ආණ්ඩුව කළ අලි කලබලයේ ඇත්ත නැත්ත හෙළිවෙයි

ණීsdrhWSE
පුද්ගලිකත්වය වෙනුවට පොදු මිනිස් සංහතිය වෙනුවෙන් තීරණයක්!
December 19, 2017
plant1 gfnjhRg
යාන් ඔය වැලි ව්‍යාපෘතියේ නොපළ කතාව
December 19, 2017
Show all

ආණ්ඩුව කළ අලි කලබලයේ ඇත්ත නැත්ත හෙළිවෙයි

elephant in zoo-saidaonline

මේ ආණ්ඩුව බලයට පත් වූයේ අලි කලබලයක් කරගෙනය. ජනාධිපතිවරණයෙන් පසුව පත් කර ගන්නා ලද දින සියයේ ආණ්ඩුව කාලයේදීම මේ අලි කලබලය පටන් ගත්තේ කිසිවෙකුටත් සිතා ගන්නවත් බැරි වන පරිද්දෙනි. හතර වටෙන්ම හොර අලි අල්ලන්නටත් අලි හොරු අල්ලන්නටත් පටන් ගත්තේ ලංකාවේ තිබුණු ප්‍රධානම ජාවාරම අලි හොරකම් කිරීම බව පෙන්වමිනි. එවකට විෂය භාර ඇමති වසන්ත සේනානායක පමණක් නොව මුළු ආණ්ඩුවම මේ අලි ජාවාරම මැඩපැවැත්වීමට අභීතව පෙරට ආවේ පරිසරවේදීන් පමණක් නොව සුවහසක් ජනතාව අමන්දානන්දයට පත් කරමිනි. අලි රොෂාන්ලා පමණක් නොව කොළොන්නාවේ සුමංගල, උඩුවේ ධම්මාලෝක වැනි හිමිවරුන්ද, තිළිණ ගමගේ වැනි විනිසුරන් ද තරාතිරම නොබලා නීතියේ රැහැනට හසු කර ගන්නට සේනානායකලා සමත් වූයෙන් නීතියේ ස්වාධීනත්වයේ දිග පළල සියල්ලන්ටම සිහිපත් වන්නට විය. මේ අලි කලබලයේ උත්කර්ෂය සටහන් වූයේ තිළිණ ගමගේ විනිසුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟය. නීති විරෝධීව ළඟ තබාගෙන සිටියේ යැයි කියන අලි ඇතුන් 38 දෙනෙකු අත්අඩංගුවට පත් වීමත් මේ අතරතුරදී සිදු විය.
එහෙත් එතැන සිට අලි ජාවාරම ගැන ඇසෙන කතා දවසෙන් දවස අඩු වන්නට වූයේ අලි ජාවාරම සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට ආණ්ඩුව සමත් වූ නිසා යයි ඇතැමෙකුට සිතෙන්නට ඉඩ ඇත. මේ දැන් අත්අඩංගුවට ගන්නේ යයි අලි ජාවාරම සම්බන්ධව චෝදනා ලැබ සිටි ඇතැමෙක් ඉන් පසුව අත්අඩංගුවට ගත්තේ හෝ නඩු පැවරූයේ නැත. අලි පොත නැති වී ඇති බවක් ද මේ අතර කියවිණි.
ඉන් පසුව ඇති වූයේ පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් මතු වී ඇති බව කියමින් ඇති කරන ලද ඝෝෂාවයි. මෙය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සමග භික්ෂූන් වහන්සේලා පිරිසක් අලි පැටවුන් ජාවාරමට එරෙහිව නීතිය කි්‍රයාත්මක කිරීම වැළැක්වීමට කරන උත්සායක් බවට ආණ්ඩුව මෙන්ම පරිසරවේදීන් ද චෝදනා කරන්නට විය.
කෙසේ වෙතත්, දැන් අලි ජාවරම පිළිබඳ කතාවේත්, අලි හිඟය පිළිබඳ කතාවේත් ඇත්ත නැත්ත එකින් එක කරළියට පැමිණෙමින් තිබෙන්නේ කාගෙ කාගේත් අත යට ගේම් සියල්ල හෙළිදරව් කරමිනි.
මේ අලි ඇතුන් හීලෑ කිරීම සඳහා බලපත්‍ර ලබා දීම අතීතයේ සිටම ක්‍රමවේදයක්ව පැවතී තිබේ. එම තීරණය හරිද වැරදිද, වන සතුන් හීලෑ කිරීම සාධාරණ ද යන්න වෙනමම කාරණාවකි. එහෙත් එයට නීත්‍යානුකූල බවක් ලංකාවේ නීතිය මගින් ලබා දී තිබුණු නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දැව සංස්ථාව වැනි රාජ්‍ය ආයතනවල ඇතැම් කටයුතු සඳහා කොන්ත්‍රාත් ලබා දීමේ දී එම කොන්ත්‍රාත්කරුවන්ට අලි ඇතුන් සන්තකයේ සිටීම එම කොන්ත්‍රාත්තු ලබා දීමේදී සලකා බලනු ලැබූ එක් කාරණාවකි. විශේෂයෙන්ම පරිසරයට අවම හානි වන පරිදි ඇතැම් ස්ථානවල සිට දැව ප්‍රවාහනය සඳහා අලි ඇතුන්ගේ සේවය අත්‍යවශ්‍ය විය. ඒ නිසාම අලි ඇතුන් සඳහා ලබා දෙනු ලබන බලපත්‍රයේ ද එම සතුන් යොදා ගනු ලබන්නේ කුමන කාරණාවක් සඳහා ද යන්න සඳහන් කළ යුතු විය. එසේ බලපත්‍රයේ සඳහන් නොවන කටයුත්තක් සඳහා එම සතුන් යොදා ගැනීම නීතියෙන් තහනම් කටයුත්තකි.
මෙසේ අලි ඇතුන් හීලෑ කිරීම සඳහා ලබා දුන්නේ ද රාජ්‍ය මැදිහත්වීමෙනි. ඒ අලි වෙන්දේසි මඟිනි. ගම් වදින අලි ඇතුන් සහ රැළෙන් අතරමං වන අලි ඇතුන් වන ජීවී දෙපාර්තමේන්තුව මගින් ජාතික සත්වෝද්‍යානයට බාර දී ඒ මඟින් වෙන්දේසි කිරීම එවකට පැවති ක්‍රමවේදයයි. එහෙත්, මේ සම්බන්ධයෙන් ඇති වූ විවිධ ගැටලූකාරී තත්ත්වයන් නිසා අවසානයේ අලි වෙන්දේසි නතර කර දමනු ලැබීය. අවසානයේ මෙවැනි අලි වෙන්දේසියක් සිදු කර ඇත්තේ 1982 වසරේ දීය. ඉන් පසුව 1985 වසරේ දී තවත් එක් අලියෙකු වෙන්දේසි කර ඇති අතර, ඉන් පසුව එවැනි අලි වෙන්දේසියක් සිදු වූ බවට සඳහනක් නොමැත. මේ තත්ත්වය නිසා දැව සංස්ථාව ඇතුළු අනෙකුත් ආයතනවල කොන්ත්‍රාත් කටයුතු සඳහා අලි ඇතුන් යොදා ගැනීම ද ක්‍රමයෙන් අභාවයට යන්නට වූ අතර ඉන් පසුව පෙරහැර සහ සංචාරක කර්මාන්තය ඇතුළු වෙනත් කටයුතු සඳහා පමණක් ඉතිරි සීමිත අලි ඇතුන් ප්‍රමාණය යොදා ගනු ලැබීය.
එතෙක් නිල වශයෙන් පැවති අලි ඇතුන් හීලෑ කිරීම ජාවාරමක් බවට පත් වන්නේ ඉන් පසුවය. අලි ඇතුන් ලබා ගැනීමට නිල ක්‍රමවේදයක් නොමැති තැන දේශපාලකයන් මැදිහත් වී කැබිනට් පත්‍රිකා මගින් පන්සල් වලට අලි ඇතුන් ලබා දීම සිදු කරන්නේ පවතින නීතියේ හිදැස් අතරින් රිංගා යමිනි. ඒ අලි ඇතුන්ගෙන් පන්සල්වල රැඳුණේ අතළොස්සකි. ඉතිරි සියල්ලන්ම දේශපාලන හිතවත්කම් මත විවිධ පුද්ගලයන් විසින් සිය භාරයට ගනු ලැබූ අතර අලි ඇතුන් ලබා දුන් පන්සලේ හිමිවරුන් කිසිවෙක් ඒ අලින්ට ඉන් පසුව සිදු වූයේ කුමක් ද යන්නවත් දන්නේ නැත. එසේ අලි ඇතුන් තවත් පුද්ගලයෙකුට පැවරීමට නීතියෙන් ඉඩක් නොමැති වුවද දේශපාලනයේ ආනුභාවයෙන් සියල්ල ගැටලුවක් නොමැතිව සිදු විය. එහි සිදු වී ඇති අලුත්ම තත්ත්වය වන්නේ තැන තැන පන්සල්වල සිටින අලි ඇතුන් එක් ස්ථානයකට එකතු කර අලි හෝල් සේල් හයර් කිරීමට ඇතැමෙකු කටයුතු කිරීමයි. මේ වන විට අත්තනගල්ලේ එක්තරා පන්සලක් මේ ජාවාරම සිදු කරන එක් ස්ථානයක් බවට පත් වී තිබේ. එහි දිඹුලාගල පන්සලේ අලියා, වේයන්ගොඩ පන්සලක අලියෙකු, තවත් වේයන්ගොඩ අලියෙකු ඇතුළු කිහිප දෙනෙකුම එහි ගාල් කර කුලියට ලබා දීම මහා පරිමාණයෙන් එහි සිදු කරමින් සිටියි. අලි හිඟය නිසා මේ සඳහා ඇත්තේ දැවැන්ත ඉල්ලුමකි.
මීට අමතරව අලි ඇතුන් බලහත්කාරයෙන් අල්ලා කොළඹට ගෙන ආවේ යයි චෝදනාවක් පවතියි. අලි කලබලයේ මූලික චෝදනාව වූයේ ද එයයි. බැලු බැල්මට එය එසේ වන්නට ඇතැයි සිතිය හැකි වුව ද, රටේ යුද්ධයක් පවතින මොහොතක, ආරක්ෂක අංශ දැඩි පරීක්ෂාවක සිටි මොහොතක එවැන්නක් සිදු කළේ යයි සිතීම ඇත්ත ජාවාරම වෙනතකට යොමු කිරීමකි. එවැන්නක් සම්බන්ධයෙන් කිසිදු පොලිසියක පැමිණිල්ලක් හෝ සොයා ගැනීමට මේ වන තෙක් නොහැකි වී තිබේ. එසේම 1985න් පසු අලි වෙන්දේසියක් සිදු නොවූ නිසාද, එතැනින් පසු නිල වශයෙන් අලි ඇතුන් ලබා දීමක් සිදු නොවුණ නිසා ද දැනට අත්අඩංගුවේ සිටින අලි ඇතුන් සියල්ලම අවුරුදු තිහකට වඩා වැඩි වයසකින් යුක්ත විය යුතුය. එයද එසේ නොවේ. වයස අවුරුදු තිහට අඩු අලි ඇතුන් ගණනාවක් ද අත් අඩංගුවේ පසු වෙති. එසේනම් එයි සිදු වූයේ කෙසේ ද?
එසේ අවුරුදු තිහට අඩු අලි ඇතුන් අතර ඉන් පසුව කැබිනට් පත්‍රිකා මගින් පන්සල් වලට ලබා දුන් අලි ඇතුන් මෙන්ම අභිජනනය කරවීම මගින් ගෘහාශ්‍රිතව උපත ලැබූ අලි පැටවුන් ද සිටින බව හෙළි වී තිබේ.
මේ සියලු තත්ත්වයන් මැද ඇති වූ අලි ගාලගෝට්ටියේ නෛතික ගැටලුවක් ද තිබේ. ඒ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වූ බලපත්‍ර ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමයි. මේ නිසා බොහෝ අලි ඇතුන් හිමියන් සිය බලපත්‍ර අලුත් කරවා ගැනීමට උනන්දු වී නොමැත. සුප්‍රසිද්ධ නැදුන්ගමුවේ ඇතාට මේ වන තෙක් බලපත්‍රයක් නොමැති බව ද සඳහන්ය. එහෙත්, මේ ලියාපදිංචිය සම්බන්ධ ගැටලුව කරළියට එන්නේ එවකට අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් දළදා මාලිගාවට අලි පැටවුන් දෙදෙනෙකු ලබා දීමත් සමගය. ඊට එරෙහිව පරිසරවේදීන් අධිකරණයේ පිහිට පැතූ අතර 625/2009/රිට් අංකය යටතේ නඩුවක් පවරනු ලැබීය. මේ වන විට ලංකාවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති බවත්, එය වහාම විධිමත් කර අලි ඇතුන් ලියාපදිංචියට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසක් මෙම නඩුවේදී තීරණය කරනු ලැබීය. එය පුවත්පත් නිවේදන මගින් මෙන්ම ගැසට් පත්‍රයක් මගින් ද ප්‍රකාශයට පත් කළ අතර, අලි ඇතුන් හිමිකරුවන් වෙත ලිඛිතව ද දැනුම් දෙනු ලැබිණි. එම දැනුම් දීමේ දී සඳහන් වූයේ අලියා ලැබුණු ආකාරය ලිඛිතව සඳහන් කළ නොහැකි නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් වුව ද ප්‍රමාණවත් බවයි.
මේ අනුව ලියාපදිංචිය ආරම්භ කරනු ලැබූ අතර, වසර කිහිපයක් තුළ අලි ඇතුන් සම්බන්ධ නෛතික කටයුතු සිදු කරනු ලැබීය. කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති වූයේ නැත.
ආණ්ඩු මාරුවත් සමඟ මෙය ගැටලූවක් ලෙස එළියට එන්නේ මහා අලි ජාවාරමක් පිළිබඳ කතාබහක් ද සමඟිනි. අලි පොත නැති වී ඇති බවත්, වනජීවී දෙපාර්තමේන්තුවේ ලේඛනවල වෙනස්කම් සිදු කර ඇති බවත් කියමින් අලි ඇතුන් 38ක් ඒ අනුව අත්අඩංගුවට ගැනිණි.
එහෙත්, දැන් හෙළි වන කරුණු අනුව එසේ අලි පොතක් නැතී වීමක් සිදූ වී නොමැත. ආණ්ඩුව කර ඇත්තේ ඒ වන විට තමන්ට හිට් කරවීමට මෙය හොඳ ඉසව්වක් බව තේරුම් ගෙන එය මාකට් කිරීමය. ඇත්තටම නීත්‍යනුකූල අයිතිය තහවුරු කිරීමට නොහැකි වී ඇත්තේ පැවැති ආණ්ඩුව සමග සෘජු දේශපාලන සම්බන්ධකම් පැවැත්වූ කිහිප දෙනෙකුගේ අලි ඇතුන් පස් දෙනෙකුට පමණි. ඒ සම්බන්ධයනේ නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට ප්‍රශ්නය උත්කර්ෂයට නැගීමට මෙසේ ක්‍රියා කර ඇති බව දැන් හෙළි වෙමින් තිබේ.
දේශපාලන වුවමනාව වෙනුවෙන් සිදු කළ දේ නෛතික ගැටලු බවට පත් වෙමින් තිඛෙන්නේ ඒ නිසාය. මේ සම්බන්ධ චෝදනා ලැබූ ඇතැමුන්ට ඇති චෝදනාව කූට ලේඛන සැකසීමයි. එය සිදු කර ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ දීය. වන ජීවී දෙපාර්තමේන්තුව ඇත්තේ බත්තරමුල්ලේය. නඩුව පවරා ඇත්තේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේය. කඩුවෙල අධිකරණ බලප්‍රදේශයේ සිදු වූ සිදුවීමකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එසේම කූට ලේඛන සම්බන්ධ නඩුවෙන් කිසිදු අලියෙකු අත්අඩංගුවට ගෙන නොමැත. අලි අත් අඩංගුවට ගැනීමේ නියෝගය ලබා දෙන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දෙන වෙනත් නියෝගයක් මගිනි. ලංකාව පුරාවටම සිටින අලි ඇතුන් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබා දෙන්නේ කෙසේ ද යන්න ද පැහැදිළි නැත.
කෙසේ වෙතත් මේ වන විට අලි රොෂාන්ට, කිත්සිරි කහටපිටියට, වනජීවී දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට, තිලිණ ගමගේට සහ සුමංගල හිමියන්ට නඩු පවරා තිබේ. එහෙත් අත් අඩංගුවේ සිටින තිස් අට දෙනාම ඔවුන් සන්තකයේ සිටි අලි ඇතුන් නොවේ. එසේ අත්අඩංගුවට ගැනීමේදී එල්ල කළ චෝදනාව වූයේ බලපත්‍ර නොගැලපීමයි. බලපත්‍ර ලබා දීම වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමකි. එසේම මේ බලපත්‍ර සියල්ල එකම දිනයක එකම නිලධාරීන් පිරිසක් විසින් කළ කාර්යයක් ද නොවේ. නිලධාරීන් පමණක් නොව අධ්‍යක්ෂ ජනරාල්වරු පවා කිහිප දෙනෙකු මේ කාලය තුළ මාරු වී ඇත. එසේනම් කූට ලේඛන සැකසීමේ වරදට ඔවුන් සියල්ලන්ම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවිය යුතුය. මේ කරන ලද්දේ දේශපාලන මල් වෙඩිල්ලක් ගැසීම පමණක් බව පැහැදිලි වන්නේ ඒ නිසාය.
කෙසේ වෙතත් මේ දේශපාලන සංදර්ශනය සඳහා මුදල් ගෙවීමට සිදු වූයේ මේ රටේ ජනතාවටය. ඇත් අතුරු සෙවනට මේ අලි රැගෙන යාම සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කර මඩු ගැසූයේ ජනතාවගේ මුදලිනි. කෑම සපයන්නේ ටෙන්ඩර් මගින් ජනතාවගේ මුදලිනි. ඇතැම් අලින් රැගෙන ගිය දින සිටම ගැට ගැසූ ස්ථානයේය. ජනතාව පමණක් නොව අලි ඇතුන් ද මේ නිසා වන්දි ගෙවමින් සිටිති. එහෙත් තවමත් මේ තත්ත්වය විසඳීමට නිසි පිළිවෙළක් සකස් කර නොමැත.
වරදක් ඇතොත් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැත. එහෙත් දේශපාලන සංදර්ශන වෙනුවෙන් නීතිය යයි කියා කැකිල්ලේ නීති ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකිය. එදා හොර අලි ජාවාරමක් පිළිබඳ මැවූ උත්කර්ෂය අද අලි නාඩගමක් වී ඇත්තේ මේ කැකිල්ලේ තීරණ නිසා බව අමුතුවෙක් කිව යුතු නොවේ.


චතුර දිසානායක