොකරන තුරු මේ ප්‍රශ්නය තව දුරටත් අර්බුදයෙන් අර්බුදයට යන එක නවත්තන්න බැහැ. මේක වෙනස් කරන තුරු මේ අර්බුදය මෙහෙමමයි. ලබන අවුරුද්දෙ මීට වඩා ලස්සන වචන තිබෙන අයවැයක් එයි. මීටත් වඩා සුන්දර සිහිනයක් එයි. ඒ සිහින අයවැය ගැනත් අපි ලබන අවුරුද්දෙත් මේ විදියටම කතාකරමු.


සංවාදය හා සටහන
භාතිය ගුණසේන