මේ නඩුව දැම්මේ කාලය ගන්නයි (එක්සත් ජනතා නිදහස් සන්ධාන (ඒකාබද්ධ විපක්ෂ) මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා)

pyramid-schemeyjthgrte
නීතියක් නැති රටක සිදුවන මහා පරිමාණ පිරමීඩ ජාවාරම්
December 19, 2017
X2xzLJh
ෆයිසර්ට එරෙහි ෆයිසර් හෙවත් ඡන්ද කුමන්ත්‍රණය
December 19, 2017
Show all

මේ නඩුව දැම්මේ කාලය ගන්නයි (එක්සත් ජනතා නිදහස් සන්ධාන (ඒකාබද්ධ විපක්ෂ) මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා)

රංජිත් ද සොයිසා

පළාත් පාලන ඡන්දය කල් දැමීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිඛෙනවා. මේ ප්‍රශ්නයේදී ඇමතිවරයා වැරදිකරු වන්නේ කොහොමද?

ඉතාමත්ම පැහැදිලිව පළාත් පාලන විෂය භාර ඇමතිවරයා හැටියට ෆයිසර් මුස්තාපා ඇමතිවරයා දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව විවිධ අවස්ථාවල විවිධ දින වකවානු යෝජනා කළා. එය විශ්වාස කොට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගෙන ආ සංශෝධනවලට යම් යම් මතභේද, ගැටලු තිබුණත්, ඒකාබද්ධ විපක්ෂය ලෙස අප ඒවාට සහයෝගය දුන්නා. එසේ කළේ මැතිවරණය ඉක්මනින් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනුයි. මෙරට ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකමක් වන මැතිවරණ ලබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. හේතුව මේ වන විට පළාත් පාලන ඡන්දය කල් දමා අවුරුදු දෙකහමාරකට ආසන්නයි. එසේ තිබිය දී දින වකවානු කියා ‘මැච් එක ගහන්න පිච් එක හරි’ යනුවෙන් ඔහුගේ භාෂාවෙන්ම කිව්වා. ඉන් පස්සේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධ ගැසට් පත්‍රයට අභියෝග කොට දිවයිනේ විවිධ පළාත්වලින් තෝරා ගත් පිරිස් ලවා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා. ඔවුන්ගේ පසුබිම සොයා බැලුවොත්, මේ කිසිවෙක් එකිනෙකාට සම්බන්ධ අය නොවේ. එක්කෙනෙක් ඇඹිලිපිටියෙ, උඩවලවෙ. අනික් එක්කෙනා හාලිඇළ. අනෙක් කෙනා පඩුවස්නුවර යනාදී වශයෙන් කිසි සම්බන්ධයක් නැති සමාජයේ විවිධ ස්ථරවල අය මීට සම්බන්ධ වුණා. මොවුන්ගේ පසුබිම සොයා බලද්දීම මොවුන් ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සමඟ සම්බන්ධතා තිබෙන ඔවුන්ගේ හිතවතුනුයි.
ෆයිසර් මුස්තාපා මහතා නීතිඥයෙක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, මේ ආණ්ඩුවේත් ඇමතිවරයෙක්. මොහු සමඟ මේ අයගේ පැහැදිලි සෘජු සම්බන්ධතාවක් තිබෙන බව අපට පෙනී ගියා. ඒ අනුව අපි ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේ මැතිවරණය කල් දැමීම සඳහා ඉතාම වංක වූ චේතනාවෙන් යුතුව ඔහු කටයුතු කිරීම යන උපකල්පනය මත පදනම්වයි.

ඡන්දය කල් දැමීමට උත්සාහ කිරීම කුමන්ත්‍රණයක් ලෙස ඔබ දකිනවාද?

ඉතාමත් පැහැදිලිව. මට පෙනෙන විදියට මේ ඡන්දය කල් දමා ගැනීමට පාර්ශ්ව කීපයකට අවශ්‍ය වී තිබෙනවා. රටේ ඇති වී තිබෙන වර්තමාන දේශපාලන, සමාජ, ආර්ථීක පසුබිම සමඟ වර්තමාන රජයට මැතිවරණයකට මුහුණ දීමට තරම් හැකියාවක්, ශක්තියක් නැහැ. ඔවුන් ඒ සඳහා කල් ලබා ගැනීමේ උපක්‍රමයක් දියත් කරනවා. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදී ලෙස කණ්ඩායම් දෙකක් තිඛෙනවාය යන්න සැඟවිය යුතු දෙයක් නොවේ. ඒ ආණ්ඩුවට එකතු වී සිටින ශ්‍රීලනිප කණ්ඩායම සහ ආණ්ඩුවට එකතු නොවූ ඒකාබද්ධ විපක්ෂය තුළ නියෝජනය වන කණ්ඩායමයි. මේ මැතිවරණයට මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ඇති අපහසුතාවය වටහාගෙන තිබෙනවා. ඒ වටහා ගැනීම තුළ ආණ්ඩු බලය හොබවන කණ්ඩායම ලෙස මැතිවරණයේ ප්‍රතිඵලය ඉතා ම අමිහිරි එකක් වේ ය යන චේතනාව මත මැතිවරණය කල් දැමීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා. එසේ කල් දමන අතරම විවිධ යෝජනා කරමින්, විවිධ උපක්‍රම භාවිත කරමින්, ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට තරග කළ යුතුය යන සංවාදයක් දැන් ඇති වී තිබෙනවා. ඒ සංවාදයේදී ඒඅයට සාධනීය පිළිතුරක් ලැබේය යන විශ්වාසය මත ඒ සඳහා අවශ්‍ය කල් ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස ඡන්දය කල් දමා ගැනීමට කුමන්ත්‍රණකාරීව ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව කටයුතු කරනවා කියන චෝදනාව අප සෘජුවම කරනවා.

ඡන්දය කල් දැමීමේ චෝදනාව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශ්වයට ඔබ බලවත් විරෝධයක් ගොඩනගනවා. ඒ අතරම ඔවුන් සමඟ ඒකාබද්ධ වීමට සාකච්ඡා කරනවා. මේක පරස්පරයි නේද?

මේක පැහැදිලිවම හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේ. ඡන්දය කල් දැමීම සඳහා සියලු උපාය උපක්‍රම භාවිත කොට අනතුරුව ඔවුන් දේශපාලන වශයෙන් කිසිම හිරිකිතයක් නැතිව පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු පක්ෂයේ නායක කාරකාදීන් ජනතාව ඉදිරියට හා පාර්ලිමේන්තුවට පැමිණ ඊට සම්පූර්ණ පරස්පර වෙනත් දෙයක් කරනවා.
ඉතාම පැහැදිලිව එක දෙයක් කියා ඔවුන් තව දෙයක් කරනවා. මේ පෙත්සම් අස් කර ගැනීම සඳහා සලකා බලනවා කියා අද පුවත්පත්වල තිඛෙනවා. මේ පෙත්සම් අස් කර ගන්න කියලා අපි නම්, මේ අයට කතා කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණවත් කතා කළේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් මේ අය මෙහෙයැවුවේ කවුරුන්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පාර්ශ්වයයි.

ඔබ කියන්නේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙක එකතු වීමට කරන සාකච්ඡාවලට ඔබලා එක පිරිසක් කැමති නැහැ කියන එකද?

ශ්‍රී ලනිප පාර්ශ්වයක් ලෙස දෙදහස් පහළොවේ ජනවාරි අට වැනිදා සිදු වූ මේ එජාප – ශ්‍රී ලනිප කණ්ඩායම්වල එකතුවෙන් අද රටේ තිඛෙන ආණ්ඩු පාර්ශ්වය තුළ ගොනු වී සිටින කණ්ඩායමේත්, ආණ්ඩුවෙන් පිටත සිට ආණ්ඩුවට සහාය දෙන කණ්ඩායම්වලත් අරමුණු හා වැඩපිළිවෙළ හඳුනා ගත් අපි ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් ආණ්ඩු විරෝධී බලවේග ගොනු කිරීමේ කාර්යයෙහි නිරත වී සිටිනවා. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සියලු දේශපාලන සම්බන්ධතා පවතින ආණ්ඩුවක් පවත්වාගෙන යන තාක් කල් ඒකාබද්ධ විපක්ෂය ලෙස අප කිසිසේත්ම ඔවුන් සමඟ මැතිවරණයකට ඒමේ වැඩපිළිවෙළකට සූදානම් නැහැ. මධ්‍යම රජය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමඟ කරගෙන යන්නත්, පළාත් ආණ්ඩුව, පළාත් පාලනය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එකට එකතු වෙලා කටයුතු කිරීම රටේ ජනතාවට කරන විහිළුවක්. ඒ විහිළුකාර දේශපාලනයට අප සූදානම් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්නේ මැතිවරණයට එක්ව යාමට නම්, වහාම එක්සත් ජාතික පක්ෂයත් සමඟ තිබෙන සම්බන්ධතාවයෙන් ඉවත් වෙන්න, එසේ නැත්නම්, එජාපය ඉවත් කරන්න.

මෛත්‍රී පාර්ශ්වය සමඟ එකතු වීමට මහින්ද පාර්ශ්වයට ඇති ප්‍රධාන අවශ්‍යතාවය දූෂණ හා අපරාධවලට එරෙහි පරීක්ෂණ ක්‍රියාමාර්ග යටපත් කර ගැනීම බවට ලොකු චෝදනාවක් තිබෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?

පැහැදිලිවම අපි එය ප්‍රතික්ෂේප කරනවා. මොකද? දූෂණ, වංචා තියෙනවා නම්, ඒ චෝදනා ඉදිරිපත් කර අවුරුදු දෙකයි මාස දහයක් ගෙවී ගොස් තිබෙනවා. විශේෂ ආයතන පිහිටුවා විශේෂ ක්‍රියාමාර්ග ගෙන දැන් ඒ සඳහා ක්‍රියා කරමින් ඉන්නවා. ඉතින්, අපට මේවා යට ගසා ගැනීමටවත්, හොරු ආරක්ෂා කරන්න හෝ වංචා යට ගසා ගැනීමේ හෝ අවශ්‍යතාවයක් නැහැ. තවම අධිකරණයේ ස්වාධීනත්වය රැකී තිබෙනවා. කියා අප විශ්වාස කරනවා. අප ඕනෑම අධිකරණයක පෙනී හිිටින්න සූදානම්. ඒ වාගේ ම වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම සම්බන්ධයෙන් අපේ කිසිම ගැටලුවක්, විරෝධතාවයක් නැහැ. අනෙක මේ සාකච්ඡා එකඟතා ඉදිරිපත් වන්නේ අපේ පාර්ශ්වයෙන් නොවේ. ඒවා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය පැත්තෙනුයි. විජයමුණි සොයිසා ඇමතිතුමා අප්පච්චි මැරුණා කියලා ‘අප්පච්චි මළා දැන් ඉතින් ඉවරයි’ කිියලා කිව්වා. දැන් කියනවා, මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ගිහින් ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම්. මහින්ද නැතුව ඡන්දෙ දිනන්න බැහැ කියලා. දුමින්ද දිසානායක මහ ලේකම්වරයා වැනි අය මහින්ද රාජපක්ෂගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරනවා කිව්වා. සියලූ දෙනාගේ මන්තී්‍ර ධුර අහෝසි කරනවා කියලා අපට තර්ජනය කිරීම පවා කළා. හැබැයි, අද වෙන කොට ඒ මොකවත් නෑ. ‘අපි දෙගොල්ලො එකතු වෙලා යූ.එන්.පි.ය පරද්දන්න සූදානම් වෙමු’ කියලා කියනවා.
අනෙක ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධියේ එක යූ.එන්.පී. ය, දෙක ඒකාබද්ධ විපක්ෂය, තුන ජනතා විමුක්ති පෙරමුණ, හතර මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ශ්‍රීලනිපය කියලා කීවා. ජෙනරල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරනවා, ‘බැරි වෙලා හරි පොහොට්ටුවෙ කණ්ඩායම දෙවැනි තැනට එනවා කියන්නේ බරපතළ විනාශයක්. ඇත්තෙන්ම අපේ දේශපාලනයේ බරපතළ අනතුරක්’ කියලා. ඒකාබද්ධ විපක්ෂයට එරෙහි සියලු කණ්ඩායම් රටේ දැවැන්ත බලවේගයක් බවට ඒකාබද්ධ විපක්ෂය පත් වෙලා තියෙනවා කියලා පිළිඅරගෙන තිබෙනවා.

මල් පොහොට්ටුව පක‍ෂය ශ්‍රීලනිප නමැති පාර්ශ්වය සමඟ එකතු වෙනවා නම්, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන ලකුණින්ද?

ඒ සම්බන්ධව අපට කිසි ම ගැටලුවක්, තර්කයක් නැහැ. අප ඉදිරිපත් කරන මූලික කොන්දේසිවලට ඒ අය එකඟ විය යුතුයි. අපේ මූලික කොන්දේසි වන්නේ ශ්‍රීලනිපය තීරණාත්මකව එජාපය පලවා හැරිය යුතුයි. නැත්නම්, ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. එසේ නොවන්නේ නම්, කිසිම එකඟතාවයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා අපට ලකුණ කුමක්ද? පක්ෂය කුමක්ද? පාට කුමක්ද? පිළිබඳව ගැටලුවක් මතු ව්න්නේ නැහැ.


පද්මා වේරගොඩ ආරච්චි