කරුමය කිලෝ ජූල් වලින් මැනීම

charika
ජීවිත අඳුරෙහි ගිල්වූ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි සැර
January 9, 2018
බෙsdvgDr
දෙබරයට ගල් ගැසූ සමීක්ෂණ ප්‍රතිඵල
January 9, 2018
Show all

කරුමය කිලෝ ජූල් වලින් මැනීම

උගත් යැයි සම්මත සමහර අය තම වෘත්තියේ හෝ සමාජයේ හෝ ස්වභාවය නිසා සිදු වන විවිධ බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට අපොහොසත් වූ විට කරන එක් දෙයක් නම්, පැවිදි වීම බව පෙනේ. එසේ පැවිදි වන සමහරු එයින් තමාගේ මූලික අවශ්‍යතා වන ආහාර පාන, වස්ත්‍ර සහ වාසස්ථාන යන දේ ශ්‍රමය වැගිරීමකින් තොරව ලබා ගනිමින්, ආතතිවලින් තොර දිවි පෙවෙතක් ගත කරති. ඉන් සුළු පිරිසක් තමා ඉගෙන ගත් විෂයය ගැන හෝ බුදු දහම ගැන හෝ හරිහැටි නොදැන තමා ඉගෙන ගත් විෂයය අනුව බුදු දහම පැහැදිලි කිරීමට උත්සාහ කරන බව පෙනේ. එවැනි එක් අයෙකු නම්, වලස්මුල්ලේ අභය නමින් පැවිදි වී ඇති ඉංජිනේරුවරයෙකි. මොහුගේ දේශන රාශියක් අන්තර්ජාලයේ අඩංගු වේ.
එක් දේශනයක දී මේ භික්ෂුව පවසන්නේ ශරීරයෙන් නිකුත් වන වර්ණ මාලාවක් හෙවත් ‘ඕරාවක්’ (Aura) ඇති බවත්. එය ඕරා කැමරාවකින් දැක ගත හැකි බවත් ය. එවැනි ඕරා දර්ශන කීපයක් පෙන්වන ඔහු යමෙකුගේ ඡායාරූපය සමඟ එම උපකරණයේ සටහන් වන ඕරාවේ වර්ණය එම පුද්ගලයා ලෝභ චරිතයක් ඇති අයෙකු ද, ද්වේශ චරිතයක් ඇති අයෙකු ද නැතහොත්, මෝහ චරිතයක් ඇති කෙනෙකු ද යන්න අනුව වෙනස් වන බව පවසයි. ඔහු පවසන්නේ රතු ඕරාවෙන් ද්වේශසහගත පුද්ගලයකු ද, කහ ඕරාවෙන් ලෝභ සහගත පුද්ගලයකු ද, නිල් ඕරාවෙන් මෝහසහගත පුද්ගලයකු ද යන්න දැක්වෙන බවයි.
නිල්, රතු සහ කහ යන වර්ණ මූලික වර්ණ ලෙස විද්‍යාවේ දැක්වෙන බව පවසන මොහු ආලෝකය තරංගයක් බවට සාධක වන පරීක්ෂණයක් ද පෙන්වා රතු, කහ සහ නිල් යන ආලෝකවල තරංග ආයාම දක්වා ඒ ඇසුරෙන් සමීකරණයක ආධාරයෙන් රතු ආලෝකයේ ශක්ති ප්‍රමාණය මවුලට කිලෝ ජූල් 171ක් බව ද, කහ ආලෝකයේ ශක්තිය මවුලට කිලෝ ජූල් 206ක් බවද, නිල් ආලෝකයේ ශක්තිය මවුලට කිලෝ ජූල් 254ක් බව ද දක්වයි. ඉන් පසු ඔහු ගොඩනඟන්නේ පුදුම තර්කයකි. ඔහුගේ තර්කය නම්, චේතනාව අනුව ඕරා වර්ණය ඇති වන නිසා වර්ණයේ සංඛ්‍යාතය අනුව එහි ශක්තිය මැනිය හැකි නිසා චේතනාවල අනුකූල ශක්තියක් ඇති බවයි. ‘චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ යැයි බුදුන් පවසා ඇති නිසා ඔහු කියන්නේ කරුමය කිලෝ ජූල්වලින් මැනිය හැකි බවය.
ආලෝකය අංශ= ලෙස ද හැසිරෙන බවට පරීක්ෂණයක් දක්වන ඔහු එම නිසා අංශ= යනු පදාර්ථය බව ද, ආලෝකයේ තරංග ස්වභාවය නිසා එය සිතට සමාන බව ද, එම නිසා ආලෝකයේ අංශ= හෙවත් ෆෝටෝන (Photona) යනු පදාර්ථය බව ද, එයින් දැක්වෙන්නේ ෆෝටෝන නිර්මාණය කර ඇත්තේ සිතින් බව ද පවසයි. විද්‍යාවට අනුව විශ්වය නිර්මාණය වී ඇත්තේ, මහා පිපුරුම (Big Bang) නිසාය යන මතය බොරුවක් බව ද පවසන ඔහු ශක්ති ගබඩා වී ඇත්තේ, නවග්‍රහයන් තුළ බව ද පවසයි.
ශරීරයේ ක්‍රියාකාරීත්ව ගැන කිසිත් නොදත් අයගේ විශ්වාසයක් නම්, ශරීරයෙන් රැස් වළල්ලක් හෙවත් ඕරාවක් විහිදෙන බවයි. ශරීරයේ පවතින තාපය නිසා ශරීරයෙන් පිට වන්නේ තාප ශක්තියයි. එය අධෝරක්ත කිරණවලට සංවේදී කැමරාවක සටහන් කර ගත හැකිය. තාපය පිට කරන ජීව හෝ අජීව දෙයකින් එම කිරණ පිට වේ.
මුලින්ම ශරීරයෙන් පිට වන රැස් මාලාවක් හෙවත්, ඕරාවක් ඡායාරූප ගත කළ හැකි බව පවසා ඇත්තේ, සෙම්යොන් ඩේවිඩෝවිච් කිර්ලියන් (Kirlian) නමැති රුසියානු විදුලි කාර්මිකයකු විසිනි. 1937දී පමණ මේ ගැන ඔහු සඳහන් කර තිබූ නමුත්. එය විශේෂ අවධානයට පත්ව ඇත්තේ 1970දී පමණය. මෙවැනි ඕරා ඡායාරූපයක් ගැනීම සිදු කර ඇත්තේ, ඡායාරූපගත කළ යුතු වස්තුව ඡායාරූප තහඩුවක් (Photographic Plate) මත තබා එම ඡායාරූප තහඩුව විද්‍යුතයෙන් ආරෝපණය කරන ලද ඇලුමිනියම් තහඩුවක් මත තබා ඡායාරූප පටලය මත තබන ලද වස්තුව තවත් ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ කර ඡායාරූපයක් ගැනීමෙනි. එවිට වස්තුවේ ඡායාරූපය වඩා සුදු පැහැ වර්ණයක් දිස් වේ. මෙය විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘කොරෝනා විසර්ජනයක්’ (Corona discharge) ලෙසය. මෙවැනි ‘ඕරාවක්’ ඕනෑම වස්තුවකින් ලබා ගත හැකි වන අතර, ජීව ශක්තිය හෝ කෙනෙකුගේ මානසික තත්ත්වය අනුව හෝ එහි වෙනසක් නොවන අතර, එවැනි දෙයකට එහි කිසි සම්බන්ධතාවක් ද නැති බව විද්‍යාඥයන් විසින් ඔප්පු කර ඇත.
එහෙත්, 1992දී ගයි කොගින්ස් (Guy Coggins) නමැති විද්‍යුත් ඉංජිනේරුවකු විසින් ඕරා ඡායාරූප ශිල්පය ආරම්භ කර එය ‘ඕරා කැම් 6000’ ලෙස නම් කර ඇත. මෙම ක්‍රමවේදය අනුව යමෙකුගේ ඡායාරූපයක් ගත් විට දීප්තිමත් වර්ණ සහිත ඡායාරූපයක් ලැබෙන අතර, එය වටා දීප්තිමත් වර්ණවලින් යුතු වර්ණ වලාකුළු දක්නට ලැබේ. ඕරාකැම් ඡායාරූපයක් ගැනීම සිදු කරන්නේ යම් පුද්ගලයකු වාඩි කරවා ඔහුගේ අත් දෙක විද්‍යුතය මනින් උපකරණයක් වන ගැල්වනෝමීටරයකට සම්බන්ධ කර ඕරාකැම් උපකරණයෙන් ඡායාරූපයක් ගැනීම ය. එම ඡායාරූපය පරිගණකයට යවනු ලැබේ. පරිගණකයේ අඩංගු කර ඇති මෘදුකාංගයක් මගින් ගැල්වනෝමීටරයෙන් සැපයෙන විද්‍යුත් ප්‍රමාණය ඇසුරෙන් වර්ණවත් වලාකුළු නිර්මාණය කෙරේ. මෙම වර්ණ වලාකුළු පුද්ගලයාගේ ඡායාරූපය මතට පරිගණකය මගින් එකතු කර එය මුද්‍රණය කර ඕරා ඡායාරූපයක් ලබා ගැනේ.
මෙම ඡායාරූප ක්‍රමය නිර්මාණය කළ කොගින්ස් විසින් ම තමාගේ අන්තර්ජාල පිටුවේ (website) සඳහන් කර ඇත්තේ ද මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ ශරීර ඕරාවක් තිබේ නම්, එය කෙසේ විය යුතු දැයි ඔවුන් විශ්වාස කරන අන්දම බවත්, නිශ්චිත ඕරාවක් තිබේ නම්, එය ඡායාරූපගත කළ හැකි ක්‍රමයක් නැති බවත්ය.
ඕරා ඡායාරූපවල ඇති විවිධ වර්ණ ඔවුන් ඇති කළේ ආචාර්ය මැක්ස් ලුෂර් (Dr. Max Luscher) විසින් ලියන ලද ලිපි අනුව විවිධ පෞරුෂ තිඛෙන අය කැමැති වර්ණ අනුව බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ඒ අන්දමට වර්ණ ලැඛෙන සේ පරිගණක මෘදුකාංගය සකස් කර ඇත. ඕරා යන රශ්මි දැකිය හැකි පුද්ගලයකු සිටී නම්, ඩොලර් දසලක්ෂයක් දෙන බවට ජෙම්ස් රොන්ඩි විසින් කරන ලද අභියෝගය පිළිගැනීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නැත. ඕරාවක් හෝ නම් එය වේ නම්, එය දැක්වෙන උපකරණයක් සෑදීම පහසුවෙන් කළ හැකිය.
කලින් ඉංජිනේරුවකු වශයෙන් කටයුතු කර ඇති මේ තැනැත්තා විද්‍යාව ගැනවත්, ඕරා ඡායාරූප ගැනීම ගැනවත්, බෞද්ධ දර්ශනය ගැනවත් අවබෝධයක් තිබේ නම්, මිථ්‍යාවක් වන ඕරා ගැන එවැනි දේශන නොපවත්වනු ඇත. මේ අයට පාලි භාෂාව පිළිබඳ දැනුම නැති නිසා පාලි පාඨවලට විවිධ අර්ථ දෙමින්, තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම හැර බුදුන්ගේ දර්ශනය පැහැදිලි කිරීමට නොහැකිය. එම නිසා විද්‍යාවේ යම් යම් පරීක්ෂණ විද්‍යාව නොදත් මහජනයාට පෙන්වා පාලි වචනවලට ද විවිධ අර්ථ දෙමින්, මහජනයා අතර මහත් ප්‍රසිද්ධියකට පත් වීමට මේ අය සමත්ව ඇත. ත්‍රිපිටකය අධ්‍යයනය කර ඇති භික්ෂුන් ද විද්‍යාව නොදන්නා නිසා මේ අයට අභියෝග හෝ විවේචනය නොකර සිටිනු පෙනේ.
මේ සියලු මිථ්‍යා මත ප්‍රචාරය වීමට හේතුව මහජනයා යමෙකු කියන දේ විචාර බුද්ධියෙන් විමසා බැලීමක් නොකරන නිසාය. ආගම්වල ඇත්තේ විශ්වාස පමණි. ඒවායේ ඉන්ද්‍රියගෝචර ප්‍රත්‍යක්ෂ නැත. විශ්වාස සමඟ විද්‍යාව ගැලපිය නොහැක්කේ විද්‍යාව පදනම් වී ඇත්තේ, ප්‍රත්‍යක්ෂවලින් නිසාය. ආගම්වල විශ්වාස විද්‍යාව අනුව පහදා දීමට උත්සාහ කරන අය ඒ බව දැනගත යුතු ය. විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසාගේ බොහෝ විශ්වාස බිඳවැටී ඇත. අනික් ආගමික විශ්වාස ද එසේම බිඳවැටෙනු ඇත.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය