මෛත්‍රීගේ මැදමුලන ජනතාව

‘රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය සිට බදුල්ල දෙසට ගමන් කරන විට පස් කන්දක් කඩා වැටී තිබුණා. එනිසා දුම්රිය ඔහිය දක්වා පසුපසට ගමන් කරවන විට පිටුපසින් පස් කන්දක් කඩා වැටුණා’ පසුගිය 29 වෙනිදා බලපෑ අයහපත් කාලගුණයෙන් සිදුවූ සංසිද්ධියක් ගැන විද්‍යුත් මාධ්‍යයෙන් වාර්තා කළේය. මේ දේශපාලන තීරය ආපදා වාර්තා ගෙන ඒමට වෙන් කළා නොවන්නේය. මෙරට ධනපති දේශපාලනය මේ මොහොතේ දී අත්විඳිමින් තිබෙන තත්ත්වය ද හරියටම මෙයාකාර වන බව පැහැදිලි වන්නේය.
රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව ඉදිරියට යාමට වරෙක උත්සාහ ගත්තේය. තවත් වරෙක මෛත්‍රී-මහින්ද හවුලක් දක්වා යළි පසුබැසීමට උත්සාහ කරන්නේය. මහින්ද ද වරෙක රනිල් සමඟ ඇත්ත හවුල් දේශපාලනයෙන් ඉදිරියට යාමට උත්සාහ කරන්නේය. නමුත්, යළි මෛත්‍රී සමඟ යාම දක්වා පසුබැසීමට උත්සාහ කරන්නේය. ඉතිහාසයේ කිසිම අවස්ථාවක නොතිබූ මේ තත්ත්වයෙන් නිරූපණය වන්නේ මෙරට ධනවාදී පාලන ක්‍රමය මුහුණ දී සිටින අතිශය තියුණු අර්බුදයේ තරම වන්නේය.

කොළේ ඉරා ගැනීම

අර්බුදයේ තරම කොතරම් දැයි ගෝලයන් කරන කියන කතාවලින් නොව ලොක්කන් කරන කියන කතාවලින් එළියට පැන ඇත්තේය. මේ දක්වා සිදු කළේ ලොක්කන්ගේ ඕනෑකම්වලට ගෝල බාලයන් ලවා අනිකාට පහර එල්ල කිරීම වන්නේය. නමුත් මූල්‍ය අපරාධකාරයන් සමඟ කෝප් කමිටු සාමාජිකයන් පැවැත් වූ සම්බන්ධතා බැඳුම්කර කොමිසමෙන් හෙළි වී තත්ත්වය වෙනස් වූයේය. තම තමන්ගේ ගැලවීම තමන්ටම සලසා ගැනීමේ තත්ත්වයක් ඇති වූයේය. සුජීව සේනසිංහ මෛත්‍රීට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ එම තත්ත්වය පුපුරා යාමෙන් පස්සේය. ප්‍රතිප්‍රහාර එල්ල කෙරුණේ ජනාධිපතිගෙන්මය. කොළේ ඉරාගෙන ඇෙඟ් හලාගත්ත අයට අනතුරු අඟවන බව මෛත්‍රී කීවේ කෙලින්ම රනිල්වම ඉලක්ක කරමින්ය. මේ දක්වා ඩිලාන්ලා, සොයිසලා, ශාන්ත බණ්ඩාරලා මෛත්‍රී වෙනුවෙන් රනිල් පිලට පහර දුන්හ. රනිල් වෙනුවෙන් නලින් බණ්ඩාරලා, සුජීවලා මෛත්‍රී පිලට ප්‍රහාර එල්ල කරමින් සිටියෝය. නමුත් තමන්ගේ ගැලවීම තමන්ම සලසා ගන්නට සුජීව දැරූ ප්‍රයත්න නිසා මෛත්‍රීගෙන් කෙළින්ම පහර කන්නට සිදු වූයේ රනිල්ටය.

රනිල්ට පිහිටක් නෑ

රනිල්ට ‘කොළේ ඉරාගෙන ඇෙඟ් හලාගෙන’ දක්වා මෛත්‍රීගෙන් එල්ල වූ දරුණු පහර කෑමට සිදු වූයේ ඉන්දියාවේ මුකම්බිකා දේවතාවියට පුද පූජා පවත්වා පැමිණීමත් සමඟ වීම විශේෂත්වයක් වන්නේය. දේවතාවිය රනිල්ට මනාප වී නැති බවක් මෙයින් පැහැදිලි වන්නේය. ප්‍රශ්නය වී තිබුණේ දේවතාවිය රනිල්ට පිහිට නොවීම පමණක් නොවේය. මේ දක්වා දුකට සැපට එකලෙස හිටි මහින්ද ද අහක බලන තත්ත්වයක් උදා වී තිබීම වන්නේය. මහින්ද දැන් කෙළින්ම මෛත්‍රීට ඉඟිබිඟි පාන තත්ත්වයට පත්ව සිටින්නේය. ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ මෛත්‍රී වන්නේය. ශිරන්ති ගැනීම වැළැක්වූයේ ද මෛත්‍රීය. මහින්ද විශේෂයෙන් මෛත්‍රීට ඉඟිබිඟි පාන්නේ මේ නිසා වන්නේය. මේ කුමන තත්ත්වයන් පැවතියද මෛත්‍රී රනිල් හවුල ඉදිරියට යන්නේ ද, නැත්නම් ඒ දීගය අත්හැර මෛත්‍රී මහින්ද අලුත් දීගයක යන්නේ ද යන අවසාන තීරණය මේ ලියන මොහොත වන විට ගෙන නොතිබුණේය.

තලතා තෙලට වේලේ

සටහන ආරම්භයේදීම කාලගුණ විපත් නිසා දුම්රිය මගීන්ට සිදුවී තිබෙන අලකලංචිය පිළිබඳ දැක්වීම මේ රටේ ධනපති දේශපාලනයේ බංකොලොත්කම කොතරම් දැයි තේරුම් ගැනීමට කොතරම් ගැලපේ දැයි පාඨකයාට පැහැදිලි වී ඇති බව නොඅනුමානය. ‘තල තෙලට වේලේ’ යනුවෙන් කියමනක් අපේ වහරේ ඇත්තේය. තලවලට ළඟින්ම සිටින තලතා අධිකරණ ඇමතිවරියට සිදු වී ඇත්තේ ‘තෙලට වේලීම’ නොවන්නේය. ඛෙංගාල බොක්කේ අවපීඩනයට හසු වී එහෙ මෙහෙ තල්ලු වී යාමට වන්නේය. තලතාගේ අධිකරණ අමාත්‍යාංශය යටතේ තිඛෙන නීතිපති දෙපාර්තමේන්තුව මගින් ගෝඨා අත්අඩංගුවට ගන්නා ලෙස පැහැදිලි නිර්දේශයක් කර තිබුණේය. නමුත් මෛත්‍රී එය වැළැක්වීය. මේ නිසා තලතාට සිදු වූයේ ‘තල’ තත්ත්වයේ සිට ‘මී බෙටි’ තත්ත්වයට ක්ෂණිකව ඇද වැටීමටය. මෙයින් කෝපයට හෝ ශෝකයටද නොදන්නා තත්ත්වයට ඇදවැටුණු තලතා වහාම ගොස් මෛත්‍රී හමු වුණාය. එහෙත් ගෝඨා නිදැල්ලේ සිනාසෙන්නේය.

මෛත්‍රීගේ ජනතාව = මහින්ද

මේ රටේ ක්‍රියාත්මක කරන විධායක ජනාධිපති ක්‍රමය සතුව තිබෙන්නේ ලෝකයේ කිසිම රටක නැති ආකාරයේ ජනාධිපති බලයක් බව විද්වත්හු එදා ඉඳලාම කීහ. කොටින්ම ව්‍යවස්ථානුකූල ඒකාධිපති බලයක්ය. මෙය කොතරම් බලයක් දැයි සරලව පැහැදිලි කළේ ජේ. ආර්. වන්නේය. ගැහැනියක පිරිමියෙකු කිරීමටත් පිරිමියෙකු ගැහැනියක කිරීමටත් පමණක් නොහැකි සීගිරි ගල මෙන් නොසෙල්වෙන බලයක් බව කීවේය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූයේ එයින් පිහාටුවක් හැලීම වැනි අතිශය සරල දෙයක් වන්නේය. මෙවැනි බලයක් හිමිව සිටින මෛත්‍රී දැන් ගිරිය පලාගෙන කියන්නේ වෙන කථාවක් වන්නේය. කොළේ ඉරගෙන ඇගේ හලාගෙන ඉන්න අයට අනතුරු අඟවා වංචා දූෂණවලට විරුද්ධව පාරට බැස මහජනතාව සමඟ එක් වී සටන් කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. හැට දෙලක්ෂයේ ජන වරමට හැම අතින්ම පයින් අනින විධායක බල හිමි මෛත්‍රී කියන මේ ජනතාව කවුරුන් දැයි ප්‍රශ්නයක් ඇත්තේය. මෙයට පිළිතුරු ලෙස මෛත්‍රී පිලෙන් දැන් දැන් කැපී ගෙන යන බලගතු කෙනෙක් කියා තිබුණේ ‘එයා කියන ඔය ජනතාව මහින්දනේ’ කියාය.

රනිල්ගේ බය

කොහොම වුණත් ජනතාව සමඟ පාරට බැස සටන් කරන බව කීමෙන් රනිල් බය බිරාන්ත වී ඇති බව හෙළි වන්නේය. ඉන්දියාවේ මුකම්බිකා දේවතාවියට භාරහාර වී පැමිණි වහාම සතිය ආරම්භයේදී රනිල් තමන්ගේ ගෝලබාලයන්ට ලොකු අවවාදයක් දීමෙන් බයේ තරම හෙළි වූයේය. රනිල් දැඩිව අවවාද කර තිබුණේ ‘ජනාධිපතිවරයා’ විවේචනය කිරීමෙන් වැළකී සිටින ලෙස වන්නේය. රනිල්ගේ බයවීමට තවත් කරුණු තිබෙන්නට ඇත්තේ මේ දක්වා තමන්ගේ ඇත්තම දේශපාලන ගැලවුම්කරු වී සිටි මහින්ද මෛත්‍රීගේ ජනතාව බවට පත් වීමෙන් පසු ඇති වන තත්්ත්වය ගැන මනා තක්සේරුවක් නිසා බව පැහැදිලි වන්නේය.

මහින්දත් බයවෙලා

රනිල් පමණක් නොව මහින්දත් ලොකු බයකින් පෙළෙන බව හෙළි වන්නේය. මහින්ද මෛත්‍රීගේ ජනතාව බවට පත් වීමට ඇත්ත හේතුව වී තිබෙන්නේ බය වීමය. තමන්ගේ කල්ලිය අභ්‍යන්තරයේ පවතින කුළල් කා ගැනීම් කිසිසේත්ම නතර කිරීමට නොහැකි තත්ත්වයට වර්ධනය වී තිඛෙන බව හෙළි වේ. ඩලස් දැන් වැඩි හැලහොල්මනක් නැත්තේ එක් ගැටීමක් නිසා බව කියවෙන්නේය. මහින්දගේ බයට ආසන්න ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැතිවරණයට අපේක්ෂක කෝටා පක්ෂ අතරේ ඛෙදා දීමේ බරපතළ ප්‍රශ්නය බව කියවෙන්නේය. කල්ලිය තුළ විවිධ පක්ෂ අපේක්ෂක කෝටා ඉල්ලීම සපුරාලීම නොහැකි වී ඇත්තේය. අනිකුත් පක්ෂ අත්හැරියත්, තමන්ගේ කල්ලිය තුළම ද අපේක්ෂකයන් තෝරා ගැනීමට නොහැකි තරමට කුළල් කා ගැනීම් ඉහළම තත්ත්වයක තිඛෙන බව හෙළිවන්නේය. මේ තුන්බිය නිසා මහින්ද මෛත්‍රීගේ ජනතාව වීමට හීලෑවෙමින් සිටින බව කියවෙන්නේය.

ගීතාට හරිම කරදර

මහින්දගේ තුන් බියෙන් පුපුරා ගොස් තිබෙන අභ්‍යන්තර කුළල් කා ගැනීමේ තරම ගාල්ලෙන් හා රත්නපුරයෙන් ලොකු තැන්වලින්ම එළියට පැන ඇත්තේය. රත්නපුරයේ පවිත්‍රාට ලොකු පට්ටමක්දී මහින්ද වෙනුවෙන් මෛත්‍රී සමඟ සාකච්ඡාවලට යැවීම ගැන රංජිත් වගේම වාසු සිටින්නේත් ලොකු විවේචනයක බව කියවෙන්නේය. ‘එයා කණ්ඩායමට පත් කළා විතරක් නම් මදෑ. කණ්ඩායමේ ලොක්කි හැටියට පත් කළාම අපි මේකේ රෙද්දක් ඇඳගෙන වැඩ කරන්නේ කොහොමද?’ යනුවෙන් රංජිත් බරබරයක් දමා තිබෙන්නේය. පවිත්‍රාට විරුද්ධ බරබරය මේ එළිපිට නොදැක්වීය. නමුත් මන්ත්‍රීකමත් ගහල ගිය ගීතාට දෙයියනේ කියලා ආසනේ ජනතාවට සේවය කරගෙන ඉන්නවත් ඉඩක් නැතිවී තිඛෙන්නේය. රොමේෂ් පතිරණ පොල්ල අතට ගෙන ඇත්තේ ගීතාට ඛෙන්තර ඇල්පිටිය ආසනයේ පමණක් නොව ගාල්ල දිස්ත්‍රික්කයේ ද කිසිම දේශපාලන වැඩක් නොකරන ලෙස තහනම් නියෝග පනවමින්ය.

වීරවංසගේ ඉරා ගැනීම

මෛත්‍රී කොළේ ඉරා ගැනීම රනිල්ට අමතරව රනිල්ගේ මෑතකාලීන කුළුපගයෙකු බවට පත්ව සිටින වීරවංසටත් ඒ ලෙසම අදාළ වී ඇත්තේය. කොළේ ඉරා ගැනීමෙන් විජේනායක, ප්‍රියන්ජිත්, වීරකුමාර ඇතුළු පිරිසක් ලොකු සටනක් අරඹා ඇත්තේය. මේ සටන එළියට ආවේ වීරවංසගේ හිරගෙදර උපවාසය නිසාය. හිරගෙදර සිටි කාලයේ පක්ෂයේ ලොක්කි හැටියට වීරවංසගේ ප්‍රියම්බිකාව කටයුතු කළ බවට බරපතළ චෝදනා කර තිබුණේය. වීරවංසගේ මත්ලෝලත්වයේ දවසක මිල රුපියල් තිස්පන්දාහක් බවද ප්‍රසිද්ධියේ කියා තිබුණේය. කොළේ ඉරා ගැනීමේ එක් වටයක් අවසන් කළ පසු මේ දක්වා ප්‍රසිද්ධියේ නොකී ප්‍රියම්බිකාවගේ කතා ද එළියට එන්නේය. වීරවංස අමාරුවෙන් හිරගෙදර සිටි කාලයේ ප්‍රියම්බිකාව එක්ක පක්ෂයේ වැඩ හැම එකක්ම කරටගෙන කළේ මේ දවස්වල මුකවාඩම් දා පැත්තකට කර ඉන්න මුසම්මිල් බව හෙළි වන්නේය. පක්ෂයේ වැඩ කළ කැපවීම එළියට නොදී හිර කරගෙන මේ දක්වා දෙපැත්ත පාලනය කරගෙන ගියේ ශාන්ත දාන්ත කෙනෙක් බව ද කියවෙන්නේය.

ජවිපෙ මෙහෙයුම්

ධනපති දේශපාලන පක්ෂ කුළල් කා ගැනීම්වල යෙදී සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ සිටියේ බරපතළ වෙනත් අරගලයක වන්නේය. පාර්ලිමේන්තුවේදීත්, එයින් පිටතදීත් අරගල කරමින් සිටින්නේ මූල්‍ය අපරාධ සහ වෙනත් අපරාධවලට වගකිව යුත්තන්ට නීතිය මගින් දඩුවම් ලබා දීමත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමත් වෙනුවෙන්ය. මේ යටතේ ප්‍රධාන කඩඉමක් ලෙස පළාත් පාලන ඡන්දය දිනාගැනීමට
කටයුතු කරමින් තිබිණි. අධිකරණයමය ක්‍රියාමාර්ග, ජනතාව දැනුම්වත් කිරීම්, උද්ඝෝෂණ ආදිය මේ වෙනුවෙන් දියත් කර තිබුණේය. පසුගිය 29 වෙනිදා සවස රට තුළ අයහපත් කාලගුණ තත්ත්වයක් වර්ධනය වූයේ ඒ අතරය. උමාඔය බහු විනාශය නිසා අනතුරට පත් ජනතාව මේ කාලගුණයෙන් වඩාත් භීතියකට පත්වූවෝය. මේ අලුත් තත්ත්වය ගැන මුහුණ දීමට සිදුවූ තත්ත්වය ගැන සමන්ත විද්‍යාරත්න පක්ෂයට පැහැදිලි කර දුන්නේය. ජනතාවට සහන සැලසීම පිළිබඳව ඉක්මනින් තීරණ ගන්නා බව සමන්තට දැන්වූයේ පක්ෂයේ නායක අනුරය. ‘කාලගුණ ආපදාවෙන් ඇතිවුණු විපත්වලට මුහුණ දී ජයගන්නත් ඕනෑ. මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයන් පරාජය කරන්නත් ඕනෑ. කාලගුණ විපත්වලින් ඡන්ද ගේම යට ගහන්න ඉඩ දෙන්න බෑ’ වැඩිදුරටත් පැහැදිලි කර දුන්නේ එසේය.

අනුරගෙන් මහින්දට විසඳුමක්

ජනතාව මුහුණ දී සිටින සියලුම ප්‍රශ්න යට කරමින් මෛත්‍රී – මහින්ද දෙපිල එක්සත් කිරීම ගැන ප්‍රවෘත්ති මැවීම් කෙරෙහි ජවිපෙ දැක්වූයේ දැඩි නොසතුටක් වන්නේය. 28 වෙනිදා පැවැති මාධ්‍ය හමුවක දී මහින්ද මෛත්‍රී එක්සත්කම ගැන අනුරගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය. ඊට අනුර ලබා දුන්නේ අපූරු පිළිතුරක්ය. ‘ඔය දෙන්නා පැය විසි හතරක් එක කාමරයකට දාලා වහලා තියන්න. එක්කෝ කරට අත දාගෙන එළියට එයි. නැත්නම් ගහගෙන එක්කෙනෙක් දිනලා එළියට එයි.’ සිනාමුසුව එහෙත් දැඩි අවධානයෙන් අනුර කීය.

සමන්ත ලොකු සටනක

හදිසියේ ඇතිවූ කාලගුණ තත්ත්වයත් සමඟ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියේ විනාශයට මුහුණ දී සිටින ජනතාව දැඩි සේ නොසන්සුන් වී සිටියෝය. 29 වෙනිදා දහවල් සිටම ජවිපෙ සමන්ත මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුම් වැලක් එම ජනතාවගෙන් ගලා ආවේය. අනිකුත් දේශපාලන කටයුතු නවත්වා වහාම බණ්ඩාරවෙල ප්‍රදේශයට යන ලෙස පක්ෂයෙන් ඔහුට උපදෙස් දුන්නේය. ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්අරාව ප්‍රදේශයේ දැඩි නායයාම් අනතුරක් මතුව ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දුන්නේය. සමන්ත ඇතුළු ජවිපෙ ක්‍රියාකාරිකයන් දික්අරාවට ගොස් පිළියම් යෙදීමට වහාම මැදිහත් විය. ප්‍රාදේශීය ලේකම්වරිය, පොලිස් ස්ථානාධිපතිවරයා, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන් එම ගමට රැස්වී සාකච්ඡා කර පවුල් 56ක් වහාම ආරක්ෂිත ස්ථානවලට යොමු කරනු ලැබීය. එම කටයුතු නිමා වන විට රෑ වී තිබුණ ද, මුළු රැය පුරාම විවිධ සම්බන්ධීකරණ කටයුතු කරමින් උපදෙස් දෙමින් සක්‍රියව මැදිහත්වීමෙන් සමන්ත මුළු රැය පහන් කළේය. මේ රටේ ආණ්ඩුව ඉදිරියට යාමට හෝ පසුපසට යාමට හෝ නොහැකිව හිරවුණු අර තැපැල් දුම්රිය මෙන්වී තිබියදී ජවිපෙ දේශපාලන පක්ෂයක් ලෙස ජනතාව සමඟ බිමේ පෙරමුණු ගණනාවක කටයුතු කරමින් සිටින්නේය.