ෆයිසර්ට එරෙහි ෆයිසර් හෙවත් ඡන්ද කුමන්ත්‍රණය

රංජිත් ද සොයිසා
මේ නඩුව දැම්මේ කාලය ගන්නයි (එක්සත් ජනතා නිදහස් සන්ධාන (ඒකාබද්ධ විපක්ෂ) මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා)
December 19, 2017
srilanka6afpmgdcbfxvb
මෛත්‍රීගේ මැදමුලන ජනතාව
December 19, 2017
Show all

ෆයිසර්ට එරෙහි ෆයිසර් හෙවත් ඡන්ද කුමන්ත්‍රණය

X2xzLJh

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව මේ වන විට රට තුළ ප්‍රබල කතිකාවක් නිර්මාණය වී තිබේ. මේ ලිපිය ලියන මොහොත වන විට මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ආයතන 93ක් සඳහා ඡන්දය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කොට ඇත. තවත් පළාත් පාලන ආයතන 40 සඳහා ඡන්දය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය වෙමින් පවතී. කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් පළාත් පාලන ආයතන 133 ක ඡන්දය පැවැත්වීමට හැකි බව මේ වන විට තහවුරු වී ඇත. ඇතැම් විට මේ ලිපිය පළවන විට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව සකස් වී තිබෙන්නට ද පුළුවන. ඒ කෙසේ වෙතත් රටපුරා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබියදී හදිසියේ පුද්ගලයන් 6 දෙනෙකු විසින් පළාත් පාලන ආයතන සීමා නිර්ණය සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමත් සමග පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අදාළව දෙසැ: 4 දින දක්වා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබිණ. අලුත්ම තත්ත්වය වන්නේ පළාත් පාලන ආයතන ගැසට් තහනමට එරෙහිව නීතිපතිවරයා මෝසමක් ඉදිරිපත් කර තිබීමයි. මේ ක්‍රියාවලිය සිදුවන්නේ කුමන තත්ත්වයක් යටතේද යන්න තේරුම් ගැනීම අතිශයින්ම වැදගත් වේ.
අදාළ පෙත්සම් 6 ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවාදී කණ්ඩායමක් විසිනි. මේ අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාරගේ ආධාරකරුවෙක් සිටී. අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ආධාරකරුවෙකුද අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ආධාර කරුවෙකුද වශයෙන් ශ්‍රීලනිප ආධාරකරුවන් කණ්ඩායමක් මැදිහත් වී ඇත. මෙය සංවිධානාත්මක ක්‍රියාවලියක් බව තහවුරු කරගැනීමට හොඳම සාක්ෂිය වන්නේ මේ පුද්ගලයන් කොළඹ 13, මහනුවර, හල්මිල්ලෑව, බණ්ඩාරවෙල, උඩවලවේ, දෙනියාය යන ප්‍රදේශයන්ගෙන් එකතුවීමයි. අනෙක් වැදගත්ම කාරණය වන්නේ මේ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ පියාගේ කනිෂ්ඨ නීතිඥයෙකු වන සහීඩ් විසින් වීමයි. අනෙක් වැදගත්ම කරුණ වන්නේ පෙත්සම් විභාගයට ගත් මුල් දිනයේ ඊට එරෙහිව කරුණු දැක්වීමට සියලු පක්ෂ නියෝජනය කරමින් නීතිඥවරු ඉදිරිපත් වූ නමුත් ශ්‍රීලනිපයෙන් කිසිවෙකුත් සම්බන්ධ නොවීමය. ඒ අනුව මේ පෙත්සම් අහම්ඛෙන් අසංවිධානාත්මක ඉදිරිපත් වූ පෙත්සම් නොව සංවිධානාත්මකව ශ්‍රීලනිපයේ මැදිහත්වීම මත ඉදිරිපත් වූ ඒවා බව තහවුරු වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණය කල්දමා ගැනීමට අවශ්‍ය වී ඇත්තේ මේ වන විට ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය දේශපාලන වශයෙන් ජනතාවගෙන් දුරස් වී සිටීමයි. ශ්‍රීලනිපය බෙදී මැතිවරණයට ඉදිරිපත් වුවහොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සැබෑ ජන පදනම හෙළිදරව් වේ. එය ඔහුගේත් ශ්‍රීලනිපයේත් අනාගතයට අහිතකර ලෙස බලපෑම් කරනු ලබයි. ශ්‍රීලනිපයට මේ මොහොතේ ඉතිරි වී ඇත්තේ විකල්ප දෙකකි. එකක් වන්නේ ශ්‍රීලනිපය හැටියට මැතිවරණයට ඉදිරිපත් වීමයි. එසේ ඉදිරිපත් වී ජනාධිපති බලතල ද යොදා ජනතාවට බඩු බාහිරාදිය ඛෙදා ඡන්ද කළ යුතුය. මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව එය ප්‍රායෝගික නැත. දෙවැනි විකල්පය වී ඇත්තේ මෛත්‍රී මහින්ද කණ්ඩායම් දෙක එකතු වී මැතිවරණයට ඉදිරිපත් වීමයි. එයද හදිසියේ කළ නොහැක්කකි. එබැවින් මැතිවරණය කල් දමා ගැනීම විසඳුමකට එකම මාර්ගය ලෙස ශ්‍රීලනිපය කල්පනා කරන්නට ඇත. එහි ප්‍රතිඵලය වූයේ ඉහත පෙත්සම් ඉදිරිපත් වීමයි.
පවතින මැතිවරණ ක්‍රමය වෙනුවට නව මැතිවරණ ක්‍රමයක කතිකාව දීර්ඝ කාලයක් තිස්සේ පවතින්නකි. ඒ අනුව පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ විසින් හිටපු අමාත්‍යවරයෙකු වූ අතාවුල්ලා මගින් 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. මේ සඳහා කමිටුවක් පත් කරන ලද අතර, එය රවී ජයලත් කමිටුව නමින් හඳුන්වයි. ඒ අනුව වසර දෙකහමාරක් තිස්සේ කළ ක්‍රියාවලියකින් පසු නව සීමා නිර්ණයන් සිදු කරන ලදී. ඔවුන් සිය වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ 2015 අගෝස්තු 21 වැනිදාය. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එය ගැසට් කරන ලදී. එහෙත් එහි තිබූ සීමා නිර්ණයන් පිළිබඳව යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැවතුණි. ඒවා කර තිබුණේ රාජපක්ෂ ගැත්තන්ට වාසිදායක වන ආකාරයෙනි. ඒ නිසාම මෙය වෙනස් කිරීමේ වුවමනාවක් නිර්මාණය විය. මෙම පනතේ 3 ඈ 1 වගන්තියේ සඳහන් වන්නේ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සීමා නිර්ණයන් වෙනස් කළ හැකි බවය. ඒ අනුව අශෝක පීරිස් මහතාගේ සභාපතිවයෙන් යුතුව සිමා නිර්ණය සඳහා නව පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ වාර්තාව 2017 පෙබරවාරි 17 දින ඉදිරිපත් කරන ලදී. ඒ අනුව දිගින් දිගටම කල්ගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව නිර්මාණය විය. වාර්තාව ඉදිරිපත් වුවද ගැසට් පත්‍රය ප්‍රමාද කිරීම දිගින් දිගටම සිදු කරන ලදී. අවසානයේ ගැසට් පත්‍රය ඉදිරිපත් කෙරුණි. එහෙත් මැතිවරණයට දින නියම කිරීමට ආසන්නව තිබියදී සීමා නිර්ණය සම්බන්ධයෙන් ගැටලු ඇති බව පවසමින් ශ්‍රීලනිප කණ්ඩායමක් යොදවා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලදී.
මේ පිළිබඳව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ජනාධිපතිවරයාද සිටියදී පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට බරපතළ විවේචනයක් ඉදිරිපත් කළේය. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය සහ එජාපයද මේ සඳහා ප්‍රබල විවේචන ඉදිරිපත් කළේය. ජවිපෙ නායකයා මෙය ශ්‍රීලනිපයේ වුවමනාව මත සිඳු වූ ක්‍රියාවලියක් බවත්, මේ කුමන්ත්‍රණය අධිකරණයේදී විසඳාගත නොහැකි නම් කවර බලවේගයක් සමගින් හෝ එකතුවී පාරේදී බේරාගන්නා බවද දැඩිව කීවේය. එසේම ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ද ඉදිරිපත් කළේය. ඒකාබද්ධ විපක්ෂය විසින්ද අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන ලදී.
පෙත්සම්කරුවන් දෙදෙනා අභියෝගයට ලක්කර තිබුණේ අශෝක පීරිස් මහතාගේ වාර්තාවෙන් සීමා නිර්ණ කොමිසමට හිමි බලය ඉක්මවා කටයුතු කර තිඛෙන බවයි. පෙබරවාරි 17 වැනිදා සිට මාස නමයකට වැඩි කාලයක් ගත වුවද කිසිවෙකුගෙන් එයට විරෝධතා එල්ල වූයේ නැත. අමාත්‍යවරයා එහි දුබලතාවයක් තිබීම පිළිබඳව දැන නොසිටීම සිදුවිය නොහැක්කකි. ඒ නිසා දැනුම්වත්ව නිහඩව සිටියේ කුමන්ත්‍රණයක් කිරීමේ අරමුණින්ම බව පැහැදිලි වේ.
ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය, එක්සත් ජාතික පක්ෂය ආදී දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් ශ්‍රීලනිපයේ මෙම අත්තනෝමතික මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව බරපතළ විවේචනයක් ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රීලනිප මෛත්‍රී පිලටය. මේ විවේචනයන් ඉදිරියේ දැන් ඔවුන් පවසන්නේ තමන්ද මැතිවරණ කල් දැමීමට විරුද්ධ බවයි. අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසන්නේ අශෝක පීරිස් වාර්තාව සියයට සියයක් නිවැරදි බවකි. නීතිපතිවරයා මගින් මෝසමක් ඉදිරිපත් කර මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු කටයුතු කරන බවට හෙතෙම පවසයි.
ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණය මේ වන විට රටටම හෙළිදරව් වී ඇත. ඉන් නිදහස් වීමට ශ්‍රීලනිපය මගක් සොයමින් සිටී. දැන් ඔවුන් සතු එකම විකල්පය වන්නේ මැතිවරණය පැවැත්වීමය. ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් රටේම ප්‍රශ්නයක් බවට පත් කිරීමට ගත් නිර්ලජ්ජිත උත්සාහය යම් පමණකට හැකිලීමට මේ වන විට හැකියාව ලැබී ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද අති විශේෂ මැදිහත් කිරීමක් කරමින් මැතිවරණය පැවැත්වීමට අදාළව කටයුතු කිරීම ප්‍රශංසනීය වේ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් තර්කානුකූලව ශ්‍රීලනිප කුමන්ත්‍රණය හෙළිදරව් කරන ලදී. ඒකාබද්ධ විපක්ෂය ද සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද එජාපයද මෙහිදී ශ්‍රීලනිපයේ අත්තනෝමතික කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පරජය කිරීමට යම් යම් මැදිහත්වීම් කරන ලදී. ශ්‍රීලනිපය විසින් ශ්‍රීලනිපයේ අර්බුද කළමනාකරණය කර ගැනීමට කළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ මේ වන විට ශ්‍රීලනිපයටම පාරා වළල්ලක් වී ඇත. දේශපාලන ගේම් වලින් ජනතා මතය යට කළ නොහැකි බවත්, ජනතා බලය ඉදිරියේ ඕනෑම පාලකයෙකුට හිස නමන්නට සිදුවන බවත් ජනතාවට එරෙහිව කුමන්ත්‍රණය කරන අය දැන්වත් තේරුම්ගත ගත යුතුව තිබේ.


එස්.කේ.ගමගේ