රිදී බැඳි ඇල්ලේ ටී.බී.ගේ ඉඩම් කොල්ලේ

කාටූන් 10
2017/12/31
January 2, 2018
අනේ දෙවියනේ මට වුණු වියෝයා
January 2, 2018
Show all

රිදී බැඳි ඇල්ලේ ටී.බී.ගේ ඉඩම් කොල්ලේ

idam kollaya

මේ මහ පොළොව අපගේ මාතාවය. මිහිමත පවතින ගංගා, ඇළදොළහි ගලා යන ජලය අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයය. අපගේ භූමිය ඔබලාට විකුණන මෙන් ඉල්ලා සිටියද මේ බිමට මිලක් නියම කරනුයේ කෙසේද යන්න මම නොදනිමි. යනුවෙන් රතු ඉන්දියානු ගෝත්‍ර නායක සියටල් ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වන ෆ්‍රැන්කලින් පියර්ස්ට දන්වා යැවීය.
මෙරටට පැමිණි මිහිඳු හිිමියන්ද මේ හා සමානම අදහසක් දෙවන පෑතිස් රජුට ඉදිරිපත් කරනු ලැබීය. එහි මුඛ්‍ය අරමුණ වනුයේද මේ මිහිමත වෙසෙන කුරා කුහුඹුවාගේ පටන් සියලු සත්ත්වයන්ට මේ බිම අයත් බවය.
වසර 2300ක් ඉක්මවන කාලයක් පුරා මෙරට ප්‍රධාන ආගම වනුයේ බුද්ධාගමය. ජනගහනයෙන් විශාල කොටසක් බෞද්ධයෝය. ඒ හේතුවෙන්ම මෙරට බලයට පත්වන බහුතරයක් මහජන නියෝජිතයෝ ද බෞද්ධයෝය.
‘බලයට පත් වන විට මා මේ රටෙහි භාරකරුවා පමණි.’ යනුවෙන් ප්‍රකාශ කර පැමිණිය ද, එයින් අනතුරුව රටේ විධායක ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා කටයුතු කරනුයේ තමන් මෙරටෙහි තනි අයිතිකරුවන් ලෙස සිතාගෙනය. මෙබිමෙහි කුරා කුහුඹුවාගේ පටන් ගහකොළ ද, පසද, ජලය ද යන සියල්ලෙහි තනි අයිතිකරුවා තමන් ය යන ඒකාධිපති මානසිකත්වයෙන්ය. එහිදී ඔවුන්ට තමන් බලයට පත් කළ ජනතාව පිළිබඳ මතකයක් හෝ හැඟීමක් ඇත්තේ නැත. ජනතා වුවමනාවන් පිළිබඳ හැඟීමක් ඇත්තේ ද නැත. මෙවර සංචාරක සටහන එවන් බල උන්මාදයකින් පෙළෙන ජනතා නියෝජිතයෙකු යැයි කියාගන්නා අයෙකුගේ කෙරුවාවක් පිළිබඳවය.
හෙතෙම නමින් ටී. බී. ඒකනායක නම් වන්නේය. වත්මන් යහපාලන ආණ්ඩුවේ ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලද ඔහුගේ තවත් ජනතා විරෝධී මිත්‍ර හිතෛශී කි්‍රයාවක් පිළිබඳවය.
යාපහුව ආසනයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන රිදීබැඳි ඇල්ල හාමුගේ වත්ත නම් අක්කර 23 කට ආසන්න කුරුණෑගල ඇල්ල පාරේ පිහිටි ඉඩම් කොටසක් පිළිබඳව ඇතිවී ඇති ආරවුල සටහනේ මූලික කරුණ වන්නේය. එහි නියම හිමිකරුවන් එම ඉඩමට අයිතිවාසිකම් ඉදිරිපත් නොකිරීම හා කාලයක් අතහැර දමා තිබීම හේතුවෙන් අදාළ බිම් කොටස රාජ සන්තක වනුයේ මෙයට වසර 15කට පමණ ඉහතදීය. එතැන් පටන් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම වනුයේ ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනවත් වන ආකාරයට එම ඉඩම භාවිතයට ගන්නා ලෙසය. එහෙත් ඉහළ වාණිජ වටිනාකමකින් යුතු එම ඉඩමට ඉව අල්ලාගෙන සිටින උන් බොහෝය. අදාළ ඉඩම පිහිටි වසම භාර ග්‍රාම නිලධාරියාගේ සිට සමෘද්ධි කළමනාකාරවරයාත් ටී.බී. ඒකනායක අමාත්‍යවරයාගේ හිතෛශිවන්තයන් ඒ අතර ප්‍රධානය.
එහෙත් එම ප්‍රදේශයෙහි උපන් තවමත් ස්ථීර බිම් කඩක් අහිමි සෑම වසරකම ගංවතුරට යටවන රජයේ රක්ෂිතවල ජීවත්වන පවුල් ගණනාවක් ප්‍රදේශයේ සිටියදී මධ්‍යම පාන්තිකයන් හට මෙම ඉඩම කොටස්කර ඛෙදාදීමට ඇමතිවරයා විසින් කටයුතු කරමින් සිටින බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති. මේ වන විට එම ජනතාව විසින් පිහිටුවා ගන්නා ලද බහුජන සංවිධාන එකමුතුව විසින් මහව ප්‍රාදේශීය ලේකම්තුමා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර, තරුණ තරුණියනට රැකියා අවස්ථා සැපයිය හැකි ආකාරයෙන් ගොවිපොළක් හෝ කර්මාන්ත ශාලා සඳහා අක්කර දොළහක් පමණ වෙන් කර දීමත්, ජල ගැලීම්වලට ලක් වන පවුල් සඳහා ඉඩම් කට්ටි ලබා දීම වෙනුවෙන් අක්කර හතරක් වෙන් කර දීමත්, හෙළ බොජුන් හලක් සමඟ දේශීය හා විදේශීය සංචාරකයන් හට සේවා පහසුකම් සැපයීමට සේවා මධ්‍යස්ථානයක් සමඟ ප්‍රදේශයට අවශ්‍ය වෙනත් පොදු පහසුකම් සැපයීම වෙනුවෙන් අවශ්‍ය ඉදි කිරීම් සඳහා අක්කර තුනක් වෙන් කිරීමත්, මධ්‍යම පාන්තික පවුල් දෙසියක් සඳහා තට්ටු පහකින් යුත් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට අක්කර හතරක් වෙන් කිරීමත්, බහුජන සංවිධාන එකමුතුවෙහි ඉල්ලීම වී තිබේ.
ජනතා ඉල්ලීම එසේ වුවද, වත්මන් යහපාලන රජයේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා මෙයට මාස කිහිපයකට ඉහත දී මෙම ඉඩම මුළුමනින්ම ඩෝසර් කර එහි තිබූ සියලු ගස්කොළන් කපා ඉවත් කරගෙන ගොස් තිබේ. ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් අමාත්‍යවරයා හමු වීමට ගොස් ඇති අතර, එහිදී ඔහු විසින් මෙම ඉඩම සේලයින් නිෂ්පාදනාගාරයක් සඳහා යොදා ගන්නා බව පවසා ඇතත්, සිදුව ඇත්තේ අනෙකකි.
එහි පැමිණි මැනුම්කරුවන් විසින් මෙම ඉඩම පර්චස් 15 බැගින් කොටස් කර ඇති අතර, වැඩි දුර සොයාබැලීමේදී පර්චස් 15ක් ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ඇමතිවරයාගේ ලේකම්වරයකු විසින් අය කර ඇති බවට තොරතුරු හෙළිදරවු වී තිබේ.
ප්‍රදේශවාසීන් මෙයට එරෙහිව සංවිධානය වී උද්ඝෝෂණ සහ විරෝධතා පවත්වනුයේ ඉන් අනතුරුවය.
අක්කර 23ක රජයේ ඉඩමක් වන මෙම ඉඩමෙහි අවම පර්චස් ප්‍රමාණය 3,680ක් පමණ වේ. ඒ අනුව ආසන්න වශයෙන් පර්චස් 15 කොටස් 245කි. ඒ අනුව එක් බිම් කොටසක් වෙනුවෙන් ලක්ෂය බැගින් අය කිරීමේදී රජයේ ඉඩමක් අයථා ලෙස බෙදා දී අදාළ අමාත්‍යවරයා විසින් ගසා කනු ලැබ ඇති මුදල අවම වශයෙන් ලක්ෂ 245කි.
මහජනතාවගේ කරමතින් හා ජනතා වුවමනාවන් ඉටු කර දීමේ පොරොන්දු දී ජනතා ඡන්දයෙන් බලයට පැමිණි කිසිදු දේශපාලනඥයකුට ජනතා දේපළ ගසාකෑමේ අයිතියක් ඇත්තේ නැත.
සටහනට අදාළ ගජනැග්ගම, රිදී බැඳි ඇල්ල ප්‍රදේශයට අදාළ රජයේ ආයතන බොහොමයක් පවත්වාගෙන යනුයේ, පෞද්ගලික ගොඩනැගිලිවල කුලී ගෙවමිනි. ඒ අතර සමුපකාරය. තැපැල් හල ප්‍රධානය. ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීමේ මධ්‍යස්ථානයක් ඇත්තේ නැත. ක්‍රීඩා පිටියක් ඇත්තේ නැත. මෙම අවශ්‍යතා වෙනුවෙන් මෙම ඉඩම් කොටස යොදා ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාවගේ තවත් ඉල්ලීමකි. මෙම කරුණ සම්බන්ධයෙන් දැනුම්වත් රාජ්‍ය නිලධාරීන්ගේත් අදහස වනුයේ, තමන්ට ද ඉඩම් කොටසක් ලබා ගැනීම වන අතර, ඉඩම් අමාත්‍යවරයාගේ අරමුණ වනුයේ, මෙය තමනට මුදලක් උපයා ගැනීම වෙනුවෙන් භාවිත කිරීම විය යුතුය. කුරුණෑගල, අනුරාධපුර ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි මෙම ඉඩමෙහි වාණිජ වටිනාකම ඉතා ඉහළය. ඒ අනුව පර්චස් 15ක් සඳහා රුපියල් ලක්ෂයක් යනු නොවටිනා මිලකි. එය මූලික මුදලක් පමණක් විය හැකිය. ඒ අනුව මෙම ඉඩම හරහා දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු වීමේ අවකාශය නිර්මාණය වී තිබේ. වත්මන් ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා මෙයට සෘජුවම සම්බන්ධය. ‘මම ඉඩම් ඇමති. මට ඕනෑ දෙයක් මම කරනවා’ යනුවෙන් ඔහු ප්‍රදේශවාසීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. එහෙත්, ජනතා වුවමනාවන් නොතකන ජනතා හඩට කන් නොදෙන පාලකයන්ට අත් වන ඉරණම පිළිබඳව මතක් කර දිය යුතු නැතැයි අවසාන වශයෙන් සටහන් කරන්නෙමු.

ප්‍රදේශයේ ජනතවට යහපතක් විය යුතුයි
රිදී බැඳි ඇල්ල විහාරාධිපති, ඇස්වත්තේ සුජාත හිමි

ඉඩම් රාජ්‍ය ඇමති, ඒකනායක මේ ඉඩම හිතවතුන්ට බෙදා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ ඉඩම මේ ප්‍රදේශයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් යොදවන්න ඕනෑ. රාජ්‍ය නිලධාරීනුත්, අදාළ බලධාරීනුත් ඒ පිළිබඳව නිහඩයි. තමන්ට කියලා බිම්කඩක් නැති ජනතාවක් ගංවතුරට යට වෙනවා. ඒ අය පිළිබඳව හෝ සැලකිලිමත් වෙන්න ඕනෑ.

ජනතාව සමඟ අරගල කරනවා
සී. ඩබ්. සිරිසේන ලේකම්, බහුජන සංවිධාන එකමුතුව

මේක කාලයක් ඉඳලා දික්ගැහෙන ප්‍රශ්නයක්. නමුත්, බහුජන සංවිධානය විදියට ජනතාවට සෙත සැලසෙන විසඳුමකින් ඇරෙන්න අපි මේ වෙනුවෙන් කරන අරගලය නතර කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඉදිරියේදීත් ප්‍රදේශයේ ජනතාව සමඟ එකතු වෙලා අරගල කරනවා. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් දැන් ඉතිරි වෙලා නැහැ. අපි ඇමතිවරයාට කියන්නේ, පොදුජන යහපත සලකලා අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා.

ඇමතිතුමාට ඕනෑ දේවල් විතරයි වෙන්නේ
ශ්‍යාමා උදයකාන්ති

ඇමතිතුමාට සල්ලි දීපු අය මේ ඉඩමේ පදිංචි වෙන්න ආවා. නමුත්. අපි විරුද්ධ වෙලා ඒක වැළැක්වුවා. ලක්ෂයක් දෙන්න ඉඩම් කොටසක් දෙන්නම් කියලා අපටත් කිව්වා. නමුත්, අපේ ගමේ ඉන්න කොට අපි සල්ලි දෙන්නේ මොකටද? ඇමතිතුමා එයාට ඕනෑ දේ එයා කරනවා කියලා කියනවා. තරංග කියන එයාගේ ලේකම් තමයි, හැම දේටම මූලික වෙලා කටයුතු කරන්නේ.

අද මට කනගාටුයි
කේ. ඒ. අමරපාල

මම මුල ඉඳලාම ඒකනායක මහත්තය එක්කම දේශපාලනය කරපු කෙනෙක්. නමුත්, අද මට කනගාටුයි මේ කරන වැඩේ ගැන. මමත් මගේ කියලා බිම්කඩක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත්, මම ඉල්ලන්නේ මේක ගමේ ජනතාවට ප්‍රයෝජනයක් තියෙන දේකට යොදවන්න කියලා.

ඇමතිවරයා ජනතාවට බොරු කරනවා
සමන් ජයකොඩි

මෙතන සේලයින් පැක්ටරියක් දානවා කියලා ඇමතිවරයා කිව්වා. රැකියා නැති ගමේ තරුණ, තරුණියන්ට හොඳක් වෙයි කියලා අපි හිතුවා. ඒ හරහා වක්‍ර රැකියා නිර්මාණය වෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත්, දැන් සිද්ධ වෙලා තියෙන්නේ එහෙම දෙයක් නොවෙයි. වත්මන් ඇමතිවරයාත්, හිටපු ඇමතිවරුනුත් ජනතාවට බොරු කළා විතරයි.


කිත්සිරි කොඩිතුවක්කු