ඡන්ද කාලේ වුණත් ආපදා වුණාම සහන දෙන්න වෙනවා (විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක)

maha wessaka
තද වැස්සට, මහ සුළඟට ගසාගෙන යන ආපදා කළමනාකරණය
January 8, 2018
බැඳුම්කරය සහ රනිල්
බැඳුම්කරයේ සුද්දවන්ත රනිල්
January 9, 2018
Show all

ඡන්ද කාලේ වුණත් ආපදා වුණාම සහන දෙන්න වෙනවා (විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක)

තාරානාත් බස්නායක

පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අලූත්ම තොරතුරු මොනවා ද? එක් ලක්ෂ එකොළොස් දහසක් අනාථ වූ බවට තොරතුරු ලැබුණා නේ. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට මේ ගැන කිව හැක්කේ මොනවාද?

මෙය ස්වාභාවික විපතක්. මේ අප සැමට මුහුණ දීමට සිදුව ඇති කාරණාවක්. මීට දශක දෙක තුනකට පෙර තත්ත්වය සමඟ සැසඳුවාම අද පවතින තත්ත්වය අතර විශාල වෙනසක් තියෙනවා. පරිසරය පැත්තෙන් ගත්තාම මිනිස්සු වශයෙන් අපෙන් පරිසරයට විශාල හානි සිදු වී තිබෙනවා. ජන ඝනත්වය වැඩිවීමත් සමඟ අවශ්‍යතා වැඩිවීමෙන් ජන ජීවිතයේ පැවැත්ම සඳහා පරිසරයට හානි සිදු කරනවා. එහෙත්, මේ සමතුලිතතාව ඇති කරමින්ම පරිසරය රැක ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරි අනාගතයේ දී දියත් කිරීම අත්‍යවශ්‍ය දෙයක්. මේ ස්වාභාවික ව්‍යසන ආපදා වුවත්, යම් යම් පළාත්වලට වෙනස් වෙනස් ආකාරයෙන් බලපා තිබෙනවා. ඒ සමහර පළාත්වල නියඟය. සමහර පළාත්වල ගංවතුර ආදී වශයෙනුයි. මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කීපයකටම නියඟය බලපා තියෙනවා. ගල්ගමුව, නිකවැරටිය, යාපහුව, නවගත්තේගම, ආනමඩුව වගේම උතුරු මැද පළාත, පොළොන්නරුවේ සමහර ප්‍රදේශවල ජනතාවටත් තවමත් ගොවිතැන් කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. මගේ ප්‍රදේශයේ අහිංසක ගොවි ජනතාව කන්න හතරක් වගා කොට නැහැ. ඔවුන් විශාල පීඩනයකට ලක්ව තිබෙනවා. ජනාධිපතිවරයා ගොවි පුතෙක් ලෙස ඔහු මැදිහත් වී සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. නමුත්, මීටත් වඩා සහන ලබා දීම සිදු විය යුතුයි.

ජනතාවට ඇත්තටම සහන සලසනවා වෙනුවට මැති ඇමතිවරුන් ඡන්දය ඉලක්ක කරගෙන සහන සැලසීමක යෙදී සිටිනවා නේද?

සමහර විට එහෙම ඇති. මම නම් කියන්නේ මොන ක්‍රමයකිින් හරි මේ වෙලාවේ හැටියට ඒ අහිංසකයන්ට සහන ලබා දෙනවා නම් එය ඉතා හොඳ බවයි.

ඡන්දය ලබා ගැනීමට මෙවැනි ආපදා භාවිත කිරීම ආණ්ඩුවේ බංකොලොත්කම ප්‍රදර්ශනය කිරීමක් නොවෙයිද?

ඡන්දය කියන එක එනවා. ඡන්දය එනවා කියලා ආපදා තත්ත්වයන් නවතින්නේ නැහැ. ඡන්දයේ දින සීමා තීරණය කළාට පස්සේ ආපදා ආවා කියා ඒවා වෙනස් කරන්නෙත් නැහැ. ඡන්දෙ කාලෙක වුණත් ආපදා සහන දුන්නොත් ඒක ඡන්දෙ ඉලක්ක කරගෙන නෙවෙයි. ඒක දිය යුතුමයි. ඡන්දෙ දෙන නොදෙන එක මිනිස්සු තීරණය කරයි. ඒක ජනතාවගේ අයිතියක්.

ජාත්‍යන්තර රක්ෂණ අරමුදලකින් වන්දි ලබා දෙන බව කීවාට මීට පෙර සිදු වූ ආපදාවල වන්දිවත් හරියට ගෙවා නැහැ නේද?

ඒ පිළිබඳව ආපදා කළමනාකරණ ඇමතිතුමා කටයුතු කරගෙන යනවා. ඔහු බලාපොරොත්තු වන්නේ ආපදා ඇති වූ පසු සහන දෙනවාට වඩා ආපදා වළක්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි. ඒ පිළිබඳව මේ වන විටත් සාකච්ඡා කොට තිබෙනවා.

පසුගියදා ඇති වූ සුළි සුළං තත්ත්වය නිසා ඇති වූ විදුලිය බිඳවැටීම ආදියෙන් තවම යථා තත්ත්වයට පත්කර නැති බවට සමහර පළාත්වලින් තොරතුරු ලැඛෙනවා. අයවැය විවාදයේ දී නිවාස ඇමතිවරයා හෙළි කළේ පසුගිය
ආපදාවලින් අලාභහානි වූ නිවාස 57,000ක් ප්‍රතිසංස්කරණයට මේ අයවැයෙන් මුදල් වෙන් කළ බවයි. මින් පැහැදිලි වන්නේ ජනතාවට හරියටම වන්දි නොගෙවූ බව නේද?

අපේ රටේ පැවති හැම රජයකින්ම සහනාධාර දුන්නු හා දෙන තරම් ලෝකෙ කොහෙවත් රටක සහනාධාර දී නැහැ. අපේ රටේ ආපදා සිදු වන තරමට ඒ හැම අවස්ථාවකම ඉතා කඩිනමින් ඒවා යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කරයි. අපේ රට තවම දියුණු වෙමින් පවතින රටක්. සම්පත් තිබුණත්, තාක්ෂණය අතින් දියුණු රටවල් සමඟ ගත් විට අප ඉන්නේ පහළ තලයේයි. ආපදා තත්ත්වයක දී සියයට සියයක්ම කිසිවක් කෙරුණේ නැහැ කියා මා කියන්නේ නැහැ. නමුත් සමහර දුෂ්කර අවස්ථා තිබුණත්, විපතක් පැමිණි හැම විටම හැම රජයක්ම මැදිහත් වුණා. අදත් මැදිහත් වෙනවා. ඒ වගේම ජනතාවත් ජාති ආගම් භේදයකින් තොරව මැදිහත් වෙනවා. ඒක අපේ රටේ ජනතාවගේ සැඟවී ඇති මිනිසත්කම එළියට එන අවස්ථාවක්. මිනිස්සු තරාතිරම, ජාති, ආගම් භේද නොබලා හැකි ආකාරයෙන් පිහිටට එනවා. විශේෂයෙන් ජනමාධ්‍ය එහිදී විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. නමුත් මේ දක්වා තිබූ කිසි රජයකට කඩිනමින් සහන ලබා දී යථා තත්ත්වයට පත් කිරීමට බැහැ. නමුත් ඒ සඳහා ටික කාලයක් යනවා. මගේ මතය නම් ඉදිරියේදී මේ ආපදා ව්‍යසනය සඳහා මුහුණ දීමට හදිසි තත්ත්වයක දී ඉතා කඩිනමින් විසඳුම් ලබා දීමේ ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඉතා හොඳ බවයි.

වැස්සක් එන විට ජනතාව අනාථ වන්නේ පසුගිය වසර හැත්තෑවක වැරදි සංවර්ධන ක්‍රියාමාර්ග නිසා නේද?

මේ වසර හැත්තෑව තිස්සේ පත් වූ රජයන් විසින් ප්‍රතිපත්ති සකස් කළා. මා කියන්නේ අපේ රට තරම් සුන්දර ස්වාභාවික සම්පත් තියෙන රටක් වෙන කොහේවත් නැහැ. මේ රටේ වටිනාකම අපට දැනෙනවා. මේ රටට සංවර්ධන සැලැස්මක් තිබිය යුතුයි. කුමන රජයක් බලයට පත් වුවත්, ඒ ප්‍රතිපත්ති වෙනස් කළ යුතු නැහැ. එහි අංක එක විය යුත්තේ රටේ ජාතික ආරක්ෂාවයි. ඒ සඳහා සැලැස්මක් තිබිය යුතුයි. එසේම ජනතාවගේ සෞඛ්‍යය, පරිසරය අධ්‍යාපනය, ගමනාගමනය යනාදිය සම්බන්ධයෙන් යම් දිගුකාලීන සංවර්ධන සැලැස්මක් සඳහා ප්‍රතිපත්තියක් හැදුවොත්, එය රජයන් වෙනස් වුවත්, ඉදිරියට යා යුතුයි. පරිසරය සම්බන්ධයෙන් සමහර කාලවල විවිධ අය හිතුමතේ විවිධ උපදෙස් අනුව කටයුතු කර තිබෙනවා. ඒ නිසා යම් යම් හානි සිදු වී තිබෙනවා. රටක සවර්ධනයත් සමඟ ජනතාවගේ මානසික සංවර්ධනයත් අවශ්‍යයි. සංවර්ධනයත් සමගම පරිසරයට හානියක් නොවන අයුරින් සංවර්ධන කටයුතු කිරීමට අනිවාර්යයෙන් වගබලා ගත යුතුයි. ඉතාමත් වැදගත් වන්නේ එයයි.

පසුගිය ආණ්ඩුවට වගේම වර්තමාන ආණ්ඩුවටත් තිබෙන පොදු චෝදනාවක් වන්නේ වඳුරෝ ගෙවල් හදනවා වගේ ආපදාවක දී ක්‍රියා කරන බවටයි. මේ ගැන ඔබ මොකද කියන්නේ ?

මම එය පිළිගන්නේ නැහැ. ආපදාවක දී රජයක් හැටියට කරන්න පුළුවන් උපරිම දෙය කරනවා. පසුගිය රජය වුවත් බැරෑරුම් අවස්ථාවලට සාර්ථකව මුහුණ දුන්නා. මම එම රජයේත් මන්ත්‍රීවරයෙක් ලෙස හිටියා. මේ රජයත් යම් යම් අවස්ථාවල දී කළ හැකි උපරිම දේ කළා. ඉදිරියටත් එසේ කරනවා. කඩිනමින් සහන ලබා දීමට නම්, අප තවත් දියුණු අඩියකට පත් විය යුතුයි. සමහර අවස්ථාවල අඩුපාඩු සිදුවෙනවා. මේ කටයුතු සියයට සියයක් හොඳ යැයි මා කියන්නේ නැහැ. මේ කටයුතු කිරීමේදී සමහර නිලධාරීන් එම කටයුතු පැහැර හරින අවස්ථාවන් තිබුණා. ඒවා මා අත්දැක තිබෙනවා. එවැනි අවස්ථාවකදී චෝදනාවකට ලක් වන්නේ රජයයි. ඒවා තේරුම්ගෙන අපි නිවැරදි ප්‍රතිපත්තියක් හැදුවොත් ප්‍රශ්න අවම කරගෙන ඉදිරියට යා හැකියි.


පද්මා වේරගොඩ ආරච්චි