කටින් නොව, හදවතින් රටේ නම ලකුණු කළ ඩිලන්ත

namal rajapakfdg
එළියට එන සැඟවුණු කුණු සහ බලයක් නැති ඇමතියෝ
January 2, 2018
fuf du peasis
මේ අයවැයෙන් වැඩි වාසිය ලැබිලා තියෙන්නෙ ක්‍රීඩාවේ සුපිරි පන්තියට… (සුගත් තිලකරත්න)
January 2, 2018
Show all

කටින් නොව, හදවතින් රටේ නම ලකුණු කළ ඩිලන්ත

dilantha

‘පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, තුන්වැනුවත් මගේ රට, රට පෙරට’ මේ ආකාරයේ සටන් පාඨ කියමින් දේශපාලන වේදිකාවල ගිරිය කඩාගෙන කෑ ගැසූ ව්‍යාජ දේශප්‍රේමීන් පසුගිය කාලයේ දී සුලභව දක්නට ලැබිණි. කටින් ‘රට පෙරට’ යැයි කියා කෑ ගැසුව ද, ඔවුන් ක්‍රියා කර ඇත්තේ, කුමක් පෙරට තබාගෙන දැයි මෙරට ජනතාව ඉතා හොඳින් දන්නා නිසා මේ සූදානම් වන්නේ ඔවුන්ගේ බොරු දේශප්‍රේමය ගැන කතා කිරීමට නොවේ. මොවුන් මෙන් ගිරිය පුප්පාගෙන රට පෙරට යැයි කියා ගනිමින්, කටින් බතල කොළ හිටවන ව්‍යාජ දේශප්‍රේමය නොපෙන්වුව ද, සැබෑවටම රට පෙරට තබාගෙන කටයුතු කරන පුද්ගලයකු ගැන කතා කිරීමටය. ඔහු ලංකාවේ සුපිරි මෝටර් රථ ධාවන සූර ඩිලන්ත මාලගමුවය.
1963 ජුනි 24 වැනිදා කුරුණෑගල දී උපන් ඩිලන්ත 1979 සිට මේ දක්වාම මෝටර් රථ ධාවනයේ යෙදෙමින්, අප රටට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක්ම ලබා දී ඇත. පසුගියදා ඉතාලියේ දී නිමාව දුටු 2017 ලැම්බෝගිනි Super Trofior ලෝක සූරතා තරගාවලියේ දී තෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වූයේ ලෝක මට්ටමේ දී මෝටර් රථ ධාවන ඉසව්වකින් එවැනි ජයග්‍රහණයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මීට පෙර 2016 ලැම්බෝගිනි Super Trofior  ආසියා තරගාවලියේ සූරයා බවට පත් වූයේ ද ඔහුය.
2012දී ජාතික සම්මාන උලෙළේ දී ජාතික වර්ණ සම්මානය සහ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය විසින් ලබා දෙනු ලබන ‘ඔටෝ ස්පෝර්ට්ස් ඇෂුවරන්ස්’ සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු 2016 වසරේ දී දක්ෂතම මෝටර් රථ ධාවන ක්‍රීඩකයාට හිමි සම්මානය ද ජය ගනු ලැබීය. ඔහු රටට මෙම සියලුම ජයග්‍රහණ ලබා දී ඇත්තේ, පෙරළා රටෙන් ඔහුට කිසිදු අනුග්‍රහයක් නොලැබෙන පසුබිමක් තුළ වීම විශේෂත්වයකි. අප මුලින් සඳහන් කළ ව්‍යාජ දේශප්‍රේමීන් තම ‘දරුවන්ගේ මනදොළ සපුරා දීම සඳහා රටේ මහ නාහිමිවරුන් පවා එපා’ කියද්දී රටේ මුදල් වියදම් කර ලැම්බෝගිනි කාර් ගෙන්වා ධාවන තරග පැවැත්වුවද, රට වෙනුවෙන් මෝටර් රථ ධාවනය කරමින්, රටට ගෞරවයක් ලබා දුන් ඩිලන්ත වෙනුවෙන් කිසිවක් ලබා දුන්නේ නැත. ඩිලන්තගේ ජයග්‍රහණවල වටිනාකම දෙගුණ තෙගුණ වන්නේ මේ නිසාය.
එපමණක් ද නොව තම හැකියාවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය නාමය ඉහළින්ම ඔසොවා තබන ඔහු ඉතා වටිනා සමාජ සත්කාරයක ද යෙදී සිටී. ඒ කරාපිටිය රෝහලේ ළමා හෘද ඒකකයට අවශ්‍ය වන රුපියල් මිලියන 200ක මුදලක් සෙවීමේ කාර්යයට ද ඉතා සක්‍රීයව දායක වෙමිනි.
හැකියාව, මනුෂ්‍යත්වය, නිහතමානිකම මෙන්ම සැබෑවටම රට ගැන හිතා කටයුතු කරන ඩිලන්ත ඔබ සැබැවින්ම අපේ රටට ආඩම්බරයකි.


දර්ශන දිද්දෙණිය