ගල්කොරි දහසයට මැදි වූ ජීවිත

කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරකට වන්නට පිහිටි සීතාවක ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්යයෙන් හා ජෛව සම්පතෙන් අනූන සොඳුරු තෝතැන්නක් බව අමුතුවෙන් නොකිවමනාය. සුපුරුදු කොළඹ කාෂ්ටක බවෙන් මිදුණු ඒ තුළ අහසට නැගුණු කඳු මුදුන් විසින් පරිසරයට එක්කොට තිබූ අලංකාරය මේ යැයි කීමට වචන නැතිය. එහෙත් අද වන විට එසේ අහසට නැගුණු කඳු මුදුන් ගණනාවක පපු කුහර හාරමින් හිත්පිත් නැති පරිසර පාළුවන් පිරිසක් විසින් මහා පරිමාණ ගල්කොරි පවත්වාගෙන යමින් සිටී. පරිසරයට වින කටිමින් තම ලාබ අරමුණු වෙනුවෙන් මහා කඳු මුදුන් බිමට පාත් කරන උන්ගේ හිත් ඒ ගල්කඳුවලටත් වඩා දැඩිය. හැඟීමෙන් තොරය. සියල්ල විනාශ කරමින් රුපියල් ශත තරගයේ නියැලෙන මේ ජාවාරම්කරුවන්ගේ ශාපයෙන් පරිසරයත්, අසරණ ජීවිතයත් බේරා ගැනීමට මේ වන තෙක් කිසිවෙකුවත් සමත්ව නොමැත. ඒ නිසාවෙන් මේ මිනිස්සු විසින් විවිධ සංවිධාන ගොඩනගමින් මෙම දුක්්ගැනවිල්ල පිළිබඳව කියන්නට හැකි සෑම තැනකටම කියා අවසන්ය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්ය්‍යාංශය, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම පොලිසි ගානේ රස්තියාදු වෙමින් මේ මහා ව්‍යසනයට එරෙහිව ඔවුහු සාධාරණය ඉල්ලුහ. එහෙත් මෙතෙක් කාලයකට ජනතාවට ලැබුණු සාධාරණයක් නොමැත. පරිසරයට ඉටු වුණු යුක්තියක් නොමැත.
අතීතයේ දවසක මහා පෞරුෂයකින් යුතුව අහසට නැගි මිහිරිගල කන්ද, පිටුම්පෙ කන්ද හා නුරානි කන්ද ආදී මහා කඳු මුදුන් අද වන විටත් කේඩෑරි වී ගොසිනි. හරියට ගල් වළවල් තුළ ජීවිතය යදිනා සැකිලි මිනිසුන් සේමය. ඒ නිසා මේ ගල්කොරි කෙරුවාවෙන් පරිසරයට හෝ අවට ගම්වාසීන්ට හෝ ඒ අසරණ කම්කරුවන්ට හෝ ලැබී ඇති සෙතක් නොමැත. තමන්ට සුපිරි මන්දිරවල සුඛෝපභෝගී දිවි ගෙවන්නට මේ මහා ඛේදවාචකය නිර්මාණය කළවුන් අතර, ගල්කොරි හිමිකරුවන් දහසය දෙනෙකි. පිිටුම්පෙ උතුර, පිටුම්පෙ දකුණ, දිද්දෙණිය, වෙවැල්පනාව, ගලගෙදර නැගෙනහිර හා මාවතගම යනාදී ගම්මානවල ජීවත්වන ජනතාව දහස් ගණනක් අද මේ වන විටත් කරකියා ගත හැකි දෙයක් නොමැතිව අන්ත අසරණව ඇත.
ඔවුන්ගෙන් සමහරෙකුට මේ වන විටත් තමන් ජීවත් වූ නිවස ඉරිතලා යාම හේතුවෙන් ඉන් ඉවත් වීමට සිදුව ඇත. සමහර ප්‍රදේශ නායයාමේ දැඩි අවධානමකට ලක්ව ඇති අතර, මේ වන විටත් සමහර ප්‍රදේශ නාය ගොසිනි. කන්ද කැඩූ දෙසට පිටුපසින් ඇති අන්නාසිවත්ත භූමිය තුළ ජීවත් වන්නා වූ පවුල් 50 පමණ සෘජු ලෙසම නාය යාමේ දැඩි අවධානමකට ලක්ව ඇත. ඉදින් තමන් හිසට ඉහළින් ඇති මහා ගල්ගෙඩි කොයි මොහොතක හෝ තම නිවාස තළා පෙළා දමමින් හිසමතට ඇද වැටෙනු ඇතැයි ජනතාව තිස්තුන් පැයේම බියෙන් ජීවත් වෙති. අනෙක් අතට දුක් මහන්සියෙන් ගොඩනගා ගත් ගේ දොර එසේ ගල් බෝරවලට දෙදරුම් කද්දී වගාහානිය නිසාවෙන් ජනජීවිතද ඊට දෙතුන් ගුණයක වේගයෙන් දෙදරුම් කෑමට පටන්ගෙන ඇත. මේ කඳු පන්තීන් ඔස්සේ ගලාගිය ජල ධාරාවන්ද අද වන විට බොහෝ සෙයින් සිඳී ගොසිනි. කලකදී කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයූ ඒ ඇළ මාර්ගත් අද වන විට ක්‍රමයෙන් සිඳී යමින් තිබේ.
අනෙක් අතට ප්‍රදේශයේ ජලය තුළ 0.16ක ඇමෝනියා ප්‍රතිශතයක් වාර්තා වී ඇති අතර, එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයකටත් අධික වැඩිවීමකි. මෙසේ වීමට හේතු ඇත්තේ ගල් වළවල් තුළ භාවිතා කෙරෙන රසායනික ද්‍රව්‍යයි. සාමාන්‍යයෙන් මෙම ගල්කොරි 16 මගින් වසරකට ඇමෝනියා කිලෝ 60,000ක් පමණ භාවිතා කරන බව දැනගන්නට ඇත. ඊටත් අමතරව නිරන්තරව මහා ඝෝෂා නගමින් සිදු කරනු ලබන මේ ගල් කැඩීම් හේතුවෙන් අවට ජනතාවට සින්නක්කරව හිමිවී ඇති තවත් විපතක් වන්නේ රෝගාබාධයි. විශේෂයෙන්ම නිතර සිදුවන පිපිරීම් හේතුවෙන් පැතිරෙන දූවිලි හා ගල්කුඩු හේතුවෙන් විශාල සෞඛ්‍ය ගැටලු ගණනාවක් මතුව ඇත. කුඩා දරුවන්ගේ පටන් මහල්ලා දක්වාම සියල්ලන්ගේම පෙනහළු ඒ ගල්කුඩුවලින් හා දූවිල්ලෙන් පිරී ගොසිනි.
එහෙයින් දැන් මේ ගල්කොරි දහසයේ ඛේදවාචකය යනු ඇස් කන් පියාගෙන අහක බලා සිටිය නොහැකි තරමේ මහා ව්‍යසනයක් වී හමාරය. වසර 20ක පමණ කාලයක සිට මේ ගල්කොරි පැවතුණද මෙවන් මහා නස්පැත්තියක් සිදුකරමින් විශාල වශයෙන් නවීන තාක්ෂණය හා විවිධ හානිකර තත්ත්වයන් යටතේ මේවා ක්‍රියාත්මන වන්නට පටන් ගත්තේ මීට වසර තුන හතරකට ඉහතදීය.
රටේ සංවර්ධනය සඳහා කිසිදු එදිරිවාදිකමක් නොදක්වන මේ ජනතාව අදාළ සියලු බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මේ විනාශය ඉවක් බවක් නොමැතිව සිදුකිරීමෙන් තම ජීවිතවලට ළඟාවිය හැකි හානි වළක්වා දෙන ලෙසයි. මන්ද මේ සියලු දෙයින් අවසානයේදී පීඩාවට පත් වන්නේ ගල්කොරි හිමිකරුවන් හෝ අදාළ නිලධාරීන් කිසිවෙක් හෝ නොව මේ අහිංසක අසරණයන් වීම නිසාවෙනි.
ජනතාව මේ වන විටත් මේ පිළිබඳව දැනුම්වත් කළ යුතු සියලු පාර්ශ්ව ඕනෑවටත් වඩා දැනුම්වත් කිරීමට කටයුතු කර ඇත. එහෙත් ජනතාව චෝදනා කරන්නේ මේ බොහෝ ආයතන හා නිලධාරීන් තමන් සේවය කළ යුතු මහජනතාව අමතක කර දමමින් ගල්කොරි ජාවාරම්කරුවන්ගේ සාක්කුවලට වැටී ඇති බවටයි. ඒ අනුව වගකිවයුත්තන්ගේ ඇස් ඇරවනු පිණිස පසුගිය පෙබරවාරි මාසයේදී මේ ජනතාව පාරට බැස උද්ඝෝෂණයක නිරත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාව ජනතාවට හිමි විය. එහිදී මතු වූ කරුණු අනුව තාවකාලිකව ගල්වළවල් තහනමකට ලක් කළද නැවතත් ටික කලක් ඉක්ම යද්දී එකී බලපත්‍ර නැවත සක්‍රිය කිරීමට බලධාරීන් කටයුතු කොට තිබුණි. බලපත්‍රවලට අනුකූලව එහි ඇති සිියලු කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කළ ඒ ගල්කොරි හිමිකරුවන්ටත් වඩා රටේ නීතිය රැකීමට ඉන්නා, මහජන සේවයට කැපවීමට ප්‍රතිඥා දී ඇති රාජ්‍ය නිලධාරීන් වංචනික වී ඇති සැටියකි.
මෙලෙස කිහිප වරක්ම තහනමකට ලක් කරන ලද බලපත්‍ර නැවත සක්‍රිය වන්නේ කාගේ අනුහසකින්දැයි ජනතාව ප්‍රශ්න කරති. එහෙයින් රටේ සංවර්ධනය පෙරට දමමින් තම බඩ වඩා ගැනීමට උත්සාහ දරනා මුදලාලිවරුන් කිහිප දෙනෙකුගේ හා ඔවුන්ගේ අනුහසින් යසඉසුරු ලබන දූෂිතයන් කිහිපදෙනෙක් නිසාවෙන් මේ ජනතාව පීඩා වින්දා හොඳටම ප්‍රමාණවත්ය.
දැන් මේ ගැන කතා කරන්නට තවත් තැනක් ඉතිරි වී නොමැති තරම්ය. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සම්බන්ධීකරණ කමිටුව තුළ දී පවා මේ ගැන ඕනෑ තරම් සාකච්ඡා කොට තිබේ. එසේම ඉදිරියේ දී පළාත් සභාව තුළද පෙත්සම් කාරක සභා අවස්ථාවේදී මේ ගැටලුව පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥ සුනිල් වටගල මහතා විසින් ජනතා වට පොරොන්දුවක් ලබා දී ඇත. ඊටත් අමතරව මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ පවා මේ ගැන කතා කොට ඇත්තේය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අයවැය විවාදයක් අතරතුරදීය.
එබැවින් සන්සුන් සාකච්ඡා වලට තිත තැබීමට නුදුරේදීම ජනතාවට සිදු වනු ඇත. මේ සියලු දැනුම්දීම්වලින් පලක් නොවන තැන තවදුරටත් මුනිවත රැකීමට ජනතාව සූදානම් නැත. ජීවිත අහිමිවීමට මත්තෙන් මහමඟ සටන තෝරා ගැනීමට ඔවුන් පෙළඹෙනු ඇත. එහෙයින් ඊට මත්තෙන් ඒ ජනතාවගේ හදවතේ පැන නැගී ඇති මේ දුක්ගින්න පිළිබඳව අපි කතා කළෙමු. ඒ ගින්නෙන් සටනක් ඇවිලීමේ පෙර නිමිති පහළ වී ඇත. එනිසාවෙන් ජනතාව සටනට පෙළඹෙන්නට පෙර වගකිව යුතු නිලධාරීන්ට හා රජයට මැදිහත් වී කළ හැකි හා කළ යුතු දෑ බොහෝය. මේ ඒ සඳහා කෙරෙන අවසාන රතු නිවේදනය වනු ඇත.


නිපුණා සාරංගි