දේශපාලන සුළි කුණාටුව

සුළි සුළං තත්ත්වයක් ඇති වීම මේ දිනවල රටට බලපා තිබේ. බෙංගාල බොක්ක ආශ්‍රිතව තවමත් එය සක්‍රීයව තිබේ. ඒ නිසා වරින්වර එහි බලපෑමට ලක් වීමේ අවදානම පවතින බවට අනතුරු ඇඟවීම් සිදු වී තිබේ. ජීවිත හා දේපළ හානි ද සිදු විය. සාමාන්‍යයෙන් සුළි කුණාටුවක දී ශක්තිමත් නැති ගස් උදුරා වැටේ. ස්ථාවර නැති ගොඩනැඟිලිවලට හානිවෙයි. එවැනි තත්ත්වයකට පෙර සූදානමක් සහිතව මුහුණ දීමට තරම් පවතින ආණ්ඩුවලට ද ශක්තියක් ඇත්තේ නැත. එදා වේල සොයා ගන්නේ කොහොම දැයි කල්පනා කරන ආණ්ඩුවකට ජනතාව ගැන බලන්නට වේලාවක් ඇත්තේ ද නැත.
රටේ සුළි සුළඟක් හමාගෙන යද්දී දේශපාලනයේ ද කුණාටුසහගත තත්ත්වයක් ඇති වී තිබේ. සුළි සුළඟින් දුර්වල ගස් ඇදවැටෙන්නාක් මෙන් දේශපාලන කුණාටුව හමුවේ බොහෝ දේ හෙළිදරවු වෙමින් තිබේ. මතුපිටින් පෙන්වන වීරත්වයන්, කෑ මොරගෑම් කවරක් වුවද ඇතුළත පවතින සැබෑ තත්ත්වයන් හෙළිදරවු වන්නේ කුණාටු හමන විටය.
අපේ රටේ දේශපාලනයේ වැඩිපුර ඇත්තේ රැවටිලිය. බොරු පම්පෝරිය. බලලෝභයය. ගසාකෑම් හා වංචාවන්ය. යටි උගුල් හා කුමන්ත්‍රණය එහෙත් ප්‍රශ්නය වන්නේ බැලූ බැල්මට ඒවා නොපෙනීමයි. සාමාන්‍ය ජනතාව ඉදිරියේ විවිධ ජවනිකා රඟපාන මොවුන්ගේ සැබැ තතු නොදන්නා නිසා ඔවුන්ගේ රැවටිලිවලට ජනතාව ගොදුරු වෙති. මේ අර්ථයෙන් බැලූ විට සුළි කුණාටු ජනතාවට හානි පමුණුවන්නක් වුවද, දේශපාලන සුළි කුණාටු ජනතාවට, ජනතා බුද්ධියට වාසි අත් කර දෙන්නකි. එවැනි තත්ත්වයන්ට ඔරොත්තු දිය හැක්කේ ශක්තිමත්, ස්ථාවර හා ප්‍රතිපත්තිගරුක දේශපාලන ව්‍යාපාරයන්ට පමණි.
දෙකඩ වී තිබෙන ශ්‍රීලනිපය යළි එකතු කිරීමේ උත්සාහය අසාර්ථක වී තිබේ. මේ එකතු වීමේ ඕනෑකම රට වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් වූවක් නොව බලලෝභය වෙනුවෙන් බව පැහැදිලි වූවකි. මෛත්‍රී පාර්ශ්වයට බලය පවත්වා ගැනීමත්, තමන්ගේ සැබෑ ජන පදනම හෙළි වීම සැඟවීමටත් අවශ්‍ය වී තිබේ. මහින්ද පාර්ශ්වයට ද බලලෝභය මෙන්ම තමන් කරන ලද වංචා, දූෂණ හා අපරාධවලට අදාළ අධිකරණ ක්‍රියාමාර්ගවලින් ගැලවීමේ ඕනෑකම තිබේ. මේ සියල්ල එකට සමපාත වී දෙපාර්ශ්වය එක් වීමට ඕනෑ වුවත්, තමන්ගේ බලලෝභයේ පංගුව පිළිබඳ ප්‍රශ්නය එකතු වීම වළක්වා තිබේ. මේ තත්ත්වය තව දුරටත් දෙපැත්තේ කකුල් තබාගෙන සිටීමට බාධා පමුණුවා තිබේ. ඒ අනුව නිල වශයෙන්වත් භෞතිකවත් බෙදීම ස්ථීර වී තිබේ.
රාජපක්ෂ දේශපාලනයේ එල්ලී සිටි ජාතික නිදහස් පෙරමුණේ ද හෙණ පුපුරන්නට පටන් ගෙන තිබේ. එහි ලේකම්, නියෝජ්‍ය නායක, ඇතුළු නායකයන් ලෙස සිටි විශාල පිරිසක් ඉවත් වෙමින් සිටිති. ඉවත් වන අය එහි නායක විමල් වීරවංශගේ දූෂණ, අක්‍රමිකතා, බොරු රඟපෑම් හා අත්තනෝමතික හැසිරීම් හෙළිදරවු කර තිබේ. එජාපයේ රනිල් වික්‍රමසිංහ සමග වීරවංශගේ පැවැති සබඳතා ද හෙළිවෙමින් තිබේ. දැනටමත් ව්‍යාජ පාස්පෝට් සැදීම, රජයේ වාහන විශාල ප්‍රමාණයක් අවභාවිතය, ඉඩම් වංචා, රජයේ නිවාස ඥාතීන්ට ලබා දීම, ලක්ෂ 748ක වත්කම් ඉපයීම සම්බන්ධ චෝදනා රැසකට අදාළ පරීක්ෂණ සිදු කෙරී තිබේ. තවත් ඒවා පරීක්ෂණ කෙරීගෙන යයි. මේ තරම් වැරදිවලට මේ වන විට වීරවංශ සිටිය යුත්තේ මහ උළු ගෙදර වුවත් එය එසේ නොවන්නේ කවුරු සමඟ දාන ඩීල් නිසා දැයි ජාතික නිදහස් පෙරමුණේ හෙණ පිපිරීම විසින් හෙළිදරව් කරමින් තිබේ.
එක්සත් ජාතික පක්ෂයට විශාලම ප්‍රශ්නය වී ඇත්තේ බැඳුම්කර ප්‍රශ්නයයි. එය වසන් කිරීමට කොතෙක් උත්සාහ කළ ද දිය යට දැමීමට උත්සාහ කරන රබර් බෝලයක් මෙන් එය උඩට මතුවෙයි. දුරකථන ඇමතුම් පරීක්ෂාවෙන් ද එය තවත් තහවුරු වී තිබේ. කොමිසමට සාක්්ෂි දීමට ගිය ද, මේ මහා මූල්‍ය වංචාවේ චෝදනාවෙන් ගැලවීමට රනිල්ට නොහැකිය. බදු බර වැඩි කිරීම, බඩු මිල ඉහළ යාම, ඉඩම් ඇතුළු රටේ සම්පත් විකිණීම ආදියේ චෝදනාවලට වගඋත්තරකරු වී ඇත්තේද හවුල් ආණ්ඩුවේ එජාප පාර්ශ්වයයි. ජාතික හෙළ උරුමය සිංහල බෞද්ධ පදනම මත කටයුතු කරන පක‍ෂයක් වුවද, පවතින සුළි කුණාටුවේදී කොතරම් අකමැති වුවත් එජාපයේ ඇගේ එල්ලීමට ඔවුන්ට සිදු වී තිබේ.
උතුරේ දේශපාලන ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය දෙමළ ජාතික සන්ධානය කුණාටුව හමුවේ කැඩී තිබේ. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, අඩෙෙක්කලනාදන් එක් පාර්ශ්වයක් වී තිබේ. එයට ආනන්ද සංගරී ද එක් වී සිටී. ටෙලෝ සංවිධානය ද, ප්ලොට් සංවිධානය ද දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී තිබේ. ඒ අනුව එහි බල පොරය ද ජනතාවට හෙළි වෙමින් තිබේ.
මුස්ලිම් පාර්ශ්වයන්ගේ ද අතාවුල්ලා හා අසාද් සාලි මෛත්‍රී පාර්ශ්වයට හවුල් වීමටත්, හසන් අලි වෙනම යාමටත්, රාවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් වෙන වෙනම යාමටත් තීන්දු කර තිබේ. මොවුන් සියල්ලන්ම පාහේ මුස්ලිම් ජාතිවාදය පදනම් කර ගත් දේශපාලනයක නියළෙන අතර, ජනතාව වෙනුවට තමන්ගේ පැවැත්ම ගැන සිතන බඩගෝස්තරවාදය මේ අනුව හෙළි වෙමින් තිබේ.
වතුකරයේ තොණ්ඩමන් මෛත්‍රී පාර්ශ්වයට හවුල් වීමටත්, දිගම්බරන්, රාධා ක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන් හවුල එජාපය සමග අවබෝධයෙන් වෙනම යාමටත් කටයුතු කර තිබේ. මොවුන් සියලු දෙනා ද වතුකරයේ දුක් විඳින ජනතාවට විවිධ පොරොන්දු දෙමින් තම දේශපාලන ගෝස්තරය පවත්වාගෙන යති.
සුළි කුණාටුව නම් ටික දිනකින් පහව යන බව කාලගුණ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි. එහෙත්, දේශපාලන සුළි කුණාටුව තවම ආරම්භ වුවා පමණි. ශක්තිසම්පන්නව හා ස්ථාවරව ප්‍රතිපත්තිගරුකව ජනතා වෙනුවෙන් සැබෑ ලෙසම කටයුතු කරන්නේ කවුරුන් දැයි හඳුනා ගැනීමට පොදු ජනතාවට අවස්ථා රැසක්ම මේ කුණාටුවෙන් නිරාවරණය වන බව නම් නොඅනුමානය.