එළියට එන සැඟවුණු කුණු සහ බලයක් නැති ඇමතියෝ

samasn
මව්බිමේ උස් නිදහස වෙනුවෙන් අවි එසවේ…
January 2, 2018
dilantha
කටින් නොව, හදවතින් රටේ නම ලකුණු කළ ඩිලන්ත
January 2, 2018
Show all

එළියට එන සැඟවුණු කුණු සහ බලයක් නැති ඇමතියෝ

namal rajapakfdg

පැවැති පවුල් පාලන සමයේ දී මෙන්ම පවතින හවුල් පාලන සමයේදී ද වංචා, දූෂණ, අක්‍රමිකතා, සොරකම්, ගසාකෑම් ආදියෙන් කිසිදු අඩුවක් නොමැත. ඇතැම් අවස්ථාවල දී පැවති රාජපක්ෂ පාලන සමයටත් වඩා ඒවා නතර කරනවා යැයි ජනතාවට දහසක් පොරොන්දු දී බලයට පැමිණි රනිල් – මෛත්‍රී පාලන සමයේ දී වංචා, දූෂණ ඉහවහා ගොස් ඇති බව ඔවුන්ගේ කියුම්, කෙරුම්වලින් පැහැදිලි වේ. මහ බැංකු බැඳුම්කර වංචාව ඉන් එකක් පමණි. මේ නිසාම පැවති පාලන සමයේ දී මහා පරිමාණයෙන් වංචා, දූෂණවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ දූෂිතයෝ බොහෝ දෙනෙක් මේ වන විට මෙම රජයේ වංචා, දූෂණ උලූප්පා දක්වමින්, තමන් සුද්ධවන්තයන් වීමට උත්සාහ කරමින් සිටිති. ‘ටොප් ටෙන්’ නමින් නාඩගමක් අටවාගෙන මාධ්‍ය සංදර්ශන පවත්වන හිටපු ක්‍රීඩා ඇමති, මහින්දානන්ද අලුත්ගමගේ ද ඉන් එක් අයෙකි. මාධ්‍ය ඉදිරියේ කුමන නරිනාටක රඟදැක්වුව ද, තමන් විසින් කරන ලද වංචා, දූෂණ වසා ගැනීමට නොහැකි බව නැවත වතාවක් අවධාරණය කළ යුතුව ඇත. පසුගිය සමයේ දී ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදු වූ දූෂණ, අක්‍රමිකතාවලට රාජපක්ෂ පවුල, ඔවුන්ගේ චක්ගෝලයන් මෙන්ම  ඔහු ද වගකිව යුතුය.
වර්ෂ 2018 දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා පැවති රාජපක්ෂ පාලන සමයේ දී අසාර්ථක උත්සාහයක් දැරූ බව මෙරට ජනතාවට රහසක් නොවේ. මෙම ක්‍රීඩා උලෙළ ලබා ගැනීම සඳහා ලංසු තැබීමට මෙන් ම විදි සංදර්ශන (Road Show) පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු බොහෝ දෙනෙකු රජයේ මුදල් භාවිත කොට සුරූපී නිළියන් ද සමඟ රට සවාරි ගැසූ බවද මෙරට ජනතාව හොඳින් දනිති. මොකක් දෝ රටේ වාසනාවකට එම ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ලබා ගැනීමට ඔවුනට නොහැකි විය. එහෙත්, ඒ සඳහා ඔවුන් විසින් නාස්ති කරන ලද්දේ රජයේ මුදල්ය. පසුගිය දිනක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී මේ ගැන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් විමසූ ප්‍රශ්නයකට ඔහු විසින් ලබා දුන් පිළිතුරත් සමඟ මෙහි සැඟ වී තිබූ තවත් කුණුගොඩවල් රැසක් එළියට පැමිණ තිබේ.
මෙම තරගාවලියට අදාළ ලංසු ක්‍රියාවලියට අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීමට සහ අනෙකුත් කටයුතු සකස් කිරීමට සී.ඩබ්ලිව්.ජී. හම්බන්තොට 2018 (පෞද්ගලික) සමාගම නමින් සමාගමක් පිහිටුවා එනමින් ජංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් යෙදවා ස්ථාවර තැන්පතුවක් ද පවත්වාගෙන ගොස් ඇත. මෙම ජංගම ගිණුම 2010 නොවැම්බර් මස 24 වැනි දින ආරම්භ කර ඇති අතර, සමාගමේ උපදෙස් පරිදි 2015 මැයි මස 29 වැනි දින වසා දමා ඇත. ස්ථාවර ගිණුම 2012 ජුනි මස 06 වැනි දින ආරම්භ කර ඇති අතර, එය පවත්වාගෙන ගොස් දින හතක් පමණි. ජානක ප්‍රියන්ත කුමාර රත්නායක, ආචාර්ය රාණි ජයමහ, අනිල් නලින් ආටිගල, සිරිසේන ලියනගම, ආචාර්ය නාලක ගොඩහේවා, උදය රංජිත් සෙනෙවිරත්න, මහින්ද කුමාර ප්‍රනාන්දු, ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ යන අය මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ බලයලත් අත්සන්කරුවන් ලෙස කටයුතු කර ඇත. පැවැති රාජපක්ෂ පාලන සමයේ දී බොහෝ මූල්‍ය ජාවාරම්වලට බළල් අතක් සේ යොදා ගත් පුද්ගලයකු ද මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටී. නාමල් රාජපක්ෂලාට කොටස් වෙළෙඳපොළට රිංගාගෙන එය ද තමන්ගේ පෞද්ගලික බූදලයක්සේ තම කටයුතුවලට යොදා ගන්නා ලද්දේ මෙම පුද්ගලයා ශ්‍රී ලංකා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ සමයේදීය.
මෙම සමාගමට ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලික සමාගමෙන් රුපියල් මිලියන 10ක්, මොබිටෙල් පෞද්ගලික සමාගමෙන් රුපියල් මිලියන 05ක්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් රුපියල් මිලියන 07ක්, ශ්‍රී ලංකා නාවික හමුදා කී්‍රඩා අරමුදලින් රුපියල් ලක්ෂ තුනක්. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් රුපියල් මිලියන 08ක් සහ අවස්ථා තුනක දී ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 45ක් ආදී වශයෙන් රජයේ මුදල්වලින් රුපියල් මිලියන 190කට වැඩි මුදලක් ලබා දී ඇත. මෙයට අමතරව පෞද්ගලික සමාගම් කිහිපයකින් ද මේ සඳහා මුදල් ලබා දී ඇත. ඒ අනුව මෙම සමාගමට ලබා දී ඇති සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 700 ඉක්මවයි.
මෙහි වඩාත් ශෝචනීයම කාරණය වන්නේ එවැනි ක්‍රියා සඳහා රටේ දුප්පත්, අසරණ ජනතාවගේ සුභසාධනය සඳහා පිහිටුවා ඇති ජනාධිපති අරමුදලින් ද මුදල් ලබා තිබීමය. ජනාධිපති අරමුදලින් සාමාන්‍ය පුද්ගලයකුට අසාධ්‍ය රෝගයක් සඳහා දෙනු ලබන රුපියල් ලක්ෂ දෙකක පමණ මුදල ලබා ගැනීම සඳහා එම පුද්ගලයා රටේ නැති ලියකියවිලි ද රැගෙන කී වතාවක් ජනාධිපති කාර්යාලයට බඩගෑ යුතු දැයි මේ රටේ ජනතාව හොඳින් දනිති. එහෙත්, මෙරට දේශපාලකයන්ට ඔවුන්ගේ පවුල්වල අයට මෙන්ම ගෝලබාලයන්ට ද පොඩි දේටත් ප්‍රතිකාර ගැනීමට මෙන්ම මෙවැනි සංදර්ශන පැවැත්වීමටත් ජනාධිපති අරමුදලින් මිලියන ගණන් මුදල් ලබා දීම සැබැවන්ම ඛේදවාචකයකි.
මෙම සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් කබීර් හෂීම් අමාත්‍යවරයා විසින් එල්ල කරනු ලබන චෝදනාවලට පිළිතුරු ලෙස හිටපු මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, මෙසේ සඳහන් කර ඇත.
‘මෙම ලංසුවේ කටයුතු පහසු කරවන ලෙසටත්, තීරණ ගැනීමේ ක්‍රමවේදයට සහායක් වන ලෙසටත් ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල්ගේ සම සභාපතිත්වයෙන් යුත් සංවිධායක කමිටුවක් ස්ථාපනය කිරීමටත්, ලංසුවේ අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමට, ක්‍රීඩා උලෙළ සංවිධානය කිරීමට මෙන්ම එහි ප්‍රචාරණය සඳහා අවශ්‍ය මුදල් එකතු කර ගැනීම ආදී කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් සීමාසහිත සී. ඩබ්ලිව්. ජී. හම්බන්තොට (පෞද්ගලික) යන සමාගමක් ස්ථාපනය කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. පසුව මෙම සංවිධායක කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්ෂක ප්‍රධානීන්, ක්‍රීඩා ක්ෂේත්‍රරයේ ප්‍රධානීන් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් සම්බන්ධ වුණා. ඒ වාගේම මේ සඳහා රාජ්‍ය අංශයෙන්, පෞද්ගලික අංශයෙන් මෙන්ම පොලිය වශයෙන් ලබා ගත් මුදල් ද සමඟ මිලියන 700කට ආසන්න මුදලක් උපයාගෙන තිබුණා. මෙම ගනුදෙනු කේ.පී.එම්.ජී. විගණන සමාගම විසින් විගණනය කරනු ලැබුවා. කිසිදු මුදලක් අයථා ලෙස භාවිත කළා කියලා එම විගණන වාර්තාවේ නැහැ. ඒක නිසා මෙම සමාගම කිසිදු තොරතුරක් හෝ අනුමැතියක් නැතිව මුදල් වියදම් කළා කියලා කියන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත එකක්.’
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ මෙම නිවේදනයෙන් තවත් වැදගත් කරුණු කිහිපයක් මතු වේ. මෙම ක්‍රීඩා තරගාවලියේ සංවිධායක කමිටුවේ සම සභාපතිවරයකු ලෙස ඔහු ද කටයුතු කර ඇත. සාමාන්‍යයෙන් රටක මහ බැංකුවේ අධිපති තනතුර වැනි ඉහළ තනතුරක් දරන පුද්ගලයකු මෙවැනි කමිටුවල කටයුතු කරන්නේ නැත. මෙම සමාගමේ ගනුදෙනු පිළිබඳව විගණනය කරනු ලැබුවේ කේ.පී.එම්.ජී. නම් පෞද්ගලික විගණන සමාගමක් විසින් බව ඔහුම පවසයි. ඔහුව මෙම කමිටුවට පත් කිරීමට හේතුව දැන් පැහැදිලි වේ. ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි. දක්ෂ නීතිඥවරයකු නීතියේ ඇති හිඩැස්වලින් රිංගා යන ආකාරය පිළිබඳව හොඳින් දන්නා සේම මෙවැනි තැන්වලදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඔහු හොඳින් දනී. මෙම සී. ඩබ්ලිව්. ජී. හම්බන්තොට 2018 සමාගම පිහිටුවා ඇත්තේ, අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙසය. ඒ සඳහා උපදෙස් ලබා දී ඇත්තේ, හිටපු මහ බැංකු අධිපතිවරයා ද සම සභාපතිත්වය දරනු ලබන සංවිධායක කමිටුව විසිනි. මෙවැනි සමාගමක් පිහිටු වීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, මෙම ගනුදෙනු රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනය කිරීමෙන් නිදහස් කර ගැනීමටය. පෞද්ගලික විගණන සමාගම් විසින් කරනු ලබන විගණනයන් පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විගණනයක් තරම් විශ්වාසයක් තැබිය නොහැකිය.
එමෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සමයේ දී ඉදිරිපත් කරනු ලැබූ මහ බැංකු වාර්තා පිළිබඳව ද එකල නොයෙකුත් ගැටලු සහ වේදනා මතු විය. එමෙන්ම ඔහු එම තනතුර දැරූ සමයේ දී ග්‍රික බැඳුම්කර මිල දී ගෙන සහ ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඉදිරි සුරැකුම් ගිවිසුම හෙවත් ‘හෙජින්’ ගිවිසුම අත්සන් කර රටට රුපියල් කෝටි දහස් ගණනක පාඩුවක් ද සිදු කර ඇත. මේ නිසා ඔහු විසින් කරනු ලබන මෙම ප්‍රකාශ මෙරට ජනතාව කොතරම් දුරකට විශ්වාස කරාවි දැයි සැකසහිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කබීර් හෂීම් අමාත්‍යවරයා කළ ප්‍රකාශය අවසානයේ දී සඳහන් කළ කරුණු කිහිපය පිළිබඳව ද යමක් සඳහන් කළ යුතුව ඇත. ඔහු අවසානයේ මෙසේ සඳහන් කර ඇත.
‘මෙම සමාගමේ රුපියල් මිලියන 700ක් පමණ තැන්පත් කරලා තිඛෙනවා. ඒවා වියදම් කරපු ආකාරය ගැන අද වන තුරුත් කිසිම තොරතුරක් නැහැ. අපි හැකි පමණ බැංකුවෙන් තොරතුරු ලබා ගත්තා. අපි සමාගම් රෙජිස්ට්‍රාර්ගෙන් ඉල්ලීමක් කළා මේ සමාගම ගැන තොරතුරු දෙන්න කියලා. ඒවා අපට දෙන්න බැහැ කිව්වා. මේකට රාජ්‍ය මුදල් භාවිත කරලා තිබුණාට ගිණුම් පාවිච්චි කළ ආකාරය, මුදල් ලබා ගත්තේ කවුරුන්ද? වැනි තොරතුරු අපට තිබෙන බලය අනුව ලබා ගන්න බැහැ. ඒවා ලබා ගන්න නම්, නිල වශයෙන් විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්න වෙනවා.’
ඇමතිවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශය දෙස බලන විට නම්, අපට හැඟී යන්නේ මෙම වංචා, දූෂණ පිළිබඳව සෙවීමට ඔවුන්ට ද එතරම් අවශ්‍යතාවක් නොමැති බවය. ඔහු මේ පිළිබඳව කරුණු සොයා ඇත්තේ, නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු නොදී බැරි නිසාය. නො එසේ නම්, ඔහු මේ ගැන සොයන්නේ නැත. අවම වශයෙන් මේ පිළිබඳව ඔහු දන්නේ ද නැත. මන්ද මේ සඳහා කොමිෂන් සභා පත් කිරීමට අවශ්‍ය නම්, එය කළ යුත්තේ ඔහු ද අමාත්‍ය ධුරයක් දරනු ලබන වත්මන් ආණ්ඩුව විසින්මය. එමගින් ද මේ පිළිබඳව සෙවීමට නොහැකි නම්, මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මෙය භාර දිය හැක. පැවති දූෂිත පාලනය පෙරළා දමා ජනතාව ඔවුන්ට බලය ලබා දුන්නේ ද මේවා සිදු කිරීමටය. එහෙත්, ඔවුන්ට බලය ලැබී වසර දෙකහමාරක් පමණ ගත වී ඇතත්, ඒ පිළිබඳව කටයුතු කරන බවක් නම්, දක්නට නැත. මේ නිසා මෙම ගනුදෙනු සම්බන්ධයෙන් ද ඔවුන් සකී්‍රයව කටයුතු කරාවි යැයි මෙරට ජනතාවට විශ්වාසයක් තැබිය නොහැකිය.
කෙසේ වෙතත්, රටේ මුදල් නාස්ති කර ඇත. එහෙත්, කරපු කෙනෙක් නැත. කරපු දෙයක් ද නැත. අන්තිමට මුදල් ද නැත. මෙය අපගේ ගම්බද භාෂාවෙන්ම සඳහන් කළොත්, ‘ගහපු පදයකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ’ වැනි දෙයකි.


සමන් රණවක ආරච්චි