යාන් ඔය වැලි ව්‍යාපෘතියේ නොපළ කතාව

elephant in zoo-saidaonline
ආණ්ඩුව කළ අලි කලබලයේ ඇත්ත නැත්ත හෙළිවෙයි
December 19, 2017
RW_MY3
යහපාලනයට ගල්බෝර දැමීම
December 19, 2017
Show all

යාන් ඔය වැලි ව්‍යාපෘතියේ නොපළ කතාව

plant1 gfnjhRg

අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිමට වන්නට පිහිටා ඇති වාහල්කඩ ගොවි ජන ව්‍යාපාරය හැත්තෑව දශකයේ දී ආරම්භ වන්නේ රටෙහි කෘෂිකාර්මික අවශ්‍යතාව සපුරන විශාල ගොවි ජන ව්‍යාපාරයක් ලෙසයි. එවකට ඝන වනාන්තරයක්ව පැවැති මෙම ප්‍රදේශය යල මහ දෙකන්නයම අස්වැද්දිය හැකි කුඹුරු අක්කර 2,000 කට වැඩි ගොවි බිමක් බවට පත්වන්නේ මහසෙන් රජු විසින් කරවන ලද වාහල්කඩ පුරාණ වැව නැවත පිළිසකර කිරීමෙන් අනතුරුවයි. අද වන විට පවුල් 1,500කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරන අතර, මේ අවට අනෙක් ප්‍රදේශ හා සැලකීමේදී පසුගිය නියං සමයේ දී පවා වාහල්කඩ වැවෙහි පිහිටෙන් යල මහා දෙකන්නයම වගා කරමින් සතුටුදායක අස්වැන්නකට හිමිකම් කියන්නට වාහල්කඩ ජනතාව සමත් වූහ.
එසේ වුවද, ගොවිජන ව්‍යාපාරය ආරම්භ වී වැඩි කල් යන්නට පෙර සිටම වාහල්කඩ ජනතාව ප්‍රශ්න රාශියකින් දැඩි ලෙස පෙළෙන්නට වූහ. වකුගඩු රෝගයේ ප්‍රධානම ගොදුරක් බවට මෙම ගොවි ජනතාව පත් වී තිබේ. ස්වාභාවික හේතූන් මෙන්ම දේශපාලන තීන්දු තීරණ නිසා ද මෙම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටිති. එවැනි තත්ත්වයක් තුළ සිටින වාහල්කඩ ජනතාව නැවත කබලෙන් ළිපට වැටෙන්නේ යාන් ඔය වැලි ව්‍යාපෘතිය ආරම්භයත් සමඟයි.
යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ඉදි  වන විශාලතම ජලාශවලින් එකකි. එහි ප්‍රධාන වැව් බැම්ම ඉදි කිරීමට අවශ්‍ය කැණීම් කටයුතු සිදු කිරීමේදී මතුපිට පස ඉවත් කිරීමෙන් පසුව විශාල වැලි නිධියක සලකුණු මතු විය. ඉදිකිරීම් කටයුතු කළ චීන සමාගම විසින් එසේ ලැබුණු වැලි ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සඳහා සුදුසු බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව වැලි කැණීම් කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව යාන් ඔය වැලි නිධියට ද අදාළව කැණීම් කටයුතු සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශය මඟින් කැණීම් බලපත් නිකුත් කිරීම ඇරඹිණි. එහිදී කැණීම් කරන වැලි ප්‍රමාණයන් අනුව රජයට රාජ්‍ය භාගය ගෙවිය යුතු වූ බැවින්, එය රජයට ඉහළ ආදායම් ලබා දෙන මාර්ගයක් බවට පත් විය.
මේ කටයුත්ත සඳහා විශාල තාක්ෂණික ක්‍රියාවලියක් අවශ්‍ය නොවීය. එස්කැවේටර් යන්ත්‍ර මඟින් හාරා ගන්නා වැලි එස්කැවේටර් යන්ත්‍රය මඟින්ම ජලයෙන් සෝදා ලොරිවලට පැටවීම ප්‍රමාණවත් විය. මේ වාසිය දුටු විශාල පිරිසක් කැණීම් බලපත් ලබා ගැනීමට උත්සාහ දැරූහ.
රට තුළ කොයි තැනත් සිදු වන ආකාරයටම මෙහිදී ද කැණීම් බලපත් ලබා ගැනීමට සමත් වූ බහුතරය දේශපාලන හෙන්චයියන් වූහ. එසේත් නොමැති නම්, ප්‍රදේශයේ වගකිව යුතු තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ගේ හිතවතුන් විය. මුදලම පමණක් සලකන අනෙක් සියල්ල නොසලකන බලපත්‍රලාභීන් බලපත් කොන්දේසි ඉක්මවා යමින් තමන්ට හිතුමතේ විනාශකාරී ලෙස කැණීම් කටයුතු සිදු කරන ලදී.
ගැටලුව ඇති වී ඇත්තේ ඒ නිසාය. අද වන විට ඉවක් බවක් නොමැතිව සිදු වන වැලි කැණීම් කටයුතු නිසා විශාල ගැටලු ප්‍රමාණයකට මෙම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදු වී තිබේ. දිනකට වැලි ලොරි 1,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහණය කරනු ලබන්නේ වාහල්කඩ ව්‍යාපාරයේ ප්‍රධාන මාර්ගයෙනි. දිනකට ටිපර් රථ එවැනි ප්‍රමාණයක් ගමන් කිරීමෙන් ඇති වන මාර්ග තදබදය ගම්වාසීන්ට පීඩාකාරී අත්දැකීමක් බවට පත්ව තිබේ. වැඩි ප්‍රමාණයක් ටිපර් රථ ගමන් කරන්නේ රාත්‍රි කාලයේ දීය. එම කාලය තුළ ගම්වැසියන්ට හදිසි අවස්ථාවකටවත් මාර්ගය භාවිත කිරීම දුෂ්කරය. මන්ද මුළු මාර්ගයම ටිපර් රථ මඟින් අවහිර වන නිසාවෙනි. හදිසි රෝගීන් රෝහලට ගෙන යාමට පවා අපහසු වූ අවස්ථා ඕනෑ තරම් වාර්තා වේ. එසේම මෙවැනි දැරිය නොහැකි තරම් වාහන ප්‍රමාණයක් ගමන් කිරීම නිසා මෙම ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වී තිබේ. කොටසක් බොරළු අතුරා ද, අනෙක් කොටස සිමෙන්ති ගල් අතුරා ද සකස් කර ඇති මාර්ගයට වන හානිය නිසා ගම්වැසියන් පැවැත්වූ විරෝධතාවලින් පසුව පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ සඳහා මැදිහත් වී ඇති අතර, සෑම ටිපර් රථයකින්ම මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා මුදල් එකතු කිරීම සිදු වුව ද, එම මුදලින් ප්‍රමාණවත් නඩත්තුවක් සිදු කෙරෙන බවක් පෙනෙන්නට නැත. ඒ මුදල් කාගේ හෝ සාක්කුවකට යන්නේ ද යන සැකය ද දැන් ගම්වාසීන් තුළ ඇතිව තිබේ.
මේවා ඉවසීමට නොහැකි තැන ගම්වැසියන් සියලු දෙනාම එක්ව සිදු කළ විරෝධතාවයක දී පැවසූයේ මාර්ගය නැවත සකස් කරන තෙක් නැවත වැලි ප්‍රවාහනය නැවැත්විය යුතු බවයි. එහෙත්, එම විරෝධය සංවිධානය කළ ගම්වැසියන්ට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමට තරම් වැලි ව්‍යාපාරයට සම්බන්ධ දේශපාලන හෙන්චයියෝ මේ වන විට බලවත් වී සිටිති. සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් ද දේශපාලන හෙන්චයියන්ගේ අතකොලු බවට පත්ව ඇත.
ලංකාවේ භූමියේ ඇති ඕනෑම ඛනිජ සම්පතක අයිතිය රජය සතු වේ. එනම්, සමස්ත මහජනතාවම සතු වේ. එසේ නොමැතිව ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේ බූදලයක් නොවේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ පිහිටි සම්පත්වලින් ප්‍රදේශවාසීන්ට අනවශ්‍ය ගැටලු ඇති කිරීම වෙනුවට ප්‍රතිලාභ ලැබීම සිදු විය යුතුය. ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන රජයක් පාලනයේ සිටීනම් සිදුවිය යුත්තේ එයයි.


සුධීර ඉද්දමල්ගොඩ