ආපදා ගැන නිවැරදි අවබෝධයක් අපේ රටේ නැහැ… (ප්‍රවීණ ගේයපද රචක, පරිසර අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුනිල් සරත් පෙරේරා)

ලු්ැඅෙට
බිඳී යන බොල් පක්ෂවල නායකයෝ
January 9, 2018
ගල්කොරි
ගල්කොරි දහසයට මැදි වූ ජීවිත
January 9, 2018
Show all

ආපදා ගැන නිවැරදි අවබෝධයක් අපේ රටේ නැහැ… (ප්‍රවීණ ගේයපද රචක, පරිසර අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුනිල් සරත් පෙරේරා)

sunil

අපේ රට දැන් දැන් කාලගුණ විපත්වලට ගොදුරු වන තත්ත්වයක් අත්විඳිමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් බලයේ සිටින පාලකයන් සේම නිලධාරීන් ද අවශ්‍ය ප්‍රමාණවත් අවධානය යොමු කර නැති බව පැහැදිලියි. ජනතාව මුහුණ දෙමින් සිටින ව්‍යසනය හමුවේ ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. මෙවර විද්වත් සංවාදය යොමු වන්නේ එම දිශාව වෙනුවෙන්ය. පරිසරවේදියකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු ද වන සුනිල් සරත් පෙරේරා හමු වී කළ සංවාදය මෙහි පළ වේ.

මීට දශක තුන හතරකට පෙර කීවේ ‘මට මා දිනූ මේ දේශයේ ජල දිය ගිනි බිය නොවේය’ කියලයි දැන් අඩු ලැව් ගිනි විතරයි. මේ විපර්යාසය ගැන ඔබ දකින්නේ කොහොමද?

ඔබ ඔය කියපු ලැව් ගිනිවලට අමතරව අපේ රටේ තවත් ගිනි ඇති වුණා. සාලාවේ ඇති වුණ ගින්න උදාහරණයක්. ඒකත් ජනතාව ආපදාවට පත් කළ අවස්ථාවක්. නමුත් ඔබ අහන්නෙ ස්වාභාවික විපත් ගැන. ඒ ගැන කල්පනා කළාම තේරුම් ගත යුතු මූලිකම කාරණයක් තියෙනවා. බරපතළ ගණයේ බොහොමයක් ස්වාභාවික විපත් ගැන අනාවැකි කීමට තවමත් හරිම අසීරුයි. විද්‍යාව, තාක්ෂණය කොයි තරම් දියුණුයි කිව්වත්, ඒ වගේ විපත් ගැන කියන්න තරම් ලෝකයම තවමත් දියුණු නැහැ. ඇතැම් විෂය ප්‍රවීණයන් ජනප්‍රියත්වය වෙනුවෙන් අනාවැකි කියනවා තමයි. නමුත්, හදිසි ආපදා ගැන ඒ වගේ අනාවැකි කියන්න තවමත් දියුණු වී නැහැ. යම් හදිසි ආපදාවක් සිදු වූ සැණින් ජනතාවට සිදු වන බලපෑම අවම කර ගැනීමට ආපදා සන්නිවේදනය යොදා ගැනීමයි ලෝකයේ සිදු වෙන්නේ. නමුත්, අපේ රටේ මෑත කාලයේ ඉඳලා බරපතළ ව්‍යසන සිදු වන බව පිළිගත යුතුව තිබෙනවා.

ඔබ ආපදා සන්නිවේදනය යනුවෙන් සඳහන් කළා. ඒ ගැන තව ටිකක් කතා කළොත් ?

ලෝක මිහිතල සමුළුව 1992 පැවැත්වූයේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර. එතෙක් මෙතෙක් ලෝකයේ රාජ්‍ය නායකයන් විශාලම පිරිසක් සහභාගී වූ සමුළුවත් ඒක. ජනාධිපති බුෂ් ඇමරිකාව නියෝජනය කරමින් පැමිණියා. ඒ වගේම ෆිදෙල් කැස්ත්‍රෝ වැනි රාජ්‍ය නායකයන් ඇමරිකාවේ පරිසර විනාශය ගැන දැඩි විවේචනයක් එල්ල කරමින් ඒකට සහභාගී වුණා. අපේ රට නියෝජනය කරමින් ගිය කණ්ඩායමේ සාමාජිකයෙක් වශයෙන් මටත් ඒ අත්දැකීම ලබා ගන්න අවස්ථාව ලැබුණා. ධරණීය සංවර්ධනය කියන මූලධර්මය මත පිහිටලා 21 වන සියවස වෙනුවෙන් පරිසර න්‍යාය පත්‍රය සකස් කළේ මේ සමුළුවේ දීයි. ධරණීය කියන්නේ දරා ගත හැකි කියන එකයි. ධරණීය සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොටසක් විදිහට ආපදා සන්නිවේදනය ගැන සාකච්ජාව ඇති වුණා. චිරස්ථායී, තිරසර වගේ වචන සිංහල භාෂාවෙන් යොදන්නේ ඒ සමුළුවෙන් පසුවයි. ධරණීය සංවර්ධනය කියන වචනය හඳුන්වා දුන්නේ මම. ආපදා සන්නිවේදනය ගැන කතා කරන කොට අවස්ථා තුනක් ගැන මූලික අවධානය යොමු වෙනවා. පූර්ව අවස්ථාව, ආපදාව සිදු වන අවස්ථාව සහ ආපදාවට පත් වූ පසු අවස්ථාව යනුවෙන්. රාජ්‍ය නායකයන්ට අමතරව ලෝකයේම ඉන්න බුද්ධිමතුන් ඒ සමුළුවට සහභාගී වී පරිච්ෙජ්ද 45කින් යුත් 21 වැනි සියවසේ පරිසර න්‍යාය පත්‍රය සකස් කළා. හරිත ආර්ථීකය කියන සංකල්පය හඳුන්වා දුන්නෙත් ඒ සමුළුවේ දී. අද ඉන්න බොහෝ නිලධාරීන් මේ පරිසර න්‍යාය පත්‍රය කියවලා තියෙනවා ද කියලත් සැකයි. අපේ රටේ කීර්තිමත් විද්වතෙක් වන ආචාර්ය ගාමිණී කොරයා ලෝකයේ බුද්ධිමතුන්ගේ බොහෝ සම්භාවනාවට පාත්‍ර වුණා. ඒ වගේ විද්වතුන් පවා අපේ රට නියෝජනය කරමින් සහභාගී වූ තත්ත්වයක් යටතේ අද අපිට මේ ආපදා ගැන කතා කරන්න සිදු වීම කනගාටුවට කරුණක්.

තිරසර සංවර්ධනය කියන සංකල්පය 1992දී හඳුන්වා දුන්නත්, අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට ඒ මූලධර්ම යොදා ගත්තේ නැහැ නේද?

ආචාර්ය ගාමිණී කොරයා සමුළුව අතරතුරේ දී ඔය ප්‍රශ්නය මතු කළා. පළමුවැනි ලෝකයේ රටවල් කියල හඳුන්වන අය තුන්වන ලෝකයේ රටවලට තිරසර සංවර්ධනය ගැන කියන අතර අපේ රටවල්වලට පටි තද කර ගන්න කියනවා නේ ද කියන සංවාදය එතුමා මතු කළා. ඇත්තටම ස්වාභාවික ආපදා කියන්නේ සංවර්ධනයට බාධකයක්. හැකි තාක් දුරට ආපදා අඩු කර ගන්න අපේ රටවල් මැදිහත් නොවුණාම නෙමෙයි. උදාහරණයක් හැටියට වෙරළ සංරක්ෂණ කාර්යසාධක බළකාය පිහිටුවූයේ ඒ සමුළුවෙන් පසුවයි. නමුත්, අපිට තිරසර සංවර්ධනය වගේම ආපදා සන්නිවේදනය ගැන ලෝකයේ අත්දැකීම් විශාල වශයෙන් යොදා ගන්න සිදු වී තිබෙනවා. තිරසාර සංවර්ධනයට අදාළව වෙන් වෙන් වශයෙන් කතා කළාට වැඩක් නැහැ. අපේ රටේ බුද්ධිමතුන් විවිධ ක්ෂේත්‍රවලින් එකතු කරලා බුද්ධි මණ්ඩලයක් හදන්න ඕනෑ. නැත්නම් එක එක්කෙනා ජනප්‍රිය වෙන්න විවිධ කතා කියන බවට මෑත කාලයේ අපට අත්දැකීම් ඕනෑ තරම් තියෙනවා. එහෙම නොවී රටේ සංවර්ධනයත්, රටේ ජනතාව ආපදාවලින් මුදා ගැනීමත් සම්බන්ධයෙන් බුද්ධි මණ්ඩලයක සැලසුම් සහ ඒවා ක්‍රියාත්මක කිරීම් ඉතාම වැදගත් වෙනවා.

අපේ මූලික අවධානය නැවතත් දැන් නිතර නිතර අත්දකින ආපදා ගැන යොමු කරමු. මේ වගේ තත්ත්වයකට රට පත් වුණේ ඇයි ?

හේතු ගණනාවක් තිබෙනවා. පළමුවෙන්ම අපි තේරුම් ගත යුතු දෙයක් තමයි, හැමදාමත් ආපදාවලට මුහුණ දුන් ජාතියක් අපි. ඈත ඉතිහාසයේ බැමිණිතියා සාගතය ගැන කතා කර තිබෙනවා. ඒ වගේම කැලණිය පැත්තෙන් මුහුද ගොඩ ගලපු බව සඳහන් වෙනවා. අනෙක් පැත්තෙන් අදත් අවුරුද්දකට සැරයක් අඩු වැඩි වශයෙන් නියඟයත්, ගංවතුරත් නිසා බරපතළ විපත් සිදු වෙනවා. ඉතින් අපේ රටට ස්වභාවයෙන්ම හැම දාම ආපදාවලට ලක් වීමට සිදු වී තිබෙන බව පැහැදිලියි. නමුත්, ප්‍රශ්නය වී තිඛෙන්නේ දැන් සිදු වන ආපදාවල දී මිනිසුන් විශාල වශයෙන් විපතට පත් වීම සහ ජීවිත හානි සිදු වීමයි. මේ ගැන බැලුවාම පැහැදිලි වෙන්නේ අපේ රට අනුගමනය කර තිබෙන සංවර්ධන ක්‍රියාමාර්ග නිසා මිනිසුන් වැඩි වශයෙන් ආපදාවට ලක් වන බවයි. තව දෙයක් මම කියන්න ඕනෑ. අනාවැකි කියන්න අසීරු ස්වාභාවික විපත් ගැන අපි කොයිතරම් අවධානයෙන් සිටිය යුතු වුණත්, ඒ වගේ සූදානමක් නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විවිධ පරීක්ෂණ සහ කාලගුණ නිරීක්ෂණ සඳහා යොදා ගත හැකි විදිහට විශාල භූමියක් වෙන් කර දී තිබුණා. නමුත්, කොළඹ බෞද්ධාලෝක මාවතේ යන කොට අපිට අද දකින්න තියෙන්නේ පුංචි බිම් කඩකට කොටු කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්. මේකෙන් පැහැදිලි වෙන්නේ කාලගුණ විද්‍යා අනාවැකි ගැන අපේ රටේ වගකිව යුත්තන්ගේ අවධානයක් නැති බවයි.

මෑත කාලයේ අපේ රටේ පරිසර විනාශය වගේම ස්වාභාවික සම්පත් පරිහරණය ගැනත් බරපතළ අවිචාරශීලී බවක් තියෙනවා නේද?

මූලික වශයෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර එළි කිරීම තහනම් කර තිබෙනවා. නිවාස ඉදි කිරීමත් නීති විරෝධීයි. නමුත්, මේ නීති කඩල තියෙන හැටි අපි දකිනවා. වැඩිය ඕන නෑ නුවරට ගිහින් වැව වටේ තියෙන ඉදිකිරීම් බලන්න. තව පැත්තකින් අනවසර ඉදි කිරීම් කොයි තරම් කර තිබෙනවාද? මධ්‍යම කඳුකරයේ විතරක් නෙමෙයි රට පුරාම මේ තත්ත්වය ව්‍යසනකාරී විදිහට ව්‍යාප්ත වෙනවා. තව පැත්තකින් රටේ සම්පත් අසීමාන්තික විදිහට යොදා ගන්න බව මෑත දශක කිහිපය තුළ දකින්න ලැබුණා. රඹුක්කන් ඔය උදාහරණයක්. වැලි ගොඩ දැමීම නිසා දැන් ගල් පෑදී තිබෙනවා. දෙපැත්තේ ළිංවල වතුර මට්ටම පහළ බැහැලා. නැත්නම් හිඳිලාම ගිහිල්ලා. අනෙක් පැත්තෙන් ගඟට අපද්‍රව්‍ය දාන එකත් බරපතළ ප්‍රශ්නයක්. කැලණි ගෙඟ් වතුර දැන් මනුෂ්‍ය පරිහරණයට නුසුදුසු මට්ටමට දූෂණය වී ඇති බව හෙළි වෙනවා. ඉන්දියාවේ දිගම ගඟ වන ගංගානම් ගඟ ලෝකයේ දූෂිතම ගඟ හැටියට තිබුණා. නමුත්, ‘පවිත්‍ර ගංගා’ ව්‍යාපෘතිය හඳුන්වා දීමෙන් පසු ගෙඟ් මට්ටම විශාල වශයෙන් හොඳ පැත්තට හරවාගෙන තිබෙනවා. ඉන්දියාවේ අනෙකුත් ගංගාවල තත්ත්වයත් එහෙමයි.

ගංගානම් ගඟ සම්බන්ධ උදාහරණය ටිකක් පැහැදිලි කරන්න.

මේක බහු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයක් ඇති බහුවිධ ව්‍යාපෘතියක්. එක පැත්තකින් ගං දෑලේ ඉවුරු ශක්තිමත් කරනවා. වන රෝපණයන් කරනවා. මුලින්ම ගෙඟ් ගහගෙන එන වතුරේ පාවෙන අපද්‍රව්‍ය එක තැනක දී ඉවත් කරන්න මිනිසුන් යොදවා තිබෙනවා. ඊළඟට ගඟට එකතු කෙරෙන මලාපවහන ජලය ඇතුළු අපවිත්‍ර ජලය බීමට සුදුසු තත්ත්වයට සරල ක්‍රියාදාමයකින් පරිවර්තනය කරනවා. අපජලය හොඳින් කළම්බලා නැවත පෙරීමට සැලැස්වීමෙන් පිරිසිදු ජලය දක්වා අදියර කිහිපයක දී පෙරීමට ලක් කරනවා. මේ සැරේ අයවැයටත් ‘පවිත්‍ර ගංගා’ සංකල්පය දාල තියෙනවා. ලෝකයේ විවිධ ආයතනවලින් මේ වගේ ව්‍යාපෘතිවලට ආධාරත් හම්බ වෙනවා. නමුත්, අපේ රටේ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ හෝටල්වල ලොකු සම්මන්ත්‍රණ පවත්වලා, මහා පරිමාණ සැලසුම් හදලා අන්තිමේ දී ගංදෑලේ පැළ සිටුවීම දක්වා පමණයි. නමුත් මේක සමස්ත සැලසුමක කොටසක් වෙන්න ඕන. රටේම ක්‍රියාත්මක කරන්න ඉස්සර තෝරා ගත් තැන් කිහිපයක සරල නියමු ව්‍යාපෘතියක් විදිහට අත්දැකීම් ලබා ගන්න ක්‍රියා කරනවා නම් පලදායක වෙයි කියලයි මම හිතන්නේ. උදාහරණයක් විදිහට මහනුවර නගරයේ අපජලය එකතු කරන මැද ඇළ සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම මේ කියන්න ගියේ අපේ රටේ විශාල පරිමාණයෙන් ස්වාභාවික සම්පත් විනාශයත්, ඒ වාගේම විනාශය නැවැත්වීමට උත්තර සොයන ව්‍යාපෘති නිසාත් තවත් පැත්තකින් මුදල් නාස්තියකුත් සිදු වෙනවා.

පවිත්‍ර ගංගා ව්‍යාපෘතිය තුළින් විතරක් අපේ රටේ පරිසර විපත් අවම කර ගන්න බැහැ නේද?

ආපදා ගැන අපේ රටේ නිවැරදි අවබෝධයක් මේ දක්වා ලබාගෙන නැහැ. එක එක ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එක එක නිර්වචන දෙනවා. බොහෝ අය කරන්නේ ජනප්‍රිය වෙන්න මොනව හෝ කරන එකයි. පවිත්‍ර ගංගා ව්‍යාපෘතියකින් පමණක් පරිසර විනාශයට උත්තර හොයන්න බැහැ. ඒ නිසාම කාලගුණ විපත්වලට උත්තර ලැබෙන්නෙත් නැහැ. මම අර ඉස්සෙල්ල කිව්ව බුද්ධි මණ්ඩලයක සාමූහික ප්‍රයත්නය අවශ්‍ය වෙනවා. මුදල් වියදම් කරලා මහා පරිමාණයෙන් හෝටල්වල පවත්වන සම්මන්ත්‍රණ වැඩමුළු වගේ දේවල්වලින් නම් මේ වෙනකම් සාර්ථකත්වයක් ලැබී නැහැ. ඇත්තටම කියනව නම් ලංකාවේ ස්වභාවික විපත් අවම කරගන්න විදේශාධාර ලබන ව්‍යාපෘති අවශ්‍ය වෙන්නෙත් නැහැ. අමාත්‍යාංශවලට වෙන් කරන මුදල්වලින් මේ ආපදා අවම කර ගන්න පුළුවන්. පරිසර අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශවල මනා අවබෝධයෙන් සහ සම්බන්ධීකරණයෙන් බුද්ධි මණ්ඩලයකින් කරන සැලසුම්වලිනුත් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. නිලධාරීන් ඇතුළු රජය විතරක් නෙමෙයි, රටේ මහජනතාවත් මේ සැලැසුමේ යාවජීව කොටස්කරුවන් කර ගන්න ඕනෑ. එතකොට මිනිසුන් හැමදාම අවදියෙන් ඉඳීවි. ඒ වාගේම අවදියෙන් කි්‍රයා කරාවි. ඒ වගේ තත්ත්වයක් යටතේ මිනිසාට සිදු වන ආපදා වළක්වා ගැනීම නැත්නම් අවම කරගැනීම කර ගන්න පුළුවන්. ආර්ථීක සංවර්ධනය කියලා අපි මේ දක්වා ආව පාර මම අර කියූ 21 වැනි සියවසේ පරිසර න්‍යාය පත්‍රයටත් පටහැනි බව ලෝක අත්දැකීම්වලින් සනාථ වී තිබෙනවා. අපේ රටේදීත් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපේ රටේ පරිසරය හා සංවර්ධනයට බලපාන ප්‍රශ්න සියල්ලටම උත්තරත් අර න්‍යාය පත්‍රයේ ඇතුළත් වෙනවා. නමුත් මේ රටේ සැලසුම් සම්පාදකයන් කී දෙනෙක් මේවා කියවලා තියෙනවා ද කියන එකයි ප්‍රශ්නය.


සංවාදය හා සටහන
ප්‍රියදර්ශන දයාරත්න