නීතියක් නැති රටක සිදුවන මහා පරිමාණ පිරමීඩ ජාවාරම්

RW_MY3
යහපාලනයට ගල්බෝර දැමීම
December 19, 2017
රංජිත් ද සොයිසා
මේ නඩුව දැම්මේ කාලය ගන්නයි (එක්සත් ජනතා නිදහස් සන්ධාන (ඒකාබද්ධ විපක්ෂ) මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා)
December 19, 2017
Show all

නීතියක් නැති රටක සිදුවන මහා පරිමාණ පිරමීඩ ජාවාරම්

pyramid-schemeyjthgrte

මේ වන විට රටපුරා විවිධ වර්ගයේ පිරමීඩ ජාවාරම් සිදුවෙමින් පවතී. විවිධ අවස්ථාවලදී මේ පිළිබඳව මාධ්‍ය මගින් රට දැනුම්වත් කළද ආණ්ඩුව පාර්ශ්වයෙන් හෝ ජනතාවගේ පාර්ශ්වයෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. එහි වාසිය මෙම ජාවාරම්කරුවන් හොඳින් ප්‍රයෝජනයට ගනිමින් ඇති බව පැහැදිලිව පෙනී යයි. ජනතාව විවිධ බලාපොරොත්තු තුළ සිරකර ඔවුන්ගේ මොළ සෝදා දැවැන්ත ජාවාරමක් ලෙස මේ වන විට ‘නෙට්වර්ක් මාර්කටින්’ යනුවෙන් හඳුන්වමින් මෙය පවත්වා ගෙන යයි. ලංකාවේ මේ වන විට මෙවන් වර්ගයේ ආයතන කිහිපයක් ඇති බව පෙනේ. ඔවුන් මේ ජාවාරම් සිදු කරමින් ඇත්තේ මහ බැංකුව නොමග යවමිනි. අනෙක් පැත්තෙන් පවතින ආණ්ඩුවල ඉහළ නිලධාරීන්ගේ සහ මැති ඇමතිවරුන්ගේද ආශිර්වාදය ලබමිනි. මේ වන විට මෙම ජාවාරම රටට වසංගතයක් මට්ටමටම පත්ව ඇත.
මේ පිරමීඩ ජාවාරම සිදුවන ආකාර කිහිපයක් ඇත. ඇතැම් ජාවාරම්කරුවන් භාණ්ඩ විකිණීම් කරයි. ඇතැම් ආයතන භාණ්ඩ හා සේවා යන දෙකම විකිණීමේ නිරතව සිටී. ඒ සඳහා ඔවුන් ප්‍රසිද්ධියේ මූලස්ථාන වශයෙන් ප්‍රධාන නගර තුළ ආයතන පවත්වාගෙන යයි. මීට අමතරව පුහුණු කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර පහසුකම් සපයන ආයතන ලෙස වෙළඳ මධ්‍යස්ථාන සහ හෝටල් පවත්වාගෙන යයි. විශේෂයෙන්ම වන්දනා ගමන් සංවිධානය කරයි. මේ හරහා තම ජාවාරම පවත්වාගෙන යන්නේ තමන්ගේ කණ්ඩායමට ආර්ථීක වාසි සලස්වා ගැනීමේ අරමුණිනි. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් සමාජයේ වගකීම් සහගත පුද්ගලයන් විශේෂයෙන්ම වෛද්‍යවරුන්, ගුරුවරුන්, නීතිඥයන් ආදී පිරිස්ද සම්බන්ධ කරගෙන ඇත. ඊට අමතරව එවන් පුද්ගලයන් තමන් හා සම්බන්ධ බවට ප්‍රචාර ගෙන යමින් ජනතාව සිය වසඟයට ගනිමින් පවතී. මේ පිළිබඳව බරපතළම තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඉතා ග්‍රාමීය ප්‍රදේශවලිනි.
පසුගිය කාලයේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ සිරිපුර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මුල් වී ජනතාවට ස්වයං රැකියා ණය ලබාදී ඔවුන් ආර්ථීකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කයන් මූලික කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. එහිදී සියලු ගම් ආවරණය වන පරිදි විශේෂයෙන්ම සිරිපුර සංවර්ධන බැංකුව මුල්වී ගම්වල සමිති නිර්මාණය කර ඇත. ඒ හරහා රැස්වීම් පවත්වා අදාළ කටයුතු සංවිධානය කිරීමට නිලධාරීන් පත්කර ඇති අතර බැංකු කළමනාකරුවන්ගේ මැදිහත්වීමෙන් එය අධීක්ෂණයටද නිලධාරීන් පත්කර ඇත. දැන් මේ ජාවාරමුන්ගේ ඉලක්කය බවට පත්වී ඇත්තේ මේ සමිති සමාගම්ය. වඩාත් වැදගත් කාරණය නම් ඔවුන් තමන්ගේ ජාවාරම යහතින් කරගෙන යාම සඳහා යොදාගෙන ඇත්තේ මෙම සමිති අධීක්ෂණය කරමින් කටයුතු කරන පහළම නිලධාරිනියන්ය. ඔවුන් ලවා ඉතාමත් රහසිගත අයුරින් මේ ජාවාරම කරගෙන යනු ලබන බවට මේ වන විට තොරතුරු වාර්තා වෙයි. රුපියල් 50,000/-ක ස්වයං රැකියා ණයක් බැංකුව මගින් ලබාදෙන අතර තමන්ගේ ජාවාරමට හසුවී ඇති අහිංසක ජනයාට කඩිනමින් මෙම ණය මුදල ලබාදීමට මෙම නිලධාරිනිය කටයුතු කරමින් ඇති අතර එම ණය මුදල් ලබාගන්නා අහිංසක ජනයා වැඩි ආදායමක් බලාපොරොත්තුවෙන් මෙම මුදල් යොදවා විවිධ භාණ්ඩ ලබාගෙන ඇති අතර දැන් එම ජනයා බරපතළ අර්බුදයකට පත්ව ඇත.
මේ ජාවාරම සිදුවන්නේ දාමයක් පරිද්දෙනි. මෙයට සම්බන්ධ වන පුද්ගලයෙකු තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙයට සම්බන්ධ කළ යුතුය. ඊට පෙර තමන් මේ හා සම්බන්ධවීමට නම් අධික මිලක් ගෙවා ඔවුන් නම් කරන භාණ්ඩයක් මිලදී ගත යුතුය. ඉන්පසු ඔහුට ලකුණු ප්‍රමාණයක් ලැබේ. ඔවුන් කාණ්ඩ දෙකක් යටතේ මෙය සිදුකරයි. රුපියල් 10,000/-කට ආසන්න ප්‍රමාණයේ භාණ්ඩයක් සහ රුපියල් 35,000/- සේ සිට ඉහළට යන භාණ්ඩයක් වශයෙන් දෙකක් මිලදී ගත යුතුය. එසේ මිලදී ගන්නා පුද්ගලයා සෑම ඉරු දිනකම ඔවුන්ගේ වැඩමුළුවලට සම්බන්ධ විය යුතුය. එසේ සම්බන්ධ වන පුද්ගලයන්ට දේශන පැවැත්වීමට විවිධ පුද්ගලයන් පැමිණේ. ඔවුන් මේ අහිංසක ජනයාට සිහින ලෝකයක් මවා පෙන්වයි. සැබවින්ම මොළ සේදීමක් සිදුකරනු ලබයි. ඉන් පසුව ඔවුන්ට ඉලක්ක ලබාදේ. ඒ ඉලක්ක අනුව ඔවුන් තව තවත් පුද්ගලයන් මේ සඳහා සම්බන්ධ කළ යුතුය. එසේ සම්බන්ධ කිරීමෙන් පසු ඔවුන් මිලදී ගන්නා භාණ්ඩවලින් අදාළ පුද්ගලයන්ට යම් යම් කොටස් හිමිවන බව පවසයි. ඇතැම් පුද්ගලයන්ට ඇතැම් මාසවල යම් යම් මුදල් ප්‍රමාණයක් ලැඛෙන අතර පසු කාලීනව එය නවතී.
ජනතාව මේ ව්‍යාපාරයට සම්බන්ධ කරන ප්‍රමාණයට ආදායම් ලැඛෙන ක්‍රමයක් ලෙස මෙය පවත්වාගෙන යයි. එහෙත් ජනතාව මේ සිහින ලෝකයේ හිරකර සිදුකරනු ලබන්නේ ජනතාව සූරා කෑමය. තමන්ට යෙද වූ මුදලට තමන්ට ඉතිරි වන්නේ තමන් ලබාගත් භාණ්ඩය පමණි. සියල්ල සිදුවී තමන් රැවටී ඇති බව තේරෙන විට ජනතාව තේරුම් ගන්නේ තමන් අධික මුදලක් ගෙවා ලබාගත් භාණ්ඩයන් තමන් වැය කළ මුදලට වඩා බොහෝ අඩුවෙන් වෙළඳපොළේ පවතින බවකි.
ජනතාව දිනපතා මේ ජාවාරමට හසුවෙමින් ඇත. රටේ ජීවත්වන ජනතාව මේ වන විට පසුවන්නේ දැඩි ආර්ථීක පීඩනයන්ගෙන්ය. ඔවුන් මේ පීඩනයෙන් මිදීම සඳහා කුමන හෝ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පෙළඹී සිටී. ඒ අනුව පහසුවෙන් මෙවන් ජාවාරම්කරුවන් අහිංසක ජනතාව මුළා කරමින්, රවටමින්, නොමග යවමින් කටයුතු කරමින් ඇත. සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති බව පවසන මෙම ආයතන නීතියේ රැකවරණයට මුවා වී කරගෙන යන මහා පරිමාණ ජාවාරම් සොයා බැලීමට අධීක්ෂණය කිරීමට මහ බැංකුව හෝ ආණ්ඩුව කටයුතු නොකරන්නේ මන්ද යන්න ගැටලුවක් ලෙස පවතී. සම්බාහන මධ්‍යස්ථාන ලෙස ලියාපදිංචි කොට ගණිකා මඩම් පවත්වාගෙන යන බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අප කොතෙකුත් දැක ඇත. බුදු සරණයි දෙවිපිහිටයි ලෙස ගසාගත් ලොරි රථ හොර හරක් පටවා අසුවී ඇති බව අප දැක ඇත. එවන් පරිද්දෙන් ‘නෙට්වර්ක් මාර්කටින්’ යනුවෙන් පෙන්වමින් ජනතා මුදල් මංකොල්ල කන පිරමීඩ ජාවාරම්වලට ආණ්ඩුව වැට නොබදින්නේ මන්ද යන්න ඒවා අධීක්ෂණයට ලක් නොකරන්නේ මන්ද යන්න ජනතාවට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.


එස්. කේ. ගමගේ