නීතිය උන්ගේ සිරබත අපෙ උන්ගේ

හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නැයි කියමින්, දේශපාලන වේදිකාවල සහ මාධ්‍ය සාකච්ඡාවල අදහස් පළ වනු මේ දිනවල දැකිය හැකිය. හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ප්‍රකාශ කළේය. මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ ඇතැමුන්ගෙන් ‘ගෝඨාභය අත්අඩංගුවට ගතහොත්, සිදු වන දේ බලාගත හැකියි’ කියන තර්ජනාත්මක ප්‍රකාශයන් ද ඉදිරිපත් විය. ඒ අතර, ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ ස්මාරකය ඉදි කිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පවත්වනු ලබන පරීක්ෂණයේ ඉදිරි කටයුතු වළකාලන ලෙස නියෝගයක් ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබිණි. එම ඉල්ලීම සලකා බැලු අභියාචනාධිකරණය ලබන දෙසැම්බර් 06 වැනිදා දක්වා පරීක්ෂණ වළකාලන අතුරු තහනම් නියෝගයක් පසුගිය නොවැම්බර් 29 වැනිදා නිකුත් කළේය.
මෙහි සඳහන් නීතිමය තර්ක කවරක් වුවද, මෙම චෝදනාවට පදනම් වී ඇති කාරණය එතරම් සංකීර්ණ වූවක් නොවේ. එය ළදරුවකුට වුව ද වටහා ගත හැක්කකි. එනම්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හොබවන සමයේ ආරක්ෂක ලේකම් ධුරය හොබවනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂය. මේ දෙදෙනාගේම පියා ඩී. ඒ. රාජපක්ෂයි. මෙහිදී සිදුව ඇත්තේ, ඩී. ඒ. රාජපක්ෂ පිළිරූ සහිත කෞතුකාගාරයක් ඉදි කිරීමය. තම පියා වෙනුවෙන් තම පෞද්ගලික ධනය වෙන් කර කෞතුකාගාර නැතහොත්, වෙන ඕනෑම දෙයක් ඉදි කළාට කාටවත් ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. මෙහි ඇති ප්‍රශ්නය නම්, ශ්‍රී ලංකා ඉඩම් ප්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන 33ක් ඒ සඳහා යොදා ගැනීමය. ඒ බව අදාළ ලියකියවිලිවලින් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ. ඒ නිල වශයෙන් ලිඛිතව ඔප්පු කළ හැකි චෝදනා පමණි. තවත් ඒ වෙනුවෙන් බොහෝ රාජ්‍ය දේපළ යොදා ගත් බවට එවකට රාජපක්ෂවරුන්ගේ භාවිතය දන්නා කිසිවෙකුට සැකයක් ඇති වන්නේ නැත. අතීත රජ කාලයේ නම්, රජවරුන්ට මහා භාණ්ඩාගාරයේ මුදල් තමන්ට කැමති කැමති දේ සඳහා යෙදැවීමේ බලය තිබිණි. එපමණක් නොව තමන්ට අභිමත ඕනෑම කාන්තාවක් තම අන්තඃපුරයට ගෙන්වා ගැනීමේ බලය ඇතුළු ඕනෑම දෙයක් කිරීමේ බලය පැවතිණි. එහෙත්, දැන් අප ජීවත් වන්නේ රජ කාලයේ නොවේය. මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ යැයි කියනු ලබන ධනේශ්වර ක්‍රමයේය. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ නීතියට අනුව නීතිය ඉදිරියේ සියලු දෙනා සමානය. කිසිවෙකුටත් විශේෂ වරප්‍රසාද හිමි වන්නේ නැත. ඒ නිසා පොදු දේපළ අවභාවිතය බරපතළ වරදකි. පුරවැසියන් කාටත් සහ නිලධාරීන් කාටත් එය එක සේ අදාළය.
ඉහත මිලියන 33ක මූල්‍ය අවභාවිතය සම්බන්ධව සිදු කළ පරීක්ෂණවලින් ගෝඨාභය රාජපක්ෂ මේ චෝදනාවලට ලක්ව සිටින නිසා නීතිපතිවරයා ඔහුව අත්අඩංගුවට ගත යුතු බව පොලිසියට ලිඛිතව දැනුම් දී තිබිණි. එය වැළකුණේ ඉහළම හස්තයක් නිසා බව දැන් ප්‍රකට කරුණකි. මහින්ද රාජපක්ෂ මහතා ද, අනෙකුත් සංවිධාන හා දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද මුලින් සඳහන් කළ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ප්‍රකාශ කරනු ලැබූයේ, එය දැනගැනීමත් සමඟය. අභියාචනාධිකරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ඉදිරිපත් වන්නේ ද ඒ සමඟය.
පසුගිය කාලයේ කුසගින්නට අඹ ගෙඩි තුනක් කඩා ගත් මවක් පොලිස් කූඩුවේ රඳවා ගත් අන්දමත්, පාසල් පොතක් ගැනීමට පොල්ගෙඩි හයක් සොරා ගත්තේ යැයි කියන දැරියකට උසාවිය දඩුවම් කළ අන්දමත්. පොල්ගෙඩි 22ක් සොරකම් කළ පියෙකු වසර දෙකකට සිරදඩුවම් නියම කිරීමත් ආදී පුවත් රැසක් වාර්තා විය. රුපියල් මිලියන 33ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සමඟ බලන විට ඒවා නොගිණිය හැකි කාරණාය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇත්තේ, ඉහත චෝදනා පමණක් නොවේ. පරීක්ෂණ කෙරෙමින් තිබෙන මිග් 27 ප්‍රහාරක යානා මිල දී ගැනීමේ ගනුදෙනුව, පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාම, වැලිකඩ සිරගෙදර සිරකරුවන් ඝාතනය ආදිය ද වෙයි. ඊට අමතරව රාජපක්ෂ පාලන සමයේ සිදු වූ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගගෙන යාම් ද, ඝාතනය කිරීම් ද, උද්ඝෝෂණවලට වෙඩි තබා මිනිසුන් ඝාතනය කිරීම් ද ඇතුළු තවත් චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී තිබේ.
රාජපක්ෂ ආණ්ඩුවේ බලධාරීන්ට අදාළ මෙවැනි චෝදනා තව බොහෝ දෙනෙකුට තිබේ. රාජපක්ෂ පාලනය නොසිතූ පරිදි බිඳවැටීමට ද මෙම අත්තනෝමතික ක්‍රියා ඛෙහෙවින් බලපෑවේය. ඒවා නතර කර යහපාලනයක් ඇති කරන බව කියා බලයට පැමිණි එජාප – මෛත්‍රී හවුල් ආණ්ඩුව ද මූල්‍ය අපරාධ පැත්තෙන් රාජපක්ෂවරුන්ට නොදෙවැනි බව පෙන්වා අවසානය. ඒ බැඳුම්කර මගඩිය ඇතුළු තවත් බොහෝ දූෂණ නිසාවෙනි. එහෙත්, ඒවාට දඩුවම් නැත. පොල්ගෙඩියක් කඩා ගැනීමටත් දඩුවම් දෙන්නේ දුප්පත් මිනිසාටය. නැතිබැරි එකාටය. ඇති හැකි උන් සියලු අපරාධ කර නීතියෙනුත් ගැලවෙයි. මෙය පන්ති සහිත සමාජයේ යථාර්ථය මිස අන් යමක් නොවේ. ගීතයක මෙසේ කියවෙන්නේ එබැවිනි.
‘පොලිසිය උන්ගේ- කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගෙ- සිරබත අපෙ උන්ගේ’