මව්බිමේ උස් නිදහස වෙනුවෙන් අවි එසවේ…

23376335_1126048780861414_2511276249383342356_n
ඔය ටැබ් එක හයියෙන් අල්ලගනින් දුවේ
January 2, 2018
namal rajapakfdg
එළියට එන සැඟවුණු කුණු සහ බලයක් නැති ඇමතියෝ
January 2, 2018
Show all

මව්බිමේ උස් නිදහස වෙනුවෙන් අවි එසවේ…

samasn

1988 – 89 වකවානුව මෙරට ඉතිහාසයේ සුවිශේෂී කතාබහකට ලක්ව තිබේ. ඒ පැවති සංකීර්ණ දේශපාලන පරිසරය තුළ සිවිල් යුද වටපිටාවක් නිර්මාණය වීමත් ඒ තුළ ඉතා බිහිසුණු හා ඛේදජනක සිදුවීම් රැසක් සිදුවීමත් නිසාය. 1977 බලයට පත් එජාපය විධායක බලතල අත්පත්කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින්, ජනතාව මර්දනය කරමින් ගෙනගිය පාලනය විශාල ජනතා විරෝධයකට ලක්විය. එසේම එකී පාලනයේ පැවති ඇමෙරිකානු ගැති පිළිවෙත නිසාම අවසානයේ රට ඉන්දීය ආක්‍රමණයකට මුහුණපෑවේය. මේ සියල්ලට එරෙහිව මතු වූ ජනතා විරෝධය දේශප්‍රේමී අරගලයක් ලෙසින් වර්ධනය විය. එය බහුජන උද්ඝෝෂණ ව්‍යාපාර මෙන්ම සන්නද්ධ ක්‍රියාකාරීත්වයෙන්ද යුක්ත වූවක් බවට පත්විය. 1983 කිසිදු සාධාරණ හේතුවකින් තොරව තහනමට ලක්කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ මෙම පොදු අරගලයේ තීරණාත්මක වැඩ කොටසකට උරදී සිටියේය. රට තුළ ද්විත්ව බලයක ස්වරූපයක් පැවති අතර සටන තීව්‍ර වෙමින් පැවතුණි. මෙහි දේශප්‍රේමී අරගලයේ සන්නද්ධ පෙරමුණට නායකත්වය සැපයූවේ සමන් පියසිරි ප්‍රනාන්දුය. කීර්ති විෙජ්බාහු යන නමින් ඔහුගේ අණ ක්‍රියාවට නැගුන අතර ආණ්ඩුගැති, ප්‍රතිගාමී හා අවස්ථාවාදී පිරිස් එම නම ඇසෙන විට පවා බියෙන් සලිත වී ගියේය. වසර දෙකක් පමණ අරගලය දිග්ගැස්සුන අතර අවසානයේ පිහිසුණු රාජ්‍ය මර්දනයක් දියත්විය. නිල නොවන රහසිගත ඝාතක කල්ලි රැසක් ඒ සඳහා යොදාගනු ලැබුණි. 1989 නොවැම්බර් 13 හා ඒ ආසන්න දිනවල එවකට පැවති රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විෙජ්වීර, ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු දේශපාලන මණ්ඩලයේ කිහිපදෙනෙක් ඝාතනය කරනු ලැබීය. ඉන් පසුව යළිත් සංවිධානය වීමේදී ගොඩනැගූ දේශපාලන මණ්ඩලය තුළ නායකත්වය සදහා තෝරා පත් කරගන්නේ සමන් පියසිරි ප්‍රනාන්දුය. කීර්ති විජේබාහු නැමති අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිටියේ ඔහුය. ළමා කාලය හා ගැටවර අවදිය ගෙවා දැමූ පුද්ගලික ජීවිතයේදී ඔහු ඉතා නිහඩ සාමකාමී පුද්ගලයෙකි. දේශපාලන ජීවිතයේදී සටන් බල ඇණිවලට නායකත්වය දුන් සූර රණකාමියෙකි. එදා සිට අද දක්වාමත් ඔහු පිළිබඳව ධනපති මාධ්‍ය විසින් විකෘති කරන ලද චිත්‍රයක් මවා තිබේ. එහෙත් ඔහු සමීපව ඇසුරු කළ අය සැබැවින්ම සමන් පියසිරි යනු මාහැඟි මනුෂ්‍යත්වයේත්, ලෙන්ගතු සහෝදරත්වයේත්, තීක්ෂණ බුද්ධියේත්, එඩිතර සටන්කාමීත්වයේත්, විප්ලවීය ජීවගුණයේත් ප්‍රතිමූර්තියක් බව දනිති.
ඉල්මහ විරුවන් පිළිබඳ කතාබහ ඇති වී තිඛෙන මේ නොවැම්බරයේ ඔහුගේ වසර 32ක කෙටි වීරෝදාර ජීවිතය පිළිබඳ කතාබහ සඳහා ආලෝකයෙහි ඉඩ කඩ වෙන් කෙරේ. මේ එහි දෙවන කොටසයි…

මවගේ සහ නැගණියගේ අදහස වූයේ දිසාපති කාර්යාලයට ගොස් පෙන්ෂන් එක ලබාගැනීමටයි. එහෙත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිය. මව හා සුනිල් දිසාපති කාර්යාලයේ දී පොලිස් අත්අඩංගුවට ගන්නා අතර නිවසට පණිවිඩයක් යැවීම සදහා යමින් සිටි නැගණියද අත්අඩංගුවට ගනු ලැබුණි. මුදල් ද රාත්‍රී ආහාරයට යමක්ද රැගෙන ඔවුන් පානදුර නිවසට පැමිණිය යුතුව තිබිණි. නමුදු සියල්ල වෙනස්විය. මව, නැගණිය හා සුනිල් පොලිස් රථයක දිගු ගමනක් රැගෙන යමින් තිබිණි. පොල්රුප්පාවල්, මුහුදු තීර පසු කරමින් සෑහෙන වේලාවක් ගමන් කිරීමෙන් පසුව ඔවුන් තඹුත්තේගම පොලිසිය වෙත රැගෙන විත් තිබිණ. රාත්‍රි 8 වන විට සමන් ඇතුළු සගයන් පානදුර නිවසට පැමිණෙනු ඇත. එහිදී ඔවුන් අත්ඩංගුවට පත් වේවි යන භීතියෙන් නැගණිය හා සුනිල් බියටපත් වී සිටියහ. තිදෙනා තැන් තුනක රදවා තිබිණි. අම්මාට යම් පණිවිඩයක් දිය යුතු වුවද, ඇස පෙනෙන මානයේ සිටියද ඇයගේ පෙනීම දුර්වල බැවින් නැගණියට කිසිවක් කරගත නොහැකි විය. පැවති තත්ත්වය හමුවේ සියල්ලන් මුනිවත රැකීමට වගබලා ගත්හ. සුනිල්ට දැඩි වද බන්ධන ලබා දෙමින් ප්‍රශ්න කිරීම අරඹා තිබිණ. පොලිස් නිලධාරීන් නැගණියද රැගෙන ගොස් වධයට ලක්කොට ඇති සුනිල්ව පෙන්වමින් බිය ගන්වමින් ප්‍රශ්න කිරීම ඇරඹීය. නමුත් ඇය ක්ලාන්ත වී දිගින් දිගටම වමනය දැමීම හේතුවෙන් ඔවුන්ට කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි විය.
මේ අතර එදින රාත්‍රී 8.00ට පානදුර නිවසට පැමිණි සමන් ඇතුළු සගයන්ට නිවෙස තුළ ආලෝකයක් නොමැති වීමෙන් යම්කිසි වරදක් සිදුව ඇති බව අවබෝධ විය. වහාම ඒ ආසන්නයෙන් ඉවතට යාමට ඔවුන් කටයුතු කළේ අනතුරක සේයාවක් ඉව වැටුණු නිසාය.
මාසයක් පමණ තඹුත්තේගම පොලිස් අත්අඩංගුවේ පසුවු තිදෙනාගෙන් මව හා නැගණිය නිදහස් කළ අතර සුනිල් තව කලක් රදවා ගනු ලැබිණි. මේ කාලය වන විට රාජාගේ සම්බන්ධය දුරස් වූ අතර නැගණියගේ හා රාජාගේ ප්‍රේම සබඳතාවයද දුරස් වී ගියේය.
1987 අප්‍රේල් 15දා පල්ලෙකැලේ හමුදා කඳවුරට නාඳුනන තරුණ පිරිසක් ප්‍රහාරයක් එල්ල කළ අතර T – 56 අවි 12ක්ද සබ්මැෂින් තුවක්කු 07ක්ද පැහැරගනු ලැබුණි. 1987 ජුනි 07 වෙනිදා කොතලාවලපුර ආරක්ෂක හමුදා ඇකඩමියටත්, කටුනායක ගුවන් හමුදා කඳවුරටත් මෙවැනිම ප්‍රහාර දෙකක් එල්ල වූ අතර ඒවායින් අවි ආයුධ පැහැරගන්නා ලදී. ගොඩනැගෙමින් යන දේශප්‍රේමී සන්නද්ධ අංශ ක්‍රියාකාරීත්වය සඳහා මෙසේ සූදානම් වන බව දක්නට ලැබුණි.
1987 අප්‍රේල් මාසය වන විට සමන් පියසිරිගේ නැගණිය තවත් අත්‍යවශ්‍ය හා භාරදූර කටයුත්තක් සදහා හපුතලේ ප්‍රදේශයට පිටත් කර හැරියේ සමන් විසින්මය. ඒ රහස්‍යභාවය හා විස්වාශනීයත්වය අතිශයින්ම වැදගත් වූ යුගයකි. එම සුවිශේෂී කටයුත්ත වූයේ රෝහණ විෙජ්වීර සහ පවුලේ අය නතරවී සිටි ස්ථානයේ වැඩ කටයුතු සඳහාය.
1987 ජුලි මස අවසානයේ ඉන්දු ලංකා රට පාවා දීමේ ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධ විරෝධය පදනම් කරගෙන රටපුරා නැගෙමින් පැවති ආණ්ඩු විරෝධය ගුණාත්මක පියවරකට අවතීර්ණ විය. ආණ්ඩුවේ අත්තනෝමතික ගමනට හා ඉන්දියාව හමුවේ රටේ ස්වෛරීභාවය පාවාදීමට එරෙහිව ප්‍රගතිශීලී දේශප්‍රේමී බලවේග එකම සංවිධානාත්මක පෙරමුණකට ගොනු වූහ. ඒ අනුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිහිවිය. එය උද්ඝෝෂණ පෙරමුණක් මෙන්ම සන්නද්ධ ව්‍යාපාරයක් ලෙසද රටපුරා ජනතාවගේ ආකර්ෂණය දිනා ගත්තේය. ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉංදීය හමුදා ලංකාවට පැමිණි අතර පළාත් සභාද පිහිටවනු ලැබුණි. ඉන්දීය ආක්‍රමණයට පක්ෂපාතීව ආණ්ඩුව හා එහි වරදාන ලැබූ කණ්ඩායම් දේශද්‍රෝහීන් ලෙසද, ඉන්දීය ආක්‍රමණයට හා රට පාවාදීමට එරෙහි බලවේග දේශප්‍රේමීන් ලෙසද හඳුන්වමින් පැහැදිලි බෙදුම් රේඛාවක් නිර්මාණය වෙමින් පැවතුණි. උද්ඝෝෂණ ගිනියම් වෙමින් වැඩීගිය අතර සන්නද්ධ අරගලයද ඊට සමගාමීව ව්‍යාප්ත විය. මේ තත්ත්වය විසින් රට තුළ ද්විත්ව බලයක් නිර්මාණය කරමින් පැවතුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නියෝගයන් පාලකයන් බියෙන් වෙව්ලුවා දැමූ අතර ඒවායේ වගකීම භාරගනු ලැබ තිබුණේ කිර්ති විෙජ්බාහු යන නමින් නියෝග හා නිවේදන නිකුත් කළ පුද්ගලයෙකි. මේ කීර්ති විජේබාහු යනු ඉතාම නිහතමානී, මානව දයාව පිරී ඉතිරුනු පුද්ගලයෙක් බව දැන සිටියේ සමන් පියසිරි නම් වූ ඒ සුවිශේශී පුද්ගලයා ඇසුරු කළ අය පමණි.
මේ කාලය වන විට යුද විද්‍යාව පිළිබඳ පුළුල් හැදෑරීමකට සමන් යොමුව සිටි අතර ලොව විවිධ රටවල ඒ සම්බන්ධ පළ වූ පොත්පත් හා සඟරාවල විශාල එකතුවක් ඔහු සතුවිය. ඇතැම් ඒවා කියවා ගැනීමට ඔහුට කාලවේලාවන් මදි වූ විට ඊට ගැලපෙන සගයකුට කියවීමට ලබා දී ඔහු ලවා ඒවා සාරාංශ ගත කරගත්තේය. අවි ආයුධවල විකාශනයත්, ඒ වන විට භාවිතා වූ දියුණුම අවි ආයුධ පිළිබඳවත් ඔහු හැදෑරුවේය. යුදවිද්‍යාව පිළිබඳව ඔහුට පැවති අවබෝධය කෙතරම්ද යන්න පැහැදිලි වන එක් නිදසුනක් මෙසේය. පනාගොඩ හමුදා කඳවුරෙන් අවි පැහැරගැනීම සඳහා ප්‍රහාරයක් සැලසුම් කෙරෙමින් පැවතුනි. ඊට පෙර දිනයක සමන් පියසිරි හිතවත් හමුදා නිලධාරියකු සමග කඳවුර තුළට ගියේය. එම නිලධාරියා එහි ඇති ආරක්ෂක පිළිවෙළ පෙන්වමින් සමන්ව කඳවුරේ තැනින් තැනට රැගෙන ගියේය. එහිදී එක් තැනක පිහිටි ආරක්ෂක මුරපොළක් පෙන්වීමට එම නිලධාරියාට අමතක විය. ඒ අවස්ථාවේ සමන් එම නිලධාරියාගෙන් ‘මේ හරියේ අදාළ මට්ටමද සඳහන් කරමින් එම මට්ටමේ මුරපොලක් තියෙන්න ඕන නේද?’ යනුවෙන් විමසා තිබේ. එවිටම තමාට පෙන්වීමට මගහැරුනු අදාළ මුරපොළ නිලධාරියා විසින් සමන්ට පෙන්වා තිබේ. සමන්ට ඒ පිළිබඳ පැවති අවබෝධය පිළිබඳව ඒ හමුදා නිලධාරියා විමතිය පළකර තිබුණි.
දේශප්‍රේමී සන්නද්ධ බලකායන් ගොඩනැගීමට අවශ්‍ය පුහුණුවීම් සිදුකිරීමට ආරක්ෂාව සහිත තැන්වල පුහුණු කඳවුරු පවත්වන ලදී. මෙම ඒකක සඳහා තෝරාගනු ලැබුණේ අධ්‍යාපනය අවශ්‍ය මට්ටමක් දක්වා සම්පූර්ණ කරන ලද, එමෙන්ම ක්‍රියාකාරීත්වය තුළ ඒ අයගේ ගුණාංග පිළිබඳව යම් කාලයක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවය. මෙම පුහුණු කඳවුරු බොහෝ විට සිංහරාජය, ශ්‍රී පාද අඩවිය, සියඹලාණ්ඩුව, ආදී කැලෑබද විවිධ ස්ථාන වල පැවැත්වුණි. මෙසේ පුහුණුව ලබාදුන් අය සඳහා මිලිටරි පුහුණුව පමණක් නොව සමාජ ආර්ථීක දේශපාලන කරුණු සහ දර්ශනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක්ද ලබාදෙන ලදී. මෙම පුහුණු කඳවුරු අධීක්ෂණය කිරීම සිදුකළේ සන්නද්ධ අංශ ප්‍රධානියා ලෙස සමන් පියසිරිය. බොහෝ විට මේවා ආරම්භ කිරීමටත් අවසන් කිරීමටත් ඔහු සහභාගී විය. මෙසේ පුහුණුව අවසන් කරන ලද සන්නද්ධ බලකායන් 71 මෙන්ම 87, 88 සමයේ ජීවිත පරිත්‍යාග කරන ලද අයගේ හා ජාතික වීරයන්ගේ නම්වලින් හඳුන්වන ලදී. රංජිත් පරාක්‍රම බළකාය (කොළඹ), කමල බන්දු බළකාය (ගාල්ල), සුසිල් වික්‍රම බළකාය (මාතර), ගුණසේන වර්ණපටබැඳි බළකාය (හම්බන්තොට), කරුණාරත්න බළකාය (කළුතර), කැප්පෙටිපොල බළකාය (නුවර), මුනිදාස බළකාය (මාතලේ), පත්මසාර බළකාය (අනුරාධපුරය), විමලරත්න බළකාය (ත්‍රිකුණාමලය), නිමල් බාලසූරිය බළකාය (ශිෂ්‍ය), කුඩහපොල බළකාය (භික්ෂු) ආදිය මෙයට උදාහරණ වේ.
ගොඩනගන බළකායන් සඳහා ප්‍රමාණවත් අවි ආයුධ සපයා ගැනීම මීළඟ ප්‍රධාන අභියෝගය විය. ඒ සඳහා කළයුතු වන්නේ අවි ආයුධ සහිත තැන්වලින් ඒවා ලබා ගැනීමය. හමුදා කඳවුරු හා පොලිස් ස්ථාන වලට ගොස් ඒවා ලබාගැනීමට සිදු වූයේ මේ තත්ත්වය තුළය. මුලින් සඳහන් කළ පල්ලෙකැලේ හා කටුනායක කඳවුරුවලටත් කොතලාවල ආරක්ෂක පිඨයටත් ප්‍රහාර එල්ල කොට අවි පැහැරගත්තේ ඒ අනුවය. ඉන් පසුව 87වසරේ ඔක්. 04 ත්‍රිකුණාමලයේ කල්ලාර් හමුදා කඳවුර, 88 වසරේ ජනවාරි 08 හොරණ ග්‍රාමාරක්ෂක පුහුණු කඳවුර, 88 අප්‍රේල් 22 කටුනායක ගුවන් හමුදා කඳවුර (දෙවන වරට), 88 නොවැ. 01 පන්නල ජාතික සහායක බළකා පුහුණු කඳවුර, ආදියට ප්‍රහාර එල්ල කොට අවි පැහැරගැනීම් සිදුවිය.
ඊට අමතරව කහවත්ත, පාදුක්ක, මඩොල් සිම, ගොතටුව, මොරටුමුල්ල, බම්බලපිටිය, රාගම, මට්ටක්කුලිය, කිරුළපන, පිටිගල, හොරණ, සපුගස්කන්ද, කතරගම ආදී පොලිස් ස්ථාන රැසකටද ප්‍රහාර එල්ල කොට අවි ආයුධ
පැහැරගන්නා ලදී. මෙම ප්‍රහාර ආරක්ෂක අංශ ඉලක්ක කරගත් ඒවා නොවූ නිසා එම මෙහෙයුම්වලදී හමුදා සෙබලුන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ ජීවිත හානි සිදුවූයේ අවම වශයෙනි. මෙම ප්‍රහාරය සහ මෙහෙයුම්වලදී ඒවාට සහභාගී වූ සටන් සගයන් කිහිප දෙනෙක්ද සිය ජීවිත ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී. තවත් පිරිසක් තුවාල ලැබූහ.
1986 වසරේ සිටම පක්ෂ ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගෙන රටපුරා බන්ධනාගාරගත කොට සිටියහ. ඔවුන් නිදහස් කරගැනීමද ප්‍රමුඛ අවශ්‍යතාවයක් විය. මේ අනුව අනුරාධපුර, මහර, මීගමුව, පැලවත්ත, බෝගම්බර, බදුල්ල හා කොළඹ මැගසින් යන බන්ධනාගාරවලට ප්‍රහාර එල්ල කොට අත්අඩංගුවේ රඳවාගෙන සිටි විශාල පිරිසක් නිදහස් කරගැනීමට දේශප්‍රේමී සන්නද්ධ බලකායන් සමත් වූහ. එසේ නිදහස් කරගත් මුළු පිරිස 568ක් ලෙස වාර්තාවල සඳහන් වේ. මෙහිදී කොළඹ බොරැල්ලේ පිහිටි මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් 221ක් මහ දවාලේ නිදහස් කරගැනීම විශ්මයජනක මෙහෙයුමක් විය. ජවිපෙ නායකයන් හා ක්‍රියාකාරීන් රැසක් මෙමගින් මුදාගනු ලැබුණි.
මේ අතර 1988 අගෝස්තුවේ පමණ සමන්ගේ නැගණිය යළි කොළඹට ගෙන්වාගනු ලැබුණි. නුගේගොඩ ප්‍රදේශයේ ඇනෙක්සියක ඇයද තවත් සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක්ද සමන්ගේ මවද නතර කරනු ලැබුණි.
ඒ වන විට රාජා සෙරන්ඩිබ් ට්‍රස් ආයතනයෙහි ශෙයාර් බ්‍රෝකර්වරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. සමන්ට මේ කටයුතු සඳහා ඔහුගේ උදව්වද ලැබුණි. මේ කාලය වන විට පක්ෂය වෙත සෑම අතින්ම මර්දනය ගලා එමින් තිබිණි. ආරක්ෂාකාරීව ජීවත්වීම විශාල ගැටලුවකි. රාත්‍රිය ගත කිරීමට හා අමතර කාලය ගෙවා දැමීමට තිබුණු ආරක්ෂක ස්ථාන එකිනෙක අනාවරණය වෙමින් පැවතිණි. නුගේගොඩ එක්වත්ත ඇනෙක්සිය ඉඳහිට එහි පැමිණෙන සමන්ට ආරක්ෂාව සපයන තැනක් විය.


ජී. උපුල් කුමාරි
තවත් කොටසක් ලබන සතියේ…