ජීවිත අඳුරෙහි ගිල්වූ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි සැර

සීගීරියේ ඉඩම් කොල්ලය
සීගිරිය අවට බලහත්කාරී ඉඩම් කොල්ලයක්
January 9, 2018
කරුමය කිලෝ ජූල් වලින් මැනීම
January 9, 2018
Show all

ජීවිත අඳුරෙහි ගිල්වූ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි සැර

charika

‘ඔබ ඔබේ දේශයට ප්‍රේම කරන්නේ නම්, මධ්‍යම කඳුකරයට ප්‍රේම කරන්න. මධ්‍යම කඳුකරයේ දිය උල්පත්වලට ප්‍රේම කරන්න. ගහකොළ, සතා සීපාවා, ජෛව විවිධත්වය ඒවා තමයි, දේශයේ උරුම. මේ රටේ වටිනාකම තේරුම් ගන්න පරිසරානුරාගික දේශප්‍රේමයක් වඩවා ගන්න.’ යනුවෙන් ‘ජීවයේ අයිතිය’ සංවිධානය විසින් ‘මධ්‍ය කඳුකරයේ විනාශය රටේ අනාගත මරණය’ මැයෙන් පළ කළ කෘතිය ජනගත කිරීමේ උලෙළේ දී මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පැවැත් වූ දේශනයේ දී සඳහන් කරනු ලැබීය.
රටේ එක් පසෙක මධ්‍ය කඳුකරයේ වටිනාකම පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින්, පිිරිසක් කටයුතු කරමින් සිටිය දී, තවත් පිරිසක් විනාශයේ මුවවිට දක්වා ම මේ වන විට රටත්, ජනතාවත් ගෙනැවිත් හමාරය.
සංවර්ධනය යන්නට මුවා වී මෙරට පාලකයන් විසින් මෙතෙක් සිදු කරන ලද ව්‍යාපෘතීන් මෙරට ජන ජීවිතය මඳකින් හෝ ඉහළ නැංවීමට මේ තාක් සමත් වී ඇද්ද යන්න විමසිය යුතු කරුණකි. මෙවර සංචාරක සටහන එවන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව සොයා බැලීමක් වෙනුවෙනි.
කැලණි ගෙඟහි ජලය භාවිත කරමින්, සිදු කෙරෙන අවසන් ජල විදුලි ව්‍යාපෘතිය වශයෙන් හඳුන්වන ලක්ෂපන බ්‍රෝඩ්ලන්ඩ් ජලාශයෙහි ඉදි කිරීම් කටයුතු ආරම්භ වනුයේ, මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ චම්පික රණවක විදුලිබල අමාත්‍යවරයාව සිටියදීය.
ලක්ෂපාන පොල්පිටියේ දී කැලණි ගඟ හරස් කර එතැන් සිට කිලෝ මීටර් හතක් වැනි දුරක් කෑගල්ල දිස්ති්‍රක්කයට අයත් කිතුල්ගල, කළුකොහුතැන්න දක්වා උමගයක් මඟින් ජලය ගෙන යාමට සැලසුම් කර ඇති අතර, විදුලි බලාගාරය ඉදි වනුයේ, එම ප්‍රදේශයෙහිය. උමගේ විෂ්කම්භය මීටර් හතරකට ආසන්න ය.
ආරම්භයේ දී පොල්පිටිය ආදර්ශ ගම්මානයෙහි පහළ කොටස හරහා ඇළක් මඟින් ජලය ගෙන යාමට සැලසුම් කර අදාළ භූමියෙහි පදිංචි ජනතාව එම භූමියෙන් ඉවත් කර ඇත්තේ, රුපියල් ලක්ෂ හතළිහක්, පනහක් වැනි වන්දි ගෙවමිනි.
කෙසේ වුව ද, නැවත වරක් සැලැසුම වෙනස් කරන ඉදි කිරීම් සමාගම සහ පාලකයෝ පොල්පිටිය ආදර්ශ ගම්මානයට යටින් ඉහත කී උමග හෑරීම ආරම්භ කර තිබේ. වාර්තා වන තොරතුරුවලට අනුව මූලික සැලසුම වී ඇත්තේ ද, එයම වන අතර, මුල දී ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ල වේය යන අදහසින් ජනතාව දැනුම්වත් කිරීමට පාලකයන් විසින් කටයුතු කර ඇත්තේ නැත. කෙසේ වෙතත්, පොල්පිටිය ආදර්ශ ගම්මානය යටින් උමග හෑරීම ආරම්භ කළ ඉදි කිරීම්වල නියුතු චීන සමාගම එහි කැණීම් කටයුතුවලින් සියයට අසූවක් පමණ මේ වන විට අවසන් කර තිබේ.
ජනතාව නොමඟ යවමින්, සිදු කළ කැණීම් කටයුතුවල දී පොල්පිටිය ආදර්ශ ගම්මානයට අයත් නිවාස 38ක ජනතාව අවතැන්ව මේ වන විට විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටිති. කැණීම් ආරම්භ කළ මුල් කාලයේ දී නිවාසයක් මුළුමනින්ම ගිලාබැස උමග තුළට කඩාවැටී තිබේ. භූමියෙහි බරපතළ ඉරිතැලීම් ඇති වී ඇති අතර, නිවාස බොහොමයක බිත්ති පුපුරා අවදානම ආරම්භ වී තිබේ. ඒත් සමඟම භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ නිර්දේශය මත ගම්මානයෙහි ජනතාව ඉවත් කිරීමට බලධාරීන් විසින් කටයුතු කර ඇති අතර, ඔවුනට නියමිත තක්සේරුව මත වන්දි ගෙවීමට ද පොරොන්දු වී ඇතත්, වසර තුනකට ආසන්න කාලයක් පුරා එම ජනතාව දිවි ගෙවනුයේ, කුලී ගෙවල්වලය.
ගෙවල් කුලිය සඳහා රජය මඟින් එක් පවුලක් වෙනුවෙන් මසකට රුපියල් තිස්දහසක මුදලක් ලබා දුන්න ද, ඇති වූ හදිසි නිවාස ඉල්ලුමත් සමඟ නිවාස කුලිය බරපතළ ලෙස ඉහළ ගොස් තිබේ.
එයට පෙර වන්දි ගෙවා ඉවත් කරන ලද පවුල් හතළිස්හතක් සඳහා ගෙවූ වන්දි මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම පවුල් එතෙක් ගත කළ ජීවිතය ඔවුනට අහිමි වී තිබේ. කලින් තම දහදිය මහන්සියෙන් ගොඩනඟා ගත් ක්‍රමවත් නිවෙසක වඩා ඉඩකඩ සහිත භූමියක ගසක, වැලක පලදාවක් නෙළා ගත් ජනතාවක් අද කුඩා බිම් කැබැල්ලක අඩක් නිමවා ගත් නිවසක පදිංචි වී සිටිනු දැකිය හැකිය.
නිවාස කුලිය ඉහළ යාම හේතුවෙන්ම පවුල් දෙකක් එක නිවෙසක් දෙකට බෙදා ගනිමින් ජීවත් වනු දැකිය හැකිය. ඔවුන්ට ස්ථීර නිවාස හෝ සාධාරණ වන්දි ලබා දීමක් පිළිබඳව මේ වන තුරු වැඩපිළිවෙළක් ඇත්තේ නැත. ජනතා සුභසිද්ධිය වෙනුවෙන් යැයි කියනු ලබන සංවර්ධන ව්‍යාපෘතියක ගොදුරු බවට පත්ව සිටින ජනතාවකට මුහුණ දීමට සිදුව ඇති ඉරණම එබඳුය.
උමා ඔය සම්බන්ධයෙන් ද මේ හා සමානම කටුක අත්දැකීමක් මෙරට ජනතාව මෙයට ඉහත සිටම ලබමින් සිටිය ද, හෙණ ගෙඩිය තම හිස මත පතිත වන තුරු අප රටේ ජනතාව නිද්‍රාවෙන් අවදි වන්නේ නැත.
‘උමා ඔය කරපු දේ අපට කරන්න එපා’ යනුවෙන් අප හා අදහස් දැක් වූ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූවද මෙම ව්‍යාපෘතිය හේතුවෙන් තම ජීවිතවලට ප්‍රතිලාභ අත් වනු ඇතැයි බලා සිටි ජනතාවකට තම නිවස යටින් උමගක් හාරන තුරු තත්ත්වය අවබෝධ වී ඇත්තේ නැත. පාලකයන් ඒ බව මෙම ජනතාවට දැනුම් දීමට කටයුතු කර ඇත්තේ ද නැත. පාලකයන්ගේත්, නිලධාරීන්ගේත් මුසාවන් විශ්වාසයට ගත් ප්‍රදේශයේ ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානගත වීමට හෝ වුවමනාවකින් හෝ අවබෝධයකින් කටයුතු කර ඇත්තේ ද නැත.
ප්‍රදේශයේ ජන ජීවිතය ද, දැවැන්ත පරිසර පද්ධතියක් ද විනාශයට ලක් කරමින් ඉදි කරන මෙම බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියෙහි විදුලිය උත්පාදන හැකියාව මෙගාවෝට් 35කි.
රට වටා මුහුදු තීරයක් සහිත අවුරුද්ද පුරාම සූර්යාලෝකය ලැඛෙන රටක සුළං විදුලිය නිපදවීමේ ද මනා විභවයක් ඇති රටක පාලකයන් ලොව කිසිදු රටක නොකරන පරිසර විනාශයක් සිදු කරමින්, කඳුකරයෙහි ජල මූලාශ්‍ර අවහිර කරමින්, රට ණයගැති භාවයට ඇද දමමින්, මෙවන් ඉදි කිරීම් සිදු කරනුයේ, කුමන යටි අරමුණකින් ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතු කරුණකි.
වැසි නොමැතිවීමෙන් බත් පත වෙනුවෙන් පිටරටෙන් සහල් ගෙන්වීමට සිදුව ඇතැයි කැකිරාවේදී මහ ඉහළින් වප් මගුල් කෑ පුලතිසි පුර උපන් ජනපතිවරයාම ප්‍රකාශ කරන අතර, එවන් රටක ඉහළ කඳුකරය විනාශ කරමින් ඉදි කෙරෙන ජලාශ පුරවනුයේ කෙසේද? යන්න මෙරට බුද්ධිමත් ජනතාව කල්පනාවට ගත යුතුය.
අනෙක් අතට පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් ජලාශයට ඉහළින් මහා පරිමාණ ජලාශ පහක් පවතින අතර, බ්‍රෝඩ්ලන්ඩ් උමග ඉදි කිරීමේ දී සිදු කරන ලද පිපිරවීම් නිසා ඇති වුණු කම්පන තත්ත්වයන් මෙන්ම පාංශ= ස්ථරවල සිදු වුණු වෙනස්කම් ඉහළින් පිහිටා ඇති ජලාශ කෙරෙහි කිනම් ආකාරයේ බලපෑමක් ඇති කරයි ද යන්න පිිළිබඳව මෙතෙක් කිසිවකු අධ්‍යයනය කර ඇත් ද යන්න සැකසහිතය.
වර්තමානයේ දී ජීවත් වන පිරිස් ද. අවතැන් ජනතාව ද තමන්ට වූ හානි සඳහා රජය විසින් ගෙවනු ලබන කුමන හෝ වන්දියකට අවසානයේ දී එකඟ වනු ඇත. ආර්ථීක හා මානසික දරිද්‍රතාවයන්ගේ ගිලී සිටින ජනතාවක් අවනත කර ගැනීමේ ක්‍රමෝපායයන් පාලකයන් විසින් මනා සේ අවබෝධ කරගෙන සිටින අතරම, ජනතාව ද තමන් අවතැන් කළ පාලකයන්වම සොච්චම් වන්දියක් ලැබීමෙන් ප්‍රමෝදයට පත්ව නැවතත් බලයට පත් කරනු ඇත. ඒ අනුව වත්මන් පරම්පරාවට යහපත් සමාජ පරිසරයක් සහිිත රටක් නිර්මාණය කර දීමට වැඩිහිටි පරම්පරාවන් කටයුතු කර නොමැති අයුරින්ම වත්මන් වැඩිහිටි පරම්පරාවද කටයුතු කරනුයේ අනාගත පරපුරට යහපත් අයුරින් නොවනු ඇත. සිදුවන සෑම අකටයුත්තකටම පාලන ක්‍රමය හා පාලකයන් මෙන්ම ජනතාවද වගකිව යුතුය.

අපි මේක දැනගෙන හිටියේ නෑ…
ආර්. පී. මල්ලිකා

අපට හොඳක් වෙයි කියලා හිතුවට අන්තිමට සිද්ද වුණේ උන්හිටි තැන් අහිමි වුණු එක විතරයි. දැන් අපි ඉන්නේ පවුල් දෙකක් එක ගෙයක් කුලියට අරගෙන. ආදායම් මාර්ග ඔක්කො ම අහිමි වෙලා. මේ ප්‍රශ්නෙ විසඳන්නත් බලධාරීන්ට වුවමනාවක් නෑ වගේ.

ජීවන මාර්ග අහිමි වෙලා…
වසන්තා මාලනී

අපි මහන්සියෙන් ගොඩනඟා ගත්තු දේවල් හැම දෙයක්ම අපට අහිමි වෙලා ඉවරයි. ඇමතිවරුයි, නිලධාරීනුයි වන්දි දෙනවා කියනවා. ඒත් තවම කිසිම දෙයක් ඇත්තේ නැහැ. අපේ ජීවිත මුළුමනින්ම අවුල් වුණා.

උමා ඔය ජනතාවට කරපු දේ කරන්න එපා..!
පුංචි කුමාරි

මෙහෙ සිද්ධ වෙන්නෙත් උමා ඔයේ සිද්ධ වුණු දේමයි. ගෙවල් ඉරිතළලා පොළොව පුපුරන්න ගත්තා. මම තේ ෆැක්ටරියේ අවුරුදු විසිදෙකක් වැඩ කරලා ගේ හදා ගත්තා. දැන් මට උන්හිටි තැන් අහිමි වෙලා. අපේ ගෙවල් යටින් උමගක් හාරනකම් අපි දන්්නේ නැහැ. මොනවට හාරනවා ද අපි දන්නේ නැහැ. අපිට මේ ගැන කිසිම දෙයක් දැනුම් දුන්නෙත් නැහැ.

විනාශය තේරුම් ගනිද්දි ප්‍රමාද වැඩියි…
මංජුල සුරවීර ආරච්චි
කැඳවුම්කරු – බ්‍රෝඩ්ලන්ඩ් විපතට පත් ජනතා එකමුතුව

සංවර්ධන ව්‍යාපෘතියක දී ජනතාව අවතැන් වෙනවා කියන්නේම ඒක සංවර්ධන ව්‍යාපෘතියක් නොවෙයි. ඔවුන්ගේ ජීවිත තිබූ තත්ත්වයෙන් ඉහළට ඔසවන්න බැරි නම්, ඒක සංවර්ධන ව්‍යාපෘතියක් වෙන්නේ කොහොමද? තමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන දේ පිළිබඳව ජනතාවගේත් තිබෙන්නේ සාමුහික අදහසක් නොවෙයි. කොහොම වුණත්, මේ ජනතාවට සිද්ධ වෙලා තියෙන අසාධාරණය වෙනුවෙන් සංවිධානාත්මකව වැඩ කළ යුතුයි. එහෙම නොවුණොත්, පාලකයෝ මොවුන්ව නැවත වරක් රැවටීමට ලක් කරනවා සැකයක් නැහැ.


සටහන සහ ඡායාරූප
කිත්සිරි කොඩිතුවක්කු