සාටකයෙන් මුහුණු වසා ගුරු ගෙදරට විද්ද හැටි

බෙawfeg
රනිල් මහින්දට කොකා පෙන්නයි!
January 8, 2018
තැලසීමියා ඖෂධ
තැලසීමියා ඖෂධත් ගසා කන මිනී කාක්කෝ
January 8, 2018
Show all

සාටකයෙන් මුහුණු වසා ගුරු ගෙදරට විද්ද හැටි

jonny-2ym8dpkrk

දිවයින පුරා විසිරී සිටින පාසල් ගුරුවරුනගේ සුබසාධනය උදෙසා පිහිටුවා ගෙන ඇති සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම් සහ ණය දෙන සමිතිය සාමාජික පිරිස එක් ලක්ෂ හතළිස් දහස ඉක්මවන අතර මෙම සමිතියේ සියලු සාමාජිකයන් මසකට රුපියල් 455/-ක් සමිතියේ තැන්පත් කළ යුතුව ඇත. එම මුදල වැටුපෙන්ම කැපී සමිතියට එන ලෙස ක්‍රමවේදය සකස් වී ඇත. ඒ අනුව බලන කල වත්මනෙහි සමිතිය
එක්රැස් කොට ඇති මුදල රුපියල් මිලියන හයදහස ඉක්මවන බව පැවසේ. මෙම සියලු මුදල් මෙරට අධ්‍යාපන සේවයේ නියැලුණන්ගේ මිස රජයේ මුදල් නොවේ. මෙම සමිතියේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ එම තනතුරු සඳහා සාමාජිකයන්ගේ ඡන්දයෙන් පත්වන ගුරුවරුන්මය.
සීමාසහිත අධ්‍යාපන සේවා සමුපකාර සකසුරුවම් සහ ණයදෙන සමිතියේ පාලනය සඳහා ලංකා ගුරු සේවා සංගමය පත් වන්නේ 2009 වසරේ ජනවාරි 03 වන දාය. එතැන් සිට 2012 ජනවාරි 03 වන දින දක්වා එම සංගමයෙන් පත් වූ අධ්‍යක්ෂ මණ්ඩලයට එහි පාලන කටයුතු කරගෙන යාමට නීත්‍යානුකූලව බලතල ලබා දී තිබුණි. එහෙත් 2011 අප්‍රේල් 29 වන දින ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය විසින් බොරු චෝදනා ඉදිරිපත් කරමින් කොළඹ දිසා අධිකරණයේ 0074/2011 දරන නඩුව ගොනු කරනු ලබන්නේ පාලනයේ සිටින අධ්‍යක්ෂ මණ්ඩලයට සිය කටයුතු ඉදිරියට කරගෙන යාම වාරණය කරන ලෙස ද ඉල්ලා සිටිමිනි. එහිදී ඔවුන් පාලනයේ සිටින අධ්‍යක්ෂ මණ්ඩලයට චෝදනා අටක් එල්ල කර තිබුණි. මේ නඩු පැවරීම සඳහා එවකට ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු සෘජුව මැදිහත් වූ බවටද කරුණු හෙළි වී තිබේ. මේ අනුව අධිකරණය නොමග යවමින් මොවුන් කළ ව්‍යාජ කරුණු ඉදිරිපත් කිරීම මත අධිකරණය විසින් අධ්‍යක්ෂ මණ්ඩලය තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබීය. සමිතියේ මුදල් සාමාජික ගාස්තුවලින් සමන්විත වී ඇති බැවින් එහි පාලන කටයුතු අධ්‍යාපන මණ්ඩලයේ පාලනයට යටත් වුවද සමුපකාර සමිතියක් ලෙස 1972 අංක 05 දරන සමුපකාර සමිති පනතට සහ සමිතියේ අතුරු ව්‍යවස්ථාවට මෙහි පාලන කටයුතු යටත් වේ. එවන් සමිතියක් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සියතට ගත්තේ කෙසේද යන්න ගැටළුවකි. එහෙත් ඒ සියල්ලට දේශපාලනය අත පොවා ඇත.
මොවුන්ගේ මේ දේශපාලන අතපෙවීම එතනින් නතර වන්නේ නැත. එය තවත් ඉදිරියට යමින් 2011 මැයි මස 12 වන දින සමුපකාර කොමසාරිස්වරයා විසින් නීතිවිරෝධී අතුරුපාලක මණ්ඩලයක් පත් කරනු ලබයි. ඒ සමුපකාර පනතේ සහ ආයතනයේ අතුරු ව්‍යවස්ථාවේ ඇති නීති ප්‍රතිපාදනද තඹයකට මායිම් නොකරමිනි. එතැන් සිට 2015 නොවැම්බර් දක්වා සමිතියේ පාලන කටයුතු කරගෙන යනු ලැබූයේ මෙම නීති විරෝධී අතුරු පාලක මණ්ඩල වලිනි.
සමුපකාර කොමසාරිස්වරයා විසින් පත් කළ අතුරු පාලක මණ්ඩලයේ සාමාජිකයන් වශයනේ පත් කරනු ලැබූයේ පැවති ආණ්ඩුවේ සමීපතම හිතවතුන්ය. එහි සභාපති වූයේ 2010 වසරේ සන්ධානයෙන් මැතිවරණය සඳහා තරග කර පරාජයට පත් වූ නීතිඥ සාගර කාරියවසම්ය. මේ දින වල පොහොට්ටු පක්ෂයේ ලේකම් ලෙස ඇප තැන්පත් කරමින් යන්නේ මේ සාගර කාරියවසම්ය. මෙවැනි අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නේනම් ඒ සඳහා සුදුස්සන් වන්නේ සමුපකාර සංවර්ධන නිලධාරීන් සහ රජයේ නිලධාරීන්ය. එහෙත් හිටපු සමුපකාර කොමසාරිස්වරයාට ඒ කිසිවක් අදාළ වූයේ නැත. රාජපක්ෂලා සතුටු කිරීම එකම අරමුණ වූ අතර රාජපක්ෂලාට ඕනෑ දේ නීතිය බවට පත් විය. තුන් දෙනෙකුගෙන් යුතු අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු වුවද දස දෙනෙකුගෙන් යුතු අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නේ ද නීති උල්ලංඝනය කිරීමේ දිග පළල මැනවින් කියාපාමිනි. මේ අතුරු පාලක මණ්ඩලයේ ලේකම් වශයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙකු වූ චන්ද්‍රසිරි නානායක්කාර පත් කිරීමෙන් පැවති අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමේ සද්භාවය හතර කොණින්ම පිටාර ගැලුවේය. එතනින් පසු එහි සභාපතිවරුන් ලෙස හෙන්දා විතාරණගේ චන්දකුමාර, වසන්ත ගුණසේකර යන අය පත් කර ඇත්තේ ද මේ දේශපාලනයේ ආනුභාවයෙන්මය.
හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කියන්නාක් මෙන් එම කාල වකවානුව සම්බන්ධයෙන් සිදුකළ විගණන සමීක්ෂණයකින් මේ මහින්ද ගැති කටු ලෙවකන්නන්ගේ අතුරු පාලක මණ්ඩලයේ පැටිකිරියම එළියට පැන තිබේ.
එම කාලසීමාව තුළ සිදු කර ඇති වංචා පිළිබඳ මෙවැනි ලිපියකින් කියා අවසන් කිරීමට බැරිය. විගණන පරීක්ෂණය අනුව විගණනය කළ එක් වසරක් තුළ පමණක් ගිණුම් කටයුතු වල සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව පැහැදිලිව සඳහන් කර තිබේ. පොදුවේ ගිණුම්කරණ කටයුතු වලදී ගිණුම් මූලධර්මයන්ට අනුකූල නොවන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම් දක්නට ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.
2012 විගණනයට අදාළව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වූ මූල්‍ය ප්‍රකාශන වල ලිපි ද්‍රව්‍ය තොගය සෘණ අගයක් ගෙන තිබී ඇති අතර එම තොග වටිනාකම නිවැරදි නොකර තොග අතර වෙනස අවිනිශ්චිත ගිණුමට ගැලපීම මත අවිනිශ්චිත ගිණුම රුපියල් 4,857,822.47කින් වැඩි වී තිබේ.
මෙම අතුරු කමිටුව අවම වශයෙන් සමුපකාර කොමසාරිස්වරයාගේ අනුමැතියක් හෝ ලබා නොගෙන වාහන අලුත්වැඩියා කිරීම් ගණනාවක් සිදු කර ඇති අතර ඒ වෙනුවෙන් සමිතියේ මුදල් අවස්ථා දෙකකදී නිල නොවන අයුරින් වියදම් කර තිබේ. 2011 වසරේදී එය රුපියල් 249,020/-ක් වන අතර 2013 වසරේදී එය රුපියල් 565,556.50කි. ශ්‍රවණාගාරයේ තිබූ වායු සමීකරණ යන්ත ගලවා වෙනත් ස්ථානයක සවි කිරීමේදී ඒ සඳහා සිදු කළ වියදම් ද වැඩියෙන් පෙන්වා ඇති බව විගණන වාර්තාවේදී හෙළි වී තිබේ.
එසේම මෙම අතුරු කමිටුව විසින් ඉඩම් දෙකක් මිලදී ගෙන තිබේ. ඉන් එකක් මහනුවර නගරයෙන් මිලදී ගෙන ඇත. එයද ගැටලුකාරීය. එනම් දෙදෙනකුගේ හිමිකාරිත්වයෙන් යුත් මෙම ඉඩම මිලදී ගෙන ඇත්තේ එක් අයකුගෙනි. අනෙක් පාර්ශ්වයෙන් මේ සඳහා විරෝධතාවක් ගොඩනැගී ඇති බැවින් මෙම ඉඩම මිලදී ගැනීමේ පාඩුව අවම වශයෙන් මිලියන පනහකට වැඩි බව පැවසේ. දෙවැනි ඉඩම බදුල්ල නගරයෙන් මිලදී ගෙන ඇත. ඒ බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දයා ගුණසේකර මාවතේ ඉඩමකි. කුඹුරු ඉඩමක් වන මෙම ඉඩම ගොඩ ඉඩමක් ලෙස මිලට ගෙන ඇත. මේ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකයටද පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර එම පැමිණිල්ලට අනුව එම ඉඩම් ගනුදෙනුවෙන් ලක්ෂ අටක වංචාවක් සිදුවී ඇත. එම වාර්තාවට අනුව මෙම ඉඩමට ඔප්පුවක් සකස් කිරීම දක්වා සියලූම කටයුතුවලදී වංචාකාරී ලෙස කටයුතු සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඒ සඳහා නිර්දේශ වී ඇත්තේ ‘ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වියදම් කරන ලද මුදලට ප්‍රයෝජනයක් ගත නොහැකි ඉඩමක් ලබාගැනීමට වංචනිකව කටයුතු කර ඇති බව අනාවරණය වන බැවින් එම මුදල් ලබාගැනීම සඳහා විමර්ශන අංශයේ සහය ලබාගෙන නීතිමය කටයුතු කිරීම සුදුසු බව නිර්දේශ කරන්නෙමු’ යන්නයි. 1973 සමුපකාර රීති මාලාවේ අංක 48 (1) වගන්තිය අනුව ලියාපදිංචි සමිතියකට රුපියල් 5000/-ක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති චංචල නිශ්චල දේපොළක් මිලට ගැනීමේදී සභාවේ අනුමැතිය සහ රෙජිස්ට්‍රාර්වරයාගේ පූර්ව අනුමැතිය ලේඛනයකින් ලබාගත යුතුවේ. එම රීතිය මෙම අතුරු පාලක මණ්ඩලය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇත.
එහිදී ඊට වගකිවයුත්තන් වශයෙන් පිටස්තර නිලධාරීන් පිළිබඳ සඳහන් වී ඇතත් ඉඩමේ විකුණුම්කරු ගැන කිසිවක් සඳහන් නොවන්නේ එකල බලය ජොන්ස්ටන්ලා සතු වූ බැවිනි. වාහන මිලදී ගැනීම් සිදුකර ඇත්තේ මෙම අතුරු කමිටු කාලය ඉකුත් වූ පසුව බව පැවසේ.
2011.09.20 දින සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ උප සභාපතිගේ ලිපියකින් ඩේවිඩ් පීරිස් සමාගම වෙත දක්වා ඇත්තේ බජාජ් 4 ස්ට්‍රොක් RF 205 වර්ගයේ ත්‍රීවිලරයක් පොරොන්දු වූ මුදල වූ රුපියල් 354,900/-කට ලබා ගැනීමට සූදානම් කොට තබන ලෙසය. ඒ අනුව එම මිලදී ගැනීම සිදුකොට ඇත. පසුව යුනයිටඩ් මෝටර් ලංකා ආයතනයෙන් 2011.09.20 දින වසන්ත ගුණසේකර උප සභාපතිවරයාගේ ඉල්ලීම පරිදි KB7TN INMR වර්ගයේ 4WD මාදිලියේ මිට්සුබිෂි කැබ් රථයක් රුපියල් 4,790,000/-කට මිලදී ගැනීමට සූදානම් කර තබන ලෙස එම සමාගමේ අලෙවි කළමනාකාර මහතාට දන්වා තිබේ. තුන්වැනි වාහන මිලදී ගැනීම වන්නේ මිට්සුබිෂි එල් 300 නවතම මාදිලියේ වෑන් රථයකි. එය යුනයිටඩ් මෝටර්ස් ලංකා ආයතනයෙන් මිලට ගැනීමට 2011.09.20 දින සමුපකාර සංගමයේ උප සභාපති වසන්ත ගුණසේකර කටයුතු කොට ඇති අතර එහි වටිනාකම රුපියල් 3,725,000/-කි. මෙම වාහනවලට මුදල් ගෙවීමට අතුරු පාලක මණ්ඩලයට නෛතික බලයක් නැත.
මෙම අතුරුපාලක කමිටුව පවත්වාගෙන ආ වාර්ෂික අයවැය ඇස්තමේන්තුද අනුමත කරන ක්‍රමයද වෙනස් කොට ගෙන සිටී. එසේම පිරිස් බලසංචිතයට වැඩි පිරිසක් කුරුණෑගල ප්‍රදේශයෙන් බඳවාගෙන ඇත. ඒ ජොන්ස්ටන්ගේ ආධාරකරුවන්ය. ඔවුන් පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජොන්ස්ටන්ගේ පුත්‍රයාගේ මැතිවරණ කටයුතුවලට යොදාගෙන ඇත.
රාජපක්ෂ ආණ්ඩුවේ කසකාරයකු වූ ජොන්ස්ටන් තම බලය උපරිම ලෙස පාවිච්චි කරමින් අතුරු කමිටුව මාස හයම එක දිගටම පවත්වාගෙන යමින් එහි මුදල් අවභාවිතයට ලක් කොට ඇත්තේ ඒ පිළිබඳ විමසන්නන්ද බියගන්වමිනි.
ඒ නාඩගම් සියල්ල දැන් අවසන් වී තිබේ. කරන ලද වංචාවන්ගේ දිග පළලද සාක්ෂි සහිතව හෙළිදරව් වී අවසන්ය. මේ පිළිබඳ අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි ද ලැබී තිබේ. එහෙත් මේවා ලිපි ලේඛණ වල තිබූ පමණින් හෝ පැමිණිලි කළ පමණින් සාධාරණයක් ඉෂ්ට වන්නේ නැත. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වීම ද අවශ්‍ය වේ. එහෙත් තවමත් සිදු නොවෙමින් තිබෙන්නේ ද එයයි. නීතියේ යුවතිය එළිපිටම කෙලෙසන රටක මේවාට නීතිය ක්‍රියාත්මක වේ යයි සිතීම ද මුළාවකි.


චතුර දිසානායක