දෙබරයට ගල් ගැසූ සමීක්ෂණ ප්‍රතිඵල

කරුමය කිලෝ ජූල් වලින් මැනීම
January 9, 2018
බෙsfhbdrt
අරාජික දේශයක් කරා…
January 10, 2018
Show all

දෙබරයට ගල් ගැසූ සමීක්ෂණ ප්‍රතිඵල

බෙsdvgDr

දෙබරයකට ගල් ගැසීම එක්තරා ආකාරයක විනෝද ක්‍රීඩාවක් බව පෙනේ. විවිධ ක්ෂේත්‍රවල දී දෙබරයට ගල් ගැසුවාක් වැනි ක්‍රියා සිදු කළ හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ‘සංවර්ධනය හා සන්නිවේදනය’ විෂයය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර තිබේ. එය මෙහෙයවා ඇත්තේ, මහාචාර්ය අජන්තා හපුආරච්චිය. එය ද මෙරට පිරිසකට දෙබරයකට ගැසුවාක් මෙන් වී තිබේ. එවැනි සමීක‍ෂණයක තිබිය යුතු පිළිගත් සිද්ධාන්ත බොහොමයක් එහි දී අනුගමනය කරන ලද බව පැහැදිලිය.
සංවර්ධන සන්නිවේදනයේ එක් අංශයක් ලෙස ‘දේශපාලන සංවර්ධනය’ යන්නට අදාළව මහාචාර්යවරිය විද්‍යාර්ථීයෙකුට මඟපෙන්වීම සඳහා සමීක්ෂණය කර තිබුණාය. එහි ප්‍රතිඵල මාධ්‍යයට කිසියම් පිළිගත් ක්‍රමවේදයකට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැත. එහෙත්, කිසියම් අයථා ආකාරයකට පිට කර තිබේ නම්, ගැටලුවක් පැනනඟී. මන් ද, එය යොදා ගනිමින් සිටින්නේ ශාස්ත්‍රීය අර්ථයකින් නොවන නිසාය. තව පැත්තකින් අපට ලැබී තිබෙන තොරතුරු අනුව එහි ප්‍රතිඵල ඇවන්ට්ගාර්ඩ් කළු සල්ලි සහ රක්නා ආරක්ෂක ලංකා කළු සල්ලිවලට ගැට ගැසී විවිධ ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරමින්, බල ලෝභී අවස්ථාවාදීන් විසින් යොදවා ගනිමින් සිටී.
තවත් පැහැදිලි කරන්නේ නම්, ශාස්ත්‍රීය අවශ්‍යතාවයක් වෙනුවෙන් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල දැන් දේශපාලන පාතාලයේ කළු සල්ලිවලින් විවිධ අර්ථකථනය කරමින් තිබීමය. ගෝඨාභය රාජපක්ෂ මහජන මුදල් තක්කඩි ලෙස යොදාගෙන තමන්ගේ මාපියන්ගේ සොහොන් කොත් ඉදි කර තිබිණි. මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාව මත නීතිපතිවරයා නිර්දේශ කර තිබුණේ ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙසය. රජයේ මුදල් සම්බන්ධයෙන් පූර්ණ වගකිව යුත්තා අදාළ අමාත්‍යාංශයේ ලේකම්ය. ගෝඨාභය රාජපක්ෂ ද ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්ය. ඊට අමතරව රාජ්‍ය ආයතන කීපයකම කෙරුමා වශයෙන් ද කටයතු කළේය. ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් රුපියල් මිලියන 33ක් අවභාවිත කර මාපියන්ගේ සොහොන් කොත් ඉදි කර තිබුණේ ඒ බලය යොදා ගනිමින්ය.
මේ සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පැවැතිණි. එහෙත්, 2015 ජූලි මස දී රුපියල් මිලියන 30ක් ආපසු රජයට ගෙවීම පදනම් කරගෙන අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. ගෝඨාගේ නීතිඥයන් තර්ක කර තිබුණේ පොදු දේපොළ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ලබා දෙන ලෙසය. අභියාචනාධිකරණය විසින් ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගය දී තිබුණේ සොහොන් කොත් ඉදි කිරීමට රජයේ මුදල් යොදා ගැනීම පොදු දේපොළ පනත යටතට අයත් වන්නක් නොව එය දෙපාර්ශ්වයක් අතර ගනුදෙනුවක් වන බැවින්, වාණිජ පනත යටතට ගැනෙන්නක් බව කියමින්ය. කෙසේ හෝ ජනාධිපති මෛත්‍රීගේ පතළ මහා මෛත්‍රිය නිසා ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීය.
මේ අතරතුර කමල් ගුණරත්න සහ සරත් වීරසේකර ත්‍රස්තවාදී ප්‍රකාශ කරමින්, ගෝඨාභය වෙනුවෙන් ආණ්ඩුවට තග දැමීය. භික්ෂුන් කීප නමක් ද පතළ මහා කරුණාවෙන් ගෝඨාගේ ගැලවුම්කරුවන්ව සටනක් දී තිබිණි. මේ අතර ගෝඨා වෙනුවෙන් පෝස්ටර් ඇලවීමට, වෙනත් විවිධ ප්‍රචාරක කටයුතු කිරීමට ඇවන්ට්ගාර්ඩ් සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම්වල කළු සල්ලි යොදවා තිබිණි. අජන්තා හපුආරච්චි මහාචාර්යවරිය තම ශිෂ්‍යයකුගේ ශාස්ත්‍රීය ක්‍රියාකාරකමකට පවරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල කුමන ආකාරයකට හෝ මාධ්‍යයෙන් හෙළි කරන්නේ මේ අතරතුරය. දෙබරයට ගල් ගැසීම වැනි වූයේ එම සමීක්ෂණ ප්‍රතිඵල පදනම් කරගෙන මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමත් සමඟය. ආණ්ඩුවේ ‘දිනමිණ’ පුවත් පත, සහ ස්වාධීන රූපවාහිනී නාළිකාව තුළින් ප්‍රති ප්‍රචාරයකට මුලපුරා තිබිණි. ‘දිනමිණ’ 04 වැනිදා පුවත් පතේ මුල් ප්‍රවෘත්තියෙන් පළ කර තිබුණේ, එම සමීක්ෂණයට කොළඹ විශ්වවිද්‍යාලය නිල වශයෙන් කිසිසේත් සම්බන්ධ නොවූ බවය. ස්වාධීන රූපවාහිනී නාළිකාවෙන් ද එය පුන පුනා ප්‍රචාරය කෙරිණි.
දෙබරයකට ගැසූ සේ ආණ්ඩුව කලබල වීමට තරම් එම සමීක්ෂණ වාර්තාවේ තිබූ කරුණු මොනවා ද? යන්න ගැන විමසා බැලීම අවශ්‍යය. මහාචාර්යවරිය මෙම සමීක්ෂණය කර තිබුණේ පසුගිය සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා මාස දෙකක කාලය තුළය. එසේම නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ති්‍රක්කවලට ගොස් ජනතාව හමු වී විමසීමක් කර තිබිණි. ‘2020දී මීළඟ ජනාධිපතිවරයා කවුරුන් ද?’ යන තේමාවෙන් සමීක්ෂණය කර තිබිණි. එම නියැදියට 505 දෙනෙකුගෙන් යුක්ත ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වය යොදාගෙන තිබුණු අතර, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්ව තුනේම ජනතාව එම 505 දෙනා අතරට එක් කරගෙන තිබිණි. එම සමීක‍ෂණය සඳහා ඡායාරූප පහක් යොදාගෙන තිබුණේ, දේශපාලන නායකයන් පස් දෙනෙකුගේය. ඡායාරූප පෙන්වමින්, එහි සිටින පුද්ගලයා මී ළඟ ජනාධිපති ලෙස තෝරා පත් කර ගත යුතු ද යන්න මූලික වශයෙන් විමසා තිබිණි.
ආණ්ඩුව කලබල වී තිබෙන්නේ එහි ප්‍රතිඵලය නිසාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති විය යුතු බව කියා ඇත්තේ, සියයට 8.64ක් දෙනාය. මෛත්‍රී නැවත ජනාධිපති විය යුතු බව කියා තිබුණේ, සියයට 9.18ක් සහ අනුර දිසානායක ගැන කියා තිබුණේ සියයට 14.59ක් දෙනාය. සජිත් සම්බන්ධයෙන් සියයට 28.64ක් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් කැමැත්ත සියයට 39.18ක් දෙනා ප්‍රකාශ කර තිබේ. මේ ප්‍රතිඵලය පදනම් කරගෙන ආණ්ඩුව කලබල වීම තේරුම් ගත හැකිය. අනෙක් පැත්තෙන් ගෝඨාභයගේ ප්‍රචාරක මෙහෙයුම කළු සල්ලි වත්කර දියත් කර තිබීම ද තේරුම් ගත හැකිය. මෙයට ඉහත සඳහන් කළා සේ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා සිටි මිග් ප්‍රහාරක යානා ගනුදෙනුව ඇතුළු මූල්‍ය අපරාධ මෙන් ම මනුෂ්‍ය ඝාතන සම්බන්ධ අපරාධවලට ද ප්‍රධාන වගඋත්තරකරුවා වී සිටින ගෝඨාභයගේ පැත්තෙන් විශාල මෙහෙයුමක් දියත් කර තිබේ. ශාස්ත්‍රීය සමීක්ෂණයක ප්‍රතිඵල බලලෝභී දේශපාලනයේ ගේම් සඳහා යොදා ගැනීම කෙතරම් නින්දිත දැයි මෙයින් පැහැදිලි වේ.
ඒ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් නිකම්ම සංඛ්‍යා දත්ත පළ කර තිබුණා ද නොවේ. ජනතාවගේ මතය කෙටියෙන් දැක්වීමක් ද කර තිබිණි. ‘තවත් කොටසක් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය පළ කර සිටියේ, ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවට දෙන බව කියමින්, මුළු පාර්ලිමේන්තුවේ ම අයිතිකරුවා ලෙස කි්‍රයා කරන බවයි’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ ගැන සඳහන්ය. ‘ඡන්දය ලබා දුන් බහුතරයකගේ අප්‍රසාදයට ලක් වූ ප්‍රධාන කරුණ වූයේ හොරෙක් හෝ නරක දේශපාලකයකු නොවුව ද, එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් යැපෙන බැවින්, සෘජු තීරණ රට වෙනුවෙන් නොගන්නා බව කියමිනි’ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ගැන සඳහන් කර තිබේ.
තුන්වැනි ස්ථානයට වැඩි ම ඡන්ද ලබාගෙන සිටින ජවිපෙ නායක අනුර දිසානායක ගැන දී තිඛෙන පැහැදිලි කිරීම නම්, ‘නායකත්වය ගැන විශ්වාසය තැබීමට බොහෝ දෙනා බිය වන අතර, ඔවුන් පසුගිය රජයන් සඳහා දැක් වූ දායකත්වයේ නිවැරදි අවබෝධයක් ජනතාව අතර නැහැ. එම පක්ෂය මීට පෙර අවස්ථාවල දී පැවැති රජයක් පත් කිරීමට මෙන්ම පෙරළා දැමීමට ද හවුල් වූයේ යහපත් චේතනාවෙන්ය යන්න පිළිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් නැත’ යන්නය.
‘එමෙන්ම ප්‍රේමදාස මහතා වැඩ කළ ආකාරයෙන් ඔහුට ප්‍රසාදය ලබා ගත හැකි වී ඇත. ඇතැමෙක් තවම අත්දැකීම් මඳ බව කියුව ද, වැඩ කිරීම පිළිබඳ පැහැදීමක් ඇත. ජනතාව වැඩ කරන ඇමතිවරුන් පිළිබඳව දැඩි පැහැදීමක් ඇති බව පෙනේ.’ යනුවෙන් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පැහැදිලි කර තිබේ.
ඇවන්ට්ගාඩ් සහ රක්නා ලංකා හරහා ඉපැ යූ කළු සල්ලිවලින් ප්‍රචාරය දියත් කර තිඛෙන ගෝඨාභය පිම්බීමේ මෙහෙයුමට අදාළ කරගෙන ඇත්තේ, සමීක්ෂණ වාර්තාවේ එක් ඡේදයක් බව හෙළි වී තිබේ. ගෝඨා සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර ඇති සියයට 39.18ක පිරිස දක්වා ඇත්තේ, ‘ඇවන්ට් ගාර්ඩ් නඩුව හෝ ද්විත්ව පුරවැසි බව හෝ මුදල් අවභාවිතය හෝ සුදු වෑන් ප්‍රශ්නයක් නොවන බව ඔවුන් කීය. ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැති බවත්, ඒවා එතරම් රටේ ජනතාවගේ ආර්ථීකයට හේතුවක් නොවූ බවත් කියා ඇත’ යනුවෙන්ය. මේ ලෙස පුද්ගලයන් සම්බන්ධයෙන් සංක්ෂිප්ත සටහනකට අමතරව පොදු තත්ත්වයන් ද කරුණු අටක් යටතේ දක්වා තිබේ.
අනාගතයේ පවත්වන ඡන්දයක දී කිසිවෙකුට බහුතර ඡන්දයක් හිමි නොවන බව, එසේ වුවත්, මේ තත්ත්වය එක වරම වෙනස් වීමේ විවෘත ඉඩක් පවතින බවක් දක්වා ඇත. එහි ඇති විශේෂම සටහන වන්නේ වැඩි ම ප්‍රසාදයක් ලබා තිඛෙන ගෝඨාභය සම්බන්ධයෙනි. ‘ගෝඨාභය රාජපක්ෂට වැඩිම මනාප තිබුණ ද, ඉන් හඳුනා ගත හැක්කේ ඔහු නැවත දේශපාලනයට ගෙන ආ යුතු බවක් නොව ඔහු මෙන් සෘජු තීරණ රට වෙනුවෙන් ගත යුතු බවයි. එය වර්තමාන නායකත්වය සමඟ සසඳා ඇත.’ යනුවෙන් පැහැදිලි කර තිබේ. මීට අමතරව අධිකරණය කෙරෙහි කිසිවකුගේ විශ්වාසයක් නොතිබීම, පොරොන්දු දේශපාලනය අවසන් වී තිබීම, කාන්තාවන්ගේ ජනමතය දේශපාලනය හා දේශපාලකයන් පිළිබඳව අති විශාල අඩුවක් දැක්වීම වැනි කරුණු ඉදිරිපත් කර තිබේ.
සමීක්ෂණයෙන් ලබා ගත් ප්‍රධාන කරුණු අටක් සවිස්තරව දක්වා තිබේ. සමීක්ෂණයට සහභාගී වූ 505 දෙනාගෙන් 134 දෙනෙක් හෙවත් සියයට 26.3ක් වූ පිරිසක් වර්තමාන ආණ්ඩුවෙන් වෙනසක් අපේක්ෂා කර ඡන්දය දී දැන් ආණ්ඩුව කෙරෙහි කලකිරී වර්තමාන නායකයන් කිසිවකු හෝ නැවත බලයට පත් නොවිය යුතු ය යන ස්ථාවරයෙන් සිටින අය වෙති. වයස අවුරුදු 18-20 අතර කුළුඳුල් ඡන්ද හිමියන් කාගේ හෝ වුවමනාවකට ඡන්දය දෙන්නන් බව කනගාටුවෙන් සඳහන් කර තිබේ. මොවුන් දේශපාලනය පිළිබඳ හැඟීමක් හෝ අවබෝධයක් නොමැති ඩිජිටල් ලෝකයේ සැරිසරන පිරිසක් බව හඳුනාගෙන ඇත. එසේ ම කාන්තාවන්ගෙන් සියයට 05කටත් නිසි දේශපාලන අවබෝධයක් ඇතැයි සිතිය නොහැකි බව දක්වා තිබේ.
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකිනෙකා රැක ගැනීමේ පන්ති දේශපාලනයක් කරනවා මිස රට ගැන කල්පනා කර දේශපාලනය නොකරන බවත්, එනිසා එම පක්ෂ දෙකම ප්‍රතික්ෂේප කළ යුතු බවත් දක්වා ඇත. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් තරමක් විස්තර සහිතව දක්වා ඇති ඡේදය වැදගත්ය. ‘ජනතා විමුක්ති පෙරමුණට වැඩි කැමැත්තක් දැක් වුවද, ඔවුන්ට අද අනෙකුත් පක්ෂවල පව් ගෙවීමට සිදු වී ඇති නිසා ප්‍රධාන බලවේගයක් ලෙස කටයුතු කළ නොහැකි බව කීය. පක්ෂය වශයෙන් ගත් කල ජනතා විමුක්ති පෙරමුණට ජනතා ප්‍රසාදය පිළිබඳ කිසියම් ඉඟියක් ලැබී ඇත. එනම්, මෙතෙක් ඔවුන්ට එල්ල වූ චෝදනාව වූ 1989 වකවානුවේ සිදුවීම් වර්තමානය වන විට සම්පූර්ණයෙන් ම ජනතාවගෙන් ඉවත් වී ඇති අතර, ඔවුන්ට විශ්වවිද්‍යාල ප්‍රජාවේ කැමැත්ත වැඩි වශයෙන් දක්වා ඇත. එසේම සාමාන්‍යයෙන් වැඩ කරන ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් වේ.’
මෙම ඡේදයේ කරුණු විකෘති කර 2017 දෙසැම්බර් මස 03 වැනි දින ‘මව්බිම’ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වශයෙන් පළ කර තිබේ. ප්‍රවෘත්තිය ගොඩනැඟීමේ දී අන්තර්ගතයේ පළ කර තිබූයේ, ‘ජනතා විමුක්ති පෙරමුණ පූර්ණ වශයෙන් ජනතාවගෙන් බැහැර වී ඇතත්, විශ්වවිද්‍යාල ප්‍රජාවගේ වැඩි කැමැත්තක් දක්වා ඇති අතර’ යනුවෙන්ය. ප්‍රවෘත්තියෙන් විකෘති කර තිබුණේ, ‘මෙතෙක් ඔවුන්ට එල්්ල වූ චෝදනාව වූ 1989 වකාවනුවේ සිදුවීම් වර්තමානය වන විට සම්පූර්ණ වශයෙන් ජනතාවගෙන් ඉවත් වී ඇති අතර…’ යන්නය.
අජන්තා හපුආරච්චි මහාචාර්යවරිය විද්‍යාර්ථීයෙකු හට පැවරූ සමාජ සමීක්ෂණයක වාර්තාව රට තුළ භාවිත කෙරෙන්නේ ප්‍රධාන ආකාර තුනකට බව මේ අනුව පැහැදිලිය. දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ආණ්ඩුව ඇවිස්සීම, කළු සල්ලි ජාවාරම්වල පීතෘන්ගේ බල දේශපාලන ප්‍රචාරයට යෙදවීම සහ විකල්ප ධාරාවේ දේශපාලනයක යෙදී සිටින ජවිපෙට ප්‍රහාර එල්ල කිරීම යනුවෙන්ය. ලෝකයේ මෙන්ම මෙරට ද දේශපාලනය සම්බන්ධ සමාජ සමීක්ෂණ පැවැත්වීම අරුමයක් නොවේ. අවශ්‍ය වන්නේ ඒවායෙහි විශ්වසනීයත්වය තහවුරු කර තිබීමය. එහෙත්, එය ඒ ආකාරයෙන්ම රැක තිබෙන්නේ කීයෙන් කීය ද යන්න ප්‍රශ්නයකි. අනෙක් අතට මෙවැනි සමීක්ෂණ වාර්තා තක්කඩි ජාවාරම්කරුවන්ගේ අවස්ථාවාදී මෙවලම් ලෙස භාවිත කෙරෙන බව ද තේරුම්ගෙන සිටීම වැදගත්ය.


ප්‍රියදර්ශන දයාරත්න