තද වැස්සට, මහ සුළඟට ගසාගෙන යන ආපදා කළමනාකරණය

පසුගිය නොවැම්බර් 29 වනදා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ප්‍රමුඛ කොටගෙන දිවයිනේ ප්‍රදේශ බොහොමයක කාලගුණ තත්ත්වය වේගයෙන් වෙනස් විය. රාත්‍රිය වන විට එය චණ්ඩ මාරුතයක් දක්වා වර්ධනය වී රටම කැළඹිල්ලකට ලක් කළේය. මේ හදිසි අයහපත් කාලගුණ තත්ත්වය කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල කළේය. 29 වනදා හමාගිය දැඩි සුළගින් ගස් කොළන් කඩා වැටී විදුලිය විසන්ධි වී මාර්ග අවහිර වී දේපොළ රැසකට අලාභහානි සිදු වී තිබිණි. විශේෂයෙන්ම ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන්ට මේ හදිසි කාලගුණ විපර්යාසයෙන් බරපතළ හානි සිදු වූ බවට වාර්තා පළ විය. සමස්තයක් වශයෙන් ගත් කල්හි රටම එක මොහොතකින් අකර්මණ්‍ය විය. මේ කාලගුණ විපර්යාසය විසින් 7 දෙනෙකුගේ ජීවිත රටට අහිමි වූ අතර 23 දෙනෙකු අතුරුදන්ව ඇති බව කියයි. මේ අතුරුදන් වී ඇත්තේ ධීවර කටයුතුවල නිරත ධීවරයන්ය. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වූ අතර, සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ප්‍රමාණය 300කට ආසන්නය. අර්ධ හානි වාර්තා වන නිවාස ප්‍රමාණය 500කට ආසන්නය.
ආපදාව සිදුවීමෙන් පසුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ආපදා කළමනාකරණ අමාත්‍යවරයාත්, රාජ්‍ය නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ ප්‍රධානියා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් නිවේදන නිකුත් කළහ. හදිසි ආපදා තත්ත්වයට පත්වූවන්ට වහාම වන්දි ලබා දෙන බවත් සහන සලසන බවත් කීහ. කඩිනමින් විපතට පත් ජනතාවට සහන සලසන බවත් ඒ සඳහා රජය මූල්‍ය ප්‍රතිපාදන අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට යවා ඇති බවත්, ආපදාවට පත්වූවන්ට අවශ්‍ය කූඩාරම් 2,000ක් වහාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවා ඇති බවත් නිවේදනය කළේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කළ අතර, නාය යාමේ අනතුරු ඇති ප්‍රදේශ ද නම් කළේය. ආපදාවකින් පසුව පසුගිය කාලය පුරාවට සිඳුවූ ආකාරයටම මෙවර ද සිදු විය. අනාගතයේ දී ද විය හැක්කේ එයම බව දැන් වඩාත් හොදින් පැහැදිලිය.
ආණ්ඩුවේත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේත් වගකීම වන්නේ ආපදාවක් වූ පසුව සහන සැලසීම හෝ ඊට අදාළ ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පමණක්ම නොවන බව මේ පාලකයන් හෝ ඔවුන්ගේ උපදේශකයන් මෙතෙක් තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. ඛේදවාචකයක් වීමට පෙර එය වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ආණ්ඩුවේ වගකීමය. ආපදා කළමනාකරණය යනු ආපදාවක් වූවාට පසු සහන සැලසීම නොව ආපදාවක් වීම වැළැක්වීම හෝ අවම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමය. විශේෂයෙන්ම පසු ආපදා කළමනාකරණයක් ද සකස් කිරීමට මැදිහත් වීමය. මේ මොහොත වන විට අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැත. හේතුව වී ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කරන්නේ ආපදාවකට ආසන්න මොහොතේදීය. නැතිනම් ආපදාවක් වූ පසුවය. කාලගුණ විදයා දෙපාර්තමේන්තුව නිවේදනය කරන ඇතැම් අනාවැකි බොහෝ විට සිදු වී නැත. ඒ අනුව අපේ රටේ ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳව විශ්වාස කරන්නේ නැත. ඒ නිසාම අවබෝධයක් ඇති ජනතාව කරන්නේ විදේශීය කාලගුණ අනාවැකි කෙරෙහි අවධානය යොමු කිරීමය. මෙය අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වරදක් නිසා සිදුවන්නක් නොව අපේ රටේ පාලකයන්ගේ මුග්ධ ක්‍රියා මාර්ගයන්හි ප්‍රතිඵලයන්ය. ලෝකයේ බොහෝ රටවල් ආපදාවන්ට ලකලැහැස්ති වී ඇත්තේ දැඩි අවධානයෙනි. ඇතැම් රාජ්‍යයන් සිය වාර්ෂික අයවැය ලේඛනයන්හි වැඩි ඉඩක් ලබා දී ඇත්තේ රටේ ආපදා අවම කිරීම වෙනුවෙනි. ජපානය ලෝකයේ බොහෝ විට හදිසි ආපදාවන්ට ලක්වන රටකි. විශේෂයෙන්ම සිදු වන භූමිකම්පා හේතුවෙන් ජපානය නිතර පීඩා විඳියි. එහෙත්, ඔවුන් බොහෝ සෙයින් ජීවිත හානි අවම කරගෙන ඇත. එසේ වී ඇත්තේ, ආපදා කළමනාකරණය ඉතා ඉහළ තැනක පවතින නිසාවෙනි. එසේම නවීන තාක්ෂණය ඉතාමත් ඉහළින් භාවිත කරමින් ඔවුන් පූර්ව ආපදා කළමනාකරණයන් සිදු කරනු ලබයි. බංග්ලාදේශය ද මෙවන් විපත්වලට මුහුණ දෙන රාජ්‍යයකි. ඔවුන් ද මේ විපත් අවම කරගෙන ඇත්තේ නිසි කළමනාකරණයක් ඔවුන් සතුව පවතින නිසාවෙනි. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව පමණක් නොව අසල්වැසි ඉන්දියාව පවා මේ කාර්යයේ දී අපිට වඩා ගව් ගාණක් ඉදිරියෙන් සිටින බව පැහැදිලි වේ.
අපේ රටේ කාලගුණය හදිසියේ මේ ආකාරයෙන් වෙනස් වූයේ ලංකාව ආශ්‍රිතව වර්ධනය වූ ඕක්හි සුළි කුණාටුවේ බලපෑමෙනි. සුළිකුණාටුවක් වර්ධනය වෙමින් පවතිද්දී මින් පෙර පැවැති අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමය. අපේ රටට වැස්ස සහ සුළඟ වැඩි වූයේ මෙම සුළි කුණාටුව පීඩන අවපාත තත්ත්වයේ පැවති අවස්ථාවේදීය. විශේෂයෙන්ම මේ අප ගෙවා දමන වකවානුව නොඑසේ නම් නොවැම්බර් දෙසැම්බර් මාස යනු සෑම වසරකම ලංකාවට මෙවන් තත්ත්වයන් නිර්මාණය වන කාල වකවානුවකි. බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ මෙවැනි කාලගුණික විපර්යාසයන් මේ වකවානුවේ සිදු වීම සුලභය. ඒ පිළිබඳව මෙරට කාලගුණ බලධාරීන්, විශේෂයෙන්ම රට කරවන පාලකයන් සහ විෂයය භාර අමාත්‍යවරයා දැඩි අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍යය. රටක ආපදා කළමනාකරණයේ මූලිකම අවස්ථාවක් වන්නේ සිදු වන ආපදාවක දී මිනිස් ජීවිත බේරා ගැනීමය. මේ පිළිබඳව තවමත් අපේ බලධාරීන් අකාර්යක්ෂම බව පෙන්වා ඇත.
ආපදාවක් වූ සැණින් මිනිස් ජීවිත බේරා ගැනීමට බලධාරීන් සිදු කරන්නේ වහාම අදාළ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමය. එය වැදගත් කාර්යයකි. එය එසේ වුව ද, අපේ රටේ පසු ආපදා කළමනාකරණය පවතින්නේ ඉතාමත් මන්දගාමී තැනකය. ස්වාභාවික ආපදාවක දී ඊට අදාළ අංශ කඩිනමින් සහ කාර්යක්ෂමව ස්ථානගත වන බවක් පෙනෙන්නට නැත. එය පසුගිය දා වඩාත් හොඳින්ම දැකගත හැකි විය. පසුගියදා අපට බලපෑම් කරමින් අපෙන් ඈතට ගිය ඕක්හි සුළි කුණාටුවෙන් පසුව තවත් එවන් පන්නයේ සුළි කුණාටුවක් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් ආණ්ඩුව හෝ අදාළ අමාත්‍යවරයා එයට කිසිදු සූදානමක් පවතින බවක් තවමත් පෙන්වා නැත.
අප විශේෂයෙන්ම ආපදා පිළිබඳව සැලකිය යුතු පාඩමක් ඉගෙන ගත යුතුව තිබුණේ 2004 වසරේ බලපෑ සුනාමි ව්‍යසනයේදීය. එහි දී විදේශ රාජ්‍යයන්ගෙන් අපට විශාල ලෙස ආධාර ගලා ආවේය. ජපානය විසින් කාලගුණය සම්බන්ධයෙන් අධි තාක්ෂණික මෙවලම් අපට ලැබුණේය. එහෙත්, ඒවා නිසි ක්‍රමවේදයකට අනුව ස්ථානගත කළ බවක් මෙතෙක් මෙරටේ ජනතාවට දැකගත නොහැකි වී ඇත. පාදුක්ක ප්‍රදේශයේ මෙම අධි තාක්ෂණික උපකරණ ස්ථානගත කළ ද, මේ වන තෙක් එය ක්‍රියාත්මක වී ඇති බවක් නොපෙනේ. බලයට පත් කිසිදු ආණ්ඩුවක් අපේ රටේ ආපදා කළමනාකරණය පිළිබඳව නිසි අවධානයක් යොමු කර නැත. ළග ළග විපත් පැමිණෙද්දී ඊට සංවේදී වී රටේ ජනතාවත්, ජනතාවගේ දේපොළත් සුරක්ෂිත කර ගැනීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුය. රටේ ජනතාව ආණ්ඩු පත් කරන්නේ මේ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙනි. පාලකයන් කරන්නේ ආපදාවන්ගෙන් ද ගසාකෑම බව පසුගිය කාලය පුරාම මේ රටේ ජනතාවට අත්දැකීම් පවතී.
ලංකාවේ කාලගුණ තත්ත්වයන්හි වෙනස් වීම් පිළිබඳව මේ රටේ ජනතාවට හොඳ අවබෝධයක් තිබේ. රටේ දකුණු ප්‍රදේශයට ඇති වන කාලගුණ වෙනස්කම්, මධ්‍යම කඳුකරයට ඇති විය හැකි කාලගුණ තත්ත්වයන්, උතුරු නැෙඟනහිර ප්‍රදේශයන්ට ඇති වන කාලගූණ තත්ත්වයන් සහ රටේ ඒ ඒ ප්‍රදේශයන්ට වාර්ෂිකව බලපාන කාලගුණ තත්ත්වයන් පිළිබඳව මේ රටේ පාසල් දරුවෙකුට පවා අවබෝධයක් ඇත. එහෙත්, පාලකයන්ට ඒ පිළිබඳව වගේ වගක් නැත. මේ කාලගුණ තත්ත්වයන්ට ගැලපෙන සේ ක්‍රියාත්මක වීම විශේෂයෙන්ම ජනතාව දැනුම්වත් කිරීම, ආපදා අවම කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම, නාය යා හැකි යැයි සැක කරන ප්‍රදේශයන්ගෙන් ජනතාව ඉවත් කිරීම ආදිය කළ යුත්තේ ආපදාවක් පැමිණෙන්නට පෙරය. එහෙත් අපේ පාලකයන් සියල්ල කරන්නේ ආපදාවකින් පසුවය. පාලකයන් සියල්ල ජනතාවගේ වැරැදි බව කියා ඇග බේරා ගැනීමට ක්‍රියා කරයි. පාලකයන් පවසන්නේ නාය යන ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වීමට පවසා ඇතත් ජනතාව ඉවත්ව නැති බවකි. කතාව ඇත්තකි. ජනතාව ඉවත් වන්නේ නැත. ජනතාව එසේ ඉවත් නොවන්නේ ඇයි ද යන්නට ආණ්ඩුව පිළිතුරක් නොදෙයි. අවදානම් ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන්නට කී පමණින් ඒ ජනතාව යන්නේ කොතනට ද යන්න නිශ්චිත විය යුතුය. ඒ සඳහා වගකීම ඇත්තේ ආණ්ඩුවටය. ආණ්ඩුව වගකීමෙන් මඟහැර ජනතාව මතට වැරදි පටවයි.
ගංගා පිටාර ගලන බව ආණ්ඩුව දන්නේ මහ වැසිවලින් පසුව ය. ඒවා පිටාර ගලන බවත්, පිටාර ගලා ජනතාව අවතැන් වන්නේ නම්, ඊට අදාළ වැඩපිළිවෙළ සකස් කළ යුත්තේ ආණ්ඩුවය. පසුගිය මැයි මාසයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් වූයේ මන්දගාමීවය. ඒ සඳහා වැඩි මැදිහත් වීමක් කළේ සිවිල් සමාජ සංවිධානයන් විසිනි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ‘රතු තරුව සහන සේවා බළකාය’ නොසිටින්නට ඇතැම් ප්‍රදේශයන්හි ජනතාව මිය යන්නේ බඩගින්නේය. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ආණ්ඩුව බෝට්ටු ලබා දී තිබුණ ද, බෝට්ටු ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගාල් කර තිඛෙනු දක්නට විය. විපතට පත් ජනතාවට සහන මලු ලබා දුන් ඇතැම් දේශපාලනඥයන් විසින් තමන්ගේ නම ප්‍රවර්ධනය කර ගැනීමට කටයුතු කරන ලදී. ඇතැම් තැන්වල ජනතාවට ලබා දුන් කෙසෙල් ගෙඩියේ පවා නම් ගසා දුන් අවස්ථා දැක ගත හැකි විය. විපතක දී පවා අපේ පාලකයන් කරන්නේ දේශපාලනය කිරීමක් බව මින් මැනවින් පෙනේ. කඳුකර ප්‍රදේශයන් නාය යාමේ අවදානමට ප්‍රබල ලෙසම වගකිව යුත්තේ් පාලකයන්ය. පරිසර ශක්‍යතා අධ්‍යයනයන්ගෙන් තොරව කරන අසංවිධානාත්මක සංවර්ධනය විසින් අනතුරේ හෙළා ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවය. මේ තත්ත්වයන් වෙනස් කිරීමට පාලකයන් වහා මැදිහත් විය යුතුය. කඳු නාය යන්නේ ස්වාභාවික හේතු කාරණා නිසා පමණක් ම නොවේ. පාලකයන්ගේ ක්‍රියාකාරකම් ද ඊට අනිවාර්යයෙන්ම බලපෑම් කරයි. ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට පැවැති හා පවතින ආණ්්ඩුවලට වැඩපිළිවෙළක් නැත. මහ වැස්සක් ඇද හැලුණ සැණින් පාරවල් වැසි ජලයෙන් පිරේ. ඒ අන් කිසිවක් නිසා නොව අක්‍රමවත් කාණු පද්ධතියක් ඇති කර තිබීම හේතුවෙනි. කුඹුරු ගොඩ කිරීම් හරහා කවදාවත් ගංවතුර අවදානමක් නොතිබූ ප්‍රදේශ ගංවතුරට ලක් වී ඇත. සමස්තයක් වශයෙන් ගත් කල්හි රටේ ජනතාව පීඩාවට පත්ව ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා නොව පාලකයන්ගේ කි්‍රයාකාරකම් නිසා බව පැහැදිලිය.
පැවති සහ පවතින පාලනය ආපදා කළමනාකරණයට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර හෝ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව පෙන්නුම් නොකරයි. පාසල් විෂය මාලාවට ආපදා කළමනාකරණය විෂයයක් වශයෙන් ඇතුළත් කිරීමෙන් පමණක් ආපදා කළමනාකරණය කළ හැකි වෙතැයි ආණ්ඩුව කල්පනා කරයි. අනෙක් පැත්තෙන් ආපදා කළමනාකරණය සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීමෙන් පමණක් මේ සිදු වන ආපදා කළමනාකරණය කළ නොහැකිය. රටට ඇති වන හදිසි ආපදා තත්ත්වයක දී ක්‍රියාත්මක වීම සදහා ආණ්ඩුවට දීර්ඝකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙළක් තිබිය යුතුය. ආණ්ඩුවේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතා නියෝජිතයන්ගේ මැදිහත් වීමෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම නිරතුරුව ගංවතුර ගලන ප්‍රදේශයන් තීරණය කර ඒවා පාලනය කිරීමට අවශ්‍ය වැඩකටයුතු වහ වහා සිදු කළ යුතුය. නාය යන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කළ යුත්තේ ඒ ජනතාවට නිශ්චිත වාසස්ථාන ලබා දීමෙනි. ගංගා ආශ්‍රිත තත්ත්වයන් නිරීක්ෂණය කොට ඉංජිනේරුවන්ගේ සහ පරිසරවේදීන්ගේ ද උපදෙස් අනුව ඊට අදාළ පිළියම් යෝජනා කළ යුතුය. ආපදාවකට මුහුණ දෙන්නේ කෙසේ ද? ජීවිත හානි අවම කර ගන්නේ කෙසේ ද? පසු ආපදා කළමනාකරණයන් සිඳු කරන්නේ කෙසේ ද යන්න ජනතා නියෝජිතයන් ද, ජනතාවද දැනුම්වත් කළ යුතුය.
කාලගුණ විපර්යාසයන් අපට වෙනස් කළ නොහැකිය. එහෙත්, ඒ කාලගුණ විපර්යාසයන්ට අනුව අපට හැඩගැසිය හැකිය. විශේෂයෙන්ම නවීන තාක්ෂණික මෙවලම් රටට ගෙන්වා වඩාත් දියුණු කාලගුණ දෙපාර්තමේන්තුවක් නිර්මාණය කළ යුතුය. අපේ කාලගුණ නිලධාරීන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත හැක්කේ එවිටය. විශේෂයෙන්ම නාවික කටයුතුවල සහ ධීවර කටයුතුවල යෙදෙන ධීවරයන්ට සහ නාවිකයන්ට සෑම මොහොතකම සිදු වන කාලගුණ විපර්යාසයන් පිළිබඳව දැනුමක් තිබිය යුතුය. එසේ දැනුම්වත් වීම තුළින් අපේ ධීවරයන් ද, නාවිකයන් ද අනතුරුවලින් බේරා ගත හැකිය. පසුගිය කාලය පුරාම අපේ ධීවරයන් හා නාවිකයන් අනතුරුවලට මුහුණ පෑවේ දියුණු ක්‍රමවේදයන් අප සතුව නොමැති බැවිනි.
මේ ආණ්ඩුවට දැන් බරපතළ වගකීමක් පැවරී ඇත. තව දුරටත් මෙවන් අනතුරුවලට මෙරට ජනතාව මුහුණ දිය යුතු නැත. ආණ්ඩු බලයට පත් කරන්නේ ජනතා අවශ්‍යතාවයන් සපුරාලීමටය. ආණ්ඩුවේ නායකයන් යනු පිදිය යුත්තන් නොව ජනතාවගේ සේවකයන්ය. එසේ වුවද, මේ පාලකයන්ට ජනතාව පිළිබඳව ඇති කැක්කුමක් නැත. ඔවුන්ට ඇත්තේ බලය ආරක්ෂා කර ගැනීම උදෙසා දේශපාලන ක්‍රීඩාවක නියැළීමය. මෙවන් පාලකයන්ගෙන් තව දුරටත්
යහපතක් බලාපොරොත්තු වීම යනු ජනතාව තමන් විසින්ම තමන් අනතුරේ හෙළා ගැනීමකි. දැන් ජනතාව පෙළගැසිය යුත්තේ ජනතාවගේ පාලනයක් ගොඩනඟා ගැනීමටය. එවන් පාලනයක් රට තුළ නිර්මාණය කර ගැනීමට ජනතාව පමා වන ප්‍රමාණයට මෙවන් ඛේදවාචකයන් ගැන දිගින් දිගටම අපට කතා කිරීමට සිදු වනු ඇත.


එස්. කේ. ගමගේ