අනේ දෙවියනේ මට වුණු වියෝයා

idam kollaya
රිදී බැඳි ඇල්ලේ ටී.බී.ගේ ඉඩම් කොල්ලේ
January 2, 2018
kkkkk
කොලේ ඉරාගෙන ඇගේ හලාගැනීම
January 2, 2018
Show all

අනේ දෙවියනේ මට වුණු වියෝයා

අප රටේ ප්‍රධාන දේශපාලනඥයෙකු ඉකුත් 22දා ඉන්දියාවට ගොස් මූකම්බිකා නමැති හින්දු දේවාලයට ගොස් දේව වන්දනාවේ යෙදී ඇති බව පුවත්පත්වල පළ කර තිබුණි. මෙයට පෙර මෙම දේශපාලනඥයා සහ වෙනත් දේශපාලනඥයන් වන්දනාවේ යන්නේ ඉන්දියාවේ තිරුපති නමැති දේවාලයකට නිසා මෙම දේවාලයෙන් විශේෂ අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට අවශ්‍ය වන්නට ඇතැයි සිතිය හැකිය. තිරුපති දේවාලය සැලකෙන්නේ විෂ්ණු දෙවියන්ගේ දේවාලයක් ලෙසය. එහෙත් මූකම්බිකා දේවාලය ශක්ති දෙවි වශයෙන් හින්දු ආගමෙහි සඳහන් වන දුර්ගා දේවි හෙවත් සරස්වතී දෙවියන්ගේ දේවාලයකි. මෙම දේවිය මහා කාලි හෙවත් බලයට අධිපතිනිය ලෙස උදය කාලයේද මහා ලක්ෂ්මි හෙවත් ධනයට අධිපතිනිය ලෙස දවල් කාලයේද, මහා සරස්වතී හෙවත් දැනුමට අධිපතිනිය ලෙස සවස් කාලයේද වැඳුම් පිදුම් ලබන්නීය. මෙම දේවාලයට පැමිණ එහි කෙරෙන පුද පූජාවලට සහභාගී වීමෙන් තමන්ට ඇති බාධා දුරු කර ගැනීමට හැකි බවද, ශාප වළක්වා ගත හැකි බවද, සෞඛ්‍යය, ධනය සහ සෞභාග්‍යය ළඟා කර ගත හැකි බවද, තමාට විශාල බලයක් ලබා ගත හැකි බවද, ඉතා සාර්ථක ජීවිතයක් ළඟා කර ගත හැකි බවද විශ්වාස කෙරේ.
හින්දු ආගමික විශ්වාසය අනුව මෙම දේවාලය පිහිටි ස්ථානයේ කවුමාසුර නම් අසුරයෙකු ජීවත්ව ඇත. ඔහුගේ් ඇති බලය ඔහු ශිව දෙවියන්ගෙන් ලබාගෙන ඇති අතර, එම බලයෙන් ඔහු දෙවිවරුන්ද මර්දනය කර ඇත. මෙම අසුරයාගේ ආයුෂ අවසාන වෙමින් පවතින විට ඔහු ශිව දෙවියන්ගෙන් වරයක් ඉල්ලා දුෂ්කර ව්‍රතයක යෙදී ඇත. ශිව දෙවියන් ඔහුට අවශ්‍ය වරය කුමක් දැයි ඔහුගෙන් විමසන විට සරස්වතී දේවිය ඔහුට කතා කිරීමට නොහැකි වන සේ ඔහු ගොළු කර ඇත. එතැන් සිට එම අසුරයා මුකාසුර වශයෙන් හඳුන්වා ඇති අතර, ඔහුට කිසි බලයක් නැති විය. එම අවස්ථාවේ දුර්ගා දේවිය අනිත් දෙවිවරුන්ගේ බලය ද යොදා අසුරයා මරා දමා ඇත. එදින සිට දුර්ගා දේවිය මූකම්බිකා යන නමින් ප්‍රසිද්ධ වී ඇත. මූකම්බිකා දේවාලය තනා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 800 දී පමණය.
මෙම දේශපාලනඥයා මූකම්බිකා දේවාලය පිහිටා තිබෙන කොල්ලුර් නම් ප්‍රදේශයට පැමිණ ඇත්තේ හෙලිකොප්ටරයකිනි. එතැන් සිට කිලෝමීටර් පහළොවක් පමණ ඈත පිහිටි අමුත්්තන්ගේ නිවාසයකට මෝටර් රථයකින් ගොස්, ඉන්පසු මූකම්බිකා දේවාලයට ගොස් ඇත. දේවාලයේ ඇතුළු වීමේ දොරටුුව අසල දී ‘පූර්ණ කුම්භ’ නමැති සාම්ප්‍රදායික ක්‍රමයට පිළිගෙන දේවාලයට කැඳවාගෙන ගොස් ඇත. එහිදී මූකම්බිකා දෙවඟන වන්දනා කර ‘චන්දිකා හෝම’ නමැති පූජාවක යෙදී ඇත. මෙම පූජාවේදී දුර්ගා දේවිය වර්ණනා කරන මන්ත්‍රය 700 ක් පමණ කියවන අතර, ගිනි පූජාවක් කරනු ලැබේ. මෙම ගිනි පූජාවේදී ධාන්‍ය වර්ග නවයක් ද, ගිතෙල් ද මන්ත්‍ර කියමින් ගින්නට දමනු ලැබේ. වෙනත් පූජා ද්‍රව්‍ය ද ගින්නට දමනු ලැබේ. ඉන්පසු ‘මංගලාට්ටි’ නම් දෙවියන්ගේ භක්ති ගීත ගායනයක ද යෙදී ඇත.
සාමාන්‍ය ජනයා දේවාලය වෙත ගොස් දෙවියන්ට පූජා පවත්වන්නේ ඔවුන්ගේ් යම් යම් අවශ්‍යතා ඉටු කර ගැනීමට එම නොපෙනෙන අයගෙන් හෝ යම් පිළිසරණක් ලැබේ යැයි විශ්වාස කිරීම නිසාය. මේ අවශ්‍යතා නම්
රැකියාවක් ලබා ගැනීමට, දරුවා විභාගයකින් සමත් කරවා ගැනීමට, යම් රෝගයක් සුව කර ගැනීමට, නඩුහබවලදී පිහිටක් ලබා ගැනීමට, වාහනය අනතුරුවලින් ආරක්ෂා කර ගැනීමට, රැකියාවේ උසස් වීමක් ලබා ගැනීමට, දරුවන් ලැබීමට වැනි දේ බව පෙනේ. එහෙත්, මේ කිසිම අවශ්‍යතාවක් නැති අප රටේ ප්‍රබල දේශපාලනඥයෙකු ඉන්දියාවට ගොස් දේව පූජා පවත්වා කරන්නේ කවර ඉල්ලීමක් දැයි නොදනිමු.
හින්දු ආගමේ ආදි කාලයේ පැවති දෙවියන් පිදීමේ දී සත්ත්ව බිලි පූජා පවත්වා ඇති අතර, පසුව අවිහිංසාව පතුරුවන ජෛන ආගමේ බලපෑම නිසා බිලි පූජාව වෙනුවට පලතුරු පූජා කිරීම යොදා ගෙන ඇත. ගිනි දෙවියන්ට පූජා පැවැත්වීමට ද ගින්නට ධාන්‍ය වර්ග දැමීම යොදා ගෙන ඇත. බ්‍රාහ්මණයන්ගේ විශ්වාස මත ගොඩනැගී ඇති හින්දු ආගම ලොව සෑම දේම නිර්මාණය කළේ බ්‍රහ්ම නම් දෙවියෙකු විසින් බවද, එම දෙවියන්ගේම
විශේෂ අවස්ථා නම් ශිව, විෂ්ණු සහ ශක්ති (දේවි) යන ප්‍රධාන දෙවිවරුන් බවද සැලකේ. ශක්ති හෙවත් දේවි වශයෙන් හැඳින්වෙන බලවේගයේ දරුණු අවස්ථාව කාලි දේවී ලෙසද එතරම් තදබල ලෙස දරුණු නොවන එහෙත් තම අනුගාමිකයන් ආරක්ෂා කරන අවස්ථාව ලෙස දුර්ගා දේවිය සැලකේ. ඇයගේ වාහනය කොටියෙකි. මූකම්බිකා දේවාලය ඇගේ දේවාලයයි. එම නිසා මේ දේවාලයට යමෙකු යන්නේ යම් කරුණක් නිසා තමාට කරදරයක් හෝ විපතක් වේ යැයි බියට පත්ව එයින් ආරක්ෂා කර දෙන ලෙස දුර්ගා දේවියගෙන් ඉල්ලීමට යයි සිතිය හැකිය. නැතහොත්, මේ රටේ ප්‍රශ්න විසඳා දෙන ලෙස ඉල්ලීමටය. බෞද්ධ දර්ශනය අනුව මනුෂ්‍යයාට උපකාර කළ හැකි හෝ විපත් කළ හැකි කිසිම දේව වර්ගයක් හෝ නොපෙනෙන බලවේගයක් හෝ නොමැත. මෙයට අවුරුදු දෙදහස් පන්සීයකට වඩා පෙර කාලයක දී එකල ඉන්දියාවේ පැවති දේවවාදයට එරෙහි වූ දහමක් වන බුදු දහම අද ලංකාවේ කොතරම් දේවවාදයට නැඹුරු වී ඇත්ද යනු බෞද්ධයෙකු ලෙස හඳුන්වා ගන්නා දේශපාලනඥයෙකු ඉන්දියාවට ගොස් දෙවියන් යැදීමට නිියමිත වස්ත්‍රවලින් ද සැරසී දේව පූජා පවත්වා යාඥා කිරීමෙන් පැහැදිලි වේ.
අද ලංකාවේ පවතින විහාරස්ථාන සංඛ්‍යාව වන 10,920න් සියයකට අනූවකටත් වඩා වැඩි ප්‍රමාණයක දේවාල පිහිටා ඇත. දෙවියන්ට යාඥා කිරීමට සමහර විහාරස්ථානවල සිටින්නේ කපුවන් නොව භික්ෂූන්ය. ධර්ම දේශනා කරන විටද, ප්‍රථමයෙන් දෙවියන්ට ආරාධනා කරන භික්ෂූහු ධර්ම දේශනාව අවසානයේ දී දෙවියන්ට පින් දීම ද කරති. විවිධ බල සහිත දෙවි දේවතාවුන් පිළිබඳ කතා ධර්ම දේශනාවලදී ඉදිරිපත් කරමින් දේවවාදය බෞද්ධයන් තුළ තහවුරු කරති. එම නිසා දෙවියන් පස්සේ දුවන සාමාන්‍ය ජනයා ද, දේශපාලනඥයන්ද ඉන් මුදා ගැනීමට පෙර කළ යුතු වන්නේ බෞද්ධ ධර්මය භික්ෂූන්ට ඉගැන්වීම යැයි සිතමි.
කලින් රජයේ සිටි ප්‍රබල දේශපාලනඥයන් දේව විශ්වාස, යන්ත්‍ර මන්ත්‍ර, ජ්‍යෝතිෂ්‍ය වැනි මිථ්‍යා විශ්වාසවල ඇලී ගැලී සිටින බවට චෝදනා කර ඒවා ඉවත් කිරීමට බලය ඉල්ලා, බලයට පැමිණි පසු කලින් සිටි අයටත් වඩා ප්‍රබල ලෙස මේ අය එම මිථ්‍යා විශ්වාසවලම ඇලී ගැලී සිටිති.
මෙම මිථ්‍යා විශ්වාස නිසා සිදු වන්නේ මේ අය රටේ පවතින ප්‍රශ්න විසඳීම ද දෙවියන්ට බාර කිරීමය. දෙවියන්ගේ පිහිට පතන අයට මෙහි වරදක් නොපෙනෙනු ඇත. රටවැසියෝ විවිධ අවශ්‍යතා සඳහා දේව පූජා පවත්වා මෙරට දෙවියන් යදිති. රටේ නායකයෝ රටේ ප්‍රශ්න විසඳන ලෙස ඉල්ලා ඉන්දියාවට ගොස් ඉන්දීය දෙවියන්ට පුද පූජා පවත්වති. රටේ අනාගතය කෙසේ වේද?


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය