පුද්ගලිකත්වය වෙනුවට පොදු මිනිස් සංහතිය වෙනුවෙන් තීරණයක්!

බෙWSeg
මෛත්‍රී විරෝධී තවත් පිලක්!
December 19, 2017
elephant in zoo-saidaonline
ආණ්ඩුව කළ අලි කලබලයේ ඇත්ත නැත්ත හෙළිවෙයි
December 19, 2017
Show all

පුද්ගලිකත්වය වෙනුවට පොදු මිනිස් සංහතිය වෙනුවෙන් තීරණයක්!

ණීsdrhWSE

1988 – 89 වකවානුව මෙරට ඉතිහාසයේ සුවිශේෂී කතාබහකට ලක්ව තිබේ. ඒ පැවති සංකීර්ණ දේශපාලන පරිසරය තුළ සිවිල් යුද වටපිටාවක් නිර්මාණය වීමත් ඒ තුළ ඉතා බිහිසුනු හා ඛේදජනක සිදුවීම් රැසක් සිදුවීමත් නිසාය. 1977 බලයට පත් එජාපය විධායක බලතල අත්පත්කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින්, ජනතාව මර්දනය කරමින් ගෙනගිය පාලනය විශාල ජනතා විරෝධයකට ලක්විය. එසේම එකී පාලනයේ පැවති ඇමෙරිකානු ගැති පිළිවෙත නිසාම අවසානයේ රට ඉන්දීය ආක්‍රමණයකට මුහුණපෑවේය. මේ සියල්ලට එරෙහිව මතුවූ ජනතා විරෝධය දේශප්‍රේමී අරගලයක් ලෙසින් වර්ධනය විය. එය බහුජන උද්ඝෝෂණ ව්‍යාපාර මෙන්ම සන්නද්ධ ක්‍රියාකාරීත්වයෙන්ද යුක්ත වූවක් බවට පත්විය. 1983 කිසිදු සාධාරණ හේතුවකින් තොරව තහනමට ලක්කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ මෙම පොදු අරගලයේ තීරණාත්මක වැඩ කොටසකට උරදී සිටියේය. රට තුළ ද්විත්ව බලයක ස්වරූපයක් පැවති අතර සටන තීව්‍ර වෙමින් පැවතුණි. මෙහි දේශප්‍රේමී අරගලයේ සන්නද්ධ පෙරමුණට නායකත්වය සැපයූවේ සමන් පියසිරි ප්‍රනාන්දුය. කීර්ති විජේබාහු යන නමින් ඔහුගේ අණ ක්‍රියාවට නැගුන අතර ආණ්ඩුගැති, ප්‍රතිගාමී හා අවස්ථාවාදී පිරිස් එම නම ඇසෙන විට පවා බියෙන් සලිත වී ගියේය. වසර දෙකක් පමණ අරගලය දිග්ගැස්සුන අතර අවසානයේ පිහිසුණු රාජ්‍ය මර්ධනයක් දියත්විය. නිල නොවන රහසිගත ඝාතක කල්ලි රැසක් ඒ සඳහා
යොදාගනු ලැබුණි. 1989 නොවැම්බර් 13 හා ඒ ආසන්න දිනවල එවකට පැවති රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර, ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු දේශපාලන මණ්ඩලයේ කිහිපදෙනෙක් ඝාතනය කරනු ලැබීය. ඉන් පසුව යළිත් සංවිධානය වීමේදී ගොඩනැගූ දේශපාලන මණ්ඩලය තුළ නායකත්වය සදහා තෝරා පත් කරගන්නේ සමන් පියසිරි ප්‍රනාන්දුය. කීර්ති විජේබාහු නැමති අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිටියේ ඔහුය. ළමා කාලය හා ගැටවර අවදිය ගෙවා දැමූ පුද්ගලික ජීවිතයේදී ඔහු ඉතා නිහඩ සාමකාමී පුද්ගලයෙකි. දේශපාලන ජීවිතයේදී සටන් බල ඇණිවලට නායකත්වය දුන් සූර රණකාමියෙකි. එදා සිට අද දක්වාමත් ඔහු පිළිබඳව ධනපති මාධ්‍ය විසින් විකෘති කරන ලද චිත්‍රයක් මවා තිබේ. එහෙත් ඔහු සමීපව ඇසුරුකල අය සැබැවින්ම සමන් පියසිරි යනු මාහැගි මනුෂ්‍යත්වයේත්, ලෙන්ගතු සහෝදරත්වයේත්, තික්ෂණ බුද්ධියේත්, එඩිතර සටන්කාමීත්වයේත්, විප්ලවීය ජීවගුණයේත් ප්‍රතිමූර්තියක් බව දනිති.
ඉල්මහ විරුවන් පිළිබඳ කතාබහ ඇතිවී තිඛෙන මේ නොවැම්බරයේ ඔහුගේ වසර 32 ක කෙටි වීරෝධාර ජීවිතය පිළිබඳ කතාබහ ඇරඹීමට ආලෝකයෙහි ඉඩ කඩ මෙම කලාපයේ සිට වෙන් කෙරේ.

ජොසි ඉස්කෝල නෝනාගේ විඩාබර විලාපයේ අවසානයේ මිහිරි මොරගෑමකි. ලූනාව රෝහලේ සූතිකාගාරකාර්ය මණ්ඩලයේ නෙත් මොහොතකට ආලෝකයෙන් දීප්තිමත් විය. සිනිඳු පැනල් කැබැල්ලකින් ඔතා තම බිරිදගේ ළයෙහි උණුසුම් පහස විදිනා කිරිකැටි පුතා දැකීමෙන් ඊබට් අයියා ප්‍රීති ප්‍රමෝදයට පත්විය. 1958 මාර්තු 23 වනදා යතුකැට, කියත්, නියන්, මිටි සමග පොරබදා වෙහෙසට පත් ගම්මුන්ට ප්‍රීතිමත් දවසක් විය. පසුවදා එගොඩ උයන ගම්වාසින් ඊබට් අයියාගේ නිවස කරා පැමිණියේ උණුසුම් බලාපොරොත්තුවක් සමගිනි. ඉස්කෝලේ නෝනා හා වදනක් දෙකක් කතාබහ කොට කිරි කැටියාගේ සුරතල් බැලීම කාගේත් සතුටට හේතු විය. කිරි සුවද හමනා මොළකැටි අත් විදහාලමින් ඉඳහිට තම රෙදිපෙරදි තෙමාලන්නේ මහා වීර පුරුෂයකු යැයි එදින ඔවුන් කෙලෙසක හඟින්නද?
ඊබට් ප්‍රනාන්දු මහතා වරාය කොමිෂන් සභාවේ වැඩ පරීක්ෂකවරයෙකි. ටී.ජේ.පී. පීරිස් (ජොසි ඉස්කෝලේ නෝනා) එගොඩ උයන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරියකි. ප්‍රනාන්දු පවුල වැඩිමහල් පිරිමි දරුවකු සහ ගැහැනු දරුවකුගෙන්ද සමන් පියසිරි හා ඊට බාල දියණියකගෙන්ද යුතු දරුවන් සිව්දෙනෙකුගේ යුතු පවුලක් විය.
ඔවුන් ප්‍රදේශයේ යම් වැදගත්කමක් සහිතව ජීවත් වු පවුලක් වුවත්, ඔහුගේ ළමා කාලය එතරම් සොදුරු එකක් නොවීය. වැඩිමහල් සොයුරා රෝගී දරුවකු වු අතර පියා අධික ලෙස බීමට ඇබ්බැහි වී සිටි අයෙකි. එසේ වී නමුදු අහළ පහළ කවුරුත් සමග ඉතා කුලුපග වූ ඔහු වාමාංශික අදහස් දැරූවෙකි. පියා සමසමාජ පක්ෂයට නැඹුරුවක් දැක්වූ බවත්, කුඩා කල සමසමාජ රැස්වීම් බැලීමට ඔහු තමා එක්කන් ගිය බවත් පසු කලෙක සමන් සිය සගයන්ට පවසා තිබුණි. නැති බැරි කොයි කාටත් පිහිට වුවද බීමතින් ගෙදර පැමිණෙන පියා මහා රකුසෙකු ලෙස දරුවන් බිය ගැන්වීය. රාත්‍රිය බියෙන් බිරාන්තව ගත කලද උදෑසන මව සමග පාසල් යාම දරුවන් පුරුද්දක් ලෙස කරගෙන ගියේය. තැන තැන විසිර ගිය පොත් එකට එක්කරගෙන පාසලට ගියද අධ්‍යාපනයේදී දරුවන් සාමාන්‍යයෙන් හොද තත්ත්වයක් පෙන්නුම් කර තිබිණ.
පියාගේ චරිත ස්වභාවයත්, නෑ හිත මිතුරන් අතර ඇති කරගත් ආරවුලුත් තවදුරටත් එගොඩ උයනේ පදිංචිව සිටීමට නොසුදුසු තත්ත්වයක් උදාකර තිබිණ. එබැවින් ගණේමුල්ල ප්‍රදේශයේ තම මව් පාර්ශ්වයේ මාමා කෙනෙකුගේ නිවසක කුලියට පදිංචියට යාමට ප්‍රනාන්දු පවුල තීරණය කළෝය. එගොඩ උයන කනිෂ්ඨ විද්‍යාලයේ පස්වන ශ්‍රේණිය අවසන් කර 6 වන ශ්‍රේණිය සදහා සමන් ඇතුලුවන්නේ කුඩාබොල්ලත ප්‍රාථමික විද්‍යාලයටයි. 8 වන ශ්‍රේණියේ දී ගලහිටියාව හේමමාලි විද්‍යාලයට ඇතුලුවන සමන් 9 වන ශ්‍රේණියේ දී ගලහිටියාව මධ්‍ය මහා (ගනේමුල්ල සෙන්ට්‍රල්) විද්‍යාලයට ඇතුලු වේ.
මේ කාලසීමාව අතරතුර රෝගාතුරව සිටි වැඩිමහල් සොයුරා අංගොඩ රෝහලේ දී මියයාම සංවේගජනක සිදුවීමක් විය. අවමංගල්‍යයක් සුදානම් කිරීම සදහා වත්කමක් නොවුයෙන් රෝහලේ සුසාන භූමියේ ඔහු මිහිදන් කිරීමට ඔවුනට සිදුවිය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වැඩ 7 සම්මාන 6 ක් ලෙස සමත් වූ සමන් උසස් පෙළ හැදැරීම සදහා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේම වාණිජ අංශයට ඇතුලුවිය. ඉතා සාමකාමි නිහඩ පුද්ගලයකු වු සමන් පාසල තුළ කිසිවකුගේ වැඩි අවධානයට ලක්නොවූ අයෙකි. නමුදු 1977 උසස් පෙළ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමත් සමගම සියලුදෙනා ඔහු පිළිබද අවධානය යොමු කරන ලදී. A-1, B-1, C-2 ලෙස පාසලේ වාණිජ අංශයේ ඉහළම ප්‍රතිඵල ලබා සිටියේ ඔහුය. ඔහුගේ එම වාර්තාව වසර ගණනාවක් යනතුරුම බිදහෙලීමට කිසිවකුට නොහැකි විය.
1978 වර්ෂය ප්‍රනාන්දු පවුලට හොද වසරක් විය. සමන් විශ්ව විද්‍යාලයට ප්‍රවිෂ්ට වීමත් අක්කාට රජයේ රෝහලක හෙදියක් ලෙස පත්වීමකුත් ලැබිණි. සමන්ගේ ඒකායන අරමුණ වුයේ කෙසේ හෝ පවුලේ තත්ත්වය සාමාන්‍ය මට්ටමකට ගෙන ඒමයි. තමාගේම නිවසක අම්මා, තාත්තා, අක්කා හා නංගී සමග සාමකාමීව ජීවත් වීම ඔහුගේ එකම සිහිනය විය.
නිවසින් වාමාංශික දේශපාලනයේ ආභාශ්ය ලබා තිබුණද විශ්ව විද්‍යාලය තුළ වු දේශපාලන උණුසුම සමන්ගේ ජීවිතය නව මාවතකට යොමු කරලීමට සමත් විය. 1978 වේයන්ගොඩ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට සහභාගි වීමට සමන්ට අවස්ථාව උදා වේ. ඒ සමන්ගේ ජීවිතයේ ඉතා සීමිත හිතවතුන් හා මිතුරන් අතරින් කෙනෙකු වූ රාජාද සමගය. එම රැලිය ඔහුගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් විය. ඉන් පසුව රාගම සෝමේ විසින් සංවිධානය කළ සාකච්ඡාව සමන්ගේ ජීවිතය සපුරා වෙනස් කිරීමට සමත්විය. ඇඳුමක් ගලවා කණපිට හරවා ගසා බලනවා මෙන් සමන් තම ජීවිතය ආවර්ජනය කළේය. එදින ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය පිටුපස නිවසේ සිට පැමිණියේ වසර 20 ක් පුරාවට ජීවත් වූ සමන් නොව අලුත්ම අලුත් මිනිසෙකි.
උපාධියක් රැකියාවක්, නිවසක් ලද පමණින් සැබෑ ජීවිතය කිසිසෙත් ලබාගත නොහැකි බව සමන්ට ප්‍රත්‍යක්ෂ වීය. ඔහු ඉතා සිඝ්‍රයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීත්වයට පිවිසියේය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර පූර්ණ කාලීන දේශපාලයේ නිරත වීමට ඔහු තීරණය කර තිබිණි. නමුදු පක්ෂ සංවිධානයේ අදහස වුයේ සමන් උපාධියේ කටයුතු අවසන් කර පූර්ණ කාලීන දේශපාලනයට ඇතුළත් විය යුතු බවයි. විශ්ව විද්‍යාලයේ අවසන් වසර දෙක සදහා වන පාඨමාලා දෙකම එකම වසරේදී අවසන් කළේය. එහෙත් උපාධි ප්‍රදානෝත්සවයට ඔහු සහභාගී වූයේ නැත. විභාග කටයුතු අවසන් වූ වහාම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන ක්‍රියාධරයකු බවට පත්වීය. මාක්ස්වාදී අධ්‍යාපනය හැදෑරීමට සමන් උනන්දු විය. පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සදහා කැප වූ ඔහු නිවසින් බොහෝ දුරස් විය. ඉඳහිට රාත්‍රියක් ගත කිරීම සදහා පමණක් ඔහු නිවසට පැමිණියේය. මේ කාලය වන විට ඔහුගේ නැගණියද පූර්ණ කාලීන දේශපාලනය සදහා යොමුවී සිටියෝය. සමන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ආසනයේ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු ලෙස වැඩ කළේය. ඔහු තරුණ සංගමයේද ක්‍රියාකාරිකයකු විය. පක්ෂ නායක රෝහණ විජේවීර දිස්ත්‍රික් ක්‍රියාකාරී සාකච්ඡා සඳහා වරින් වර පැමිණි අතර ඒවාට සමන් පියසිරිද සම්බන්ධ විය. බොහෝ විට මෙම සාකච්ඡා මසකට වරක් පැවැත්වුණි.
80 දශකය ආරම්භ වූයේම 1980 වැඩවර්ජනය එජාප ආණ්ඩුව විසින් පොඩිපට්ටම් කර දැමීමෙනි. කලාකරුවන්ට පහරදෙනු ලැබුණි. විනිසුරන් බියවද්දනු ලැබුණි. 1982 ජනාධිපතිවරණය පැවැත් වූ ජේ. ආර්. ජයවර්ධන විධායක බලය තහවුරුකරගත්තේ රාජ්‍ය බලය රිසිසේ යොදා ගනිමිනි. 1983 පැවැත්වීමට නියමිතව පැවති පාර්ලිමේන්තු මහමැතිවරණය නොපවත්වා මහමැතිවරණය අවශ්‍යද නැත්ද යන්න විමසන ලාම්පු – කළගෙඩි ජනමතවිචාරණය ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියට අවසන් ඇණයද ගසමිනි. එය අතිශය දූෂිත ඡන්ද මංකොල්ලයක් විය. 1983 කළු ජූලියටද පීතෘත්වය දුන් ජේ.ආර්. පාලනය විසින් කිසිදු හේතුවක් නොදක්වා ඉතාම අසාධාරණ ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ 03ක් තහනම් කරනු ලැබුණි. ජවිපෙ නායකයන් අත්අඩංගුවට ගැනීමට ප්‍රසිද්ධ නිවේදන පවා පළකරනු ලැබුණි.
මතුව පැවති දැඩි මර්දනකාරී තත්ත්වයට මුහුණ දෙමින්, ආරක්ෂා වීමත් ඒ අතර උර මත පටවාගත් සමාජ වගකීම ඉටු කිරීමත් ජවිපෙ නායකයන් ඇතුළු ක්‍රියාකාරීන්ට මහත් අභියෝගයක් විය. නීත්‍යානුකූල මෙන්ම නීතිවිරෝධී ක්‍රියාමාර්ග යන අංශ දෙකම ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙළක් වෙත ජවිපෙ අවතීර්ණ වන්නේ මෙම පසුබිම තුළය.
ඉතා තීක්ෂණ හා සුක්ෂම විප්ලවවාදීන් ලෙස වැඩකිරීමට මෙම සමය සමන් ඇතුළු සගයන්ට බලකරනු ලැබුණි. සතුරාට හසුවීමට කිසි තැනක සටහන් ඉතිරි නොකිරීමට වග බලා ගන්නා ලදී. ඉතා නොවැදගත් දේ පවා දැඩිසේ අවදානයට ලක් කිරීම සාමාන්‍ය කාලයේත් සමන්ගේ සිරිත විය. 1981 අක්කාගේ මංගල උත්සවය සදහා සහභාගී වු අවස්ථාවේ ලබාගත් ඡායාරූප අතරින් ඔහුගේ රුව සහිත ඡායාරූප හොර රහසේම විනාශ කර දැමීමට ඔහු කටයුතු කර තිබිණි. ඔහුට තියුණු මතක ශක්තියක් තිබුණ අතර කවර අවස්ථාවක හෝ අත්ඩංගුවට පත් වුවහොත් තමා සන්තකයේ ඇති ලියකියවිලි සාමාන්‍ය ඒවා ලෙස තේරුම් ගැනීමට හැකි අයුරින් සකසා තිබුණද ඒ සෑම දුරකථන අංකයකටම, වචනයකටම ඔහුගේ ඔහුටම ආවේණික වු අකුරු හා ඉලක්කම් වල එකතු කිරීම් සහ අඩුකිරීම් තිබිණි.
පක්ෂ අභ්‍යන්තරයේ භාරදූර කටයුත්තක නිරතවී සිටි ඔහු තම යුතුකම් කොටස ඉටු කිරීමට සැමවිටම උත්සාහ දැරීය. තහනමින් පසු ගොඩනගන ලද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව සඳහා සමන් පියසිරිවද තෝරාගෙන තිබුණි. පක්ෂ තහනම නිසා විසිරීගිය සබඳතා යළි තහවුරු කරගනිමින්, සංවිධාන ගොඩනගමින් ආරක්ෂාකාරීව වැඩ කිරීමට සිදුව තිබුණි. දුටුතැන ඇල්ලීමේ නියෝග නිසා බොහෝ පක්ෂ නායකයන්ට සැඟවී කටයුතු කරන්නට සිදුවිය. මෙකී අභියෝගාත්මක වටපිටාව තුළ සමන් පියසිරිද තම සගයන් සමඟ උරෙනුර ගැටී ක්‍රියාකාරී විය. 1984 මුලදීම ජවිපෙ දේශපාලන මණ්ඩලය සඳහා ඔහුව යෝජනා වන්නේ ඔහු තුළ පැවති සුවිශේෂී ගුණාංග හා හැකියාවන් නිසා විය යුතුය. ඒ අනුව සමන් පියසිරිව 1985 දී ජවිපෙ දේශපාලන මණ්ඩලය සඳහා තෝරාගනු ලැබුණි.
1985 කාලවකවානුව වන විට තත්්ත්වය තවත් නරක අතට හැරෙමින් තිබු බැවින් පුද්ගලිකව නිවස හා සම්බන්ධිකරණය තබා ගැනීමට නොහැකි විය. එබැවින් මව හා පියා සමීපයේ රදවා තබාගැනීම ආරක්ෂාකාරී යැයි සිතා තමා ආසන්නයේ ඔවුන් පදිංචි කරවිය. ඒ හොරණ මූණගම ප්‍රදේශයේය. පක්ෂයේ දේශපාලන කටයුතු සදහාද යොදාගත් එම නිවස මව සහ පියාගේ පැමිණීමත් සමග සාමාන්‍ය නිවසක ස්වාභාවයට පත්විය. මේ කාලය වනවිට සමන්ගේ හොඳම මිතුරා වන රාජා සහ සමන්ගේ නැගණිය අතර ප්‍රේම සබඳතාවයක් ඇතිවී තිබුණි. රාජා 8 ශ්‍රේණියේ පටන් සමන් සමඟ එකම පංතියේ සිටි අතර උසස් පෙළ විභාගයේදී පළමුවර සරසවි යාමට ලකුණු මදි වීම නිසා සරසවි ප්‍රවේශය ලැබුවේ දෙවන වාරයේ ප්‍රථීඵලවලිනි. ඔහුද ඇතුළත් වූයේ කැලණිය සරසවියටමය.
ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් මුණගම ප්‍රදේශයේ සිට නැවත පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කුඩා ඇනෙක්සියකට මාරු වීමට සිදුවිය. එහිදී අම්මාගේ වියපත් භාවය නිසා ඇයගේ සහාය සදහා සුනිල් නම් වූ සගයකු සම්බන්ධ කොට තිබිණි. 1986 මර්දන තත්ත්වයන් තවත් දරුණු අතර හැරෙමින් තිබිණි. අසනීපයක් හේතුවෙන් අක්කාගේ නිවසේ නතරව සිටි නැගණියවත් පෝරුවදණ්ඩට ගෙන ඒමට සිදුවිය. සියල්ල දැඩි රහසිගත තත්ත්වයන් හමුවේ සිදු කිරීමට කරුණු පෙළ ගැසී තිබිණි. ඕනෑම පිටස්තරයකු අතින් සියල්ල හෙළිදරව් වීමට තිබු ඉඩකඩ ඉතාමත් වැඩිය. එබැවින් පානදුර ප්‍රදේශයේ නිවසක පදිංචියට යාමට ඔවුනට සිදුවිය.
1986 වසරේ දෙසැම්බර් 10 වනදා දෛවෝපගත දිනයකි. එදින රාත්‍රී 8.00 ට පානදුර නිවසේ අභ්‍යන්තර කමිටුවක් කැදවීමට සුදානම් කර තිබිණි. ඔවුන්ට ආහාරයට යමක් සූදානම් කිරීමටද අවශ්‍යව තිබුණි. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ඔවුන් සතුව නොවීය. මවට පැංෂන් මුදලක් ලැබුණද මාස ගණනාවකින් එය ලබා ගැනීමට හොරණ තැපැල් කන්තෝරුවට යාමට නොහැකි විය. ඊට හේතුව ඔවුන් පිළිබද හා සමන් පිළිබද රාජ්‍ය මර්දනය දැඩිසේ ක්‍රියාත්මක වී තිබීමයි. ඔවුන් හෙළිදරව්වන්නේ කිසියම් තැනකදීද වහා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් බලය යොදා තිබිණි. මේ අතර නාඳුනන කණ්ඩායමක් විසින් ගල්ගමුවේ බැංකුවක මුදල් පැහැරගැනීමක් සිදුකර තිබුණි.


ජී.උපුල් කුමාරි
තවත් කොටසක් ලබන සතියේ…