සතර උගත් දරු කැළ ඇවිදිති බඩ ගා නිතර විකුම් පෙන්වයි කාසිය මුර ගා

Sunil-Watagalaxfngzdfhnzz
හෙළිදරව් වීම හංගන්න හදලා හොඳටම හෙළිදරව් වුණා (නීතිඥ සුනිල් වටගල)
December 19, 2017
fy7uo
දඹුල්ලේ මහජන මුදල් අවභාවිතාවක්
December 19, 2017
Show all

සතර උගත් දරු කැළ ඇවිදිති බඩ ගා නිතර විකුම් පෙන්වයි කාසිය මුර ගා

nhdtydthfth

අපේ රට තුළ අධ්‍යාපනයට ඇත්තේ ඉතා විශාල වටිනාකමක්. ඒ වගේම දන්න කාලෙක ඉඳන් සංවර්ධනය වෙමින් පවතින රටක් වුණු අපේ රටේ ‘ඉගෙන ගත්තොත් ගොඩයන්න පුළුවන්’ කියලා වැඩිදෙනෙක් විශ්වාස කරනවා. ඒත් හොදින් ඉගෙනගත් පමණින් ගොඩ යා හැක්කේ අධ්‍යාපනයේ වටිනාකම දන්නා පාලකයන් සිටියොත්ය. මන්ද රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකීරක්ෂා ආදී සියලු දේ කෙරෙහි වගකීම ඇත්තේ ආණ්ඩුවටයි. ඒවායෙහි නැගීම හෝ බැසීම තීන්දු වන්නේ එකී ආණ්ඩු කරවන්නන් විසින් ඒ සඳහා දක්වන අනුග්‍රහය මතයි. එහෙත් අවාසනාවකට මෙන් අපේ රටේ මෙතෙක් ගොඩනැගුණු සෑම ආණ්ඩුවකටම වුවමනා වූයේ මිනිස් ජීවිත වඩාත් යහපත් කරනු වෙනුවට තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මිනිසුන්ගේ ඒ ගැටලු බිල්ලට තැබීමටයි. ඒ නිසාවෙන්ම අධ්‍යාපනයේද මිල දන්නා නමුත් වටිනාකම නොදන්නා ආණ්ඩු අපේ රට තුළ බිහිවීම අරුමයක් නොවෙයි.
පවතින අධ්‍යාපන ක්‍රියාවලිය තුළ වාර්ෂිකව උසස් පෙළ සමත් වන ලක්ෂ දෙකහමාරක පමණ පිරිසක් අතරින් ඉහළම සුදුසුකම් ලබන 25,000ක් පමණ තමයි වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ එක් උපාධිධාරියෙක් බිහිකිරීම සඳහා අවම වශයෙන් ජාතික ධනයෙන් රුපියල් ලක්ෂ 08ක පමණ මුදලක් වැය වෙනවා. ඇත්තෙන්ම එය රටේ අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් සේ සැලකිය යුතුයි. මොකද දියුණු මානව සම්පතක් කියන්නේ රටකට ආශිර්වාදයක්. ඒ නිසා අපේ රට ඉදිරියට ගෙනයාමේ දී මේ බුද්ධිමය සම්පත ඒ සඳහා දායක කරගැනීම ආණ්ඩුවේ වගකීමක්.
නමුත් අපේ රටේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. අධ්‍යාපනයට අපේ සමාජය තුළ ඉහළ පිළිගැනීමක් තිබුණට, ඉතිහාසය තුළ පැවති හැම ආණ්ඩුවකටම වගේ වත්මන් යහපාලන ආණ්ඩුවටත් ඒ ගැන වගේ වගක් නැහැ. පොරොන්දු ගොන්නක් මධ්‍යයේ බලයට පත්වුණු ආණ්ඩුවේ 03 වෙනි අයවැය ඉදිරිපත් කරන මේ මොහොතෙදිත් පසුගිය අවුරුදු ගණනාවක් පුරා බිහිවුණු අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් 60,000ක් පමණ රැකියා විරහිත පෝළිමේ ඉන්නවා.
ඒ නිසා මේ පෝළිම් ගැහෙන, මේ උගත් මානව සම්පත නිකරුණේ නාස්ති වෙලා යන්නේ රටටත් ඔවුන්ගේ ජීවිතවලටත් කිසිඳු සුගතියක් නැතුවයි. මේ හේතුවෙන්ම අපේ රටේ අධ්‍යාපනය තුළ බිහි වූ විශාල බුද්ධිමය සම්පතක් අද වන විට රටින් පිටමන් වෙලා තියෙනවා. විශාල බුද්ධිගලනයක් ඇති වෙලා තිබෙනවා.
ඇත්තෙන්ම රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව අවුරුදු 05 පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව පවතිනවා. උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් රැකියා ලබාගැනීම සදහා වන අවශ්‍යතාවයක සිටිනවා. අවසාන වතාවට රජය මැදිහත් වෙලා උපාධිධාරීන්ට රැකියා ලබාදීලා තියෙන්නේ 2012 දීයි. එතැන් පටන් මේ දක්වා විශ්වවිද්‍යාලවලින් පිටවුණු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලැබිලා නැහැ. දැන් තිබෙන ගැටලුව තමයි පවතින හා පැවති රජයන් විසින් උපාධිධාරීන්ට රැකියා
අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් තවමත් ප්‍රකාශයට පත්කර නොතිබීම හා එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කරන ක්‍රියාදාමයකටවත් අවතීර්ණ නොවීම.
ඒ නිසා මේ තියෙන්නේ උපාධිධාරීන්ට ලබාදෙන්න රැකියා නොමැති ගැටලුවක් නොවෙයි, රැකියා ලබාදෙන්න ආණ්ඩුවට වුවමනාවක් හෝ වැඩපිළිවෙළක් නොමැති කමේ ගැටලුවයි. අපි දන්නවා අද වෙනකොට අපේ රටේ නාගරික, ජනප්‍රිය පාසල්වල ගුරු අතිරික්තයක් තිබෙනවා. එහෙත් ඈත දුෂ්කර ප්‍රදේශවල තිඛෙන, අඩු පහසුකම් සහිත පාසල්වලට තිබෙන්නේ මේකේ අනෙක් පැත්ත. හම්බන්තොට, මොණරාගල, පුත්තලම, රත්නපුර හා උතුර නැගෙනහිර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාතිශය බහුතරයක් පාසල්වල ගුරු පුරප්පාඩු ගැටලු තිබෙනවා. ඒ වගේම සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේත් තවදුරටත් ඒ සදහා උපාධිධාරීන් බදවාගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ අයුරින් ගත්තම මධ්‍යම රජයේත්, පළාත් රාජ්‍ය අංශයෙත්, ගුරු සේවාවේ හා සංවර්ධන නිලධාරී සේවයේ සැලකිය යුතු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණු පරිදි ගුරු සේවයේ විතරක් 60,000කට අධික පුරප්පාඩු ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ නිසා ගැටලුව තිඛෙන්නේ කොතනද කියලා පැහැදිලියි.
ඒ විතරක් නොවෙයි, මේ සියල්ල අතරේ බඳවාගැනීම් කප්පාදු කරන්න ආණ්ඩුව විවිධ පිඹුරුපත් එළමින් ඉන්නවා. මීට පෙර රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ දී වයස් සීමාව තිබුණේ අවුරුදු හතළිස් පහ ලෙසයි. නමුත් 2012 දී එවකට පැවති ආණ්ඩුව විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා උපාධිධාරීන් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු තිස් පහ කියලා තීන්දුවක් ගත්තා. ඒ වගේම වර්තමාන රජයත් නැවත වතාවක් ඒ තීන්දුවම ඉදිරියට ගෙනයමින් සිටිනවා. ඒ නිසා අද රැකියා විරහිත උපාධිධාරීන් විිශාල ප්‍රමාණයකට මහත් අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා. නමුත් මේ විදියට වයස ඉක්මවුනේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නයක් හින්දා නොවෙයි. කිසිම දවසක වාර්ෂිකව උපාධිධාරීන් බඳවාගන්න රටේ ආණ්ඩු කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි මේ තත්ත්වය උද්ගත වී තිඛෙන්නේ.
ඉඳින් මේ ආකාරයට උපාධිධාරීන්ට විශාල අසාධාරණයක් සිදුකරන අතරේ මේ ගැටලුවම දඩමීමා කරගනිමින් දේශපාලන වාසි ලබාගැනීමේ යටි අරමුණ සහිතවද ආණ්ඩුව සැලසුම් දියත් කරමින් ඉන්නවා. පසුගියදා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය මඟින් අයදුම්පත් කැඳවීමක් සිද්ධ කළා, උපාධිධාරීන්ව සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගැනීම වෙනුවෙන්. ආණ්ඩුවට එහෙම කරන්න සිද්ධ වුනෙත් රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමුඛව අපේ රටේ ප්‍රගතිශීලී බලවේග විසින් ගෙනගිය අරගලයක ප්‍රථීඵලයක් ලෙසයි. එහෙත් මේ වන විට දැනගන්නට ඇති තොරතුරු මත තහවුරු වන්නේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් තමන්ගේ බල ප්‍රදේශය තුළ ඉන්න උපාධිධාරීන්ට විවිධ බලපෑම් සිදුකරමින් සිටින බවයි. ඔවුන් එසේ සිදුකරමින් රැකියා බලාපොරොත්තු ඇති කර එළැඹෙන මැතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමේ නින්දිත උත්සාහයක යෙදෙනවා.
ඒ නිසා මේ සියලු ප්‍රතිගාමීත්වයන් පරාජය කරමින් රටපුරා විසිරී සිටින සියලුම රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රාජ්‍ය අංශයේ රැකියාවක් ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. බලයට පත්වන සෑම ආණ්ඩුවක් විසින්ම වසරින් වසර කල්දාන මේ ගැටලුව විසඳාගැනීම වෙනුවෙන් රැකියා විරහිත උපාධිධාරී සංගමය මැදිහත්ව අරගලයට නායකත්වය දෙමින් සිටිනවා. ඔවුන් පළාත් මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතික මට්ටමිනුත් ඒකරාශී වෙමින් තමන්ගේ උගත්කමට සරිලන රැකියාවක් ලබාගැනීම වෙනුවෙන් අරගල කරමින් සිටිනවා. ඒ වගේම උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින්ද රැකියා විරහිත උපධිධාරීන්ගේ මේ අරගලයට සහය දෙමින් සිටිනවා. ඒ නිසා මේ රටේ දැනට ඉන්න සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය අංශයේ රැකියාවක් ලබාගැනීම සඳහා වන අරගලයේ නිරත එකී සංවිධාන ද්විත්වයෙනුත් අපි මේ ගැටලුව සම්බන්ධයෙන් විමසීමක් කළා. මේ ඔවුන්ගේ අදහස්.

චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු, උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය

‘මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වුණාම කිව්වේ රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට රැකියා දෙනවා කියලයි. ඒ අනුව විවිධ සංවිධාන හා අරගල ක්‍රියාමාර්ග හරහා රජයට බලපෑමක් එල්ල කළායින් පස්සේ, පසුගිය සැප්තැම්බර් මාසයේ දී රජය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය හරහා අයදුම්පත් කැඳවීමක් සිද්ධ කළා. ඉන්පසුව රැකියා විරහිත උපාධිධාරී සංගමය ඇතුළු තවත් සංවිධාන එක්ව එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ මොහොතේ ඔහු ප්‍රකාශ කළේ රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගැනීමට හැකියාව ඇත්තේ 8,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවයි. නමුත් අපි කිසිසේත්ම එවැන්නකට එකඟ නැහැ. රජය එදා කිව්වේ 20,000කට රැකියා ලබාදෙනවා කියලයි. අද වෙනකොට ඒකත් 8,000කට අඩුවෙලා. ප්‍රතිපාදන නැහැලු. අපි මේ දෙකටම විරුද්ධයි. ඒ නිසා දැනට අයදුම්පත් එවා සුදුසුකම් සපුරලා තියෙන සියලු උපාධිධාරීන්ට කොන්දේසි විරහිතව රැකියා අවස්ථා ලබාදිය යුතු බවටයි අපි ආණ්ඩුවට බලකර සිටින්නේ.
ඉතිහාසයේදීත් මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් අරගල කරලා 1999, 2005, 2008 හා 2012 වසරවල දී ඉතා විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාගත්තා. ඒ නිසා දැනට හඳුනාගෙන ඉන්න සියලු උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා අවස්ථා ලබාදීමටත් ඒ වගේම උපාධිධාරීන් බඳවාගැනීමේ දී සිදුකරන දේශපාලන අතපෙවීම් වහාම නැවැත්වීමටත් සියලු උපාධිධාරීන්ට අවුරුදු හතළිස් පහේ උපරිම වයස් සීමාවට යටත්ව රැකියා ලබාදෙන්නත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව මැදිහත් වී උපාධිධාරීන්ව රාජ්‍ය සේවයට බඳවාගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් වහාම සකස් කළ යුතුයි කියන දේත් අපි අවධාරණය කරනවා.’

මහේෂ් විමුක්ති
කැඳවුම්කරු, රැකියා විරහිත උපාධිධාරී සංගමය

‘පසුගිය කාලය පුරාම ගුරු විභාගය හා සංවර්ධන නිලධාරී විභාගය ගැසට් වුණා. ඒ සඳහා මුහුණ දීලා විභාග පාස් වුණත් උපාධිධාරීන්ව බඳවාගන්න මධ්‍යම රජය හෝ පළාත් ආණ්ඩු හෝ කටයුතු කළේ නැහැ. එහෙත් අපට ලැබී තිබෙන තොරතුරු අනුව එම අංශ සඳහා පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතිනවා.
ඒ වගේම නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් හෝ දැක්මක් ඇතුව නොවෙයි අපේ රටේ පාලකයන් කටයුතු කරන්නේ. කාලෙන් කාලෙට ගැසට් ගහනවා, විභාග තියනවා විතරයි. ප්‍රථීඵලයක් නැහැ. පසුගිය කාලය තුළ පැවැත්වුණු ගුරු විභාගවල තත්ත්වයත් ඉතාම කනගාටුදායකයි. විශේෂයෙන්ම ඌව පළාතේ පැවැත්වූ විභාගය ඉතාම දූෂිත එකක්. එහි ප්‍රශ්න පත්‍රයම මහා අවුල් ජාලාවක්. ප්‍රථීඵල නිකුත් කිරීමේදීත් විශාල අඩුපාඩු සිදුව තිබුණා. ඒ නිසා ඌව පළාත් උපාධිධාරී සංගමය විසින් ඊට එරෙහිව නඩුවක්ද පවරා තිබෙනවා.
ඉතින් මේ වන විටත් මේ ගැටලු සම්බන්ධයෙන් අපි සංවිධානයක් ලෙස විවිධ දිස්ත්‍රික්කයන්හි විරෝධතා දැක්වීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා දැන් මේ තත්ත්වයට එරෙහිව අපි පුළුල් ලෙස එකතු වෙමින්, සංවිධානය වෙමින් සිටිනවා. ඒ සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම අපේ දිස්ත්‍රික් ශාඛා පිහිටුවා තිඛෙනවා. ඒ හරහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එහෙත් අපට විශ්වාසයක් නැහැ, වර්තමාන ආණ්ඩුවෙනුත් මේ රැකියා විරහිත උපාධිධාරී ගැටලුව විසදන්න කටයුතු කරයි කියලා. ඒ වගේම මෙවර අයවැයෙනුත් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ නැහැ. මේ අයවැය කියලා කියන්නේ අපේ රටේ රැකියා විරහිත උපාධිධාරියාව අමතක කරපු අයවැයක්. ඒ නිසා මේ අයවැයට විරුද්ධවත් ඉදිරි දිනවලදී අපි රට පුරා විරෝධතා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නවා. කොහොම නමුත් රටේම ඉන්න සියලු රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව අඛණ්ඩව අරගල කරනවා.’


නිපුණා සාරංගි