සහන කපන එක අසාධාරණ වුණත්, වෙන කරන්න දෙයක් නෑ (කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්)

ක්‍රිfdhae
ආර්ථීක විනාශයේ උමතුවට ජනතාව ඉඩ දෙන්නේද?
December 12, 2017
එට්කා වෙනුවෙන් මහ බැංකු
මහ බැංකු බැඳුම්කරේ – රනිල් වටා හොඳින් කැරකේ
December 12, 2017
Show all

සහන කපන එක අසාධාරණ වුණත්, වෙන කරන්න දෙයක් නෑ (කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්)

පලනි දිගම්බරම්

අයවැයෙන් බියර් බදු අඩු කර පැණි බීම බදු වැඩි කිරීම ඇතැමුන් හඳුන්වන්නේ අග්න්‍යාසය පෙන්වා අක්මාව කපා ගැනීම ලෙසයි. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද?

හුඟක් දේවල් කරන කොට හැමදාම කියන්නේ නරක පැත්ත ගැන පමණයි. අපේ රටේ මිනිස්සුන්ට ඕනෑ දෙයක් නිකම් දෙනවා නම්, හොඳයි. ඕනෑම කෙනෙකුට රටක ආණ්ඩු කරද්දී නිකම් දෙන්න බැහැ. සමහර දේවල් අඩු කරන්න, සමහර දේවල් වැඩි කරන්න සිදු වෙනවා. කිසිම අයවැයකට හොඳක් කියලා තියෙනවාද?
අපේ රටේ කවුරු හරි අන්න හොරෙක් කියලා කිව්වොත්, හොරෙක් හොරෙක් කියලා කියනවා මිස ඔහු හොරකම් කළා ද නැද්ද කියලා විමසා බලන්නේ නැහැ. දේශපාලකයෝ කියන්නේ අරක්කු මිල වැඩි වන විට කසිප්පු බීම වැඩි වෙනවා කියලයි. මම නම් කියන්නේ කසිප්පු බීලා අඩු වයසෙන් මැරෙනවාට වඩා අරක්කු බීම හොඳයි කියලයි. අරක්කු බොන්න සල්ලි නැහැ. යූරියා එහෙම දාලා හදන කසිප්පු බිව්වාම අවුරුදු පනහකින් මැරෙන මිනිහා අවුරුදු විසිපහෙන් මැරෙනවා. ඒ නිසා මම කියන්නේ අරක්කු මිල හුඟක් වැඩි කරන්න හොඳ නැහැ කියලයි.

අගමැතිවරයාම පිළිගත් පරිදි රටේ ජනතාවගෙන් සියයට හතළිස් තුනක් දුප්පත්කමින් පෙළෙනවා නම්, රුපියල් කෝටි එක්ලක්ෂ හැටහය දහසක වක්‍ර බදු පැනවීම අසාධාරණයි නේද?

ඔබ මාව අමාරුවේ දාන්නයි හදන්නේ. ආණ්ඩුවක් හැටියට සමහර අඩුපාඩු සිදු වෙනවා. බදු වැඩි කිරීමත් හොඳ නැහැ. අඩු කිරීමත් රටට හොඳ නැහැ. දුප්පත් මිනිසුන්ට බර පැටවෙන බදු අඩු කළ යුතු බව මම පිළිගන්නවා.
දුප්පත් ජනතාවට සමෘද්ධි ලබා දෙන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ වියදම් කෝටි හත්දහස් එකසිය හැටේ සිට එක්දහස් අටසිය පනස් හත දක්වා විශාල වශයෙන් කපාහැරලා. ජනතාවගෙන් සියයට හතළිස්තුනක් දරිද්‍රතාවයෙන් පෙළෙන රටක මෙය සාධාරණයි කියලා ඔබ සිතනවාද?
දුප්පතුන්ට ලබා දෙන සහන කපා හරිනවාට මම කැමති නැහැ. බොහෝ දෙනා ජීවත් වන්නේ එදා වේල පිරිමහගෙනයි. නමුත්, අපේ රටේ ආදායමෙන් සියයට අනූඑකක් අපට ණය ගෙවීම සඳහා වෙන් කිරීමට සිදුව තිබෙනවා. ඒ නිසා රට ගෙන යාම සඳහා මොනවා හෝ අඩු වැඩි කරන්න වෙනවා. නැත්නම් කරන්නේ මොනවාද? ඒ නිසා මෙය සමබරව යා යුතුයි. නැත්නම්, අමාරුයි. දුප්පත් ජනතාවට ලබා දෙන සහන කපාහැරීම අසාධාරණයි. නමුත්, මේ සඳහා මුදල් සොයා ගත යුත්තේ කෙසේ දැයි බැලිය යුතුයි. නමුත්, ඒවා කෙසේ හෝ සොයා දෙන්න වෙනවා.

ඔබේ අමාත්‍යාංශයේ වියදම් කපා හැරලා නැද්ද?

අපේ අමාත්‍යාංශයෙන් කරන්නේ කඳුකර ජනතාවට ගෙවල්, පාරවල්, වැසිකිළි ආදිය සෑදීමයි. අපට මුදල් දී තිබෙන්නේ ඒ සඳහායි. අයවැයෙන් මේ වසරේත්, ගිය වසරේ දුන් ආකරයට ම මුදල් වෙන් කර දී තිබෙනවා. ඊට අමතරව අවම ගෙවල් දසදහසක්වත් සෑදීම සඳහා ඉන්දියා ආණ්ඩුවෙනුත් මුදල් අරන් දුන්නා. ඒ සියල්ල කළේ මේ ආණ්ඩුවයි. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ඉල්ලීම අනුව ඉන්දියා ආණ්ඩුව අපට මුදල් දුන්නා. ඒ නිසා ඉස්සර ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුවෙන් වතුකර ජනතාවට විශාල සේවයක් සිදු වී තිබෙනවා. මම සතුටු වන්නේ මාගේ ජනතාවට ආරුමුගම් තොණ්ඩමන් සහ සෞම්‍යමූර්ති තොණ්ඩමන් යන දෙපළට අවුරුදු හැටක් කිරීමට නොහැකි වූ දේවල් කිරීමට මට හැකි වීම සම්බන්ධවයි. වතුකරයේ ජනතාවට වැටුප් වැඩි නොකළාට ඔවුන්ට දැන් තමන්ටම කියා ඉඩමක්, ඒ සඳහා ඔප්පුවක් ලබා දී තිබෙනවා. ඒ වාගේ ම ගෙයක් සාදා ගැනීමට ලක්ෂ දහයක් ලබා දෙනවා. ඉස්සර දුන්නේ ලක්ෂ හයක් පමණයි. ඒ මුදලට ගෙයක් හදන්න බැහැ. මේ ආණ්ඩුව ඒ මුදල ලක්ෂ දහය දක්වා වැඩි කළා.

ආර්ථීක පීඩනය හා ණය ගෙවා ගත නොහැකිව පවුල් පිටින් සිය දිවි නසා ගන්නටත් පටන්ගෙන තිබෙනවා නේද?

ඇත්ත කතා කළොත්, අපට තිබෙන ලොකුම ප්‍රශ්නය ණය ප්‍රශ්නයයි. ඒ වාගේම අපට ආදායම් ලැබීම අඩු වී තිඛෙනවා. ඒ නිසා අගමැතිතුමා බලන්නේ ආදායම් ලැඛෙන මාර්ග වැඩි කරගෙන ඒ මගින් ණය ගෙවා ගැනීමටයි. ඒවා කරන්න කවුරුත් සහායක්, ඉඩක් දෙන්නේ නැහැ. හම්බන්තොට සියයට හතළිහේ සිට හැට දක්වා ආදායම ලබා ගත හැකිව තිබුණා. නමුත්, හම්බන්තොට වික්කා. එහෙම විකුණාගෙන කෑවා. මේ මහා ආදායම නොලැබී යනවා කියලා හිතුවාද? පෝට් සිටි එක චීනයට විකුණන්න ගියා. මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක බදු ක්‍රමයකට හැරෙව්වා. ඒ වගේ මේ ආණ්ඩුව හොඳ වැඩ කළා. නමුත්, සමහරු බලයට එන්න එක එක දේවල් දෙනවා කියා බොරු ප්‍රචාර ගෙන යනවා. රට ගොඩනගන්න වැඩ සටහනක් ගෙන යන විට අගමැතිවරයාට පහර ගහනවා. මේ රටේ තිබෙන ප්‍රශ්න ඒවායි. ගමේ මිනිස්සු ලෙහෙසියෙන්ම රැවටෙනවා. අප බැලිය යුත්තේ මේ ණය බරෙන් ගොඩ එන්නේ කෙසේ ද කියායි. එහෙම නැතුව රටක් සංවර්ධනය කරන්න බැහැ. එසේ නැතිව ලැඛෙන ආදායමෙන් ණය ගෙව ගෙවා හිටියොත්, රටක් සංවර්ධනය කරන්නේ කොහොමද?

මේ වසරට විවෘත ආර්ථීකයට වසර හතළිහක් පිරුණා. අපි ඇත්ත කතා කළොත්, විවෘත ආර්ථීකයට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ නේද?

එහෙම කියන්න බැහැ. අපේ රටේ සියල්ල නැති නාස්ති වුණේ යුද්ධය නිසයි. අවුරුදු තිහක් අපි යුද්ධ කළා. නැත්නම්, රටට මෙහෙම වෙන්නේ නැහැ. අපි සිංගප්පූරුවට වඩා ලස්සනට ඉන්නවා. ඒකට මෙහේ ඉන්න දේශපාලකයන් වග කියන්න ඕනෑ. අනෙක් පැත්තෙන් ප්‍රභාකරනුත් වග කියන්න ඕනෑ. අපේ රටට මහා විනාශයක් අත් කර දුන්නේ ඒ යුද්ධයයි. ඒ නිසා මේ රටේ සිංහල හෝ මුස්ලිම් හෝ දෙමළ හෝ ජනතාවට මේ අපේ රට ලංකාව කියා හැඟීමක් තවම ඇති වී නැහැ. මම දෙමළ. අනෙක් අය මුස්ලිම්, සිංහල එහෙම නැතිව සමගි සම්පන්න හැඟීමක් ජනතාවගේ සිත් තුළ ඇති කළ යුතුයි. රට තුළට ඒ හැඟීම ගෙන ආ යුතුයි. භාෂා, ජාති, කුල ආදියට නොබෙදී සමගි සම්පන්න වුණොත් රටක් හැටියට නැගිටින්න පුළුවන්. එහෙම නැතිව තමන් බලයට එන්න දෙමළ මිනිස්සු ජාතිවාදය කතා කරනවා නම්, සිංහල මිනිස්සු ජාතිවාදය කතා කරනවා නම්, මුස්ලිම් මිනිස්සු ජාතිවාදය කතා කරනවා නම්, මේ රටට ඉදිරියට යන්න බැහැ. එසේම ජාතිවාදය අවුස්සන්නේ දේශපාලකයනුයි. මේ රටේ හොඳ දේශපාලකයෝත් ඉන්නවා. නමුත්, වැඩිපුර ඉන්නේ රට විනාශ කරන දේශපාලකයෝයි. මේ රට විනාශමුඛයට පැමිණ ඇත්තේ, ඒ නිසයි. ඒ නිසා මේ රට සංවර්ධනයෙන් ඉදිරියට ගොස් නැගී සිටීම සඳහා ජාති, ආගම්, කුල වශයෙන් නොබෙදී සියල්ලන් එකම රටක ජනතාවක්, ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වැල් බැඳ ගත යුතුයි.


පද්මා වේරගොඩ ආරච්චි