සිවිල් ආරක්ෂක බලකායේ රජ ගැහිල්ලක සුලමුල එළියට

ceypetco_logo-1
තෙල්, සයිටම් සහ ඉල් මාසය
December 12, 2017
බෙsdgs
චීනය සුපිරි බලවතා වන විට ලංකාව හොම්බෙන් යාම
December 12, 2017
Show all

සිවිල් ආරක්ෂක බලකායේ රජ ගැහිල්ලක සුලමුල එළියට

ලුfade

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 2006 සැප්තැම්බර් 13 දිනැති අංක 1462/20 දරන ගැසට් නිවේදනය අනුවය. පරිපූරක හමුදාවක කාර්යභාරය ඉටු කිරීම සඳහා පිහිටුවන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු කාර්යයන් සහ කර්තව්‍යයන් ද එහි දක්වා තිබේ. රට තුළ උද්ගතවන ආරක්ෂක තත්වයන් අනුව අවස්ථාවට උචිත පරිදි සන්නද්ධ සේවාවලට සහ පොලිස් සේවාවට ආධාර හා උපකාර වීම සඳහා පරිපූරක හමුදාවක් වශයෙන් කටයුතු කිරීම, ත්‍රස්තවාදී තර්ජන පවතින අවස්ථාවලදී ඊට ලක්වන ගම්, බිම් හා නගර ආරක්ෂාකර ගැනීමට කටයුතු කිරීම, රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා පොලිස් සේවයට සහ සන්නද්ධ හමුදාවලට සහාය දීම, ජාතික වැදගත්කමක් ඇති උත්සව හා වෙනත් වැදගත් අවස්ථාවන්හිදී ඊට අදාළ ආරක්ෂාව සැලසීමේ කටයුතුවල යෙදීම, රට තුළ ඇතිවන විවිධ ආපදා අවස්ථාවන්හිදී ඒවා සමනය කිරීමේ කාර්යයන්වලට සහාය වීම, සමාජ සුබසාධන ක්‍රියාකාරකම්වලට සහායවීම, ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා හෝ රජය විසින් නියම කරනු ලබන විශේෂිත කාර්යයන්වල යෙදීම ඒ අතර මූලික වගකීම් ලෙස දක්වා තිබේ. මෙහි ආරම්භක අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ සරත් වීරසේකරය.
ඉහත කී අරමුණු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවනු ලැබූවද එය ආරම්භයේදීම මූලික අරමුණු වලින් බැහැරව කටයුතු කරන බවට චෝදනා එල්ල වන්නට විය. පළමු චෝදනාව එල්ල වන්නේ සරත් වීරසේකර එහි අධ්‍යක්ෂ ජනාරාල්වරයාව සිටියදීමය. ඒ සිවිල් ආරක්ෂක භටයින්ගේ සුබසාධනය වෙනුවෙන් පිහිටවූ අරමුදලින් රුපියල් කෝටි 150ක මුදලක් වංචා කර ඇති බවට මංගල සමරවීර මන්ත්‍රීවරයා සාක්ෂි සහිතව ඉදිරිපත් කළ චෝදනාවයි. සේනාවිධායක අරමුදලින් රුපියල් කෝටි 150 කට අධික මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදාගෙන ඇති බවට එහිදී අනාවරණය කරනු ලැබීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ අනුරාධපුර ප්‍රචාරක රැලිය සඳහා සිවිල් ආරක්ෂක බළකායේ පහලොස් දහසකට අධික පිරිසක් මහජනතාව ලෙස සිවිල් ඇඳුමින් යොදවා සෙනග පෙන්වීමට යොදාගෙන ඇති බව අනාවරණය වන්නේ ඉන් පසුවය. ජනාධිපතිවරයාගේ කතාවට ඔල්වරසන් දීම සහ ඔව්, නෑ, ජයවේවා ආදී වශයෙන් ප්‍රතිචාර දැක්වූයේ සංවිධානාත්මකව යොදාගත් මෙම පිරිස බව සිවිල් ආරක්ෂක බළකා ආරංචිමාර්ගවලින් අනාවරණය විය.
මෙම ප්‍රචාරක මෙහෙයුම පිළිබද හෙළිදරව් කිරීම සිවිල් ආරක්ෂක භටයන්ට සපුරා තහනම් කරනු ලැබූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාම එවකට ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් සමග රටපුරා සංචාරය කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පරිපාලන කලාප ආවරණය වන ආකාරයට මෙම රැස්වීම් පවත්වනු ලැබුණි.
ආණ්ඩුවට ඡන්දය ලබාදීම සඳහා බලපෑම් කරනු ලබන මෙම රැස්වීම් වලට එය පවත්වන ප්‍රදේශයේ සේවය කරන සෑම සිවිල් ආරක්ෂක භටයෙකුගේම පැමිණීම අනිවාර්ය කරනු ලැබීය. මෙහි ඇති සාහසිකම කරුණ වන්නේ සෑම සිවිල් ආරක්ෂක භටයෙක්ම එම රැස්වීම සඳහා ස්වකීය පවුලේ සාමාජිකයන් දෙදෙනක් සහභාගී කිරීම අනිවාර්ය කර තිබීමය. එම රැස්වීම් වලදී සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් සිවිල් ආරක්ෂක භටයන්ගේ සේවය ස්ථීර කරන බවට සහතික වූ බවද පැවසේ.
දවස් පඩිමත යැපෙමින් සිටින සිවිල් ආරක්ෂක භටයන්ගේ රැකියා පිළිබද අවසන් තීන්දුව ගනු ලැබීමේ අත්තනෝමතික බලය එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඇති නිසා මුවින් නොබැණ මේ අසරණ මිනිසුන් ඔහුගේ දේශපාලන රැස්වීම් වලට සහභාගී වූ අතර ඒ සඳහා ඔවුන්ට වැටුප් සහිත නිවාඩු ලබා දුන්නේ දේශපාලන බලය අවභාවිතා කිරීමේ තරම හොඳ හැටි කියාපාමිනි.
මේ අනුව මෙවැනි නීති විරෝධී බලපෑම් කරනා රැස්වීම් පනහකට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇති අතර මෙම දේශපාලන කටයුතු සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්ලජ්ජිත ලෙස දෙපාර්තමේන්තුවේ දේපළ පරිහරණය කරනු ලැබූ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් දැන් අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමග යුද්ධයෙන් පසුව මහින්දගේ දේශපාලන කටයුතු වලට යොදා ගැනීම යටි අරමුණ ලෙස ක්‍රියාත්මක වූ සිවිල් ආරක්ෂක බලකායට ඉටු කිරීමට කාර්යයක් නොමැති වීම නිසා සිවිල් ආරක්ෂක බලකාය පවත්වාගෙන යාම ආර්ථීක වශයෙන් බරක් බවට පත් වූවා සේම ඔවුන්ට ඉටු කිරීමට කාර්යයක් නොමැති වීමද ගැටළුවක් බවට පත් විය.
ඒ නිසා ඔවුන් විසින් ව්‍යාපෘති සිදු කර රජයට ආදායමක් උපයා දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ අතර එමගින් වැටුපෙන් තුනෙන් එකක ආදායමක් සියලුම බලකා සාමාජිකයන් විසින් ලබා දිය යුතු බව තීරණය විය. මේ අනුව වී ගොවිතැන, ගඩොල් කැපීම, වෙනත් වගා කටයුතු ඇතුළු විවිධ ව්‍යාපෘති සඳහා ඔවුන් යොමු කරනු ලැබීය. ඒ අනුව බොහෝ පිරිසක් යොමු වූයේ වී හෝ වෙනත් වගාවන් සඳහාය.
තත්ත්වය මෙසේ පවතිද්දී මෙම ව්‍යාපෘති හරහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින බරපතළ වංචාවක් පිළිබඳව තොරතුරු කරළියට පැමිණෙන්නේ එදත් අදත් සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් පාලකයන්ගේ මනදොළ සැපිරීම වෙනුවෙන් යොදා ගන්නා බව තව දුරටත් සනාථ කරමිනි.
ව්‍යාපෘති වැඩසටහනකට අනුයුක්ත කර සිටින එම දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 20,000ක් පමණ අනිවාර්යෙන්ම එම ව්‍යාපෘති හරහා ලබා දිය යුතු මුදල් වසර ගණනාවක් පුරා වංචාවට හා දූෂණයට ලක් කිරීම මෙලෙස සිදු වන්නේ ඉතා සූක්ෂම අයුරිනි.
දැනට හෙළි වී ඇති කරුණු අනුව මෙම ව්‍යාපෘති සඳහා සම්බන්ධවී සිටින සාමාජිකයින් 20,000ක් පමණ වන පිරිස කෘෂිකාර්මික ප්‍රදේශයක නම් වී වාගව, හේන් වගාව, බඩ ඉරිගු වගාව වැනි වගාවන් හරහාත් ගඩොල් කැපීම් ආදී කර්මාන්තවලත් නියැලෙමින් ලබා ගන්නා ආදායමෙන් කොටසක් දිස්ත්‍රික් සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන වෙත ලබා දිය යුතුය.
ඒ අනුව කෘෂිකාර්මික ව්‍යාපෘතිවලට සම්බන්ධ වී සිටින සිවිල් ආරක්ෂක භටයෙක් එක් කන්නයකදී වී කිලෝ 1200ක් පමණ මූලස්ථානයට ලබා දිය යුතු වන අතර වංචාව සිදු කරන්නේ මෙසේ ලබා දෙන නිෂ්පාදන වලිනි.
සිවිල් ආරක්ෂක සෙබලුන් ලබා දෙන වී වලට අදාළ කුවිතාන්සිවල මුදල සඳහන් කළ යුතු වුවත් එම කුවිතාන්සිවල සඳහන් කර තිබෙන්නේ වී කිලෝ ගණන පමණි. ව්‍යාපෘති ක්‍රියාත්මක කළ මුල් කාලයේ වී විකුණා ලබා ගන්නා මුදල් බලකාය වෙත ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වුවද එම ක්‍රමය වෙනුවට වී හෝ වෙනත් නිෂ්පාදන භාර ගැනීමේ ක්‍රමයක් ආදේශ කරන්නේ සැලසුම් සහගතවය.
මුදල් ලබා ගත් විට ඒ සඳහා නිශ්චිත ආදායමක් පෙන්විය යුතු වුවත් ධාන්‍ය හෝ වෙනත් නිෂ්පාදන ප්‍රමාණයක් බාර ගත් විට එම ප්‍රමාණය පමණක් සඳහන් කිරීමෙන් ඇඟ බේරා ගත හැකි බව මෙම වංචාව සැලසුම් කළ පිරිස් හොඳින්ම තේරුම් ගෙන තිබේ. වී කිලෝවක මිල රුපියල් 33/-ක් ලෙස සලකා අවශ්‍ය කිලෝ ප්‍රමාණය තීරණය කර ඇතත් වී කිලෝවක් වෙළඳපොළ තුළ ඊට වඩා වැඩි ගණනකට මිල වන නිසා ලැබෙන වී විකුණා ලබා ගන්නා අතිරික්ත මුදල් යන්නේ බලධාරීන්ගේ සාක්කුවටය. එක් වී කිලෝවකින් රුපියල් 10/-ක පමණ මුදලක් මෙසේ අතිරික්තව එකතු වේ. ඒ අනුව වී වගා කර එක් සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකුගෙන් එක් කන්නයකදී වංචා කරන මුදල රුපියල් 12000/-කි. ඒ ආකාරයෙන් වී වගාව සිදු කරන්නන් ගණන මුලු ව්‍යාපෘති කරන්නන්ගෙන් 50%ක් යයි සිතුවද එක් කන්නයකදී අතිරික්තව උපයන ආදායම රුපියල් කෝටි 12කි. කන්න දෙකම සැලකූ විට එය රුපියල් කෝටි 24කි.
මේ ආකාරයෙන් වසරකට කෝටි 50කට වැඩි මුදලක් මෙලෙස රටපුරා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ව්‍යාපෘති හරහා ලබා දෙන අරමුදල් වංචා කර තිබෙන බවට දැන් තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ එක් කොටසක් පමණි. දෙවැනි වංචාව සිදු වන්නේ සිවිල් ආරක්ෂක සාමාජිකයන් කුලී පදනම මත වෙනත් කටයුතු සඳහා ලබා දීම මගිනි. මෙසේ සිවිල් ආරක්ෂක සාමාජිකයන් හයර් කරනු ලබන ප්‍රධානම ආකාරය වන්නේ විවිධ ආයතන වල ආරක්ෂක කටයුතු සඳහාය. ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක ටෙන්ඩර් කැඳවා ආරක්ෂක සේවා ඇණවුම් ලබා ගන්නා අතර ඒ සඳහා තම බලකායේ සාමාජිකයන් යෙදවීම මේ වන විටත් සිදු කෙරෙමින් තිබේ. විශේෂයෙන් මෙම කාර්යයන් සිදු වන්නේ කොළඹ ආශ්‍රිතව වන අතර ඒ වෙනුවෙන් වැලිසර, වෙන්නවත්ත සහ මොල්පෙ යන ස්ථාන වල වෙනමම වාර්තා කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. එසේ ආරක්ෂක කටයුතු සඳහා ගෙන්වනු ලබන සාමාජිකයන්ට ප්‍රවාහණ දීමනාවක් හෝ ගෙවන්නේ නැති අතර ආහාර සඳහා ලබා දෙන සුළු දීමනාවද ලබා දෙන්නේ මාස කිහිපයක ප්‍රමාදයකින් පසුවය. ඒ අනුව තේරෙන භාෂාවෙන් කියනවානම් මෙතැන සිදු වන්නේ ‘මෑන් පවර්’ ජාවාරමකි.
මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ සිවිල් ආරක්ෂක බලකාය ජාවාරම් වල තෝතැන්නක් වී ඇති බව නොවේද? සරත් වීරසේකර විසින් සිවිල් ආරක්ෂක බලකායේ වැටුපෙන් දේශපාලන කටයුතු සඳහා දහසකට අධික පිරිසක් යොදවාගෙන තිබීම ආණ්ඩු මාරුවෙන් පසුව අනාවරණය වීමෙන්ම එය මනාව පැහැදිළි වේ. එහෙත් අද සිදු වී ඇත්තේ උන් වෙනුවට මුන් පත්වීම පමණකි. සියල්ල නෑසූ කන් ඇතිව බලා සිටීම ඊනියා යහපාලනයේද ක්‍රමවේදය වී තිබේ.


චතුර දිසානායක