කොලේ ඉරාගෙන ඇගේ හලාගැනීම

අනේ දෙවියනේ මට වුණු වියෝයා
January 2, 2018
23376335_1126048780861414_2511276249383342356_n
ඔය ටැබ් එක හයියෙන් අල්ලගනින් දුවේ
January 2, 2018
Show all

කොලේ ඉරාගෙන ඇගේ හලාගැනීම

kkkkk

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියල කියමනක් අපි අහලා තියෙනවා. ඒ වගේ මේ යහපාලන ආණ්ඩුව නම් වූ විකාරරූපී පාලනයේ හො`ද සෙල්ලම් දැන් රගපාමින් තියෙනවා. පහුගියදා ජනපති මෛත්‍රී සැර කතාවක් කළා. ඒ කතාව ඇතුළේ එජාපෙ කෑ ගහන අයට පොඩි තර්ජනයක්ද තිබුණා.’කොළේ ඉරාගෙන ඇගේ හලාගෙන පස්සේ අඩන්න එපා’ කියලා කිවුවේ ඒ කාලේ හලා ගන්නේ නැතුව හොදි පැකට් ලිහන හැටි කියල දීපු ජනපතිවරයාමයි. ඒ වගේම මේ සියලු තනතුරු අතහැර දමලා දූෂණයට, හොරකමට එරෙහිව ජනතාව අතරට ගිහිල්ලා සටන් කරන කතාවකුත් කිවුවා. ඔහු දැන් කියන හැටියට තිබුණු ශ්‍රීලනිප ආණ්ඩුවේ වගේම ඒවා වළක්වන්න හා ඒ ගැන හොයන්න බාරගත් එජාපෙද හොරු ඉන්නවා. ජනපතිවරයා මේ කතාව කිවුවේ ඊට කලින් දවසක බැදුම්කර සිද්ධියේ දුරකථන ඇමතුම් ගැන කතාබහකදී සුජීව සේනසිංහ ඇමතිවරයා කිවුව කතාවකට පිළිතුරු විදිහට බව හිතාගන්න
පුළුවන්. එහිදී ජනපතිවරයා ගැන දැඩි විවේචනයක් කළ සුජීව පවසා තිබුණේ එජාපයේ ඡන්ද වලින් ජනපති බවට පත් වුණු මෛත්‍රී දැන් එ.ජා.පයට එරෙහිව ක්‍රියා කරන බවයි. ඒ වගේම බැදුම්කර කොමිසම පත් කළා වගේම ජනපතිට එරෙහිව පහුගිය කාලේ මතුවුණු යම් යම් චෝදනා ගැනත් හොයන්න කියන කාරණය ඔහු මතු කළා. ජනපතිවරයා එක්තරා මාධ්‍ය ආයතනයක අවශ්‍යතාව පරිදි මෙසේ ක්‍රියා කරන බවත් කියා තිබුණා.
දෙදහස් විස්ස වනතුරු හොල්ලන්න බෑ කියපු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක මේ විදිහට විසංවාදී වෙන්න, අභ්‍යන්තර මතවාද වැඩි වෙන්න හේතුව කුමක්ද? ප්‍රධාන වශයෙන් බැදුම්කර සිද්ධිය පිළිබද හොයන්න පත් කළ ජනාධිපති කොමිසම කවුරුත් නොහිතපු විදිහට එජාපයේ සායම දිය කරමින් සිටිනවා. මේ මහා වංචාව පිටුපස තිබුණු හොද හොද සෙල්ලම් ජනතාවට එළිදරව් වුණා. අගමැති රනිල් ළගටම ඇවිල්ලයි පරීක්ෂණය නතර වුණේ. අවසානයේ කොමිසම මොනවා ජනපතිට වාර්තා කළත්, ඒ කරුණු ගැන ජනපතිවරයා මොන තීරණය ගත්තත්, මේ මහා හොරකමට රනිල් ඇතුළු එජාපයේ ගජමිතුරු බොහෝ දෙනෙකුගේ සහාය ලැබිලා තිබෙන බව පැහැදිලියි. දුරකථන ඇමතුම් පරීක්ෂා කරමින් ඒ හා සම්බන්ධ මන්ත්‍රීවරු රැසකගේ තොරතුරු හෙළිකරන්න පොලිසිය කටයුතු කර තිබුණා. මහින්ද රාජපක්ෂලා, කබ්රාල්ලාගේ යුගයේදී බැදුම්කර හොරකම් සිදුකර තිබෙන ආකාරය දැනගත් එජාපෙ බලවතුන් පිරිසක් පහසුවෙන්ම ඒ මාර්ගයෙන්ම මුදල් උපයන්නයි උත්සාහ කළේ. මේක ටිකක් සංකීර්ණ දෙයක් නිසා ඒ ගැන පරීක්ෂණ ඇරඹුණේ නැහැ. මහින්දගේ කාලයේ සිදුවුණු දූෂණ, වංචා ටිකක් විතර අඩුවෙන් වුණත් දැනුත් කිසිම වෙනසක් නැතිව අදත් සිදු වෙනවා කියන එකත් පැහැදිලියි.
මේ සිද්ධිය හා සම්බන්ධ කොමිසම ගැන, නීතිපති දෙපාර්තමේන්තුව, සොලිස්ටර් ජනරාල්වරයා වැනි පාර්ශ්වවල හැසිරීම ගැන එජාපයට මුල සිටම දැඩි විරෝධයක් පැවතුණු බව සත්‍යයක්. එය තමුන්ට කොතරම් අවාසිදායකදැයි දැන සිටි ඔවුන් වරින් වර පාර්ලිමේන්තුවේ පවා ඒ ගැන කතා කළා. මේ කොමිසමේ හෙළිදරව් වන සියලුම දේ ජනතාව අතරට යාම ඔවුන්ට විශාල ගැටලුවක් වුණා. මුලින්ම රවී කරුණානායකට එරෙහිව එල්ල වුණු ප්‍රහාරය නිසා ඔහුට ඇමතිකම පවා අහිමිවන තැනට වැඩ සිද්ධ වුණා. ඉන් පසුව ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුට සහ අවසානයේ අගමැතිවරයාට පවා සාක්ෂි දීමට සිදුවුණා. ඒ වගේම කෝප් කමිටුව නියෝජනය කරන කිහිප දෙනෙකුට හා තවත් මන්ත්‍රීවරු රැසකටම අර්ජුන් ඇලෝසියස් දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් හෙළිවුණා. මේ තත්ත්වය තමුන්ගේ වාසියට හරවා ගැනීමට ජනපතිවරයා කටයුතු කරන බවට පෙනී ගිය බැවින් මේ වන විට එජාපෙ පිරිසක් ජනපතිවරයාගේ ඇතැම් තීරණ, තීන්දු එළිපිටම විවේචනය කරමින් ඔහුට එරෙහිව කදවුරු බදිමින් ඉන්නවා. සුජීව සේනසිංහගේ ප්‍රහාරය පිටුපස එජාපයේ බලවත් පිරිසක් ඉන්න බව පැහැදිලියි.
ඒ කොහොම වුණත් සුජීව සේනසිංහලා මේ තරම් කෑ ගහන්නේ අවංක චේතනාවෙන්දැයි සිතා බැලිය යුතු වෙනවා. ජනපති මෛත්‍රීගේ දියණිය සම්බන්ධ දැන්වීම් ආයතන සිද්ධිය, හිටපු නාවික හමුදාපතිවරයා සම්බන්ධ සිද්ධිය වැනි අවස්ථාවල ජනපති බලතල අයුතු ලෙස පාවිච්චි කරමින් දූෂණ, වංචා සිදු කර තිබෙන බවත්, ඒ ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඇත්තක්. ඒ වගේම මහින්දලාගේ දූෂණ, වංචා ගැන කතා කරමින් ඒ පාරේම ගමන් කරන්නට දගලන අය ගැනත් සොයා බැලීම ජනපතිගේ වගකීමක්. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බන්දුල ගුණවර්ධන වැනි අය බැදුම්කර පරීක්ෂණ ඉදිරියට ගෙන ගොස් දඩුවම් ලබා දීම සදහා මෛත්‍රී ජනපතිට කොන්දේසි විරහිතව සහාය දීමට ඉදිරිපත් වීම ගැනත් හිතන්න වෙනවා. කපන්න බැරි අත සිඹිනවා වගේ මේ ආණ්ඩුව ඇතුලේ මතභේද උත්සන්න වූ විට වාසිය කාටද කියලා රටට ආදරය කරන අය දෙවරක් සිතිය යුතුයි.
මේ වෙද්දී යහපාලනයේ දූෂණ, වංචාවල හඩ මහින්දලාගේ දූෂණ, හොරකම්වල හඩ පවා යටපත් කරගෙන සමාජයේ දෝර ගලා යනවා. මහින්දලා ආණ්ඩුවේ අගමැති සමග ඩීල් ගසමින්, අධිකරණ කටයුතු සදහා උපක්‍රමශීලී උගුල් අටවමින්, කාලය මරමින් යළිත් සමාජගත වී හොර නාමය මකාගෙන බලය ලබා ගන්නට උත්සාහ දරමින් ඉන්නවා. තමුන්ට යළිත් ජනපති ධුරය ලබාගත නොහැකි බව හොදින්ම දන්නා මහින්ද, ඒ කාලයේ සිදුකළ හොරකම්, වංචා හා අපරාධවලට දඩුවම් ලැබීමට ඉඩ තිබෙන බවත් දන්නවා. අද වෙද්දී මේ සේරම යට යමින් තිබුණත් නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් රාජපක්ෂ පවුලටම චෝදනා එල්ල වෙලා දඩුවම් විදින්න සිදුවෙන බව නිසැකයි. ඒ නිසාම දැන් මහින්ද උත්සාහ දරන්නේ ආණ්ඩුව අස්ථාවර කරමින්, පළාත් පාලන මැතිවරණයේදී තමුන්ගේ හයිය පෙන්නලා අගමැති හෝ විපක්ෂ නායක තනතුර ඩැහැ ගන්නයි. එහෙමත් නැතිනම් ආණ්ඩුව කඩා දමන්නයි. තමුන්ගේ ඉදිරි දේශපාලන න්‍යාය පත්‍රය සකස් කර ගැනීමට මේක ඔහුට හොද අවස්ථාවක් වෙලා තිබෙනවා.
කොහොම වුණත් මේ සේරම ගිනි පිටුපස තියෙන්නේ එක ප්‍රධාන සාධකයක්. ඒ තමා එළඹෙන පළාත් පාලන මැතිවරණය. එකට එක්වෙනවාද, දෙකට ඛෙදෙනවාද කියන කාරණය ගැන තවමත් නිශ්චිත තීරණයක් නැතිව ශ්‍රීලනිපය කල් බලද්දී, එජාපය පහසු ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොමටත් මේ මැතිවරණයේදී ජනපතිවරයා නියෝජනය කරන පාර්ශ්වයට අවාසි සහගත තත්ත්වයක් තිඛෙනවා. ඒ නිසාම විවිධ උපක්‍රම පාවිච්චි කරමින් මැතිවරණය කල් දාමින් සිටිනවා. ඒ අතරම ඔවුන්ට සටන් පාඨයක් නැහැ. ඉස්සර වගේ මහින්දගේ යුද්දෙ පෙන්නලා ඡන්දෙ ගන්නත් බැහැ. මහින්දගේ වැරදි ගැන කියලා ඡන්ද ගන්නත් බැහැ. මෛත්‍රීලාගේ පැත්තෙන් ජනතාවට වුණු ලොකු හොදකුත් නැහැ. ආණ්ඩුවේ හොද වගේම නරකත් එජාපයත් එක්ක හවුලේ දෙකට බෙදෙනවා. ඉතින් මැතිවරණයේදී අන්ත පරාජයක් ලබනවා හැරෙන්නට ඔවුන්ට තිබෙන්නේ විකල්ප දෙකක් පමණයි. එකක් මහින්දලා එක්ක එකතු වෙලා මැතිවරණයට තරග කරන එක. අනික එජාපයට පමණක් හානිදායක ආණ්ඩුවේ වරදක් මතු කරන එක. ඒ නිසා බැදුම්කර කොමිසම හරහා එජාපයට ඇතිවන අවාසිය තමුන්ගේ ජයග්‍රහණයට මාවත කරගන්න ජනපති මෛත්‍රී අදහස් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දි ජනපතිවරයාගේ නියෝජිතයන් හා මහින්දගේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.
තමුන්ගේ වාසියට රනිල් එක්ක වගේම මෛත්‍රී එක්කත් ඩීල් දමමින් සිටින මහින්ද මේ වෙද්දී ඒ සම්මුතිය හරහා ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළක්වාගෙන ඇති බවට තොරතුරු තිබෙනවා. ඒ අවිචාරවත් යුගයේදී නීතිය හා බලය, විශේෂයෙන් හමුදා බලය දරුණු විදිහට අවභාවිතා කරමින්, රටේ සියළුම අංශ හමුදාකරණය කරන්නට උත්සාහ දරමින්, සමස්ත රාජ්‍ය සේවයටම නරක පූර්වාදර්ශ සැපයූ එවකට ජනපතිටත් වඩා බලවත් ලෙස වැජඹුණු ගෝඨාභය අදත් නිරුපද්‍රිතව දේශපාලනයේ යෙදෙමින් සිටිනවා. සුදු වෑන් සම්බන්ධ ඝාතන, අතුරුදහන් වීම්, වැලිකඩ සංහාරය, මහ ජනතාවට එරෙහිව කළ වෙඩි තැබීම් හා ප්‍රහාර, වංචා දූෂණ ඇතුළු චෝදනා රැසක් එල්ල වෙන මේ පුද්ගලයාට එරෙහිව ක්‍රියා කරන්නට ආණ්ඩුවත් බය බවක් පෙන්නනවා. එදා ඇමතිවරු පවා යටපත් කරගෙන නැගී සිටි ඔහුගේ ක්‍රියා කලාපයට අද ඔහු වටේ දගලන මැති ඇමතිවරුන් පවා කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ අයෙක් තමුන්ගේ වාසිය වෙනුවෙන් ආරක්ෂා කරන තැනට අද ජනපතිවරයා වැටී තිබෙනවා.
විජයමුණිලා, නිමල් සිරිපාලලා, සුසිල්ලා, අනුර ප්‍රියදර්ශනලා වගේ බොහෝ දෙනෙකු අද දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න බවක් පේනවා. ඔවුන් මහින්දලාගේ වංචා දූෂණ ගැන කටේ කෙළ බිදක් හෙළන්නේ නැහැ. ඒ ඔවුන් පවා ඒ යුගයේ මේ බොහොමයක් වංචාවලට සම්බන්ධව සිටි නිසයි. එදා අප්පච්චි මළා කියමින් මෛත්‍රී ළගට ගියපු විජයමුණි සොයිසා අද ආයෙත් මැරුණු අප්පච්චිට පණ දෙන්න ලෑස්ති වෙනවා. පහුගියදා මාතලේ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී සිදුවුණු දේවල් විපරම් කරලා බැලුවාම මේ තත්ත්වය තේරුම් යනවා. ඒ අතර දෙපැත්තටම කකුල් තියාගෙන හිටපු අයත් මේ වෙලාවෙදි පනින පැත්ත තෝරමින් සිටිනවා. මේ තත්ත්වය වාසියට හරවා ගත්ත මහින්ද මේ වෙද්දි තමුන්ගේ කොන්දේසි ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අතර තමන් ජනපති මෛත්‍රී රැක ගැනීමට සූදානම් බවත්, එජාපයට අවැසි නම් තනිවම ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් වරෙක පවසන මහින්ද තමුන්ගේ පාර්ශ්වයේ අය හමුවේ කියන්නේ කිසිසේත්ම ශ්‍රීලනිපය හා එක්ව තරග නොකරන බවයි. තමුන්ගේ ගැලවීම වෙනුවෙන් අවස්ථාවාදී දේශපාලනයක නියැළෙන මහින්දගේ සැබෑ තත්ත්වය හදුනා ගැනීමට ඔහුගේ අන්ධ භක්තික පාක්ෂිකයන්ට මෙයට වඩා උදාහරණ අවැසි නැහැ.
ඒ කාලේ මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂලාගෙන් වාසි ලැබූ හාමුදුරුවරු කිහිප නමක් ජනපතිවරයා හමුවී ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක් වූ බවත්, දෙපාර්ශ්වයේ එකගතාවය පවත්වා ගත යුතු නිසා ජනපතිවරයා ගෝඨාභයගේ සිද්ධියට මැදිහත් වූ බවත් පෙනෙන්නට තිබෙනවා. සංඝයාගේ ඉල්ලීමට කන් දෙමින්, සිවුරට ගෞරව කිරීමට ගියහොත් රටේ නීතිය බල්ලාට යන බව කවුරුත් තේරුම් ගත යුතුයි. මේ භික්ෂුන් කියන්නේ මහා පරිමාණ හොරුන්ට නිදහසේ සිටින්නට ඉඩ දිය යුතු බවයි. එදා වැරදි කළ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පිඩු සිගා වැඩිය ඔවුන් අද ගෝඨාභය වෙනුවෙන් මැදිහත් වෙනවා. සිවුර හොරුන්ව ආරක්ෂා කරගන්න යොදා ගැනීම තරම් බුද්ධ ධර්මයට කරන අගෞරවයක් තවත් නැති බව මේ බොරු බෞද්ධයන්ට තවමත් වැටහිලා නැහැ.
පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය දි.මු. ජයරත්න ලේකම් ධුරය දරන, මහින්ද සභාපති ධුරය උසුලන පුටුව ලකුණ දරන පොදු පෙරමුණ යටතේ එක්ව තරග කරන්න සූදානම් බවට කතාවක්ද අසන්නට ලැඛෙනවා. හැරෙන හැරෙන පැත්තට එක එක කතා කියමින් මහින්ද ජනපතිට ලණුවක් දෙනවාද, ජනපතිවරයා මහින්දට කඹයක් දෙනවාද, නැතිනම් දෙදෙනාම එක්ව ජනතාව අන්දවනවාදැයි දැන්ම කියන්න බැහැ. මැතිවරණ කොමසාරිස්වරයා මේ වෙද්දී මතභේදයට තුඩු දී ඇති පළාත් පාලන ආයතන හැර අනිකුත් කොට්ඨාස අනූ තුනක මැතිවරණය තියන්න සූදානම් වෙනවා. මේ වෙද්දී මහින්දගේ පොහොට්ටු පාර්ශ්වය ඇප මුදල් පවා තැන්පත් කර ඇති බවත් ආරංචි වෙනවා. දිය යටින් ගින්දර ගෙනයමින් දෙපාර්ශ්වයම එකිනෙකාට උගුල් අටවමින් සිටිනවා. ඒ අතරේම එජාපයේ පිරිසගේ අභියෝගය හමුවේ ඔවුන් නොසිතන මොහොතක ආණ්ඩුවේ පුපුරා යාම සිදුවිය හැකියි.
එදා ජනපති ධුරයට පත්වන විගස කළ යුතුව තිබූ දේ කළා නම් මේ වන විට හැට දෙලක්ෂයක ජනතාව ඔහුව ආරක්ෂා කරන්නට පෙළ ගැසෙනු ඇති. පහුගිය කාලය පුරා ඔහුගේ දෙබිඩි දේශපාලන භාවිතය නිසා ඔහු හා එක්ව ගමනක් යාමට යහපත් අරමුණු ඇති කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ගිය හකුරට නාඩන්නේ… තියෙන හකුර රැක ගන්නේ කීවා සේ තියෙන බලය හරිහැටි පාවිච්චි කරමින් ජනතා බලාපොරොත්තු ඉටු කරන මෙහෙයුම දැන්වත් ආරම්භ කරන්න කියා ජනපති මෛත්‍රීට කීමට අපට සිදුව තිබෙනවා.


ඩී. බී. ඇල්කඩුව