යහපාලනයට ගල්බෝර දැමීම

plant1 gfnjhRg
යාන් ඔය වැලි ව්‍යාපෘතියේ නොපළ කතාව
December 19, 2017
pyramid-schemeyjthgrte
නීතියක් නැති රටක සිදුවන මහා පරිමාණ පිරමීඩ ජාවාරම්
December 19, 2017
Show all

යහපාලනයට ගල්බෝර දැමීම

RW_MY3

මේ වන විට දෙදරා කඩා වැටීමේ අන්තයේ දෝලනය වෙමින් තිබෙන හවුල් ආණ්ඩුව බලයට පත් වූයේ මෙරට තුළ යහපාලනය පිහිටුවන බව කියමින්ය. යහපාලනය පිහිටුවීම වචනවලින් පමණක් කළ නොහැකිය. වචන වලින් කළ හැක්කේ අදාළ කාර්යය පිළිබඳව මතයක් ඇතිකිරීමය. එදා අති දැවැන්ත වශයෙන් වර්ධනය වෙමින් පැවති රාජපක්ෂ ඒකාධිපති අධිරාජ්‍ය ගැති පවුල් පාලනයට එරෙහිව, මහජන බලයක් යහපාලනය වෙනුවෙන් ගොඩනැගිණි.
මහජනතාවගේ පැත්තෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කළේ එසේය.
මේ මහජන බලය රාජ්‍යය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතියක් අවශ්‍යය. පැවති සියළුම විනාශකාරී ක්‍රියාමාර්ග ආපසු හැරවීමට සුපුරුදු රාජ්‍ය පාලනයේ ආයතන ප්‍රමාණවත් නොවීය. ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් පිහිටවූයේ මේ අඩුව පිරවීම සඳහාය. එසේවුවත් අවුරුදු තුනක් යාමටත් පෙර මේ කොමිෂන් සභාවලට අත්කරදී තිඛෙන්නේ කවර තැනක්ද යන්න පසුගිය සතියේ අපගේ මුල්පිටුවේ ප්‍රවෘත්තියකින් මේ පිළිබඳ රටට හෙළි කළේය. ‘කොමිෂන් සභා දහයකට දේශපාලන ප්‍රහාර’ යන ශීර්ෂයෙන්ය.
එම ප්‍රවෘත්තියෙන් හෙළිකළේ එක් කරුණක් පමණය. කොමිෂන් සභාවල සිටිය යුතු කාර්ය මණ්ඩල සංඛ්‍යාව සම්පූර්ණ නොකර විශාල පුරප්පාඩු ප්‍රමාණයක් හිස්ව පැවතීමට ඉඩහැර තිබීම ගැනය. එයින් වන්නේ අදාළ කාර්යභාරය නිසි පරිදි ඉටුකිරීමට නොහැකිව ස්වභාවික මරණයකට ඉඩහැර තිබීමය. ‘ස්වභාවික මරණය’ එවැනි තත්ත්වයකදී වගඋත්තරකරුවන් නොමැතිය. ආණ්ඩුව යහපාලනයට ඇණ ගසන්නේ වගඋත්තරකාරයෙක් නැති සේ කොමිෂන් සභා වලපල්ලට යැවීමෙන්ය. මහ දවල් කරන මේ ඝාතනයේ සාක්ෂි සටහන් මහජනතාව හමුවේ නිරාවරණය කළ යුතුය.
රාජපක්ෂ පවුල් පාලනයේදී සිදුකළ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව විශේෂයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන ඒකකය පිහිටුවීය. ‘කොමිෂන් සභා’ යන නම නොතිබූවද මෙය අත්‍යවශ්‍ය වැදගත්කමකින් යුක්ත වූවකි. එයින් ඉටුකළ කාර්යභාරය දශම ගණනකින්වත් සිදුවූයේ දැයි සැක සහිතය. එසේ තිබියදී ලබන වසර වෙනුවෙන් මේ ඒකකයට කිසිදු මුදලක් වෙන්කර නොමැත. එම විමර්ශන ඒකකයේ කටයුතු අවසන් කරන්නේ නීල කාස හොරු දඟගෙයි දැමීමෙන් පසුද? තවත් පැත්තකින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට කොමිෂන් සභාවක් පිහිටුවීය. නමුත් එයට අද අත්කරදී තිඛෙන තත්ත්වය කුමක්ද? 2016 වර්ෂයේ එම කොමිසමට රුපියල් නව ලක්ෂ පහළොස් දහසක් වෙන්කර තිබී 2017 දී එය හත් කෝටි හැට එක්ලක්ෂ දෙදහසක් (රු. 76,102,000/-) වෙන්කර තිබී 2018 දී එය රුපියල් හාරකෝටි අනූ එක්ලක්ෂ අනූ දහසක් (රු. 49,190,000/-)
දක්වා කපාහැර ඇත. තවත් ඉතා වැදගත් කරුණක් වූයේ මෙහි කාර්යභාරය සඳහා 15 දෙනකු සිටිය යුතු වුවද සිටින්නේ පස් දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් වීමය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මහජන සටනක් තිබුණේ දැනට දශකයකට වැඩි කාලයක සිටය. අවසානයේ වර්තමාන හවුල් ආණ්ඩුව යටතේ මේ සඳහා ආයතනයක් නොපිහිටුවා සිටීමට බැරි වූයේය. අකමැත්තෙන් හෝ ‘තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව’ පිහිටුවීය. නමුත් මේ දරුවා අනාගතය වෙනුවෙන් ක්‍රියාකරන ජනතාවාදී ශක්තිමත් පෞරුෂයකින් ගොඩනැගීමට කිසිදු ආකාරයක පසුබිමක් සකස්කර නැත. අයවැයෙන් වෙන්කරන මුදල් කපාහැරීම පමණක් නොව අවශ්‍ය කාර්ය මණ්ඩලය තුනෙන් දෙකකින් හිස්ව තැබීම විසින් කියන්නේ මේ කොමිෂන් සභා දරුවා මිය යා යුතු බවට නියෝග පනවා ඇති බව නොවේද?
යහපාලනය යටතේ පිහිටවනු නොලැබූවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව උපරිමයෙන් ස්වාධීන, සක්‍රීය ආයතනයක් බවට පත්කිරීමේ වගකීම මේ ආණ්ඩුවට පැවරී තිබිණි. මන්ද බලයට පත්වන ආණ්ඩුවලට අවශ්‍ය රාජ්‍ය සේවයක් නොව, ජනතාවට සේවය සලසන මනා කි්‍රයාකාරීත්වයට අවශ්‍ය රාජ්‍ය සේවයක් තිබිය යුතු බැවිණි. නමුත් මෙම කොමිෂන් සභාවද මානව සම්පත් හිඟයකට ඇද දමා ඇත. කාර්ය මණ්ඩලයේ 197 ක් සිටිය යුතු තැන සිටින්නේ 167 දෙනෙකු පමණය. ඊට අමතරව අය-වැය මගින් වාර්ෂික ප්‍රතිපාදන වෙන්කිරීමේදීද අනික් පැත්තෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. 2016 වර්ෂයේ මෙම කොමිෂන් සභාවේ මුළු වියදම රුපියල් විසි අට කෝටි තිස් හතර ලක්ෂ හැත්තෑනව දහසක් (රු. 283,479,000/-) වී 2017 දී එය රුපියල් හතළිස් පන් කෝටි දහසය ලක්ෂ දහතුන් දහසක් (රු.451,613,000/-) දක්වා වැඩි වී තිබේ. නමුත් 2018 වර්ෂය වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ 2016 වර්ෂයටත් වඩා අඩු රුපියල් විසි තුන් කෝටි තිස් දෙලක්ෂ අසූ හය දහසක් (රු. 233,286,000/-) පමණය.
මේ රටේ පාලකයන් සහ ඔවුන්ගේ සමීපතම ඇතැම් නිලධාරීන් මහජන ධනය කොල්ල කෑම්වලට වැටබැඳීමේ ප්‍රධාන හැකියාව ඇත්තේ රාජ්‍ය විගණනයෙන්ය. දැනට විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි සිටින නිලධාරීන්ගේ කැපවීම සහ ධෛර්යය මත හැකි උපරිමයෙන් මහජන මුදල් ආරක්ෂක විගණනයන් කරමින් සිටී. නමුත් මේ සඳහා බලතල සහිත නීතිරීති තිිබිය යුතුය. ජාතික විගණන පනත සම්මත කරගැනීම ඒ සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී පවතී. දැනට දශක දෙකකට ආසන්න කාලයක සිට මේ සම්බන්ධ මහජන සංවාදයක් පවතී. රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව බලයට පත්වීමේදී දුන් පොරොන්දු අතර ප්‍රමුඛ වී තිබුණේ විගණන පනත සම්මත කර රාජ්‍ය විගණනය ශක්තිමත් කරන බවය.
මෙම විගණන පනත සකස් කිරීමට ‘විගණන සේවා කොමිෂන් සභාව’ පිහිටුවීය. එය විසින් කෙටුම්පත් කර පසුව විවිධ සංවිධාන හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සංශෝධනවලින් යුක්ත අවසන් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය පවා සම්මත කරන ලදී. එය ගැසට් කර බලාත්මක කිරීමේ කටයුතු සඳහා අගමැති ලේකම්ට යවා තිබිණි. දැන් එය අග්‍රාමාත්‍ය ලේකම් ළඟ ගල්වී තිබේ.
විගණන කොමිෂන් සභාවටද ස්වාභාවික මරණය අත්කර දීමේ සියලු කටයුතු දැන් කෙරෙමින් පවතී. පනත ගල්වීමට බරපතළ හේතුවක් තිබේ. ඇමතිවරුන් හා ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් මෙයට දැඩි සේ විරෝධය පළකර තිබීමයි. විගණන සේවා කොමිෂන් සභාව පත්කර සුදු අලියෙක්ගේ ගානට නඩත්තු කිරීම පමණක් කරගෙන යන්නේ මේ පසුබිම තුළය. මේ සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් මාරාන්තික විරෝධයක් දක්වමින් සිටින්නේ ප්‍රධාන එක් හේතුවක් නිසාය. ‘අධිභාරයක් පනවා තිබීම’ එයට හේතුවක්ය. අධිභාරයක් යනු යම් අමාත්‍යාංශයක වංචා දූෂණ කර ඇති බව පරීක්ෂණයකින් තහවුරු වුවහොත් අදාළ ලේකම්ගෙන් එය අයකර ගැනීමේ හැකියාවක් තිබීමය. මෙය ප්‍රශ්නයක් වන්නේ හොරුන්ගෙත් හොරු වන නීලකාස හොර ඇමතිවරුන්ගේ වැඩට තමන්ගේ දැන උගත්කම් පස්ස හෝදන වතුර තත්ත්වයට හෙළුෑ ලේකම්ලාට පමණය.
විගණන කොමිෂන් සභාව සම්බන්ධයෙන් සමාන්තරව යන ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව වැදගත්ය. රාජ්‍ය අංශයට අවශ්‍ය සියලු දේ මිලදී ගැනීමේදී සිදුකෙරෙන දූෂණ, වංචා, අවම කර ගැනීමේ ආයතනයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. එහි කාර්යභාරය සඳහා 51 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් අවශ්‍යව තිබුණද සිටින්නේ 19 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක්ය. ඉතිං එයින් විශාල දොරටුවක් විවෘත කරදී ඇත්තේ එම නීලකාස හොරුන්ටය. මෙම කොමිෂන් සභාව සඳහා ගෙවීයන 2017 වර්ෂයට රුපියල් හාර කෝටි තිස් පන්ලක්ෂ හැට දෙදහසක් (රු.43,562,000/-) වෙන්කර තිඛෙන අතර ලබන වසර වෙනුවෙන් රුපියල් පන්කෝටි අනූ තුන් ලක්ෂ හැටදහස (රු. 59,360,000/-) දක්වා ඉහළ දමා තිබේ. එමෙන්ම තවත් අතිශය වැදගත් කොමිෂන් සභාවක් වන්නේ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවය. එක් විටෙක ජනාධිපතිගේද තවත් විටෙක අගමැතිගේද තවත් විටෙක ඇමතිවරුන්ගේද දරුණු ප්‍රහාරයට පසුගිය කාලේ ලක් වූ මෙම කොමිෂන් සභාව ගැන දැන් හාන්කවිසියක් නොදන්නා ගානය. එහි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්කර සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට රාජිත ඇමති සහ ජනාධිපතිගේ වෛරයේ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව දැන් මේ තත්ත්වයට පත්ව සිටී. එහි තනතුරු සංඛ්‍යාව 1028 ක් වුවද සිටින්නේ 328 දෙනෙකුය.
කොමිෂන් සභාවක් නොවන විශේෂ අවධානය යොමුකළ යුතු දෙපාර්තමේන්තුවක් තිබේ. එයනම් නීතිපති දෙපාර්තමේන්තුවය. වර්තමානයේ එම දෙපාර්තමේන්තුව ගැන කතා කරන්නේ නීලකාස හොරුන් සහ මංකොල්ලකාරයන් සම්බන්ධයෙන්ය. ඇතැම් ජනතා ද්‍රෝහීන්ගේ ක්‍රියා පිළිබඳ පරීක්ෂණ වාර්තා මෙහි ගොඩගැසී තිබේ. දේශපාලන බලපෑම්වලින් යට කරන පරීක්ෂණ වාර්තා වෙනම පවතී. ස්වභාවිකව කල්යාමේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී පවතින්නේ එහි සිටිය යුතු 779 ක කාර්ය මණ්ඩලය වෙනුවට සිටින්නේ 556 ක කාර්ය මණ්ඩලයක් වීමය. එයට වෙන්කරන මුදල මෙම වසරේදී එකසිය තිස් දෙකෝටි විසි හතර ලක්ෂ නවදහසක (රු. 1,322,409,000/-) සිට රුපියල් එකසිය විසි දෙකෝටි තිස් අට ලක්ෂයක් (රු. 1,223,800,000/-) දක්වා කපාහැර තිබේ. මහා පරිමාණ මූල්‍ය අපරාධකාරයන් සහ අපරාධකාරයන් ආරක්ෂා වන්නේ මේ තත්ත්වයද උපයෝගී කරගනිමින්ය.
ජාතික පොලිස් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආදී කොමිෂන් සභා සම්බන්ධයෙන් පොදු තත්ත්වයද මෙසේමය. ඇතැම් කොමිෂන් සභාවලට ප්‍රතිපාදන කපාහැර මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම හෝ තවත් කොමිෂන් සභාවලට කාර්ය මණ්ඩලයේ බරපතළ පුරප්පාඩු තිබීමට හැරීම හෝ මේ දෙකම විසින් ගල්බෝර දමා විනාශය අත්කර දී ඇත. යහපාලනය පිහිටුවීමට දහ අතේ පොරොන්දු වූ හවුල් ආණ්ඩුවේ කැත නිරුවත් ගේමක් මෙයින් හෙළිවන්නේය.


ලංකා මාරසිංහ