හෙළිදරව් වීම හංගන්න හදලා හොඳටම හෙළිදරව් වුණා (නීතිඥ සුනිල් වටගල)

1003937-SriLanka-1449242572-799-640x480
නීතිය උන්ගේ සිරබත අපෙ උන්ගේ
December 19, 2017
nhdtydthfth
සතර උගත් දරු කැළ ඇවිදිති බඩ ගා නිතර විකුම් පෙන්වයි කාසිය මුර ගා
December 19, 2017
Show all

හෙළිදරව් වීම හංගන්න හදලා හොඳටම හෙළිදරව් වුණා (නීතිඥ සුනිල් වටගල)

Sunil-Watagalaxfngzdfhnzz

මොකක්ද මේ ඡන්ද පෙත්සම?

ඡන්ද පෙත්සම කියන කාරණය තනිකර ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව ඔප්පු වෙලා ඉවරයි. ඒක ඔප්පු වෙන්නෙ පෙත්සම්කරුවන් සපයලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ඇතුළු මෛත්‍රී පාර්ශ්වය. ඔවුන් දැන් එළිදරවු වී තිබෙනවා. දයාසිරි ජයසේකර. ලක්ෂ්මන් යාපා අබේවර්ධන කුරුණෑගල ශාන්ත බණ්ඩාර මෙවැනි අය තමයි මේ සප්ලයි එක කරලා තිබෙන්නෙ. මේකෙ අධ්‍යක්ෂණය, දෙබස් හා තිර රචනය ෆයිසර් මුස්තාපා. මොහු පළාත් පාලන අමාත්‍යවරයා. මේ අමාත්‍යවරයා ලස්සනට මේ ජවනිකාව කළා. ඒත් තිරය වහගන්න අමතක වුණා.

පෙත්සම්කරුවන් තමන්ගේ පෙත්සම ඉදිරිපත් කරන්නේ කුමන පදනමකින්ද?

මේ නඩුවට පදනම වුණේ, අශෝක පීරිස් කමිටු වාර්තාව. පෙත්සම්කරුවෝ කියනවා අශෝක පීරිස් කමිටු වාර්තාවේ සීමා නිර්ණයක් කරන්න බලයක් තිබුණාට බහු කොට්ඨාසවල සංඛ්‍යාව තීරණය කරන්න, සංඛ්‍යාව එහා මෙහා කරන්න මේ අශෝක පීරිස් කමිටුවට බලයක් නැහැ කියලා. එතකොට මේ කාරණය තමයි හබ කළේ. 2012 වසරේ බැසිල් රාජපක්ෂ මුල් වී මැතිවරණ ක්‍රමයක් ගෙනාවා. ඒකේ සීමා නිර්ණය සකස් කරන්න රවී ජයලත් කමිටුව කියන ජාතික කමිටුව පත් කළා. ඒකේ වාර්තාව ඉදිරිපත් කළේ 2015දී. ඒක ගැසට් කළේ 2015 අගෝස්තු 21 වැනිදා ජනාධිපති මෛත්‍රී විසිනුයි.
ඒත් මේ සීමා නිර්ණය කිරිම්වල විශාල ගැටලු තිබෙන බව පෙනී ගියා. එය බැසිල් රාජපක්ෂලා තමන්ට වාසි අත් වන ලෙස සකස් කර තිබූ බව පෙනී ගියා. ඒ බව බොහෝ විද්වතුන් පෙන්වා දුන්නා. ඇමතිවරයාට තිබෙන බලතල අනුව ගැටලු නිරාකරණය කිරීමට අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් නම් කළා. ඔවුන් එම තත්ත්වය නිවැරදි කරලා වාර්තාව නිකුත් කළා. ආණ්ඩුව ඒ ගැන කියමින් ඡන්දය පස්සට දැම්මා. පස්සේ 2017 පෙබරවාරි නව සීමා නිර්ණය ගැසට් කළා.
අවුරුදු දෙකක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වෙනකොට රටේ ජනතාවගෙන් ලොකු පීඩනයක් ආවා. දැන් කෝ මැතිවරණය කියලා. එතකොට සරල භාෂාවෙන් කියනවා නම්, මැතිවරණ කොමිසමට ඇගිල්ල දික් වුණා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා මට පිච් එක නැතුව මැච් එක ගහන්න බෑ කියලා. මේකෙ සම්පූර්ණ වගකීම ගන්න ඕනෙ ෆයිසර් මුස්තපා අමාත්‍යවරයා කියලා ඔහු කිව්වා. එතකොට අමාත්‍යවරයා කරපු වැඩේ මොකක්ද? රටෙන් එන සමස්ත පීඩනය නිසාම ඔහුට සිද්ධ වුණා අශෝක පීරිස් කමිටු වාර්තාව ගැසට් කරන්න. ගැසට් කළාට පස්සෙ කිව්වා ඔන්න මම පිච් එක හැදුවා දැන් මැච් එක ගහන්න කියලා. දැන්නේ දන්නේ පිච් එකේ බොරු වළවල් කියලා. දැන්නේ දන්නෙ සෙල්ලම් කරන්න පුළුවන් පිටියක් නෙමෙයි නේ මේ දීලා තියෙන්නෙ කියලා.

ඔබ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇගිල්ල දිගු කරන්නේ කුමන පාර්ශ්වයටද?

අපි විශ්වාස කරනවා හිතාමතා දැන දැනම තමයි අමාත්‍යවරයා මේ ජවනිකාව කළේ මොකද? ඔහුු නාට්‍යකරණයට දක්ෂ මිනිහෙක්. මොකද? ඔහු මීට කලින් සී.ඩබ්ලිව්.සී. එකේ හිටියා. එතනට පස්ස හරවලා තමයි ආවෙ. මීට කලින් ඔහු මුස්ලිම් කොන්ග්‍රසයේ හිටියා. එතනට පස්ස හරවලා ආවේ. මීට කලින් යූ.එන්.පී. එකේ හිටියා. යූ.එන්.පී. එක නැති කරලා ආවෙ. ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව හිටියා. පස්ස නෙමෙයි හැරෙව්වෙ ඊටත් එහා දේවල් ඔහු හැරෙව්වා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගාව ඉදන් ඔහුට කියන්නෙ ඩීල් මුස්තාපා කියලා. එතකොට මේ ඩීල් මුස්තාපාගෙ වැඩේ ඩීල් දාන එකම තමයි. මෙතනදීත් ඔහු හොද ජවනිකාවක් රගපාලා තිඛෙනවා. මොකද? මුස්තාපා අමාත්‍යවරයා දැනගෙන හිටියා මේකෙ තිබෙන අඩුපාඩුකම් කිහිපයක් පිළිබදව. ඔහු දන්නවා, කැබිනට් මණ්ඩලය දන්නවා, රටේ ජනාධිපතිවරයා දන්නවා. තවත් කෙටියෙන් කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය තමයි මේ කුමන්ත්‍රණය කළේ.

ඇයි මෙවැනි කුමන්ත්‍රණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයෙන් සිද්ධ වෙන්නේ?

ඒකට හේතුවක් තිබෙනවා. මේ ඡන්දයෙන් පස්සෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තිඛෙන ඇත්ත ඡන්ද ගණන රටට හෙළිදරවු වෙනවා. ඒ හෙළිදරවු වීම වෙච්ච දවසේ ඉදලා ඔහුට ජනාධිපති ධුරයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැති වෙනවා. අන්න ඒ ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරුව තමයි මේ දගලන්නෙ. අර බළළා ගලේ පැහැරුවාට පස්සේ වහගන්න ගියාම තව තව ගෑවෙනවනෙ. ඒ දෙයම තමයි මේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරන්නෙ. ඒක හින්දා අපි කියනවා පැහැදිලිවම මේක තනිකර ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් මිසක් වෙන එකක් නෙමෙයි.

මේ පෙත්සම හරහා ඡන්දය කල් දාන්න බලපෑම හැදුණෙ කොහොමද?

දැනට අධිකරණය තාවකාලික තීරණයක් අරන් තිබෙනවා අශෝක පීරිස් කමිටු වාර්තාව ගැසට් කිරීම දෙසැම්බර් හතරවෙනිදා වෙනකල් අත්හිටුවන්න. ගැසට් එක අත්හිටෙව්වොත් මැතිවරණයක් නැහැ. ඒ තත්ත්වය තමයි අද ඇති වෙලා තිබෙන්නෙ. හැබැයි දේශපාලන පොරපිටියේ ලොකූ ව්‍යාකූලතාවයක් ඇති වෙලා තිබෙනවා. මැතිවරණ කොමිසම ලොකු අකරතැබ්බයකට පත් වෙලා තිබෙනවා. ඒකත් එක්කම මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කරලා පසුගිය විසි හත් වෙනිදා සිට මැතිවරණය ප්‍රකාශයට පත් වුණා, පළාත් පාලන ආයතන අනූ තුනක මැතිවරණය තියන්න. ඒ වගේම මෝෂන් එකක් නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරුවෝ හබ කරන්නේ බහු ආසන පිළිබඳව විතරයි. බහු ආසන අපේ අවබෝධය අනුව නම් දළ වශයෙන් හැට හතරක් විතර තමයි තිබෙන්නෙ. ඒ හැට හතර පැත්තකින් තියලා ඉතුරු ටික එක මැතිවරණයක් බවට පත් කර ගන්න පුළුවන් ද කියලා උත්සාහයක් තියෙනවා. ඒ වගේම තව උත්සාහයක් තිබෙනවා. මේ පෙත්සම්කරුවෝ ඉදිරිපත් කළේ මෛත්‍රී පාර්ශ්වය නේ. දැන් මහනුවර පෙත්සම්කරුවා කියලා තිබෙනවා එහෙම පෙත්සමක් ගැන දන්නෙවත් නැහැ කියලා. අනෙක් පෙත්සම්කරුවොත් එහෙමම තමයි. ඔවුන් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති, නීතියක් දැනගෙන නෙමෙයි මේ එන්නේ. ඒක නිසා අපි කියනවා පැහැදිලිවම මේකෙ තිබෙනවා එක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි මේ ජවනිකාව රගපෑවෙ, මේ නාට්‍යකරණය කළේ මුස්තාපා අමාත්‍යවරයා නම් මෛත්‍රී පාර්ශ්වයට පුළුවන් මේ නඩුව ඉල්ලා අස් කර ගන්න. ගැටලුව ඉවරයි. ඒක නිසා අපි කියනවා එහෙම නොවුණොත් මුස්තාපා අමාත්‍යවරයාට විශ්වාසභංගයන්ට මුහුණ දෙන්න වෙයි.

නෛතික මාර්ගයෙන් මේ නඩුව ජය ගන්න පුළුවන් වෙයිද?

හිතන්න එපා නඩුවලින් ජයග්‍රහණය කරන්න පුළුවන් රටක් කියලා මේක. ඔබට මතක නම් සයිටම් නඩුව. සයිටම් නඩුව දැම්මේ සයිටම් එකේ පෙත්සම්කරුවා. ඒගොල්ලො නඩුව දිනුවා. මෙතනත් කවුද? පෙත්සම්කරුවො හය දෙනෙක් ඉන්නවා. වගඋත්තරකාරයා කවුද? වගඋත්තරකරුවා ඇමතියි, ඇමති ලේකම්වරයායි. හොරාගෙ අම්මාගෙන් පේන අහන්න වගේ. එතකොට පැමිණිල්ලයි, විත්තියයි දෙකම එකයි. සයිටම් නඩුව වගේම තමයි. හැබැයි ආණ්ඩුව සයිටම් නඩුව දිනුවාට සටන දිනුවේ ජනතාව. මෙතනත් අනිවාර්යය ලෙස අපි කියනවා, නඩුව දිනුවාට සටන දිනන්න ආණ්ඩුවට බැහැ. අධිකරණයට වුණත් අපි මේක නිදහස් කර ගැනීමේ කරුණු ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි පාරෙ සටනකින් මේක ජයග්‍රහණය කරන්න වෙනවා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට අවුරුදු දෙකක් පහු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වහාම තියන්න කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක කීයටවත් ආණ්ඩුවට ආපස්සට අදින්න බැහැ. මේ හඩට කන් දෙන්න වෙනවා මයි.

මේ පෙත්සම කුමන්ත්‍රණයක් විදියට හදුන්වනවා. ඊට තිඛෙන සාධක මොනවාද?

කුමන්ත්‍රණය කියන එක හදුන්වන්න තිබුණු සාධක තමයි පෙත්සම්කරුවෝ හය දෙනා කැබිනට් මණ්ඩලයේ එක් එක් අමාත්‍යවරුන් විසින් සප්ලයි කිරීම. ඒ විතරක් නෙමෙයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ෆයිසර් මුස්තාපාගේ තාත්තා ෆයිස් මුස්තාපා. ඔහු ජනාධිපති නීතිඥයෙක්. එයා යටතේ ඉන්න කනිෂ්ඨ නීතිඥවරයා තමයි මේ පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒක කුමන්ත්‍රණයේ එළිපිට පේන සාධකයක්. එතකොට මම අර කලින් කිව්වා වගේම ඔවුන්ට අපි මොනවා කිව්වත්, ජනාධිපතිවරයා එළිදරවු වෙන එක නවත්තන්න එපැයි ඒගොල්ලන්ගේ පාර්ශ්වයෙන්. මේ තමයි ඒගොල්ලෝ ගන්න අසාර්ථක උත්සාහයන්. අපි කියන්නෙ මේක කළේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අනුදැනුම මත අනිත් නළු නිළියෝ ටික තමයි මේ වැඩේ කළේ. ඒක නිසා අපි කියනවා මොනවා එක්ක සෙල්ලම් කළත්, ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතියත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.

සීමා නිර්ණ කොමිෂන් සභාව තමන්ගේ සීමාව ඉක්මවා කටයුතු කළා කියන කතාව ඇත්තද?

ඇත්තටම ඒක අධිකරණය ඉස්සරහ තිඛෙන විවාදසම්පන්න කාරණයක්. අපි කියන්නෙ ඇත්තටම සීමා නිර්ණ කමිටුව වරදක් කරලා නැහැ කියලා. කෙසේ වෙතත්, වරදක් තිබේ නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම භාර ගත යුත්තේ අමාත්‍යවරයා. ඔහු ජනාධිපති නීතිඥවරයෙක්. ඒ නිසාම ඔහු මේක දැනගන්න ඕන. ඔහු ඩීල්කාරයෙක්. ඒ නිසාම තමයි අපිට පේන්නෙ, මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ මොහු ඉන්නවා කියලා. ගැසට් නිවේදනයේ වරදක් තිඛෙනවා නම්, ඒ වැරදි සම්පූර්ණයෙන්ම භාර ගන්න ඕනෙ අමාත්‍යවරයා. කමිටුව තමන්ගේ රාජකාරිය කළා කියලා අපි විශ්වාස කරනවා.

රට මේ වෙලාවෙ මැතිවරණයක් ඉල්ලනවා. දේශපාලන පක්ෂ බහුතරයකුත් මැතිවරණය ඉල්ලා සිටිනවා. ඔය කියන බාධක ටික මගහැරගෙන මැතිවරණයට යන්න තිබෙන නිවැරදි මග මොකක්ද?

හරි සරල මාර්ගයක් තියෙන්නේ. පසුගිය විසි හත් වෙනිදා ඡන්දය ප්‍රකාශයට පත් කළා. පළාත් පාලන ආයතන අනූ තුනකට පමණයි ඒක අදාළ වෙන්නේ මේ බාධකය නිසා. හෙට පෙත්සම ඉල්ලා අස් කර ගන්න කියන්න මුස්තාපා මහත්තයට. එතකොට බාධාව ඉවරයි. නියමිත පරිදි ඡන්දය තබන්න පුළුවන්. ඒ බව මැතිවරණ කොමසාරිස් වගකීමෙන් කිව්වා. ඒක නිසා මහා ලොකු විග්‍රහයන් අවශ්‍ය නැහැ. මේ ඡන්දය තියන්න සරලම ක්‍රමය පෙත්සම ඉල්ලා අස් කර ගන්න එක. මහින්ද රාජපක්ෂ මහත්තයා කලින් මැතිවරණයක් කැදවලා තමයි, එයාගේ කාලය අවසන් කර ගත්තේ. අපි කියනවා කලින් මැතිවරණ කැදවන එකත් වැරදියි. නියමිත වෙලාවට මැතිවරණ තියන්නෙ නැති එකත් වැරදියි. මහින්ද රාජපක්ෂ මහත්තයා කලින් මැතිවරණයක් කැදවාගෙන තමයි ගෙදර ගියෙ. අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අවධාරණය කරනවා නියමිත පරිදි මැතිවරණය තියන්න. පරක්කු වෙලා මැතිවරණ තියන්න ගියොත් එහෙම අතීතයේ වෙච්ච ආදර්ශයන් තිබෙනවා. එයාටත් ඒ ගමනම යන්න වෙනවා.


සංවාදය හා සටහන
භාතිය ගුණසේන